කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂට එරෙහිව විමර්ශනයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 25. 07. 2019 | 10.48am
කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂට එරෙහිව විමර්ශනයක්

Safi's Case - Updates

සාෆි සම්බන්ධ විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ගැන කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 183 යටතේ විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්⁣තමේන්තුව අද (25) වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.

රහස් පොලිසිය පිටු 38ක වැඩිදුර වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කළේය.

අතුරලියේ රතන හිමියන් සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතාට බලපෑම් කිරීම ගැන විමර්ශනයක් පවත්වන බව දැනුම් දුන් රහස් පොලිසිය ඒ හිමියන්ගේ ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන ලබා දෙන ලෙස රූපවාහිනී නාලිකා දෙකකට අධිකරණයෙන් නියෝග ලබා ගත්තේය.

July 25 - 7.50 PM

අධිකරණයෙන් ඇප ලැබූ වෛද්‍ය සාෆි ශිහබ්දීන් ආරක්ෂිතව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගිය බව ආරංචි මාර්ග කියයි.

සාෆිගේ ඇඳුම් නීතීඥවරයකුට අන්දවා ඔහු වෙනම පිරිසක් සමග එළියට යෑම⁣ට සලස්වා තිබේ.

නීතීඥයකුගේ ඇඳුමක් සාෆිට අන්දවා ෆයිල් මිටියක් අතට දී නීතීඥවරයකු ලෙස වෙස් ගන්වා නීතීඥ ශිරාස් නූර්දීන් සමඟ වාහනයක සාෆි රැගෙන ගොස් තිබේ.

මෙම පියවර ගැනීමට හේතු වී ඇත්තේ සාෆි වෛද්‍යවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වීම නිසා ඔහුගේ ආරක්ෂාවටය.

July 25 - 7.02 PM

කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

අධිකරණය අවට ආරක්ෂාව තර කර තිබේ.

පැය තුනකට අධික කාලයක් මෙම පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම් සිදු විය.

රුපියල් 250 000 / - ක මුදල් ඇපයක් සහ මිලියන 2.5 ක් වටිනා ශරීර ඇප හතරක් මත මෙලෙස වෛද්‍යවරයා මුදා හැරිණි.

2019 මැයි 24 රාත්‍රී 10ට කුරුණෑගල පොලිසියෙන් අත්අඩංගුවට ගත් සාෆිගේ රැඳවුම් නියෝග අත්හිටුවා අධිකරණයට ඉදිරිපත් කළේ ජූලි 11 වැනිදාය.

July 25 - 6.30 PM

මේ වන විට කුරුණෑගල ආරක්ෂාව දැඩි කර තිබේ.ඒ වෛද්‍ය සාෆිගේ නඩු තීන්දුව ලබා දීමට නියමිත පසුබිමකය.කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අවට ද දැඩි ආරක්ෂාවක් මේ වන විට යොදවා තිබේ.

July 25 - 4.30 PM

වෛද්‍ය සාෆි සම්බන්ධ නියෝගය ලබා දීම පස්වරු 5.45 තෙක් කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

පැය කිහිපයක් තිස්සේ සියලු පාර්ශ්ව කරුණු ඉදිරිපත් කළහ.

July 25 - 2.50 PM

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සාෆිට එරෙහිව චෝදනා නැගීමට ප්‍රමානවත් සාක්කි ලැබී නැතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දැන්වීය.

සාෆි සම්බන්ධ විමර්ශනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිටු 38ක වැඩිදුර වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කළේය.

July 25 - 2.40 PM

වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ විය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු දක්වති. 

සාෆි වෙනුවෙන් ශිරාස් නූර්දීන්, ප්‍රේමරත්න තෙන්නකෝන්, ශෆ්රාස් හම්සා, පසන් වීරසිංහ, ⁣මහේෂ් බේරුගොඩ, රනිල සේනාධීර සමඟ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කරුණු දැක්වීමට බලා සිටිති.

අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා ඇතුලු පිරිසක් කරුණු දැක්වීමට බලා සිටිති.

July 25 - 10.00 AM

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල කැඳවන අද (25) දිනයේ කුරුණෑගල නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මෙය මෙහෙයවන ලද්දේ දේශපාලකයකු විසින් බවත්, උද්ඝෝෂකයන් පලාත් පාලන ආයතනයක සේවකයන් යැයි සැකකරන බවත් ආරංචි මාර්ග කියයි.

සාෆි සම්බන්ධ පැමිණිල්ල කුරුණෑගල ම⁣හේස්ත්‍රාත් අධිකරණයේදී අද දහවල් 1ට කැඳවීමට නියමිතය.

කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ අද මෙම පැමිණිල්ල කැඳවන අතර එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ කොමිසම වෙත පැමිණිලි තුනක් ලැබී තිබේ.

මෙම නඩුව විභාග කිරීම සඳහා වෙනත් විනිසුරුවරයෙකු පත් කරන ලෙස එම ඇතැම් පැමිණිලිවලින් ඉල්ලා ඇත. වෛද්‍ය ෂාෆීගේ බිරිඳ, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා හරහා රහස් පොලිසිය අධිකරණ සේවා කොමිසමට එම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.


Share