‘මාලිංග සමුගන්නා‘ තරගයට නුවන් කුලසේකර නෑ

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 07. 2019 | 9.22pm
‘මාලිංග සමුගන්නා‘ තරගයට නුවන් කුලසේකර නෑ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් සංචාරය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.මෙම තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත ය.

මෙම සංචිතයේ දිනේෂ් චන්දිමාල්ට ස්ථානයක් හිමි වී නැති අතර පසු ගිය දා දැඩි ලෙස කතාබහට ලක් වූ එමෙන්ම මාලිංග ඉල්ලා සිටි ආකාරයෙන් නුවන් කුලසේකරට ලසිත් මාලිංග සමග සමුගැනීමට අවස්ථාවක් හිමි වී නැත.

තමන් 26 වැනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බංගල්දේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසු එක්දින පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.මීට පෙර මාලිංග පවසා සිටියේ තමන් සමග ‍සමුගැනීමට නුවන් කුලසේකරට එක් තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

“ලෝක කුසලානය ක්‍රීඩා කරලා මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා යන්න.නුවන් කුලසේකරත් මාත් එක්ක අවුරුදු දහයක් ක්‍රීඩා කරා. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා නුවන් කුලසේකරටත් එක තරගයක් ලැබෙයි කියලා සමුගන්න.මොකද ඔහු අයීසීසී නම්බර් වන් හිටපු ලංකාවේ එකම වේග පන්දු යවන්නා.ඒක නිසා මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහුයි මායි එකම තරගයකදී සමුගන්න.ඉතින් මම ඒකට ගොඩක් උත්සහ කරලා තියෙන්නේ.මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.එහෙම වුණොත් එළැඹෙන බංග්ලාදේශ හෝ නවසීලන්ත සංචාරයෙන් මගේ ක්‍රිකට් ගමන නවතී.“ - ලසිත් මාලිංග බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී....

එමෙන්ම ලෝක කුසලානය සදහා සහභාගී වූ සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්,මිලින්ද සදරුවන් සහ ජෙෆ්රි වැන්ඩසේ මෙම තරගාවලිය සදහා තෝරාගෙන නැත.

ලෝක කුසලාන තරගාවලියේදී අතිරේක ක්‍රීඩකයින් ලෙස එක්වූ ඔෂධ ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා මෙම සංචිතයට ඇතුළත් කර නැත.ඔවුන් දෙදෙනා ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කෙරුණේ කණ්ඩායමේ ඊළගට සිටින ක්‍රීඩකයින් නිසා බව කියමින් වුව ද බංග්ලාදේශ තරගාවලියට ඔවුන් නම් කර නැත.

ලෝක කුසලාන තරඟාවලියේදී එකදු තරඟයකදීම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවු අතර දෙදෙනාම කණ්ඩායම සමඟ පුහුණුවීම්වලට එක් වූහ.

සංචිතය පහත දැක්වෙයි.



Share