(තරිඳු ජයවර්ධන)
පොළොන්නරුව අරලගංවිල කළුකැලේ ගමට දිගින් දිගටම වන අලි ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමට විරෝධය පල කරමින් 2018 වසරේදී කළ උද්ඝෝෂණයකදී දෙදෙනකු අත්අඩංගුවට ගැනීම මගින් අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය.
එම උද්ඝෝෂණය සඳහා 200ක පමණ පිරිසක් සහභාගී වූ අතර එමගින් මහජන පීඩාවක් සිදුවන බව කියමින් පොලිසිය අදාල උද්ඝෝෂණය නතර කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. උද්ඝෝෂණයෙන් සතියකට පමණ පසු මහජන පීඩාවක් සිදු කළැයි කියමින් පොලිසිය ගම්වාසීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
තමන් නීති විරෝධීව අත්අංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට එරෙහිව අදාල ගම්වාසීන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම පසුගිය වසරේ පෙබරවාරි මස 14 වැනිදා මෘද්දු එන් බී ප්‍රනාන්දු, එස් තුරෙයිරාජා සහ යසන්ත කෝදාගෙඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණිනි. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චතුර වෙත්තසිංහ මහතා සමග නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් එවකට රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමග එවකට රජ‌යේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා පෙනී සිටියහ. මේ වන විට ශමින්ද වික්‍රම මහතා වෙනත් හේතුවක් මත වැඩතහනමට ලක්වී සිටියි.
ඒ අනුව අදාල මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ පෙත්සම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම මගින් අරලගංවිල හිටපු ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවයි. ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් 30,000 බැගින් වන්දි ප්‍රධානය කරන ලෙස ස්ථානාධිපතිට නියෝග කළ අධිකරණය ඔවුන් මහජන පීඩාව යටතේ රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කිරීම ද දෝෂදර්ශනයට කල් කළේය.
මෙම නඩුතීන්දුව සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් MediaLK මගින් බලාපොරොත්තු වන්න.
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here