(තරිඳු ජයවර්ධන)
පොලිස් පරීක්ෂක අනුර ලලිත් 19 වසරක් තිස්සේ නොනිමි අරගලයක නිරත වන්නේ ඝාතනයට ලක්වූ තම සහෝදරයාට යුක්තිය ඉෂ්ඨ කර දීම සඳහාය. වසර දෙක තුනකට පෙර විශ්‍රාම යන තෙක්ම ඔහුට තම සහෝදරයාට යුක්තිය ඉෂ්ඨ වනු දැකිය නොහැකි විය. ඔහු පසුගිය 25 වැනිදා යුක්තිය සොයන ගමගේ 20 වැනි වසරට පියමනින්නේ කවදා හෝ යුක්තිය ගැබෙනු ඇතැයි අපේක්ෂාව ඇතිවය.
ඔහුගේ සහෝදරයා කොළඹ එවකට වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් කළ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් ය. මත්ද්‍රව මාෆියාවට සහ ඒ හා ඈඳුණු පොලිස් මාෆියාවට විරුද්ධව සටහන් කිරීම හේතුවෙන් වරෙක ඔහු අත්අඩංගුවට පත්විය. අවසානයේ ඔහු ඝාතනය විය. ඔහු ඝාතනය වූයේ තනිවම නොවේ. ඔහු ඝාතනය වූයේ බිරිඳද සමතය. ‍
ඩග්ලස් නිමල්
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1987 වසරේ මැයි 15 වැනි දා පොලිස් සේවයට එක් වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලැබූ අතර අම්පාර, මඩකලපුව ප්‍රදේශවල වසර නවයකට ආසන්න කාලයක් සේවය කළේය. 1993 සැප්තැම්බර පළමු වැනි දා ඩග්ලස් නිමල් මහතා පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලැබීය. පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරමින් සිටි ඔහු 1996 දෙසැම්බර් පළමු වැනි දා යළිත් පොලිස් සේවයට එක් විය.
පොලිස් සේවයට පැමිණි ඔහු නීත්‍යනුකූලව කොන්ද පණ ඇතිව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවස්ථා කිහිපයකදීම දේශපාලන පළිගැනීම්වලට මෙන්ම උසස් නිලධාරීන්ගේ පළිගැනීම්වලට ලක්විය. 2001 මැයි 24 වැනි දා බොරුල්ල පොලිසියට පැමිණ එහි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටිය දී 2002 මැයි 21 වැනි දා පැමිණිල්ලක් විභාග කළේය. ඒ අනුව එවකට බස්නාහිර පළාත් සභා ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට ගත්තේය. ඩග්ලස් නිමල්ට පැය කිහිපයක් යන්නට පෙර ස්ථාන මාරුවක් ලබා දෙන බව ඔහු තර්ජනය කළේය. සීඅයිබී 2 පොතෙහි 137 වැනි පිටුවේ 283 වැනි ඡේදයෙන් පොලිස් පරීක්ෂකවරයා එය සටහන් කළේය. දේශපාලන හෙංචයියා කියූ ලෙසම පැය කිහිපයක් යන්නට මත්තෙන් ස්ථාන මාරුවක් ලැබිණි. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමා ස්ථාන මාරු කිරීමට එරෙහිව පොලිස් පරීක්ෂක නිමල් 319/2002 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය. නීති විරෝධී ස්ථාන මාරුව ඔහු අහෝසි කර ගත්තේ එලෙසය.
2003 පෙබරවාරි මස 07 වැනි දා නීති විරෝධීව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක නිමල් සමත් විය. උසස් පොලිස් නිලධාරියකු ඇමතුමක් දී එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හරින ලෙස නියෝග කළේය. ඔහු එම නීති විරෝධී නියෝගය ගැන පොලිස් පොතේ සහටන් යෙදීය. 2003 මාර්තු 31 වැනිදා බොරුල්ල පොලිසියේ නිලධාරීහු දෙදෙනෙක් වාහන සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ. සුපුරුදු පරිදි උසස් නිලධාරියකුගෙන් ඇමතුමක් ලැබුණේ සැකකරුවන් නිදහස් කරන ලෙසයි. සැකකරුවන් නිදහස් නොකළ පොලිස් පරීක්ෂක නිමල් ඒ ගැන සටහන් යෙදීය. මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් සිටියේ දැඩි වෛරයකිනි. 2003 අප්‍රේල් හතර වැනි දා පොලිස් පරීක්ෂකවරයාට යළිත් ස්ථානමාරුවක් ලැබිණි. මෙවර මාරුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙතය. 242/03 අංකයෙන් නිමල් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථාන මාරුව අහෝසි විය.
පොලිසිය සැකකරුවොත් එක්ක පාටි
මෙම පොලිස් පරීක්ෂකවරයා බොරැල්ල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරමින් සිටිය දී අපරාධ කිහිපයකට සම්බන්ධ පාතාල සාමාජිකයකු ගණේමුල්ල ප්‍රදේශයේ සිටිනා බවට තොරතුරක් ලැබිණි. ඒ අනුව කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ බොරැල්ල ස්ථානාධිපතිගේ අවසර ඇතිව 2004 ඔක්තෝබර 22 වැනි දා තවත් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු සමඟ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් වැටලීම සඳහා පිටත්ව ගියේය. වැටලීම සාර්ථක විය. එහෙත් පුදුමයට කරුණු වූයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට සිටි උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් කිහිප දෙනෙකු මත්පැන් සාදයක් පවත්වමින් සිටීමය.
ඇතැමෙන් බීමතින් ගිනි අවි සමඟ නිදාගෙන සිටියහ. පොලිස් පරීක්ෂක ඇතුලු පිරිස දුටු විට එහි සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා දුරකතන ඇමතුමක් ගෙන ඩග්ලස් නිමල් මහතාට දුරකතනය දිගු කළේය. ඔහු ඇමැතුම අරගෙන තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ සරත් ලූගොඩ වෙතය.‍
‘අපේ කට්ටිය මෙයාව (හෙරොයින් සැකකරු) අත්අඩංගුවට අරගෙන ඉන්නේ. ඔයාලා යන්න.’ ලූගොඩගෙන් උපදෙස් ලැබිණි. ඩග්ලස් නිමල් ඇතුලු බොරැල්ල පොලිසියේ පිරිස යළි හිස් අතින් පොලිස් ස්ථානයට ගොස් එම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ප්‍රකාශ කළ බව සුලු අපරාධ තොරතුරු පොතේ (එම්.ඕ.අයි.බී) 133 පිටුවේ ඡේද 287 යටතේ සටහන් තැබීය.
ඊට පසු දින අදාළ සැකකරු තමන්ටද අවශ්‍ය බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ දෙන ලෙස බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට පණිවිඩයක් යැවීය. ප්‍රතිචාරය වුණේ එවැනි සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැති බවයි. ඒ අනුව බොරැල්ල ස්ථානාධිපතිවරයා ඒ ගැන ඉහළට පැමිණිලි කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් විමර්ශනයක් ආරම්භ විය. ඊට සහභාගී වූ ඩග්ලස් නිමල් මහතා සියලු සත්‍ය තොරතුරු හෙළිදරුව් කළ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ඇතුලු පිරිසට එරෙහි විමර්ශනයේ ප්‍රධාන සාක්කිකාරයකු වූයේ ඩග්ලස් නිමල් මහතාය.
2005 ජනවාරි 12 වැනි දා සිට 2005 අප්‍රේල් අට වැනි දා තෙක් ඔහු පොලිස් ස්ථාන හතරකට මාරු කරනු ලැබීය. අවසානයේ දෙමටගොඩ පොලිස් ස්ථානයට ඔහු ස්ථාන මාරු කරන විට එම පොලිස් ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨතමයා ඩග්ලස් නිමල් මහතා වුවත් ඔහුට පැවරුණේ සාමාන්‍ය රාජකාරිය. 2005 අගෝස්තු සිට 2005 දෙසැම්බර් දක්වා කාලයේ කොළඹ පොලිස් ස්ථාන 19ක නිලධාරීන් 3000කට ආසන්න පිරිසක් අතුරෙන් වැඩියෙන්ම හෙරොයින් වැටලීම් ප්‍රමාණයක් කර තිබුණේ ඩග්ලස් නිමල් විසිනි.
ඩීඅයිජී පූජිත්
එවකට කොළඹ දිසාව භාරව කටයුතු කළේ  නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාය. ඔහුගේ කාර්යාලයේ ග්‍රාමාරක්ෂකයකු ලෙස සේවය කළ පුද්ගලයකුගේ බිරිඳගේ මව බොරැල්ල මැගසින් පාරේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට 2005 අගෝස්තු 19 වැනි දා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්  කටයුතු කළේය.
එම ග්‍රාමාරක්ෂකයා උසස් පොලිස් නිලධාරියාට කෑම බීමෙන් සප්පායම් කර ඔහුගේ හිත දිනා ගැනීමට ග්‍රාමාරක්ෂකයා කටයුතු කළ බව පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් ලියූ ලිපියක සඳහන් වේ. කෙසේ වෙතත් එම වැටලීමෙන් පසු ඩග්ලස් නිමල් ගැන විමර්ශනයක් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබේ.
එසේ තිබිය දී ඩග්ලස් නිමල්  තවත් වැටලීමක් කළේය. ඔහු අත්ඩඅංගුවට ගත්තේ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියකුගේ මිතුරකුගේ මවකි. ඒ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවටය. ඇය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානාධිපතිගේ නියෝග පරිදි අදාල සටහන්ද තැබීය. ඉන් අනතරුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා දුරකතන ඇමතුමක් ලබා දෙමින් හෙරොයින් ජාවාරම්කාරිය මුදා හරින ලෙස බලපෑම් කළේය. අවසානයේ එම බලපෑම් හමුවේ සැකකාරිය මුදා හැරීමට පොලිස් පරීක්ෂකට සිදු විය.පොලිස් පරීක්ෂක එසේ ඇය මුදා හැරියේ නිකම්ම නොවේ. ප්‍රදේශය බාරව සිටි උසස් පොලිස් නිලධාරියා එසේ සැකකාරිය මුදා හරින ලෙස කළ නියෝගයක් අනුව සැකකාරිය මුදා හරින බවට තොරතුරු පොතේ (ආර්අයිබී) සහටනක් තබමිනි.
නිමල්ගේ සැකකරුවෝ අතුරුදන්
මේ අතර මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් ගැන ඉව වැටුණෙන් පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් මහතා දින කිහිපයක් තිස්සේ ඒ ගැන විපරමින් සිටියේය. ඔහුගේ විමර්ශනය සාර්ථක විය. හෙරොයින් මත්කුඩු සමඟ සැකකාරියන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේ ත්‍රීරෝද රියෙන් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදීය.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුව බම්බලපිටියේ ආරක්ෂිත නිවසක් වැටලීමට පොලිස් පරීක්ෂක කටයුතු කළේය. එහි සිටි තරුණයෝ දෙදෙනෙක් අත්අඩංගුවට පත් වූහ. එම තරුණයන් පොලිස් ලොක්කන් සමඟ සම්බන්ධයක් ඇති බව ද කියැවිණි. පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් කෙසේ හෝ එම සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගත්තේය. ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න කියා තිබිය දී එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. දුරකතන ඇමතුම දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේ තවත් පොලිස් ප්‍රධානියකු හමුවට මෙම සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය හෙයින් ඔවුන් රැගෙන එන ලෙසය.
එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය අනුව ඩග්ලස් නිමල් ඇතුලු පොලිස් නිලධාරීහු අදාළ සැකකාරුවන් දෙදෙනා රැගෙන පොලිස් මූලස්ථානයට ගියහ. පොලිස් ප්‍රධානියා කීවේ ඒ දෙදෙනා පෑලියගොඩ අපරාධ අංශ භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරයකුට බාර දෙන ලෙසයි. ඒ අනුව ඔවුන් දෙදෙනා අදාළ අංශයට බාර දී ඒ ගැන පොලිස් පොත්වලට සටහන් තැබීය. ගත වූයේ දින කිහිපයකි. තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීමෙන් වෙනත් අංශයකට බාර දුන් සැකකරුවන් දෙදෙනාගේ සිරුරු හලාවත ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ඩග්ලස් නිමල් මහතා දැන ගත්තේය.
කුඩු මාෆියාව සහ පොලිස් මාෆියාව
පොලිස් පරීක්ෂක ඩග්ලස් දිගින් දිගටම වැටලීම් කළේය. කුඩු සමඟ ඇති පොලිස් මාෆියාවට මෙය එතරම් දිරෙව්වේ නැත. හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගනුලැබූහ. ‘කුඩු ග්‍රෑම් 500ට කුඩු කිලෝ එකක්ම වමාරන්න වෙයි එයාට.’පෙර කී උසස් පොලිස් නිලධාරියාගේ පෞද්ගලික සහකාර ප්‍රසිද්ධියේ කියා තිබිණි.
ඩග්ලස් නිමල්ගේ වැටලීම් සමඟ කුඩු ගැන ලොකු කතාබහක් සජයේ ඇති වී තිබිණි. ඒ අනුව එක්තරා ගුවන් විදුලි නාලිකාවක් කුඩු ගැන වැඩසටහනක් කළේය. එම වැඩසටහනට පොලිසියේ නිලධාරීන්ගෙන් මෙන්ම ඇතැම් මාධ්‍යවේදීන්ගේ ද ප්‍රකාශ ලබාගෙන තිබිණි. පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් මහතාගේ කෙටි හඬ පටයක් ඊට ලබා ගෙන තිබුණු අතර ඔහුගේ අනන්‍යතාව නැතිව එම හඬ පටය වැඩසටහනේ විකාශය කළේය. පොලිස් පරීක්ෂකවරයා එමගින් කීවේ පොලිස් මාෆියාව තිබෙනතුරු කුඩු මාෆියාව නතර කළ නොහැකි බවයි. ඔහු එලෙස කියන්නට ඇත්තේ තමා මුහුණදුන් අත්දැකීම් සමඟ විය යුතුය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය කළේ ඩග්ලස් නිමල් බව ඔහුගේ මිතුරකු පෙර කී උසස් පොලිස් නිලධාරීන්ගේ කනේ තබා තිබිණි.ඩග්ලස් නිමල්ට කොටු කිරීමේ හෙමෙයුම දියත් වූයේ ඒ අනුවය.
සුල්පිකා අත්අඩංගුවට
2005 වසරේ දෙසැම්බර් 16 වැනි දා තීරණාත්මක දිනයක් විය. බම්බලපිටිය පොලිසියට ලැබුණැයි කියන තොරතුරක් අනුව බොරැල්ල පොලිස් වසමේදී සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලබන්නේ බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසිනි. අජිත් පුෂ්පකුමාර, දීපාල් වසන්ත කුමාර සහ සාමස් සුලිපිකා එම තිදෙනාය.
බම්බලපිටිය පොලිසියේ වීඅයිබී තොරතුරු සටහන් පොතේ 2005 දෙසැම්බර 18 වැනි දා උදේ 7.21ට 175 වැනි පිටුවේ 211 ඡේදය යටතේ අලවා ඇති සටහන් අනුව පොලිස් පරීක්ෂක විජයවර්ධන මහතා මෙම හෙරොයින් වැටලීමට ගොස් සාමස් දුල්පිකා අත්අඩංගුවට ගෙන එම ස්ථානයේ සිටියදීම ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. 36 හැවිරිදි ඇය තමා හෙරොයින් මිලදී ගන්නා කිහිප දෙනකුගේ නම් සඳහන් කර තිබේ. ඇගේ ප්‍රකාශයේ කිසිම තැනක පොලිසිය සම්බන්ධ වචනයක්වත් කියා නැත. ඉන් පසු ඇය සහ සෙසු සැකකරුවන් පොලිස් ස්ථානයට ගෙන ආ පසු පොලිස් කොස්තාපල් 28263 සාලිය ඇගෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. එහිදීද ඇය කිසිම පොලිස් නිලධාරියකුට එරෙහිව වචනයක් හෝ කියා නැත.පොලිසියේ නිලධාරීන්ට විරුද්ධව කිසිවක් කීමට නැති බව ඇය කියා තිබිණි. සෙසු සැකකරුවන් ද පොලිසියට එරෙහිව ප්‍රකාශ ලබා දී නැත.
වී.අයි.බී තොරතුරු සටහන් පොත් 2005 දෙසැම්බර් 17 වැනි දා පස්වරු 6.05ට 163 වැනි පිටුවේ 196 ඡේදය යටතේ පොලිස් පරීක්ෂක විජයවර්ධන සටහන් යොදා ඇත්තේ සැකකරුවන් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක 9682/සී යටතේ ඉදිරිපත් කර දෙසැම්බර් 22 තෙක් රැඳවුම් නියෝග ලබා ගත් බවයි. ඉන් පසු ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි ඔහුගේ කොළඹ කාර්යාලයේදී සුල්පිකා නම් සැකකාරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සහකාර පොලිස් අධිකාරීවරයකුට අවස්ථාව දුන් බව එහි දැක්වේ. මේ අතර මෙම සැකකරුවන් පිරිස නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසයට බාර කැරිණි.
ඩග්ලස් නිමල් අත්අඩංගුවට
2005 දෙසැම්බර් මස 27 වැනි දා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂගෙන් පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ට පණිවුඩයක් ලැබිණි. ඉන් කියැවුණේ දෙසැම්බර 28 වැනිදා පෙරවරු 9.00ට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙසයි. ඉන් පසු ඩග්ලස් නිමල් මහතා එහි යන විට තවත් පොලිස් නිලධාරීහු හතර දෙනෙක් එහි කැඳවනු ලැබ සිටියහ. නිල ඇඳුමෙන් සිටි ඔවුන්ට නිල ඇඳුම් ගලවන ලෙස උපදෙස් ලැබිණි. පැය 14ක් පමණ එහි රඳවාගෙන සිටි පොලිස් නිලධාරීන් පිරිස 2005 දෙසැම්බර් 29 වැනි දා අධිකරණයට ඉදිරිපත් කැරිණි. ඔවුන්ට එල්ල වූ චෝදනාව හෙරොයින් ජාවාරම සඳහා ආරක්ෂාව සපයමින් ආධාර අනුබල දීමයි. කොට්ඨාසයේ වැඩියෙන්ම හෙරොයින් වැටලීම් කළ නිලධාරියා වූ ඩග්ලස් නිමල් මට්ටු කරන්නට තවත් නිලධාරීන් හතර දෙනකු බිල්ලට ගෙන තිබිණි.
ඩග්ලස් නිමල් සමඟ අත්අඩංගුවට ගත් සෙසු පොලිස් නිලධාරීන් වූයේ පොලිස් පරීක්ෂක එස් එච් අනුර, උප පොලිස් පරීක්ෂක සමන්ත පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් සුනිල් කිත්සිරි සහ පොලිස් කොස්තාපල් ඩන්කන් ප්‍රනාන්දුය. 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ පනතේ 54 (ආ) වගන්තිය යටතේ දඬුවම් කළ හැකි වරදක් කර ඇතැයි චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගත් හෙයින් සැකකරුවන්ට ඇප නියම කිරීමට අධිකරණයට හැකියාවක් නොතිබිණි. ඔවුන් සමඟම ඊට පෙර අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය ද රිමාන්ඞ් බාරයට පත් කැරිණි.
මේ අතර බම්බලපිටිය පොලිසියෙන් සුල්පිකා සමඟ අත්අඩංගුවට ගත් අජිත් පුෂ්පකුමාර 2006 ජනවාරි 25 වැනි දා මැගසින් බන්ධනාගාරයේදී එහි විනය අංශයේ ජේලර් ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කරන ලදුව එය අධිකරණයටඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ තමන්, සුල්පිකා සහ පාලිත යන තිදෙනා නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවට ගෙන යෑමට අවශ්‍ය බව කියමින් කොටුව පොලිස් මූලස්ථානයට රැගෙන ආ බවයි. පාලිත නම් සැකකරු ජීප් රථයේ රඳවා තමා සහ සුල්පිකා නියෝජ්‍ය පොලිස්පති ළඟට රැගෙන ගිය බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම මත්ද්‍රව්‍ය කාගේදැයි විමසූ බවත්, ඒවා කාගේදැයි කියූ විට තමා ඒ කතාව දන්නා බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රකාශ කළ බවත් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ. හෙරොයින් පොලිසියට සම්බන්ධ අයකුගේ බවට ප්‍රකාශ කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා දැන්වූ බවත්, ඉන් පසු සහකාර පොලිස් අධිකාරීවරයකු සහ පොලිස් පරීක්ෂකවරයකු තමාට පහර දෙමින් කොළයකට අත්සන් ගත් බවත්, එම කොළයේ මොනවා ලියූවාදැයි තමා නොදන්නා බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් විය.
මේ සැකකරුවන් එක්කෙනෙක්වත් මුලින් පොලිස් නිලධාරීන් ගැන කිසිවක් කියා තිබුණේ නැත. ඊට හේතුව ඇත්තටම ඩග්ලස් නිමල් ඇතුළු පොලිස් නිලධාරීන් මෙම සිද්ධියට සම්බන්ධයක් නැති වීමය. කෙසේ වෙතත් හරියටම මාස තුනක් රිමාන්ඞ් බාරයේ තපින්නට ඩග්ලස් නිමගල් ඇතුලු පොලිස් නිලධාරීන්ට සිදු විය.
අවසානයේ මෙම පිරිසට එරෙහිව නඩු පැවරීමට කිසිම සාක්කියක් නොතිබිණි. තිබුණේ තුන් වැනි වරට ලබා ගත් ව්‍යාජ කටඋත්තරය පමණි. ඒ අනුව නීතිපති වරයා වෙනුවට සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට ලිඛිතව දැනුම් දුන්නේ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් ඇතුළු පොලිස් නිලධාරීන් නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්ට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව මාස තුනක් තිස්සේ නිකරුනේ රිමාන්ඞ් බාරයේ සිටි ඩග්ලස් නිමල් ඇතුලු පිරිස 2006 මාර්තු 27 වැනි දා අධිකරණයෙන් නිදහස් කැරිණි.
නිමල්ටයි බිරිඳටයි වෙඩි
පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් රිමාන්ඞ් කළ දා පටන් තමන්ට සිදුවූ අසාධාරණය ගැන අදාළ ආයතනවලට පැමිණිලි කළේය. බන්ධනාගාරයේ සිටිය දීම 2006 ජනවාරි 18 වැනි දා ජනාධිපතිවරයාට ලිපියක් යැවීය. උසස් පොලිස් නිලධාරීන්ගෙන් තමාට එල්ල වූ බලපෑම් කිහිපයක් සඳහන් කළ පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ නිසි පරීක්ෂණයකදී තවත් දෑ හෙළි කරන බවයි. රිමාන්ඞ් බාරයේ සිටියදීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
අධිකරණයෙන් නිදහස් වී පැමිණි පසුව සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා හමුවී තමාට වූ අසාධාරණය ගැන කරුණු කියා තිබුණු අතර ඒ අනුව එහි මාධ්‍යවේදිනියක් දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසු මේ සිද්ධිය ගැන ගවේෂණාත්මක ලිපියක් පළ කළාය. ලිපිය පළ කර දින කිහිපයකින් ඇගේ නමට ගඩොලක් තැපැල් කර එවා තිබිණි. එම ලිපියෙන් දින කිහිපයකට පසු එනම් 2006 අප්‍රේල් 25 වැනි දා උදෑසන ඩග්ලස් නිමල් මහතා මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුටම එරෙහිව යළිත් මානව හිමිකම් පෙත්සමක් ගොනු කිරීමට අවශ්‍ය ලියැකියැවිලි ද රැගෙන කොළඹට එමින් සිටියේය. ඔහු පැමිණියේ සිය බිරියද සමගිනි. බිරිය රැකියා කරන ස්ථානයට ඇරලවා මානව හිමිකම් පෙත්සමේ කටයුත්තට යෑම පොලිස් පරීක්ෂක නිමල්ගේ අදහස විය.
ඔවුනට යන්නට හැකිවූයේ අතුරුගිරියට පමණි. ඔවුන්ගේ වාහනය හඹා ආ තවත් වාහනයක සිටි කිහිප දෙනෙක් වෙඩි පිටවෙඩි තැබූහ. පොලිස් පරීක්ෂක නිමල්ට තම වාහනය පාලනය කර ගැනීමට නොහැකි වූ අතර එය වෙළකට පෙරළිනි. පෙරළුණු වාහනයට ද වෙඩි තබා ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිය මරා දැමූ අපරාධකරුවෝ පළා ගියහ. වාහනයේ තිබුණු ලිපි ගොනු කිහිපයක් උසස් පොලිස් නිලධාරියකු රැගෙන ගිය බව එකල මාධ්‍ය වාර්තා කළේය. පළා ගිය සැකකරුවන් මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගැනීමේ කටයුත්තක් සිදු කළ යුතු වුවද එවැන්නක් ක්‍රියාත්මක වුයේ නැත. එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට කොළඹදී බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එදින දහවල් කාලයේදීය.
පොලිස් සැකකරුවෝ නිදැල්ලේ
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා උපදෙස් දී තිබුණු අතර ඒ අනුව පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. රහස් පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එහෙත් සැකකරුවන් පැමිණි වාහනය අත්අඩංගුවට ගත්තේ නැත. අපරාධකරුවන්ට ඩග්ලස් නිමල් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් පොලිස් ලොක්කන් අත්අඩංගුවට ගත්තේද නැත.
කුඩු මාෆියාව සමඟ ගැට ගැසුණු පොලිස් මාෆියාවට එරෙහිව සටන් කළ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ට පමණක් නොව ඔහුගේ බිරියටද අවසානයේ අකාලයේ මියැදෙන්නට සිදු විය. ඩග්ලස් නිමල්ගේ අදාරණීය දියණියන් දෙදෙනාට සහ පුතාට මව සහ පියා යන දෙදෙනාම අහිමි විය. ඔවුන්ගේ බර ඩග්ලස් නිමල්ගේ සහෝදරයා වූ අනුර ලලිත් බාර ගත්තේය. පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ගේ සහෝදරයා එවකට උප පොලිස් පරීක්ෂක අනුර ලලිත් දිගින් දිගටම යුක්තිය උදෙසා සටන් කළේය. සමස්ථ සිදුවීම්ධාමය ගැන දීර්ඝ කටඋත්තර ලබා දුන්නේය. විමර්ශන නොවන තැන යළි යළිත් පැමිණිලි කළේය. අවසානයේ සිදුවූයේ අනුර ලලිත්ට උසස්වීම් අහිමිවීම පමණි. 2010 වසරේ දී ජනමාධ්‍ය වාර්තා කළේ මෙම නඩුවේ සැකකරුවන් දෙදෙනකු සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවය. සිද්ධියෙන් වසර 19ක් ගතවී හමාරය. තවම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ෆයිල් අතර හිරවී තිබේ.
MediaLK විසින් පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
news@medialk.com
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here