2021 වර්ෂය සඳහා අයවැය සම්මත කරගැනීමත් සමග මේ වසර සඳහා පාර්ලිමේන්තුව රැස්වී අවසන් ය. යළිත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මස දෙවැනි සතියේදී ය.
නව වැනි පාර්ලිමේන්තුවේ සභාවාර පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ වූ අතර, ගෙවුණු මාස 03 තුළ පාර්ලිමේන්තු සැසිවාර සඳහා අඩුවෙන්ම සහභාගි වූ මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න MediaLK අපි සොයා බැලුවෙමු.
අගෝස්තු මාසය
නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පසුගිය අගෝස්තු 20 දා උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර, මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සිදුවූයේ එදින ය. එදින මන්ත්‍රීවරුන් 222 දෙනෙකු පැමිණ ඇති අතර, එදින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සැසිවාරයට සහභාගි වූයේ නැත. ඒ ඔහු බන්ධනාගාරගතව සිටි නිසා ය. එසේම එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ලැබුණු මන්ත්‍රී ධුර වෙනුවෙන් ඒ වනවිට කිසිවකු නම් කර තිබුණේ නැත.
අගෝස්තු මාසය සඳහා දින 04 ක් පාර්ලිමේන්තුව පවත්වා ඇති අතර, අගෝස්තු 21 දා මන්ත්‍රීවරුන් 208 දෙනෙකු පාර්ලිමේන්තු පැමිණ ඇත. මන්ත්‍රීවරුන් 15 දෙනෙකු එදින සහභාගි වී නැත. අගෝස්තු 27 සහ 28 දා මන්ත්‍රීවරුන් 206 දෙනෙකු බැගින් පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගි වී ඇති අතර, මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ නැත. ඒ අනුව අගෝස්තු මාසය තුළ මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ සාමාන්‍යය සියයට 94 කි.
