(තරිඳු ජයවර්ධන)
කොරෝනා ආසාදනය පාලනය කිරීම සඳහා කඩිනමින් ආසාදිතයන් හඳුනා ගත යුතු බවත්, ඒ සඳහා කළ යුත්තේ දිගින් දිගටම පරීක්ෂණ සිදු කිරීම බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාර්තු මාසයේ සිට අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය.
කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද වැඩි වශයෙන් භාවිත කළේ පීසීආර් පරීක්ෂණයයි. ඊට අමතරව ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව නැතහොත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සම්බන්ධයෙන් ද කතිකාව වෙනත් රටවල ඇතිවෙද්දී ලංකාවේ ද එම පරීක්ෂණය සිදුකිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක්ම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය. ඒ දිනවල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සම්බන්ධයෙන් කතාබහක් නොතිබුණද, ලංකාවේ පෞද්ගලික සමාගමක් විසින් එම පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් ලංකාවට ගෙනඒමත් සමග රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් යළිත් කරළියට ආවේය.
පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්
කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට බහුල වශයෙන් භාවිත කරන Polymerase chain reaction (PCR) නම් පරීක්ෂණයේදී සිදු කරනු ලබන්නේ පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයෙන් ලබාගන්නා සෙම පටල පරීක්ෂණයට ලක් කිරීමයි. සාමාන්‍යයෙන් කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීමේදී වැඩි සංවේදීතාවක් ඇති මෙම පරීක්ෂණයෙන් ආසාදනයවූවන් සියයට 70ක් පමණ පහසුවෙන් තහවුරු කර ගත හැකි බව වෛද්‍යවරුන්ගේ අදහසයි. ඇතැම් අවස්ථාවල කොරෝනා ආසාදනයවූවන්ගේ පීසීආර් ප්‍රතිඵලය නෙගටිව් ලෙස වාර්තා වන්නේ ලබාගත් සෙම සාම්පලයට ප්‍රමාණවත් ලෙස වෛරස් ඇතුළත් වී නොමැති නිසා බව වෛද්‍යවරු කියති. පීසීආර් පරීක්ෂණය සඳහා සාපේක්ෂව දළ වශයෙන් මිනිත්තු 15 සිට දින දෙකක පමණ කාලයක් යයි.
රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් නැතහොත් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණය යනු කඩිනමින්, එනම් මිනිත්තු 15ක පමණ කාලයකදී කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමට කරනු ලබන පරීක්ෂණයකි. කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පීසීආර් පරීක්ෂණයේ ඇති සංවේදීතාව, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ නැත. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල නිෂ්පාදකයකු වන Abbott Rapid Diagnostics ප්‍රකාශ කරන්නේ කොරෝනා ආසාදනය වී දින එකේ සිට හත දක්වා කාලය ඇතුළත මෙම පරීක්ෂණයේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවයි. එනම් ආසාදනයෙන් දින හතකට පසු කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ සාර්ථකත්වය ඉතාමත් අඩු වේ.
එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් සෘණාත්මක (නෙගටිව්) ප්‍රතිඵලයක් ආ පමණින් ඔහුට කොවිඩ් ආසාදනය වී නැතැයි ප්‍රකාශ කළ නොහැකි බවයි. කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් නෙගටිව් ප්‍රතිඵලයක් පැමිණියත්, ඔහුට පීසීආර් පරීක්ෂණයක් ද සිදුකිරීම සිදුසු බව එම ආයතනයේ උපදෙස් පත්‍රිකාවල සඳහන් වෙයි. නමුත් මෙයින් ධනාත්මක (පොසිටිව්) ප්‍රතිඵලයක් පැමිණියහොත් ඔහු කොවිඩ් ආසාදිතයකු සේ සලකා ඉදිරි වැඩකටයුතු සිදු කළ හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.
