(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසියේ පළමුවැනිදා සහ දෙවැනියා අතර ඇතිවී තිබෙන අර්බුදය දැන් රටට රහසක් නොවේ. එය ජනමාධ්‍ය ඔස්සේ ද එළියට පැමිණ අවසන්ය. ඉහළම තැන් අතර යම් ගට්ටනයක් ඇති බව දැන් සැවොම දනී.
ගැටුම එළියට ආ හැටි
මෙම ගැටුම එළියට එන්නේ ජනමාධ්‍යවේදියකු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු අතර සිදුවීයැයි කියන දුරකතන කතා බහක පටිගත කළ හඬපටයක් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමගය. එම හඬපටය කුරුණෑගල ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියකුගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අතර කතාබහක් බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.
එම හඬපයේ දී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු යැයි කියන පුද්ගලයා ජනමාධ්‍යවේදියකු යැයි කියන පුද්ගලයාට පොලිසියේ ටෙන්ඩර් මගඩියක් ගැන තොරතුරු ලබාදෙන අතර එය වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට චෝදනා එල්ල වන ආකාරේ සිද්ධියක් බව එම හඬපටය අනුව පෙනී යයි. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය එම හඬපටය විකාශය කළේ සහ බෙදා හැරියේ එය සංකරණය කරන ලද්දක්ද නැද්ද යන්නගැන සහ එම කටහඬවල් අදාල පුද්ගලයන් දෙදෙනාගේම ද යන්න ගැන නිසි තාක්ෂණික තහවුරු කර ගැනීමකින් තොරව බව බැලූ බැල්මට පෙනේ. එසේම එම හඬපටයේ අන්තර්ගත කාරණාවල සත්‍යාසත්‍ය බව ද තහවුරු කර ගැනීමකින් තොරව වේ.
මෙම හඬපට සිදුවීමත් සමග පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් කොමිසමට එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව පැමිණිලි කළ බව ද ජනමාධ්‍ය වාර්තාකළේය. මෙලෙස හඬපට ජනමාධ්‍ය විකාශය කිරීමටත් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළ කුරුණෑගල ජනමාධ්‍යවේදියකු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතත් එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එය ප්‍රතික්ෂේප කර ඇති බවයි. මේ අස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිස්තිරි ජයලත්ගේ නමද කියැවිණි. මෙම සිදුවීම්දාමය ගැන බොහෝ දෙනකුට දැන් ඇත්තේ ගැටලුසහගත තත්ත්වයකි.
කිත්සිරි ජයලත්
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන කිත්සිරි ජයලත්, 2019 වසර වන විට සිටියේ කුරුණෑගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය. ඔහු යටතේ කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයා ලෙස මහින්ද දිසානායක මහතා කටයුතු කරමින් සිටියේය. ‘සිසේරියන් සැත්කම්වලින් පසු තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා – සාක්ෂි සහිතව තොරතුරු හෙළිවෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ‘ මැයෙන් 2019 මැයි මාසයේ දී පළ වූ ප්‍රවෘත්තියකින් පසු වෛද්‍ය සාෆි ශිහබ්දීන් නාටකයේ රංගන කටයුතු ආරම්භ විය.
කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතාට  එරෙහිව සංවිධානාත්මක ප්‍රචාරයක් ගෙන ගිය අතර ඔහු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන විමර්ශනය කරද්දී හෙළිවී තිබුණේ ‘සිසේරියන් සැත්කම්වලින් පසු තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා – සාක්ෂි සහිතව තොරතුරු හෙළිවෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ‘ මැයෙන් වාර්තා කරද්දී වෛද්‍ය සාෆිට එරෙහිව එකම පැමිණිල්ලක්වත් සටහන් කර ගෙන නොතිබූ බවයි. මුලින් ජනමාධ්‍ය හරහා බොරු ප්‍රවාත්තියක් පලකරවා ඉන් පසු ඇතිවූ සමාජ ආන්දෝලනය සමග පැමිණිලි ගලා ඒමට සලස්වා ඇති බව අනාවරණය කර ගත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම ව්‍යාජ තොරතුරු ජනමාධ්‍යවේදියාට ලබාදී ඇත්තේ එවකට කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබිණි.
කිත්සිරි ජයලත් මහතා සහ මහින්ද දිසානායක මහතා සම්බන්ධයෙන් එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළ ලිපියක මෙසේ සඳහන්වේ.
‘කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන කටයුතු මාගේ නියෝග අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්‍ෂණය යටතේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.
මෙම සිදුවීම සිදු වූ කාලය තුළ සිට මේ දක්වා කුරුණෑගල දිසාව භාරව නියෝජ්‍ය පොලිස්පති/ ඩබ්.කේ. ජයලත් මහතා සේවය කරනු ලබන බැවින්, මීට අදාල ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඔහු තවදුරටත් කුරුණෑගල දිසාව භාරව ම කටයුතු කිරීම සිදු කරනු ලබන විමර්ශන කටයුතු වලට බාධාවක් ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මාගේ බැහැර අංක IGP/PA/DIG/CID/OUT/2108/2019 මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති/ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදෙන ලදී.
ඒ අනුව, මීට අදාල විමර්ශන වලදී අනාවරණය වූ කරුණු ඇතුලත් වාර්තාවක්.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇති අතර, එම වාර්තාව මේ සමග යා කර ඇත.
එකී වාර්තාව මගින්, වෛද්‍ය සේගු සිහාන් මොහොමඩ් සාෆි මහතාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කරන ඩබ්.කේ. ජයලත් මහතා, කොට්ඨාස භාර නිලධාරී පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා සහ විමර්ශන නිලධාරියා වගකිව යුතු බවත් වාර්තා කර ඇත.
එසේම, 2019.05.23 දින දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යටතේ ‘‘සිසේරියන් සැත්කම් වලින් පසු තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා’” යන ශීර්ෂය යටතේ පළ වූ පුවතට අනුව ද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මාගේ බැහැර අංක IGP/PA/CID/OUT/622/2019 යටතේ උපදෙස් ලබාදුන් අතර, එම උපදෙස් පරිදි ද ඉහත වාර්තාව මගින් කරුණු ඉදිරිපත්කර ඇත.
ඒ අනුව, සිංහල බෞද්ධ මවුවරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන සිදු කරනු ලබන බවට නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා විසින් මාධ්‍යවේදී හේමන්ත රන්දුනු මහතා වෙත තොරතුරු ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද වාර්තා කර ඇත.
ඉහත පරිදි සිදු කරන ලද විමර්ශනයේ දී කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා සහ කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරී පො.අ. මහින්ද දිසානායක මහතා එම දිසාව හා කොට්ඨාසය තුළ තවදුරටත් රාජකාරී සිදු කිරිම විමර්ශනයට බාධාවක් බව ජ්‍යෙ.නි.පො.ප./ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් වාර්තාකර ඇත.‘
කෙසේ වෙතත් 2019 වසරේ නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිත්සිරි ජයලත් මහතා සහ මහින්ද දිසානායක මහතා සම්බන්ධයෙන් කරගෙන ගිය විමර්ශන අතරමග නතර වූ අතර කිස්තිරි ජයලත් මහතා ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසත්, එදා පොලිස් අධිකාරීවරයෙකු වූ මහින්ද දිසානායක මහතා නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වාත් මේ වන විට උසස්වීම් ලබා තිබේ.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා කිත්සිරි ජයලත් මහතාට එරෙහිව පසුගිය වසරේ ඔක්තෝබර මාසයේ දී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ල මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙන යොමු කර තිබිණි. කිසේ වෙතත් එම අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාසය හා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතර තිබූ සාකච්ඡාවකදී තීරණය වී තිබුණේ එම පැමිණිල්ලට අදාලාව විමර්ශනයක් සිදු නොකර එය නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කිරීමටයි.
කිත්සිරි ජයලත්ට එරෙහිව අල්ලස් කොමිසමට
කරුණු මෙසේ වෙද්දී කිත්සිරි ජයලත් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි දෙකක් පාර්ශ්ව දෙකක් විසින් සිදු කරනු ලැබූ අතර ඔවුන් ජනමාධ්‍ය වෙතද තොරතුරු ලබාදී තිබිණි. එම පැමිණිල්ල කිස්තිරි ජයලත් මහතාට අයත්යැයි කියන දේපොළක් ගැන වේ. එම එක් පාර්ශ්වයක් වූයේ කුරුණෑගල ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන බව කියන බිමල් රුහුණගේ මහතාය. ඒ මහතා අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු ඔහුගේ පැමිණිල්ල ගැන ජනමාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළේය. ඉන් පසු තමන්ගේ කීර්තිනාමයට හානි කළැයි කියමින් ඊට අදාලව වන්දි ඉල්ලමින් කිත්සිරි ජයලත් මහතා නීතිඥවරයකු මාර්ගයෙක් බිමල් රුහුණගේ මහතාට එන්තරවාසියක් යැවූ අතර ඊට නීතිඥවරයකු මාර්ගයෙන් පිළිතුරු යොමු කරමින් බිමල් රුහුණගේ මහතා දැනුම්දී තිබුණේ එලෙස වන්දි ඉල්ලා නඩුවක් පැවරුවහොත් එම නඩුවටම හරස් ඉල්ලීමක් කරමින් කිත්සිරි ජයලත් මහතාගෙන් ද වන්දියක් ඉල්ලීමට කටයුතු කරන බවයි.
කරුණු එසේ වෙද්දි යූටියුබ් චැනල් දෙකක් මගින් බිමල් රුහුණගේ මහතාට එරෙහිව වැඩසටහන් දෙකක් විකාශය වූ අතර එම වැඩසටහන්වලට අදාල තොරතුරු සපයා ඇත්තේ පොලිසියෙන්ම බව පැහැදිලිවම පෙණිනි. ඉන් පසු පොලිසියේ හිටපු සැරයන්වරයකුගේ නමින් පොලිස්පතිට පැමිණිල්ලක් යොමු කරමින් බිමල් රුහුණගේ සහ ඔහුගේ ප්‍රකාශ ගැන විමර්ශනයක් ඉල්ලා තිබුණු අතර පොලිස්පතිවරයා එය විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළේය. ඒ අනුව බිමල් රුහුණගේ මහතාගේ නිවසට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද කැඳවා තිබිණි. මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබුණේ පොලිස්පතිවරයා මෙම ජනමාධ්‍යවේදියා අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම්දී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඒ ගැන විමසීමට පොලිස්පතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ ආන්දෝලනයට තුඩුදී ඇති හඬපටයේ පොලිස් නිලධාරියා තොරතුරු ලබා දෙන්නේ මෙම ජනමාධ්‍යවේදියාට බවයි.  සත්‍ය වශයෙන්ම එම හඬපටයේ ඇත්තේ ජනමාධ්‍යවේදියාගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ කටහඬ ද යන්න ගැන සහ එය සංස්කරණය කළ හඬපටයක් ද යන්න ගැන මෙතෙක් තහවුරු වී නැත. කෙසේ වෙතත් මේ ගැන බිමල් රුහුණගේ මහතා විදේශගතව සිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සාලිය නම් පුද්ගලයා සමග කළැයි කියන සම්මූඛ සාකච්ඡාවක් ද එම විදෙස් ගත පුද්ගලයාට අයත්යැයි කියන යූටියුබ් නාලිකාවක විකාශය විය. එහිදී ලලිත් පතිනායක තොරතුරු ලබා දුන් බවක් කියැවුණත් එම විකාශය වූ වීඩියෝව ද සංංස්කරණය කර ඇත්ද නැද්ද යන්න ගැන දන්නේ එම පුද්ගලයන් දෙදෙනා පමණි.
ජනමාධ්‍ය ආචාරධර්ම
මාධ්‍යයක විකාශය වූ එම මුල් හඬපටයට සවන්දීමේදී මතුවූ බරපතලම ප්‍රශ්නය වූයේ ජනමාධ්‍යවේදියකු යැයි කියන පුද්ගලයා එය පටිගත කළේ ඇයි ද යන්න ගැනයි. කෙනකුගේ අවසරයක් නැතිව ඔහු හා කරන පෞද්ගලික කතා බහක් පටිගත කිරීම සහ එය තුන්වැනි පාර්ශ්වයක් අතට පත් කිරීම අතිෂයින්ම පහත් තත්ත්වයකි. ඔහු ජනමාධ්‍යවේදියකු නම් එය පිළිගත් ජනමාධ්‍ය ආචාරධර්ම ද උල්ලංඝනය කිරීමකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ වෙනත් මාධ්‍ය ප්‍රකාශකයකු හෝ සමග කරන නිල කතාබහක් සහ රජයේ නිලධාරියකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු සමග කරන පෞද්ගලික කතාබහක් අතර වෙනස ජනමාධ්‍යෙව්දියකු විසින් හදුනා ගත යුතුය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෙත තොරතුරු ලබා දෙන එකම රාජ්‍ය නිලධාරියා (හඬපටය ඇත්ත නම්) මේ කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නොවේ. ඕනෑ තරම් නිලධාරීන් ජනමාධ්‍යවේදීන් සමග පෞද්ගලික කතාබස්වල නිරත වන අතර ඇතැම් අවස්ථාවල තොරතුරු ලබාදීම ද සිදු කරයි. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ ‘රිපෝටර්‘ ලෙස ලෙසය.. ඊට හේතුව එම කාලයේ කැබිනට් මණ්ඩල සිදුවීම් බහුතරයක් ජනමාධ්‍ය වෙත ලබාදී තිබුණේ ඔහු විසින් වීමය. කැබිනට් ඇමැතිවරුන්ගේ සිට සෑම රාජ්‍ය ආයතනයකම ජනමාධ්‍යවේදීන් සමග කතා බහ කරන හෝ තොරතුරු ලබා දෙන නිලධාරීන් සිටිය හැකිය. ඒ අති බහුතරයක් දෙනා (මාධ්‍ය ප්‍රකාශකලා හෝ නිල තත්ත්වයෙන් හැර) තොරතුරු ලබා දෙන්නේ ජනමාධ්‍යවේදියා සමග ඇති පෞද්ගලික හිතවත්කම මත හෝ ඔහු ගැන ඇති විශ්වාසය මත තොරතුරු ලබා දෙන්නාගේ අනන්‍යතාවය හෙළිදරව් නොකරනු ඇතැයි යන විශ්වාසය මතය. එලෙස තොරතුරු ලබා දෙන්නේ කුමන අරමුණකින්දැයි විශ්ලේෂණය කිරීමත්, එම තොරතුරුවල සත්‍යාසත්‍ය බව තහවුරු කර ගැනීමත් ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරයේ කොටසකි. එසේ තිබියදී එලෙස පෞද්ගලිකව කතාබහ කිරීම් සහ තොරතුරු ලබාදීම් පටිගත කිරීම සහ එම හඬපට තුන්වැනි පාර්ශ්වයක් අතට පත් කිරීම සම්පූර්ණයෙන්ම ජනමාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීමක් මෙන්ම ජනමාධ්‍යවේදියා තමන්ගේ කාර්යභාරය සහ තමන්ගේ වගකීම නිසි පරිදි හඳුනා නොගැනීමේ තත්ත්වයකි.
එසේම මෙවැනි හඬපටයක් ප්‍රසිද්ධියට පත් කිරීමට ආචාරධාර්මික නොනවා පමණක් නොව එවැනි අවස්ථාවලදී හඬපටයේ අන්තර්ගතය ගැන වගකීම ඇත්තේ ප්‍රසිද්ධ කරන ජනමාධ්‍ය ආයතනයට වේ.
පොලිස්පතිගේ පැමිණිලි
මෙම හඬපට සිදුවීම සහ බාහිර පාර්ශ්වයකට පොලිසියේ අභ්‍යන්තර තොරතුරු ලබාදීම ගැන පොලිස්පතිවරයා පැමිණිලි කිරීම ගැන ද මේ වන විට කතාබහට ලක්වී තිබේ. හඬපටයේ කරුණු අසත්‍ය නම් පොලිස්පතිවරයා කළ යුතුව තිබුණේ සිවිල් අපහාස නඩුවක් (විකාශය කළ අයට) පැවරීම මිස පරීක්ෂණයක් සිදු කිරීම නොවන බවත්, හඬපටය ගැන අපරාධ විමර්ශනයක් සිදුකිරීම බලය අවභාවිතා කිරීමක් බවටත් සාකච්ඡාවක් මතුවෙමින් තිබේ. එසේම පොලිස්පතිවරයා අපහසුතාවට පත්කිරීමට කුමන්ත්‍රණය කිරීම තුලින් ජ්‍යෙෂ්ඨ නිලධාරියා කර ඇත්තේ ද එවැනිම ක්‍රියාවක් බව තවත් පිරිසක් කියති. මේ සම්බන්ධයෙන් දැන් ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි.
පොලිස්පතිවරයාට එරෙහිව බාහිර පාර්ශ්වයන්ට තොරතුරු ලබාදීම ගැනත්, එම තොරතුරු මගින් හෙළිදරව් කරන ටෙන්ඩර් ගනුදෙනුව ගැනත් යන දෙකම ගැන පරීක්ෂණයක් සිදු කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශහේ ප්‍රකාශකයෙක් මේ ගැන විමසීමේදී පැවසීය.
ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම සිටි නිලන්ත ජයවර්ධනටත්, ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනියට සිටි ලලිත් පතිනායකටත් පොලිස්පති ධුරය නොදී (නිලන්ත ජයවර්ධනට පොලිස්පතිකම ලබාදීමට කිසිම හැකියාවක් නැත. පාස්කු සිද්ධියට අදාලව ඔහු මූලික අයිතිවාසිකම් කඩ කළ අයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.) රනිල් වික්‍රමසිංහ දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිකම දුන්නේ දැඩි සමාජ විරෝධය මධ්‍යයේය. එසේම දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටි වසර හතරකට ආසන්න කාලයේදී ඔහුට කිසිම ස්ථාන මාරුවීමක් නොදී සෙසු සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට (පතිනායකද ඇතුළුව) ස්ථානමාරුවීම් දෙද්දී ලලිත් පතිනායක ඊට විරෝධය පල කළේ නැත. එසේ වුවද ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ පමණක් ඊට විරෝධය පළ කළහ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පසු ඒ වන විට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටි ලලිත් පතිනායකට පොලිස්පතිකම නොදී ප්‍රියන්ත වීරසූරියට පොලිස්පකම ලබාදීමට කටයුතු කළ අතර ඒ වන විට එය බොහෝ දෙනෙකුගේ ඉල්ලීම ද විය. ඊට හේතුව ලලිත් පතිනායක මහතා සම්බන්ධයෙන් ද පාස්කු සිද්ධිය ගැන විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය කර තිබූ නිර්දේශයකි.
ප්‍රශ්නය වීරසූරිය-ලලිත් අතර විතරක් නෙමේ
ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ පොලිස් කොමිෂන් සභාව කුමන ස්ථාවරයක් ගනීද යන්න ගැන විමසීමට එහි සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. කෙසේ වෙතත් කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ ඇතිවී තිබෙන තත්ත්වය පොලිස්පතිවරයා සහ ලලිත් පතිනායක අතර ප්‍රශ්නයකට එහා ගිය එකක් බවයි.
වීරසූරිය මහතා පොලිස්පති ලෙස පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනකු ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කළ බවත්, එම ස්ථානමාරුවීම්වලට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනකු විරෝධය පළ කළ බවත්, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහි දෙනකු අතර මත ගැටුම කෙටියෙන් විසඳාගත යුතු එකක් බවත් පොලිස් කොමිසමේ ප්‍රකාශකවරයා කීවේය.
හඬපට ඉතිහාසය
මෙවැනිම හඬපට සිද්ධියක් 2020 ජනවාරි මාසයේද සිදුවිය. රංජන් රාමනායක මහතා සහ තවත් පිරිසක් කතා බහ කරන හඬපට කිහිපයක් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේය. ඒ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ රංජන් රාමනායක මහතා අතර හඬපටයක්ද විය. ජනමාධ්‍ය හඬපවලට ලොකු ඉඩක් දෙද්දී එවකට පොලිස්පතිවරයාගේ ද මැදිහත්වීම මත පොලිස් කොමිසම හදිසියේම 2020 ජනවාරි 07 හෝ ඊට ආසන්න දිනක ශානි අබේසේකරගේ වැඩ තහනම් කළේය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු කළ පරීක්ෂණයකදී අනාවරණය වූයේ එම හඬපට සංස්කරණය කර ඇති බවයි. එම සිදුවීම මත අඩු තරමේ ශානි අබේසේකරට එරෙහිව මූලික පරීක්ෂණයක්වත් පැවැත්වීමට තරම් හැකියාවක්වත් රාජපක්ෂ ආණ්ඩුවට නොතිබිණි.
එසේම දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරද්දී ඇවන්ගාඩ් හිමිකරු සමග කළැයි කියන කතාබහකට අදාල හඬපටයක් ද විකාශය වූ අතර ඒ මත වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කෙරිණි. පසුව අනාවරණය වූයේ එම හඬපට ද සංස්කරණය කරනලද ඒවා බවයි.
හඬපට ගැන විශ්වාසය තබා කඩිමුඩියේ තීන්දු තීරණ ගැනීම ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකට හේතුවනවා විය හැකිය. අනිත්පැත්තේ එම හඬපටය සත්‍යයක් නම්, එම හඬපටයේ ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ කටහඬක් නම් එම උසස් පොලිස් නිලධාරියා කරන්නේ මාධ්‍යවේදියාලවා නිර්නාමික පෙත්සම් ගැස්වීමකි. වගකීමක් ඇතිව ජනමාධ්‍යයේ පල කිරීම සඳහා තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂාකරගෙන තොරතුරු ලබාදීමත්, ජනමාධ්‍යවේදියකු හෝ වෙනත් පුද්ගලයකු ලවා නිර්ණාමික පෙත්සම් ගැස්සවීමත් යනු එකිනෙකට වෙනස් තත්ත්වයන් දෙකකි.
ජනපතිගේ කතාව
හඬපට සහ පොලිසියේ ඉහළම දෙදෙනා අතර මතබේදය මැද්දේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ කතාව ඇතුළේ දී ඔහු ප්‍රකාශ කළේ පොලිසියේ දූෂිතයන්ට එරෙහිව කටයුතු කළ යුතු බවයි.
පොලිසියේ දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීමට නම් පොලිසියේ ඉහළ පුටුවල සිටින සියලු දෙනා දූෂණයෙන් තොර විය යුතුය. කළ යුතුව ඇත්තේ හඬපටය ගැන පරීක්ෂණ පැවැත්වීම පමණක් නොව ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පැවැත්වීමය. එය දූෂිතයන් කවුද, දූෂිත නොවන අය කවුදැයි හඳුනා ගැනීමට එක් අවස්ථාවක් වනු ඇත.
මෙම ගැටලුවේදී පොලිස්පතිවරයා සහ සියලුම පොලිස් නිලධාරීන් තේරුම් ගත යුතු එක් කරුණක් තිබේ. ඒ අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට ඇති දේශපාලන වුවමනාවයි. මීට පෙර තිබූ ගැටලුව වූයේ ආණ්ඩුවලට දේශපාලන වුවමනාවක් නොතිබීම නිසා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට පොලිසියට තිබූ පහසුතාවයි. දැන් ඉන් එහාට ගොස් අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය නැති කිරීමට අදාලව ආණ්ඩුවට දේශපාලන වුවමනාවක් තිබෙන බව පෙන්වා තිබේ. ඒ නිසා පොලිසියට ඇත්තේ අදාල කාර්ය කිරීම පමණි. මෙවැනි අවස්ථාවක උසස් නිලධාරීන් අතර මතබේද ඇතිවීම එම වැඩපිළිවළට සිදුවන බලවත් බලපෑමක් විය හැකිය.
පොලිස්පතිවරයා කළ යුත්තේ කිසිම උසස් පොලිස් නිලධාරියෙකුට විශේෂ කොට නොසලකා ඔවුන් සියලු දෙනා සම්බන්ධයෙන් එක සමානව කටයුතු කිරීමයි. චෝදනා එල්ල වන සියලු අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමත්, සෙසු සියලු දෙනාට එක හා සමානව වගකීම් පැවරීමත් පොලිස්පතිවරයා කළ යුතුය. සෙසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැන් තේරුම් ගත යුත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ලෙස පත්වී හමාර බවය. ඔහු දැන් ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයාය. ඔහුගේ අතීත වැරදි ඇත්නම් ඒවා ජනමාධ්‍යවේදීන්ට ලබා දිය යුතුව තිබුණේ ඔහු පොලිස්පති වීමට පෙරය. ඔහු පොලිස්පති වන තෙක් නිශ්ෂබ්දව සිට දැන් ඔහුගේ අතීතය ගැන කතා කර පලක් නැත. ඔහු දැන් දූෂිත ක්‍රියා කරන්නේ නම් ඒවා ගැන අවශ්‍ය කෙනකුට තොරතුරු ලබා දිය හැකි අතර එවිට අදාල අංශ නීතිය මගින් කටයුතු කරනු ඇත. දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කළ යුත්තේ පොලිස්පතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමය.
පොලිස්පතිවරයා සහ අනිකුත් උසස් පොලිස් පොලිස් නිලධාරීන් මතක තබා ගත යුත්තේ 2017 දී පූජිත් ජයසුන්දර සහ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර මතබේදය කෙළවර වූයේ කොතැනින්ද යන්න ගැනයි. ඒ නිසා කළ යුත්තේ මේ සියලු දෙනා තමාගේ වගකීම තේරුම් ගෙන රටේ අවශ්‍යතාවය හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීමයි.
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here