පුවත් පුද්ගලික සේවකයින් විශ්‍රාම යන වයස වැඩි කිරීම ගැන තවම එකඟතාවක් නෑ By MediaLK.com - December 25, 2020 Facebook Twitter Pinterest WhatsApp (හසරිඳු රාජපක්ෂ) පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේදී ප්‍රායෝගික ගැටළු ඇතිවන බවත් එසේ කරන්නේනම් සාමුහික ගිවිසුම්වල ඇතුළත් කර ඇති කරුණු සංශෝධනය කළ යුතු බවත් හාම්පුතුන්ගේ සම්මේලනය විසින් කම්කරු අමාත්‍යාංශයේ කම්කරු උපදේශක සභාවට දැනුම් දෙනු ලැබ ඇත. 2021 අයවැය යෝජනා අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීමට යෝජනා කළද මේ වනතුරු ඒ සඳහා වන පනත් සංශෝධනය කර නොමැත. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කම්කරු උපදේශක සභාව කම්කරු අමාත්‍යාංශයේදී රැස්ව ඇති අතර එහිදී අමාත්‍යාංශ නිලධාරීන්, කම්කරු නායකයින් සහ හාම්පුතුන්ගේ සම්මේලනය අවසන් එකඟතාවකයට පැමිණ නොමැත. මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හාම්පුතුන්ගේ සම්මේලනය සඳහන් කර ඇත්තේ ඇතැම් කාර්මික ක්ෂේත්රයන්හි වයස අවුරුදු 55 න් පසු සේවකයින් රඳවා තබාගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්න හා ගැටළු මතුවන බවයි. එසේම වයස අවුරුදු 55 ක් ඉක්මවු සේවකයින්ගෙන් ලබාගත හැකි නිෂ්පාදන සහ සේවා ඵලදායිතාවය පවතින්නේ අඩු අගයක බවද එම සේවකයින් වයස 60 දක්වා සේවයේ රඳවාගැනීම තුළ සේව්‍ය පාර්ශවයන්ට අර්බුද රැසක් පැන නැගිය හැකි බවද එම සම්මේලනය ප්‍රකාශ කර තිබේ. මේ හේතුවෙන් ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා දීර්ඝ කරන්නේනම් සාමුහික ගිවිසුම්වල ඇති කරුණු සහ පනත් සංශෝධනය කළ යුතු බව ඔවුන් කම්කරු උපදේශන සභාවට සඳහන් කර ඇත. මේ සම්බන්ධයේ කම්කරු නායකයින් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණෙන ලෙස මෙහිදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලීමක් කර ඇත. කම්කරු නායකයින්ගේ ඉල්ලීම මත විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කළ අතර යම් සේවකයෙකුට අවුරුදු 55 දී සේවය අවසන් කර අර්ථසාධක අරමුදලේ තැන්පතු ලබාගැනීමට අවශ්‍යනම් ඒ සඳහා කටයුතු කිරීමට සේවකයාට අයිතියක් තිබිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. ඒ අනුව සේවකයාගේ කැමැත්ත මත වයස 55න් හෝ 60න් විශ්‍රාම යාමට හැකි වන ආකාරයෙන් නීති වෙනස් විය යුතු බවද හෙතෙම කම්කරු උපදේශක සභාවට දැනුම් දී ඇත. පනත් සංශෝධනයට අදාල කරුණු සාකච්ඡා කිරීම සඳහා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත්කර ඇති අතර කම්කරු නායකයින් සහ හාම්පුතුන්ගේ සම්මේලනය සමග සාකච්ඡා කර මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස මේ වනවිට අවුරුදු 55 ලෙස පිළිගෙන ඇති අතර විශ්‍රාම යෑමේදී සේවක අර්ථසාධක අරමුලේ තමාට හිමි මුදල් ප්‍රමාණය ලබාගැනීමට එම සේවකයින්ට අවස්ථාව හිමිවේ. විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 බවට පත්කිරීම තුළ සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමට තවත් වසර 05 ක කාලයක් ගතකිරීමට සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විරෝධය දක්වන ලදී. ඒ අනුව සේවකයින්ගේ කැමැත්ත මත වයස අවුරුදු 55න් හෝ 60න් විශ්‍රාම යෑමට හැකිවන පරිදි නීති සංශෝධනය කරන බව කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේය. 200