අධිකරණය හා නීතියපුවත්මානව හිමිකම් ඇමති-නිලධාරීන් අත්තනෝමතිකව වැඩ කරලා – අවුරුදු 49ක සටනකින් පසු යුක්තිය ලැබෙයි By www.medialk.com - November 14, 2025 Facebook Twitter Pinterest WhatsApp (තරිඳු ජයවර්ධන) බස්නැවතුම්පොළක් ඉදිකිරීමට බව කියමින් රජයට පවරාගත් මතුගම ඉඩම් කොටසක් වසර 49ක් තිස්සේ වන්දි ලබාදීමකින් තොරව සහ බස්නැවතුම්පොළ ඉදිකිරීමකින් ද තොරව තබා ගැනීම මගින් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් නීතිය මත නොව දේශපාලන වුවමනාමත කටයුතු කර ඇතැයි තීරණය කළ අභියාචනාධිකරණය එලෙස පවරාගත් ඉඩම් කොටසක් නැවත ඉඩම් හිමියාට බාර දෙන ලෙස නියෝග කළේය. මෙලෙස අත්තනෝමතික ලෙස කටයුතු කිරීම මගින් ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ ඉඩම් ඇමතිවරයා මහජන විශ්වාසය පිළිබඳ (බාරය) මූලධර්මය (Doctrine of Public Trust) කඩ කර ඇතැයි ද, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙන් ආරක්ෂා කර ඇති දේපළ අයිතිය අහිමි කර ඇතැයි ද අභියාචනාධිකරණය අවධාරණය කළේය. ඉහත නියෝගය කරන ලද්දේ මීට වසර 49කට පෙර ඉඩම් පවරා ගැනීමකට අදාලව, එම ඉඩම් පවරා ගැනීමෙන් වසර 30කට පසු එනම් 2007 වසරේ ගොනු කළ රිට් පෙත්සමක තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනි. ‘මෙම පෙත්සමෙහි, සාක්ෂිවලින් පෙනී යන්නේ ඉඩම සඳහා වන්දි ගෙවා නොමැති බවත්, අපේක්ෂිත පොදු අරමුණ බොහෝ කලකට පෙර නතර වී ඇති බවත්, ඉඩම හෝ අවම වශයෙන් එහි සැලකිය යුතු කොටසක් දශක ගණනාවක් තිස්සේ භාවිතයට නොගෙන තිබූ බවත්ය. නැවත නැවතත් ඉල්ලීම් සහ නිර්දේශ තිබියදීත්, වගඋත්තරකරු (ඉඩම් ඇමති) සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා නීත්‍යානුකූල තීරණයක් ගැනීමට කිසිදු පියවරක් නොගත්තේය. එවැනි දිගුකාලීන අක්‍රියතාවයක් ව්‍යවස්ථාපිත රාජකාරිය අසාර්ථක වීමක් සහ සාධාරණත්වයේ මූලධර්මය සහ මහජන විශ්වාසයේ (බාරයේ) මූලධර්මය යටතේ පෙත්සම්කරුවන්ට ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි.‘ යනුවෙන් ද අභියාචනාධිකරණය සඳහන් කළේය. පසුබිම් කතාව මෙම රිට් පෙත්සමේ පෙත්සම්කරුවන් වූයේ චිත්‍රා වීරකෝන් සහ ඩී එම් ඩබ්ලිව් කන්නංගර යන දෙදෙනාය. මේ දෙදෙනාට ඔවුන්ගේ පවුලෙන් ලද ‘ගොඩපරගහවත්ත‘ නමින් ඉඩමක් බණ්ඩාරගම තිබිණි. 1975-76දී පමණ මෙම ඉඩම බස්නැවතුම්පොළක් ඉදිකිරීම සඳහා අත්පත් කර ගැනීමට රජය තීරණය කළ අතර ඒ අනුව 1976 අප්‍රේල් 15 වන දින ඉඩම් අමාත්‍යවරයා ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ යටතේ මෙම ඉඩම බස් නැවතුම්පොළ සඳහා වහාම අත්පත් කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් වෙත නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට අනුව, 1976 ජූලි 27 දින ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉඩම අත්පත් කර ගන්නා ලද අතර, ඒ බව 1978 ජූලි 15 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ කළේය. කෙසේ වෙතත් වන්දි ගෙවීමක් සිදුකළේ නැත. අත්පත් කර ගැනීමේ කටයුතු අතරතුරදී හොරණ දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ ඉඩම කොටස් කිරීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර, පෙත්සම්කරුවන්ට ඉඩමෙන් කොටස් 4020/4400 ක් වෙන් කරමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. ඉන් පසු වන්දි ගෙවීම කඩිනම් කරන ලෙස 1994 අප්‍රේල් 22 දිනැති මෙම නඩුවේ පෙත්සම්කරුවෝ ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලීම් කළහ. ඒ අනුව යම් වන්දි මුදලක් ලබාදීමට තීන්දු වුවද එම මුදල ප්‍රමාණවත් නොවූ හෙයින් පෙත්සම්කරුවෝ ඉඩම් අත්පත් කර ගැනීමේ සමාලෝචන මණ්ඩලට අභියාචනයක් ඉදිරිපත් කළහ. මෙම ඉඩම පවරාගෙන ඇත්තේ බස් නැවතුම්පොළක් ඉදිකිරීමේ පොදු අරමුණකින් වුවද, 1994 වනවිට අදාල බස්නැවතුම්පොළ ඉදි කිරීම මෙම ස්ථානයේ නැතිව වෙනත් ස්ථානයකට ගෙන ගොස් තිබුණු අතර ඉඩම නැවත ඉඩම් හිමියන් දෙදෙනාට පවරා දීම වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කර ඇත්තේ 1996 වසරේ දී ඉඩමේ කොටසක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට ලබාදීමය. ඒ අනුව ප්‍රාදේශීය සභාම එම ඉඩම් කොටසක දෙමහල් සාප්පු සංකීර්ණයක් ඉදිකර තිබේ. මෙම ඉඩම නැවත පවරා දෙන ලෙස සහ වන්දි ප්‍රධානය කරන ලෙස අවස්ථා ගණනාවකදී ඉඩමේ හිමිකරුවන් දෙදෙනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිපි ලියූවද යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. මෙම ප්රශ්නය ගැන සාකච්ඡා කිරීම සඳහා 2004 ජූලි 19 දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමර්ග අමාත්‍යංශයේ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ඉඩමේ කොටසක ප්‍රාදේශීය සභාව මගින් දෙමහල් වෙළඳ සංකීර්ණයක් ඉදි කළ ද එම ඉඩම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිසි පරිදි ප්‍රාදේශීය සභාවට පවරා දී නැති බවයි. මෙම රැස්වීම සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යංශය යොමු කළ ලිපියක 2, 5 සහ 6 ඡේදවල මෙසේ සඳහන් වේ. (ලිපියේ අදාල කොටස් උපුටා ගැනීම අභියාචනාධිකරණ තීන්දුවෙනි) ඉඩමේ කොටසක් වන්දි ලබාදීමකින් තොරව ප්‍රාදේශීය සභාවට පැවරීමට විරෝධය පල කරමින් 2004 අගෝස්තු 16 වැනිදා ඉඩමේ මුල් හිමිකරුවන් ලිපියක් යොමු කළේය. මේ අතරතුර ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ඉඩම් අමාත්‍යංශ ලේකම්ට 2004 ඔක්තෝබර 11 වැනිදා දැනුම්දී ඇත්තේ ඉඩමේ ප්‍රයෝජනයට නොගත් කොටස නැවත පවරාදීමට තමාගේ විරෝධයක් නොමැති බවයි. ප්‍රා ලේකම් දේශපාලන වුවමනාවට වැඩ කරලා ඉඩම නැවත පවරා දෙන ලෙස ඉල්ලද්දී ප්‍රාදේශීය ලේකම් සිදු කර ඇත්තේ මෙම ඉඩම නැවත පැවරීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක විරුද්ධ බැවින් ඉඩම නැවත නොපවරන ලෙස ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ට 2006 වසරේ දෙසැම්බර් 22 දින නිර්දේශ කිරීමය. දිගින් දිගටම ඉඩමේ හිමිකරුවන් දෙදෙනා ඉල්ලීම් කළ ද ඉඩම නැවත පැවරීමක් සිදුවී තිබුණේ නැත. කරුණු මෙසේ වෙද්දී 2007 සැප්තැම්බර් 05 වැනිදා එනම් ඉඩම් පවරා ගැනීමෙන් වසර 30කට පමණ පසු අදාල ඉඩම් කොටස නැවත පවරා නොදී, ඒ වෙනුවට වන්දි ලබාදීමට ප්‍රාදේශීය සභාව තීරණය කළ අතර එම තීරණයට එරෙහිව ඉඩමේ මුල් අයිතිකරුවන් දෙදෙනා 2007 වසරේ දී අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය. එහි පළමු වගඋත්තරකරු ලෙස ඉඩම් අමාත්‍යවරයාත්, දෙවැනි වගඋත්තරකරු ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරයාත්, තුන්වැනි වගඋත්තරකරු ලෙස ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයාත්, හතර වැනි වගඋත්තරකරු ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවත් නම් කර තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණය ඉදිරියේ විභාගයට ගත්තේ 2025 අගෝස්තු 25 වැනිදාය. පෙත්සම් විභාගයෙන් පසු තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙසේ ද සඳහන් කළේය. ‘ඉඩම් අමාත්‍යවරයා වශයෙන්, ඉඩම් අත්පත් කර ගැනීම සහ පවරා ගැනීම සම්බන්ධ කරුණු තීරණය කිරීමේ බලය පැවරී ඇති 1 වන වගඋත්තරකරු, පෙත්සම්කරුවන්ගේ දුක්ගැනවිලි විසඳීමට සුදුසු පියවර ගැනීමට හෝ අවම වශයෙන් 2 වන සහ 3 වන වගඋත්තරකරුවන්ට පෙත්සම්කරුවන්ගේ ගැටළු විසඳීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට බැඳී සිටී. පෙත්සම්කරුවන්ගේ ලිපියට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණයෙන්ම අපොහොසත් වීමෙන් පිළිබිඹු වන්නේ ඔහුගේ වගකීම් විරහිත සහ උදාසීන ආකල්පය වන අතර එය නීතියේ ආරක්ෂාව අපේක්ෂා කරන පුරවැසියන්ට අනවශ්‍ය දුෂ්කරතා ඇති කළේය.‘ එසේම අධිකරණය මෙසේ ද සඳහන් කරයි. ‘කලින් නිරීක්ෂණය කළ පරිදි, 2 වන වගඋත්තරකරු විසින් ලියන ලද “P31” ලෙස සලකුණු කරන ලද ලිපියෙන් පෙන්නුම් කරන්නේ, 3 වන වගඋත්තරකරු විසින් කරන ලද ලිපි සහ නිර්දේශ කිහිපයක් නොසලකා හරිමින්, 2 වන වගඋත්තරකරු දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ ඉල්ලීම් මත පමණක් ක්‍රියා කරමින් සහ අදාළ පුරවැසියාගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් නොසලකා හරිමින් 4 වන වගඋත්තරකරුට ඉඩම භාර දීමට නිර්දේශ කර ඇති බවයි. එවැනි හැසිරීමක් රාජ්‍ය බලධාරීන් මත පනවා ඇති ව්‍යවස්ථාපිත රාජකාරියෙන් පැහැදිලි අපගමනයක් පෙන්නුම් කරයි. එවැනි හැසිරීම් මගින් මහජන විශ්වාසය පළුදු කරන අතර, සාධාරණව, නීත්‍යානුකූලව සහ සද්භාවයෙන් කටයුතු කරන බවට රාජ්‍ය ආයතන කෙරෙහි පුරවැසියන් තබා ඇති විශ්වාසය ඛාදනය කරන බව අධිකරණය නිරීක්ෂණය කරයි.‘ අභියාචනාධිකරණය මෙසේ ද සඳහන් කරයි. ‘පෙත්සම්කරුවන් අදාළ ඉඩමේ මුල් හිමිකරුවන් බවට මතභේදයක් නොමැත. කෙසේ වෙතත්, ඔවුන්ගේ ඉඩම අත්පත් කර ගැනීමෙන් වසර 40 කට පසුවත්, වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වී ඇත. වගඋත්තරකරුවන්ගේ එවැනි උදාසීන, අකාර්යක්ෂම සහ වගකීම් විරහිත හැසිරීම් පෙත්සම්කරුවන්ට සැලකිය යුතු දුෂ්කරතා සහ අසාධාරණයක් ඇති කර තිබේ. පෙත්සම්කරුවන්ගේ ඉඩම අත්පත් කර ගැනීම සඳහා වන්දි ගෙවීමට වගඋත්තරකරුවන් දිගු කලක් අපොහොසත් වීම දේපළ අත්තනෝමතික ලෙස අහිමි කිරීමකට සමාන වේ. රාජ්‍ය නිලධාරීන් වන වගඋත්තරකරුවන් අසාධාරණ ප්‍රමාදයකින් තොරව වන්දි ගෙවීම සහතික කිරීම සඳහා ව්‍යවස්ථාපිත සහ සදාචාරාත්මක යුතුකමක් යටතේ සිටියහ. දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් අඛණ්ඩව අක්‍රියව සිටීම, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ දක්වා ඇති මූලධර්මවලට පටහැනිව, පෙත්සම්කරුවන්ගේ දේපළ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.‘ මෙම නඩුව පවරන අවස්ථාව වන විට එනම් 2007 වසර වන විටත් අදාල ඉඩම් කොටස ප්‍රාදේශීය සභාවට නීත්‍යනුකූල පැවරීමක් සිදු කර නැති බව නිරීක්ෂණය කරන අධිකරණය එලෙස පැවරීමකින් තොරව කරන ලද ඉදිකිරීම් නීතිවිරෝධී ඉදිකිරීමක් ලෙස සැලකිය හැකි බව ද සඳහන් කරයි. අභියාචනාධිකරණය මෙසේ ද සඳහන් කළේය. ‘මෙම පෙත්සමෙහි, සාක්ෂිවලින් පෙනී යන්නේ වන්දි ගෙවා නොමැති බවත්, අපේක්ෂිත පොදු අරමුණ බොහෝ කලකට පෙර නතර වී ඇති බවත්, ඉඩම හෝ අවම වශයෙන් සැලකිය යුතු කොටසක් දශක ගණනාවක් තිස්සේ භාවිතයට නොගෙන තිබූ බවත්ය. නැවත නැවතත් ඉල්ලීම් සහ නිර්දේශ ඉදිරිපත් කළද, 1 වන වගඋත්තරකරු සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා නීත්‍යානුකූල තීරණයක් ගැනීමට කිසිදු පියවරක් ගෙන නැත. එවැනි දීර්ඝ කාලීන අක්‍රියතාවයක් ව්‍යවස්ථාපිත රාජකාරිය අසාර්ථක වීමක් සහ සාධාරණත්වය පිළිබඳ මූලධර්මය සහ මහජන විශ්වාසය /භාර මූලධර්මය යටතේ පෙත්සම්කරුවන්ට ඇති බැඳීම උල්ලංඝනය කිරීමකි. ඉහත සඳහන් හේතු සලකා බැලීමේදී, 1 වන වගඋත්තරකරු ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 39 A වගන්තිය යටතේ ඔහු මත පනවා ඇති මහජන යුතුකම සහ මහජන විශ්වාසය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව මගේ අදහසයි.‘ අභියාචනාධිකරණයේ පිටු 13කින් යුත් තීන්දුව පහත දැක්වේ. writ- 0586-2007 f. (1).pdf (1) 41