කුරුණෑගල ඩීඅයිජීගේ දුර ස්ථාන මාරුව ළඟ තැනකට වෙනස් කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 08. 2019 | 9.26pm
කුරුණෑගල ඩීඅයිජීගේ දුර ස්ථාන මාරුව ළඟ තැනකට වෙනස් කරයි

කුරුණෑගල  දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා  සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද(08) යළිත් වරක් තීරණය කළේය.

මේ දෙදෙනා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේද තීරණය කළ අතර සිකුරාදා වන විට ස්ථාන මාරු ලියුම් නිකුත් නොකර සිටීමට තීරණය කර තිබුණි.

 සාෆි වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණවලට මේ දෙදෙනා බාධා කරන බව කියමින් රහස් පොලිසිය පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගෙන ඔවුන් කුරුණෑගලින් ඉවත් කිරීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමට දැනුම් දුන්නේ පසුගිය 27 වනදාය. 

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා මොණරාගල දිසා බාරව ස්ථාන මාරු කර යැවීමට මීට පෙර කොමිසම තීරණය කර තිබුණත් ඔහුට කුරුණෑගලට ළඟම දිසාවක් භාර දීමට අද තීරණය කර ඇත. ඒ අනුව ඔහු පුත්තලම දිසා බාරව පත් කිරීමට තීරණය කළේය.  කුරුණෑගල දිසාවේ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමෙන් පසු එහි වැඩ බැලුවේ ද කිස්තිරි ජයලත් මහතාය.

පුත්තලම දිසාවට නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා පත් කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා (1) පොලිස් කොමිසම ගත් තීන්දුව ද යළි වෙනස් කර සිරිවර්ධන මහතාට වෙනත් දිසාවක් භාර දී තිබේ.

කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා කිලිනොච්චි කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ලෙස ස්ථාන මාරු කිරීමට පසුගිය සතියේ තීරණය කර තිබුණත් ඔහු කන්තලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරි   ලෙස ස්ථාන මාරු කිරීමට පොලිස් කොමිසම අද තීරණය කළේය.


Share