(තරිඳු ජයවර්ධන)
වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට (26) වැනිදාට යෙදී තිබේ. තවත් එක් වධහිංසා සිද්ධියකට අදාල ෙඑතිහාසික තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ ඒ අතරතුරදීය. එසේම වධහිංසා වින්දිතයන්ට වගකිව යුතු ආයතන සහයෝගය දක්වන ආකාරය ගැන පසුගිය සතියේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත දිගහැරිණි. මේ ඒ ගැනයි.
නීතිය
ශ්‍රී ලංකාවේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් ලෙස හඳුනාගෙන ඇත්තේ ලෝකයේ මානව හිමිකම් ලෙස හඳුනාගෙන ඇති ක්ෂේත්‍ර ගණනාවකින් ඉතා සුළු කොටසක් පමණි. එයින්ද කිසිම හේතුවක් නිසා සීමා කළ නොහැකි මූලික අයිතිවාසිකම් දෙකක් තිබේ. ඒ සිතීමේ නිදහස සහ වධහිංසාවට ලක් නොවී සිටීමේ අයිතිවාසිකමයි. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාවෙන් වධහිංසාවට ලක් නොවී සිටීමේ අයිතිවාසිකම සහිතක කර තිබේ.
‘කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහග සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය.’
ලෝකයේ සිදුවන නොයෙන් ආකාරයේ වධහිංසා නතර කිරීමේ අරමුණෙන් ‘වධදීම, කෘර අමානුෂික අවමන්සහගත සැලකීම් සහ අනිකුත් දඬුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය’ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1984 දෙසැම්බර් 10 වැනිදා සම්මත කරගත් අතර ශ්‍රී ලංකාව ඊට අනුගත වීම සඳහා 1994 දී එකඟතාවය පල කරමින් වධහිංසාවලට ලක් කළ පිරිසට දඬුවම් පැමිණවීම සඳහා වෙනම නීතියක් සම්මත කළේය. ඒ 1994 අංක 22 දරන වධදීමට සහ අනිකුත් කෘෘර, අමානුෂික හෝ නින්දිත සැළකිමට හෝ දඬුවම්වලට එරෙහිවූ සම්මුති පනතයි. මෙම පනත යටතේ වැරදිකරු වන පුද්ගලයකුට ලැබෙන දඬුවම අවුරුදු හතත් දහයත් අතර සිරදඬුවමකි. වධදීම ලෙස මෙම පනතින් හදුන්වා දී ඇත්තේ යම් තැනැත්තකුට දැඩි ශාරීරික හෝ මානසික වේදනාවක් ඇතිකරවන ආකාරයට රජයේ නිලධාරියකු හෝ නිල තත්ත්වයකින් කටයුතු කරන වෙනත් තැනැත්තකු විසින් හෝ එම නිලධාරියාගේ හෝ තැනැත්තාගේ මුල්වීමෙන් හෝ කැමැත්ත ඇතිව හෝ එම නිලධාරියාගේ හෝ තැනැත්තාගේ විරුද්ධ නොවීම මත කරන්නා වූ යම් ක්‍රියාවක් අදහස්වේ.
එනම් පොලිස් ස්ථානයකදී පුරවැසියකුට පහරදීමක් හෝ ඔහුට නිග්‍රහ වන ලෙස සැලකීමක් කරන්නේ නම් ඒ කරන කෙනා මේ පනතට වැරදිකරු වනවා පමණක් නොව, පොලිසියේ වෙනත් නිලධාරියෙක් ඒ කරන ක්‍රියාවට විරුද්ධ නොවී සිටියේ නම් ඔහු ද මේ පනත යටතේ වැරදිකරුවකු විය යුතුය. ඒ අනුව වධහිංසාවකදී (කායික හෝ මානසික) එමගින් මූලික අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකිවන අතර වධහිංසාවට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පොලිසියකට (හෝ පොලිස් මූලස්ථානයට) ද පැමිණිලි කළ හැකිය.
ලංකාවේ තත්ත්වය
වධහිංසා සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය කෙසේද යන් 2023 අගෝස්තු 22 දෙවැනිදා විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු මයින්ද සමයවර්ධන මහත්වරුන්ගේ එකඟත්වය අනුව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අවසානයේ ඡේද 07ක් පුරා ලංකාවේ වධහිංසාවේ තත්ත්වය ගැන අධිකරණයේ නිරීක්ෂණ සටහන් කළේය.
වධහිංසා සහ වෙනත් ආකාරයේ ඛෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඩුවම් වලට එරෙහිව ඇති තහනම නොතකා එය අඛණ්ඩව උල්ලංඝනය කිරීමට ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් දිගින් දිගටම එලෙස කටයුතු කිරීම ගැන බරපතල කණස්සල්ල සටහන් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවේ දී සඳහන් කළේය.
‘වසර ගණනාවක් පුරා, මෙම ඉතාමත් අශිෂ්ට සහ නීති විරෝධී සංසිද්ධිවල පැතිරීමේ සැලකිය යුතු අඩුවීමක් මගින් පෙන්නුම් කරන තත්වයේ සැලකිය යුතු දියුණුවක් නිරීක්ෂණය කළ නොහැකි බව මම නිරීක්ෂණය කිරීමට කැමැත්තෙමි. එක් තීන්දුවක තීන්ත වියළීමට පෙර, තවත් සමාන හෝ නරක නඩුවක් මෙම අධිකරණයේ අවධානයට යොමු කෙරේ. මෙම නඩුව එම අඛණ්ඩ නඩු මාලාවේ එකකි. ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව මෙම අදියරේදී අධිකරණයට එවැනි නැවත නැවත වධහිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම් රාජ්‍ය ප්‍රතිපත්තියෙන් පැන නගින බවට නිගමනය කිරීමට නොහැකි වුවද, මෙම අධිකරණය ඉදිරියේ ඇති නඩු මත පදනම්ව ප්‍රකාශ කළ හැක්කේ රටේ සෑම දික්බාගයකම වධහිංසාව තවමත් පැතිරී පවතින බවයි.’ අධිකරණය සඳහන් කළේය.
එසේම මෙම තත්ත්වයට හේතු විවිධාකාර බවත්, වධහිංසාව සහ වෙනත් ආකාරය් කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් ඉවසීම එම හේතුවලින් එකක් බවත්, එම අපරාධකරුවන්ට ඵලදායී සහ කඩිනම් දඬුවම් ක්‍රියාමාර්ග නොමැතිකම සහ ඉවසීම ඒ්වා අනුමත කිරීමේ හැසිරීමක්ද සැක සහිත බවත් අධිකරණය සඳහන් කරයි.
‘ලංකා පොලිසියේ නායකත්වය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම තත්ත්වය පිළිබඳව බැරෑරුම් ලෙස දැනුවත් විය යුතුය. නායකත්වයට පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පමණක් නොව, පොලිසිය පවරා ඇති අමාත්‍යවරයා සහ විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඇතුළත් වනු ඇත. ජාතික පොලිස් කොමිසම මෙම කාරණය බැරෑරුම් ලෙස සලකා බැලීම ද අවශ්‍ය වේ. ප්‍රතිපත්ති, කළමනාකරණ ශිල්පීය ක්‍රම සහ අධීක්ෂණ ක්‍රමවේද පරීක්ෂා කළ යුතු අතර, මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ අපරාධ විමර්ශන පද්ධතියෙන් වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම් වැළැක්වීම සහ තුරන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. තහනම උල්ලංඝනය කළහොත්, කඩිනම් සහ ඵලදායී දඬුවම් ක්‍රියාමාර්ග ගත යුතු අතර, එයට නීතියෙන් සපයා ඇති පරිදි අපරාධ යුක්තිය පිළිබඳ ප්‍රතිචාරයක් සහ සුදුසු කඩිනම් සහ ඵලදායී විනය ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතුය.’ යනුවෙන් සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරන්නේ වධහිංසා නැවැත්වීම පොලිස්පතිවරයා සහ ඉහළ පොලිස් නිලධාරීන්ට සීමා නොවන බවයි. වධහිංසා නතර කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්ට ද වගකීමක් ඇති බව අධිකරණය සඳහන් කරයි.
එම තීන්දුවේ දී අධිකරණය අවධාරණය කළේ වධහිංසාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන වධහිංසාව තුරන් නොකළහොත් අධිකරණයේ ඉදිරි තීන්දුවලදී පොලිසයේ නායකත්වයට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට එරෙහිව ද සම්බාධක පැනවීමට සිදුවන බවයි.
එසේම තවත් එක් නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේ සුදු කරපටි අපරාධකරුවන් විෂහෙයි මෙලෙස වධහිංසාවක් සිදු නොකන බවත්, හැමවිටම වධහිංසාව වාර්තා වන්නේ බලයෙන් දුබල සාමාන්‍ය ජනතාව අරබයා බවයි. පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකදී විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සඳහන් කළේ මෙම වධහිංසාවතුලින් පෙන්නුම් කරන්නේ පොලිසිය විමර්ශනයේදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරනා ක්‍රමවේදය බවයි.
අත්දෙකෙන් එල්ලා පහරදුන් පොලිසිය
විනිසුරු එස් තුරෙයිරාජා සහ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් විනිසුරු ශීරාන් ගුණරත්න මහතා විසින් පසුගිය සතියේ රුපියල් මිලියන දෙකක් එනම් රුපියල් ලක්ෂ 20ක් වින්දිතයකුට ගෙවන ලෙස උරගස්මංහන්දිය පොලිසියේ 2019 වන විට හිටපු ස්ථානාධිපතිට සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිට නියෝග කළේ වධහිංසාව සම්බන්ධ සිදුවීමකට අදාල නඩුවකදීය.
සිද්ධිය වූ 2019 වසර වන විට පී ඒ සී මධුෂාන් 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. ඔහු පෞද්ගලික ආයතනයක වෙලඳ නියෝජිතයකු ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු රියදුරකු සමග ආයතනවලට ගොස් බඩු බෙදාදීම සිදු කරයි. 2019 ජුනි මස 21 වැනි දා දවස 3.30ට පමණ ඔහු දළුවත්ත ස්ටෝර්ස් නම් ආයතනයට ගොස් අදාල බඩු බෙදා හැරීම සිදු කරන හවස 5.30ට පමණ නැවත බෙදාහැරීමේ නියෝජිතආයතනය වෙත පැමිණියේය. පසුදින ද ඔහු සුපුරුදු පරිදි තම දෛනික කටයුතු සිදුකරගෙන ගිය අතර එදින සවස 6.30ට පමණ ඔහුගේ රියදුරුගෙන් දුරකකන ඇමකුමක් ලැබිණි. රියදුරු ප්‍රකාශ කළේ පෙර දින ගිය දලුවත්ත ස්ටෝර්ස්හි රත්තරන් සොරා ගැනීමේ සිදුවීමට තමන් සැක කරන බවයි.
පසුදින එනම ජුනි 23 වැනිදා රියදුරුගෙන් නැවත මධුෂාන්ට දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියැවුණේ තමන්ව පොලිස් බාරයට ගෙන ඇති බවයි. ඊට ටික වේලාවකට පසු උරගස්මංහංදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් නම් නිලධාරියා කතා කර මධුෂාන්ට ද පොලිසියට පැමිණෙන ලෙස දනුම් දුන්නේය. එම දැනුම්දීම ගැන ඔහු බෙදාහැරීමේ නියෝජිත ආයතනයේ කළමනාකරුට දැනුම්දීමෙන් පසු ඔහු විසින් දමිත් සංජීව නම් නීතිඥ මහතා සමග පොලිසියට යොමු කළේය. දවස 2.00ට පමණ නීතිඥවරයා සමග පොලිසියට ගිය අවස්ථාවේ හිරාන් නම් පොලිස් නිලධාරියා දැනුම් දුන්නේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මධුෂාන් මුදා හරින බවයි. ඒ අනුව නීතිඥවරයා පිටව ගියේය. ප්‍රශ්න කිරීම ආරම්භ වූයේ ඉන් පසුවය.
දළුවත්ත ආයතනයෙන් රත්තරන් සොරා ගත්තා නේදැයි විමසින් පොලිසිය මධුෂාන්ගෙන් ප්‍රශ්න කළේය. තමන් එවැනි සොරකමකට සම්බන්ධ නැතැයි කියද්දී පොලිසිය ඔහුට තර්ජනය කළේය. ටික වේලාවකින් මධුෂාන් රැගෙන පොලිසිය දළුවත්ත ආයතනයට ගියේය. එම ආයතනයට ගොස් නැවත උරගස්මංහංදිය පෙලිසියට පැමිණි පසු තරුණයාට වධහිංසා කිරීම ආරම්භ විය.
පොලිසියේ අපරාධ අංශයට එදා පැත්තෙන් වූ කාමරයකට මධුෂාන් රැගෙන ගිය පොලිසිය ඔහුගේ අත් පිටුපසට කර අත්මාංචු දැමීය. පොලිස් නිලදාරීහු ඔහුගේ මුහුණට සහ කනට පහරවල් කිහිපයක් එක දිගට එල්ල කරන්නට වූහ. ඔහුගේ ශරීරයේ විවිධ තැන්වලට පහර දුන් අතර පසුව හිරාන් නම් නිලධාරියා මධුෂාන්ගේ පුරුෂ ලිංගය තදින් මිරිකීය. ඉන් ඇතිවූ වේදනාව කොතෙක් ද යත් තරුණයාට දැඩි වේදනාවක් සමග ක්ලාන්ත ගතියක් ඇතිවිය.
නැවත තරුණයා අපරාධ අංශයට ගෙනැවිත් අත්මාංචු ඉවත් කළ අතර සොරකම ගැන ප්‍රශ්න කරන්නට විය. ඔහු දිගින් දිගටම තමා සොරකමක් නොකළ බව කියන්දී, වරද බාර නොගතහොත් ඒ අසල බෝතලයක දමා තිබූ අත්බෝම්බයක් පෙන්වා එම අත්බෝම්බය සමග ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවට තර්ජනය කළේය. ටික වේලාවකට පසු ඔහු නැවත කාමරයකට රැගෙන ගිය අතර ඔහුට අත්විලංගු දැමීය. ඉන් පසු තරුණයාගේ මැණික්කටු දෙකට නයිලෝන් කඹයකින් ගැට ගසා ඒ මගින් තරුණයා බාල්කයක එල්ලීය. තරුණයාට දිගින් දිගටම පහර දුන්නේය. පැය දෙකක් තම කිසිම වාරුවක් නැතිව අත්දෙකෙන් ඔහු බාල්කයක එල්ලා තැබීය.
යළිත් ඔහුගෙන් ප්‍රශ්න කරද්දී හොරකම පිළිනොගත් හෙයින් නැවත නැවත මේ ආකාරයටම වධහිංසා කළේය. එලෙස වධදීමෙන් පසු පොලිස් ස්ථානාධිපති හරිත්ගේ කාමරයට රැගෙන විත් නැවත කෘර ලෙස සැලකීය. අනතුරුව පසුදින උදෑසන වන තුරු ඔහු පොලිස් සිරමැදිරියේ රැඳවීය.
පසුදින එනම් 24 වැනිදා උදෑසන 7ට පමණ තරුණයාගේ මව සහ බෙදාහැරීමේ නියෝජිත ආයතනයේ ප්‍රදේශ කළමනාකරු පොලිසියට පැමිණි අතර ඔවුන් පැමිණෙන විට තරුණයා අත්දෙක උස්සා ගැනීමටත් නොහැකිව අමාරු තත්ත්වයේ සිටියේය. පොලිස් ස්ථානාධිපති හරිත් දැනුම් දුන්නේ රුපියල් ලක්ෂ තුනක මුදලක් සොරකම සිදුවීයැයි කියන ආයතනයේ හිමිකරුට ගෙවන්නේ නම් ඔහු මුදා හැරිය හැකි බවයි. කෙසේ වෙතත් 24 වැනිදා රාත්‍රියද පොලිසියේම ගත කිරීමට මධුෂාන්ට සිදුවිය. ඔහුට පොලිස් ඇප ලැබුණේ 25 වැනිදා රාත්‍රී 7.3ට පමණය. එදින නිවසට ගිය මධුෂාන් දැඩි වේදනාවෙන් සිටි අතර පසුදින උදෑසනම කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබිණි. අධිකරණ වෛද්‍යවරයා විසින් ජුනි 27 වැනිදා ඔහු පරීක්ෂා කළ අතර වහාම ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණි. එතැන් සිට ජුනි 08 වැනිදා තෙක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ඔහුට සිදුවූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දිගටම රෝහල් සායනවලට පැමිණීමට ද සිදුවිය.
මේ සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව විනිසුරු එස් තුරෙයිරාජා සහ ඒ එච් එම් ඩී නවාස් මහත්වරුන්ගේ එකඟත්වයෙන් ප්‍රකාශයට පත් කළ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සඳහන් කළේ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් තරුණයා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබා ගනිමින් ඔහුට වධදී ඇති බව තහවුරු වන බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති නීති පසිඳලීම සර්ව සාධාරණ විය යුතු බව, වධහිංසාවට යටත් කළ නොහැකි බව, නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් මිදීමේ අයිතිවාසිකම මෙම පොලිස් නිලධාරීන් විසින් කඩ කර ඇති බවයි.
පාඩමක් ඉගෙනගන්න – මධුෂාන්
ඒ අනුව වින්දිත තරුණයාට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත්, එය තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙසත්, නඩු ගාස්තු ගෙවන ලෙසත් පොලිස් නිලධාරීන් දෙදෙනාට නියෝග කළ අතර පොලිස් නිලධාරීන්ට අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කිරීමට ද නියෝග කළේය.
මෙම නඩු තීන්දුව ලබාදීමෙන් පසු එම වධහිංසාවට ලක්වූ තරුණයාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ පුරවැසියකු වධහිංසාවකට ලක් වුවහොත් ඊට අදාලව නීතිමය සහන ලබා ගැනීමේ ක්‍රමවේදය ගැන සියලු පුරවැසියන් දැනසිටිය යුතු බවයි.
‘මම හිතනවා අපිට වධහිංසාවක් වුණොත් අපි නීතිය ඉදිරියට ගියොත් මට වෙච්ච දේ තව කෙනෙකුට නොවෙයි කියලා. වධහිංසා කරන පොලිස් නිලධාරීන් හෝ වෙනත් නිලධාරීන් ඉන්නවා නම් මේ තීන්දුව පාඩමක් කර ගෙන එහෙම වැඩ නවත්වන්න කියලා මං ඉල්ලනවා. මේ තින්දුව ගැන මට හරිම සතුටුයි. අවුරුදු 6ක් ඇතුළත මට යුක්තිය ඉෂ්ඨවුණා. මේක අනිත් අයටත් හොඳ ආදර්ශයක් වෙයි කියලා හිතනවා. පොලිසයෙන් විතරක් නෙමේ, තවත් ආයතනවලින් වධහිංසා වෙනවා. කාට හරි වධහිංසාවක් වෙනවා නම් ඊට අදාලව නීතිය ඉදිරියට යන්න කියලා මං ඉල්ලනවා. ඒ මගින් මේවගේ සිදුවීම් අවම කර ගන්න පුලුවන් වෙයි.’ යැයි මධුෂාන් කීවේය.
වින්දිතයන්ට සලකන හැටි
ලබන සතියේ එළෙමෙන්නේ වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනයයි. වධහිංසා වින්දිතයන්ට රටේ සලකන්නේ කොයි ආකාරයට දැයි මාතර මහේස්ත්‍රාත් බී ඒ අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ පසුගිය සතියේ කැඳවූ නඩුවකදී හෙළිදරව් විය. ඒ පසුගිය සති කිහිපයක් තිස්සේ හෙළිකරම් සිටි මාතර තෙලිජ්ජවිල ඩිල්ෂාන්ගේ සිද්ධියකට අදාල නඩුවකි. වධහිංසාවලට ලක්වූ පසු ඊට එරෙහිව නීතිය ඉදිරියට යාම නිසා වෙඩි තැබීමට ලක්වීමෙන් පසු ඩිල්ෂාන්ගේ ආරක්ෂාව සහිතක කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඉන් අනතුරුව වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය කළ ආරක්ෂක තක්සේරුවකින් පසු ඔහුගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් දෙදෙනකු යෙදවූ අතර 2024 වසරේ ජනවාරි 23 වැනිදා සිට ඩිල්ෂාන් නිවාස අඩස්සියට පත්විය.
ඔහුට නිවසින් පිටතට යෑමට හැකිවූයේ අධිකරණ දිනවලදී පමණි.මාසයකට රුපියල් හැට ඇත්තෑ දහසක ආදායමක් ලැබූ ඩිල්ෂාන්ඩ එම ආදායම සම්පූර්ණයෙන්ම අහිමිවූ අතර පවුලේ උදවිය නඩත්තු කිරීමට සත පහක්වත් ලබාදීමට නොහැකි තත්ත්වයට ඩිල්ෂාන් පත්විය. ඩිල්ෂාන්ට අධිකරණයට පැමිණෙද්දී අවශ්‍ය ආරක්ෂාව සහ වාහන සපයන ලෙස වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සහ කොට්ඨාසය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධකාරීට නියෝග ලබාදී තිබුණ ද එම නියෝග බොහෝ අවස්ථාවලදී ක්‍රියාත්මක නොවීම නිසා ඔහුට අධිකරණයට පැමිණීමට සිදුවූයේ මිතුරන්ගෙන් ණයට ලබා ගත් මුදල්වලිනි. දිනකට අධිකරණයට පැමිණ නැවත යෑමට ගතවන මුදල රුපියල් 2000කි. එසේම වින්දිතයන් ආරක්ෂා ිකරීමේ පනතේ වින්දිතයකුගේ අයිතිවාසිකම් ගැන බොහෝ දෑ සඳහන් වන හෙයින් තමාට මාසික වන්දියක් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එය ක්‍රියාත්මක නොවීම නිසා නීතිඥ තිලංකා ලොකුගේ මහත්මිය මේ ගැන අධිකරණය දැනුම්වත් කළ අතර ඒ අනුව පසුගිය සතියේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.
වින්දිත දිල්ෂාන් වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතාගේ උපදෙස් මත නීතිඥ නුරේකා රොද්‍රිගෝ,නීතිඥ හිරුණි පෙරේරා සහ නීතිඥ තාරක නානායක්කාර සමග නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය පෙනී සිටියාය. නඩුවකඳවූ අවස්ථාවේදී වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියෙන් පෙනී සිටි නීතිඥ ඉන්දීවරී මහත්මිය ප්‍රකාශ කළේ තරුණයාට රුපියල් 20,000 බැගින් මාසිකව ගෙවීමට අධිකරිය අනුමත කර ඇති බවයි. මාසිකව රුපියල් හැට හැත්තෑ දහසක ආදායමක් ඉපයූ ඩිල්ෂාන්ට මෙම 20,000ක මුදල නඩු වැඩවලටත් හොඳටම මදිවිය. එම අවස්ථාවේ කරුණු දැක්වූ නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මෙසේ කීවාය.
‘මේ වින්දිතයාට අඩු තරමේ මාසිකව රුපියල් 35,000ක්වත් ලබා දෙන ලෙසයි ඉල්ලා තිබුණේ. හැබැයි අනුමත වෙලා තියේනනේ රුපියල් 20,000ක මුදලක්. එය ප්‍රමාණවත් නොවන නිසා රුපියල් 35,000ක මුදලක් ලබාදීම සලකා බලන ලෙස අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒවගේම ඔහු ඉන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. ඔහුට අධිකරණ කටයුතුවලට එන්න වාහනයක් ලබා දෙන්නේ නෑ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා. මේ නිසා මොහුට රුපියල් 2000ක් දිනකට වියදම් වෙනවා. මේ ගැනත් සලකා බලන ලෙස ඉල්ලනවා.’
එම අවස්ථාවේදී වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සඳහන් කළේ වින්දිත ඩිල්ෂාන්ට අධිකරණයට පැමිණීම සඳහා වාහනයක් ලබා දෙන ලෙස මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට ලිඛිතව නියෝග කර තිකර ඇති නමුත් ඔහු එය ක්‍රියාත්මක නොකරන බවයි. එම අවස්ථාවේදී මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විවෘත අධිකරණයේදී මෙසේ කීවේය.
‘ප්‍රවාහනය කියන එක වින්දිතයාගේ ආරක්ෂාවේ කොටසක්. මේකේ ආරම්භය පොලිසිය. මුල් සිද්ධිය වධහිංසා සිද්ධියක්. වධහිංසාව සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරන්න නියමිතව තිබෙනවා. අනිත් සිද්ධිය මොහු අරමුණු කරගෙන වෙඩි තැබීම. එකෙන් වෙනත් කෙනෙක් මියගියා. මේක ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් දක්වා දිව ගිහින් තිබෙනවා. ඔහු අධිකරණයට පැමිණීම මේ නඩුවලට අදාල කාරණයක්. ඒක නෛතික අවශ්‍යතාවක්. ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැපයීම රාජ්‍යයේ වගකීමක්. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ පෞද්ගලික අභිමතාර්ත හෝ වෙනත් දේවල් මත අධිකාරියේ නියෝග ක්‍රියාත්මක නොකර ඉන්න බෑ. ඒක පනත අනුව වරදක්.’ යැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
වින්දිතයන්ට සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන රාජ්‍යයේ හැසිරීම මෙහෙයින් හොඳටම පෙන්නුම් කරයි.
අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා – පොලිස්පති
ශ්‍රී ලංකාවේ වධහිංසාව තුරන් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් විමසීමක් කළ අතර ඊට ඔහු මෙලෙස ප්‍රතිචාර දැක්වීය. වර්තමාන වැඩබලන පොලිස්පතිවරයා පත්වූයේ වධහිංසාව සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩ කළැයි ඉහළම අධිකරණය තීරණය කළ පොලිස්පතිවරයකුගෙන් පසුව වීම විශේෂත්වයකි.
‘වධහිසාව තුරන් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නවා. මානව හිමිකම් කොමිසම සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මාර්ගෝපදේශ අනුව ක්‍රියා කරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛ මගින් දැනුම්දී තිබෙනවා. මීට අදාල පැමිණිලි ලැබුණු ගමන් විමර්ශන ආරම්භ කරනවා. පොලිස් නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් ලැබුණොත් අපි පොලිස් විශේෂ විමර්ශන ඒකකට හරහා විමර්ශන ආරම්භ කරනවා. මේ වන විටත් එවැනි පැමිණිලි ගණනාවක් ගැන විමර්ශන යනවා. ඒ වගේම වධහිංසාවට එරෙහිව පොලිස් විද්‍යාලයේ සහ අදාල පුහුණු ආයතනවලදී අපි දැනුම්වත් කරනවා. අලුත් විමර්ශන ක්‍රමවේද ගැන නිලධාරීන් දැනුම්වත් කරනවා. ඒ මගින් වධහිංසා තුරන් කරන්න කටයුතු කරගෙන යනවා. පොලිස් නිලධාරීන්ට ඉහළ නිලධාරීන්ගෙන් හිරිහැර වෙනවා නම් ඒ ගැනත් පැමිණිලි ලැබුණොත් විමර්ශනය කරනවා. ඇත්තටම එහෙම සිද්ධියක් වෙලා නම් වෛද්‍ය වාර්තා ඇතුළු සාක්කි අනුව අවශ්‍ය කටයුතු කරනවා. මහජනතාවට පොලිසියෙන් අසාධාරණයක් වෙනවා නම් පොලිස්පති සහන දිනයට ඇවිත් මාව හමුවෙන්න පුලුවන්. ඒ වගේම පොලිස් නිලධාරීන්ට ගැටලු තියනවා නම් වෙනත් දිනයක් තිබෙනවා, එදිනට මා හමුවෙන්න පුලුවන්. නීතිය ඇතුළේ වැඩ කරන සියලු පොලිස් නිලධාරීන්ව අපි ආරක්ෂා කරනවා.’ යැයි ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.
කිසියම් පුද්ගලයකු නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමක් හෝ අත්අඩංගුවේ සිටියදී වධහිංසා සිදු කිරීමක් වාර්තා වන්නේ නම් එම අවස්ථාවේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකයට කතා කර ඒ ගැන දැනුම්දිය හැකිය. එම ක්ෂණික ඇමතුම් අංකය වන්නේ 1996යි. එසේම මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට sechrcsl@gmail.com මගින ඊමේල් හරහා හෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 4 යන ලිපිනයට ලියාපදිංචි තැපෑල හරහා හෝ පැමිණිලි යොමු කළ හැකි අතර අවශ්‍ය නම් ආයතනයට ගොස් පැමිණිලි කිරීමේ හැකියාවද පවතී.
වධහිංසාව තුරන් කිරීම සහ වධහිංසාවට ලක්වූවන් ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීමක් වන අතර ඊට අවශ්‍ය බලපෑම් කිරීම පුරවැසියන්ගේ වගකීමකි.
MediaLK විසින් පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
news@medialk.com