(ආචිත ඩී නානායක්කාර)
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා සීමා සහිත ගුවන්තොටුපල හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2010-2015 අතර කාලයේ සිදුවී ඇතැයි සැළකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
හිටපු විගණකාධිපති එච් එම් ගාමිණී විජේසිංහ මහතාගේ සභාතීත්වයෙන් මෙම කමිටුව පිහිටුවීමට නියමිත බව අද (2) පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම සමාගමේ පසුගිය කාල පරිච්ඡේදයේ සිදුවී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යනයක් හා ඇගයීමක් සිදු කළ යුතු බවට රජය තීරණය කර ඇත්තේ සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති නිසා බව කැබිනට් තීරණයේ සඳහන්වේ.
මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබෙවන බවත්, ඒ සඳහා පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදු කළ යුතු බවත් රජය අවධාරණය කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවීයැයි කියන දූෂණ ගැන සෙවීමට 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව සමයේ ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් ද විශේෂ කමිටුවක් පත් කර වාර්තා ලබා ගැනීම සිදුවිය.
මෙම ආයතනයේ සිදුවීයැයි කියන දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයකු වන නිශාන්ත වික්‍රමසූරිය මහතා මීට දින කිහිපයකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප ගැන ද විවාදාත්මක තත්ත්වයක් ඇති වූ අතර ඒ ගැන MediaLK සංස්කාරක විසින් 2018දී ලියන ලද ප්‍රවෘත්තියක් පහත දැක්වේ.
‘ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ වැටුප ලක්ෂ 32ක් – තොරතුරු කොමිසමේ දී හෙළිවේ
තරිඳු ජයවර්ධන
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් ලක්ෂ 32ක් බවත්, ඊට අමතරව වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනාද ඔහුට හිමි බවත්, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයකදී අනාවරණය විය.
මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතා A320 ජෙට් කන්වර්ෂන් ගුවන් යානයේ පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ඇමෙරිකානු ඩොලර් 23,568ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 37ක් වැය වී ඇතැයි ද එහිදී අනාවරණය විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ, මානව සම්පත් කළමනාකරණ ප්‍රධානීගේ සහ ප්‍රධාන වෙළෙඳ නිලධාරීගේ වැටුප් හා වෙනත් දීමනා, ශ්‍රී ලංකා ගුවන් සේවය ආශ්‍රිත වෙනත් තොරතුරුද ඉල්ලමින් ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ගොනු කළ අභියාචනයක් විභාග කිරීමේදී මෙම තොරතුරු අනාවරණය විය.
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල, එහි සාමාජිකයන් වන විනිසුරු රෝහිනී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතීඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්. ජී. පුංචිහේවා සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්රටන් යන මහත්ම මහත්මීන් ඉදිරියේ මෙම විභාගය පැවැත්විණි.
අභියාචනය යොමු කළ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඇතුළු නීතීඥවරු පස් දෙනෙක් පෙනී සිටියහ. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් නීතීඥ ආචාර්ය ශිවාජි ෆීලික්ස් පෙනී සිටියේය.
අභියාචනය යොමු කළ ගුවන් නියමුවන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති කපිතාන් රුවන් විතාවගේ, කපිතාන් මලික් ලතීෆ් සහ එස්. එම්. කංකානම්ගේ යන මහත්ම මහත්මීහු පෙනී කොමිසමට පැමිණ සිටි අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නීති අංශයේ සමූහ ප්‍රධානී එම්. ඒ. රණසිංහ සහ සමූහ නෛතික කටයුතු කළමනාකාරිනී ශියාරා සෙල්වමුත්තු මහත්මිය පැමිණ සිටියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කරන ප්‍රධාන විධායක නිලධාරී, මානව සම්පත් කළමනාකරණ ප්‍රධානීගේ සහ ප්‍රධාන වෙළෙඳ නිලධාරීගේ වැටුප් සහ දීමනා, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ පකිස්තාන අන්තර්ජාතික ගුවන් සේවය අතර සිදුවූ ලිපි හුවමාරුවට අදාල ලියවිලි, එම සමාගම් දෙක අතර එළඹි ගිවිසුම සහ ඊට අදාල ලියවිලි, විධායක පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට හෝ වෙනත් පාර්ශ්වයන්ට දැරීමට සිදුවූ පිරිවැයට අදාළ තොරතුරුද ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ඉල්ලා තිබිණි.
මෙම තොරතුරු ඉල්ලමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තොරතුරු නිලධාරියාට තොරතුරු ඉල්ලීමක් යොමු කිරීමෙන් පසු ඔහු ඉල්ලීමෙන් තොරතුරු කිහිපයක් පමණක් ලබා දුන් බවත්, ඉන්පසු නම් කළ නිලධාරීට අභියාචනා කිරීමේදීද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් කියමින් ගුවන් නියමුවන්ගේ සංසදය තොරතුරු කොමිෂන් සභාවට අභියාචනය ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය කලකට ඉහත ලෝකයේ හොඳම ගුවන් යානා සේවාවන් 10න් එකක් ලෙස නම් දරා සිටියත්, වර්තමානයේ සිදුවන කළමනාකරණ අක්‍රමිකතා සහ දූෂණය නිසා එය ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති බවත්, සමාගම වාර්ෂිකවම සැලකිය යුතු අලාභ තත්ත්වයකට ගොදුරු වී ඇති බවත්, පකිස්තාන ගිවිසුමේ එරට අත්සන්කරු අපරාධ විමර්ශනයකට ලක්ව ඇති නිසා එම ගිවිසුම අවලංගු කර ඇති බවත්, අභියාචකයන්ගේ පාර්ශ්වයේ නීතීඥවරු පෙන්වා දුන්හ. ඉල්ලා ඇති තොරතුරු මහජන සුභසිද්ධියට අදාළ කාරණයක් සේ සලකා නිකුත් කරන ලෙසද නීතීඥවරු ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මූලික විරෝධයක් මතු කරමින් ප්‍රකාශ කර සිටියේ එම ආයතනය තොරතුරු පනතට යටත් නොවන බවයි. කෙසේ වෙතත්, තොරතුරු කොමිෂන් සභාව එම විරෝධය ඉවත දමමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ද තොරතුරු පනතේ 43 වගන්තිය යටතට ගැනෙන පොදු අධිකාරියක් ලෙස සලකන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව පැවැති දීර්ඝ විභාගයකින් පසු, අදාළ තොරතුරු මහජන සුභ සිද්ධියට හේතුවන නිසා මුදා හැරිය යුතු බව තොරතුරු කොමිසම නියෝග කළේය.
එලෙස නිකුත් කළ තොරතුරුවලින් අනාවරණය වූයේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් 3,270,000ක් බවයි. එම වැටුපට අමතරව ආයතනයෙන් වාහනයක්, රියදුරෙකු, සම්පූර්ණ තෙල් වියදම ඇතුළු දීමනා රැසක් ලැබෙන බවද අනාවරණය විය.
මානව සම්පත් කළමනාකාර ප්‍රධානීගේ මූලික වැටුප රුපියල් 998,004ක් බවත්, දුරකතන දීමනා ලෙස 3,500ක් සහ විනෝදාත්මක දීමනා ලෙස රුපියල් 12,000ක් ලැබෙන බවත්, මසකට තෙල් ලීටර් 340ක් ලැබෙන බවත් තොරතුරු කොමිසමේදී අනාවරණය විය.
ප්‍රධාන වෙළඳ නිලධාරීගේ මූලික වැටුප ලෙස බ්‍රිතාන්‍ය පවුම් 9,500ක් හෙවත් රුපියල් ලක්ෂ 19ක් සඳහන් වී තිබුණි. ඊට අමතරව උපරිම 250,000ක් යටතේ නවාතැන් දීමනා, වාහනයක්, රියදුරෙක්, සම්පූර්ණ ඉන්ධන දීමනා ඇතුළු වෙනත් පහසුකම්ද හිමිවේ.
පකිස්තාන අන්තර්ජාතික ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර ඇති කරගත් ගිවිසුම්, ගිවිසුම් අවලංගු කිරීමෙන් ඇතිවූ පාඩුව ඇතුළු විස්තරද ශ්‍රී ලංකන් ගුවන් සේවය තොරතුරු කොමිසමට ලබා දී තිබේ. එසේම, සංවේදී තවත් තොරතුරු කිහිපයක් සංස්කරණයකින් පසු කොමිසමේ අනුමැතියට යොමු කර තිබේ.’

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here