කොරෝනා නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 03. 2020 | 6.20pm
කොරෝනා නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවයි

සවුදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (GACA) විසින් විදේශිකයන් සෞදි රාජ්‍යයට ඇතුළුවීම සම්බන්ධයෙන් පනවා ඇති තහංචි හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය මාර්තු 15 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ ජෙඩා වෙත ගුවන් ගමන් අවලංගු කර තිබේ.

කෙසේ වෙතත් රියාද් සහ දමාම් නගර වෙත ගුවන් ගමන් දිගටම ක්‍රියාත්මක වේ.

වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් මාර්තු 10 සිට අප්‍රේල් 30 දක්වා අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.

බොහෝ ගුවන් සමාගම් චීනයට ගුවන් ගමන් අත්හිටවූවද ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයට අඛණ්ඩව ගුවන් ගමන් පවත්වාගෙන ගියේය.

බදුල්ල රෝහලට ඇතුළු කළ බිළිඳාට කොරෝනා නෑහැ

කොරෝනා වෛරසයේ ඇතැම් රෝග ලක්ෂණ සහිත බවට සැක කිරීම නිසා බදුල්ල මහ රෝහලට ඇතුළු කෙරුණු බිළිඳාට කොරෝනා වෛරසය අසාදිත වී නැතැයි සිදුකළ පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පසුගිය 27 වැනිදා දකුණු කොරියාවේ සිට තම දෙමාපියන් සමග මෙරටට පැමිණ ඇති මාස 7ක් පමණ වයසැති එම බිළිඳා අද රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

රටවල් කිහිපයක සිට එන සිසුන් නිරෝධායනයට

චීනය, දකුණු කොරියාව, ඉතාලිය වැනි කොරෝනා අසාදනය වැඩි රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්,ගුරුවරුන් සහ අධ්‍යාපනික කටයුතු සඳහා ගොස් ආපසු පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝධායන කාල සීමාවකට යටත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

කුවේට් රාජ්‍යය අනිවාර්ය කළ PCR වෛද්‍ය සහතිකය අවලංගුයි

කුවෙට් රාජ්‍යය සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා කොරෝනා අසාධිතයකු නොවන බවට සහතික කිරීමට ඉදිරිපත් කළ යුතුව තිබූ 'PCR' වෛද්‍ය සහතිකය අවශ්‍ය නොවන බවට කුවේට් රජය නිවේදනය කර තිබේ.

මාර්තු 8 වැනිදා සිට කුවේට් බලා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් කිහිපයකට කුවේට් රාජ්‍ය විසින් මෙම නීතිය පනවා තිබිණි.

ඇතැම් රටවල කොරෝනා පරීක්ෂණය  කිරීම සඳහා තාක්ෂණික අපහසුතා තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Cover Photo: අන්තර්ජාලයෙනි

Share