(භානුල ගිරිභාව)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැවුම්කරුව සිටි වසන්ත මුදලිගේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, එසේ හෙයින් මුදලිගේ මහතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.‍
වසන්ත මුදලිගේ මහතා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ 2022 වසරේ අගෝස්තු මස 18 වැනිදාය. ‍එම අත්අඩංගුවට ගැනීමට එරෙහිව වසන්ත මුදලිගේ මහතා නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් SC/FR/283/2022  අංකයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් අර්ජුන ඔබේසේකර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.   මෙම නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ තනුක මාධව නන්දසිරි මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස එවකට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුතෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
මෙම පෙත්සම මගින් වසන්ත මුදලිගේ මහතා තර්ක කර තිබුණේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) එනම් නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ අයිතිය, 13(1) එනම්, අත්තනෝමතික ලෙස පරිදි අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් වීමේ අයිතිය සහ 13(2) යන, අත්අඩංගුවට ගත් තැනැත්තෙකු මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය යන වගන්ති යටතේ තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි .පෙත්සම්කරු කියා සිට ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තමන්ට එරෙහිව යොදා ගැනීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.
පෙත්සමේ සඳහන් කරුණු අනුව, 2022 අගෝස්තු 18 වන දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ ලිප්ටන් වටරවුමෙන් විරෝධතා පාගමනක් සංවිධානය කර ඇත. එම අවස්ථාවේ පැවති රජයේ මර්දනකාරී ක්‍රියාවන්ට සහ ආර්ථික දුෂ්කරතාවලට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇති අතර, පාගමන කොළඹ යූනියන් පෙදෙස ප්‍රදේශයට ළඟා වූ විට, පොලිසිය විසින් විරෝධතාකරුවන්ට විසිර යන ලෙස නියෝග කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන් සුළු මොහොතකට පසු කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් පිරිස විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කර ඇත.
මෙම අවස්ථාවේදී වසන්ත මුදලිගේ මහතා ඇතුළු සිසුන් පිරිසක් එම ස්ථානයෙන් ඉවත්ව තම නිවෙස් බලා යමින් සිටියදී, කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී පෑලියගොඩ පොලිසියේ සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මුදලිගේ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට පෙත්සමේ සඳහන් කර ඇත. අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එවකට ජනාධිපතිවරයා රැඳවුම් නියෝග නිකුත් කර ඇත.
පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලය 2022 අගෝස්තු 21 වන දින පස්වරු 4:00 ට අවසන් වුවද, ඔහුව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට හෝ රැඳවුම් නියෝගයක් පෙන්වීමට පොලිසිය අසමත් වූ බවයි . ඒ අනුව වසන්ත මුදලිගේ මහතාගේ නීතිඥවරුන් පෑලියගොඩ පොලිසියෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ විට, පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ තමන් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කරන බව මිස වෙනත් නීත්‍යානුකූල පදනමක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වූ බවයි .කෙසේ වෙතත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් පෙත්සම්කරුගේ නීතිඥවරයෙකු වූ නුවන් බෝපගේ මහතා වෙත පසුව දන්වා ඇත්තේ රැඳවුම් නියෝගය පෞද්ගලිකව පෙත්සම්කරු වෙත භාර දුන් බවයි.
කෙසේ වෙතත්, නියමිත කාලය තුළ ඔහුව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට හෝ මහේස්ත්‍රාත්වරයෙකු ලවා ඔහුව පරීක්ෂා කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) වගන්තිය උල්ලංඝනය වී ඇති බවත්, මෙම මුළු ක්‍රියාවලියම අත්තනෝමතික සහ සදාචාර සම්පන්න නොවන එකක් බවත් පෙත්සම්කරු තර්ක කර ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිට ඇත්තේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස වසන්ත මුදලිගේ මහතා මෙරට ප්‍රධාන සමාජ-දේශපාලන ව්‍යාපාර රැසකට නායකත්වය ලබා දී ඇති බවයි . රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් මර්දනයට එරෙහි ව්‍යාපාරය,  2019 Z-Score විභාග ප්‍රතිඵල අසාධාරණයට එරෙහි ශිෂ්‍ය සටන, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි විරෝධතා සහ 2022 අප්‍රේල් මස ඇරඹී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම දක්වා ක්‍රියාත්මක වූ ‘ගෝඨාගෝහෝම්’ මහජන අරගලය ඒ අතර ප්‍රධාන තැනැක් ගන්නා බවයි. වසන්ත මුදලිගේ මහතා ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 2022 අප්‍රේල් 9 වන දින සිට ගාලු මුවදොර අරගල භූමියෙහි අඛණ්ඩව රැඳී සිටිමින් මෙම මහජන ව්‍යාපාරයට සක්‍රීයව දායක වූ බව පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.
වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය උපුටා දක්වමින් වසන්ත මුදලිගේ මහතාට එරෙහිව පවතින විමර්ශන ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. 2022 අප්‍රේල් 8 සිට අගෝස්තු 18 දක්වා කාලය තුළ සිදු වූ බව කියන පහත සඳහන් බරපතල සිදුවීම් අටක් සම්බන්ධයෙන් පෙත්සම්කරුගේ සම්බන්ධතාවය විමර්ශනය කරන බව වගඋත්තරකරුවන් කියා තිබේ.‍
  1. කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ මහතාට සහ අනෙකුත් නිලධාරීන්ට පහරදීම සහ සාපරාධී බියගැන්වීම් සිදු කිරීම.
    2. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීම.
    3. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම.
    4. කොළඹ ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීම.
    5. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිදුවීම.
    6. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම.
    7. අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික නිවාසවලට ගිනි තබා විනාශ කිරීම.
    8. පොලිස් මූලස්ථානය අසල පැවති විරෝධතාවකදී පොලිස් නිලධාරියෙකුට සාපරාධී බියගැන්වීම් සිදු කිරීම.
    මෙම චෝදනා ඉදිරිපත් කරමින් වගඋත්තරකරුවන් තර්ක කර ඇත්තේ වසන්ත මුදලිගේ මහතා මහජන බලය සහ ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කර ඇති බවයි. ඒ අනුව,ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් 2022 අගෝස්තු 22 වන දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ සඳහන් වී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සඳහා එවකට ආරක්ෂක අමාත්‍යවරයා විසින් රැඳවුම් නියෝග නිකුත් කර ඇති බවයි. අනතුරුව 2022 නොවැම්බර් 17 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ වසන්ත මුදලිගේ මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ (B/30475/1/20) සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ (MC 18448/21) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් නිකුත් වී තිබූ බවයි .
ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී සිය නිරීක්ෂණය මගින් කරුණු කිහිපයක් දක්වා ඇත. පළමු වරෙන්තුව නිකුත් කර ඇත්තේ 2022 මාර්තු 29 වන දින වන අතර, දෙවන වරෙන්තුව නිකුත් කර ඇත්තේ 2022 ජූලි 21 වන දින බවත්, මෙම වරෙන්තු දෙකම අගෝස්තු 18 වන දින දක්වා ක්‍රියාත්මක නොකර තිබීමට හේතුව කුමක්ද යන්න පැහැදිලි කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්,  පළමු වරෙන්තුව නිකුත් කර තිබුණේ “අධිකරණයට ඉදිරිපත් නොවීම” යන පදනම මත වන අතර, දෙවැනි වරෙන්තුව නිකුත් කර තිබුණේ “නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම” යන චෝදනාව මත බවත්, වරෙන්තු ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය අපරාධ නීතිය යටතේ බලය තිබියදී, හදිසියේම අගෝස්තු මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දැඩි නීතියක් යොදා ගැනීම ගැටළු සහගත බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.
තවද, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා විසින් 2022 අගෝස්තු 19 වන දින කැලණිය දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කළ ලිපියක් සහ එවකට පොලිස්පතිවරයා විසින් 2022 අගෝස්තු 20 වන දින නිකුත්  කළ ලිපියක් පිළිබඳවද අධිකරණය අවධානය යොමු කර ඇත. පොලිස්පතිවරයාගේ ලිපිය මගින් විමර්ශන පවත්වන ලෙස නියෝග කර තිබුණේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව ද, මෙයින් පැහැදිලි වන්නේ වසන්ත මුදලිගේ මහතා අගෝස්තු 18 වන දින අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් ඔහු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කිසිදු විමර්ශනයක් සිදු කර නොතිබූ බවත් යැයි අධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.
මූලික අයිතිවාසිකම් නඩුවේ අට වන වගඋත්තරකරු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඒ.කේ. ගමගේ මහතා සිය දිවුරුම් ප්‍රකාශය මගින් පවසා ඇත්තේ ඔහු මුදලිගේ මහතා අත්අඩංගුවට ගත්තේ “සාධාරණ සැකය” මත බවයි. එහෙත් අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් ගත වී අධිකරණය හමුවේ කරුණු දක්වන අවස්ථාවේ පවා, එම සාධාරණ සැකය ඇති වීමට හේතු වූ කිසිදු නිශ්චිත කරුණක් හෝ සාක්ෂියක් අධිකරණයට හෙළි කිරීමට ඔහු අපොහොසත් වී ඇති බව අධිකරණය කියයි. ඕනෑම අත්අඩංගුවට ගැනීමක නීත්‍යානුකූලභාවය ඔප්පු කිරීමේ භාරය වගඋත්තරකරුවන් සතු බවත්, හුදු චෝදනා මත පමණක් පුද්ගල නිදහස අහිමි කළ නොහැකි බවත් පෙන්වා දුන් අධිකරණය, ජෝසප් පෙරේරා එදිරිව නීතිපති නඩුවේ තීන්දුව උපුටා දක්වමින් අධිකරණය අවධාරනය කර ඇත්තේ විධායකය විසින් සිදු කරන ඕනෑම ක්‍රියාවක් නීතියේ ආධිපත්‍යයට යටත් විය යුතු බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතිවාසිකම් සහ වගකීම් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව ද විග්‍රහ කර තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව යටතේ සෑම පුරවැසියෙකුටම භාෂණයේ, ප්‍රකාශනයේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස හිමි වුවද, එම අයිතිවාසිකම් වගකීම් සහගතව සහ යහපත් හෘද සාක්ෂියකට එකඟව භාවිතා කළ යුතු බව විනිසුරුවරයා අවධාරණය කර ඇත. විශේෂයෙන්ම විරෝධතාකරුවෙකු කිසියම් සැඟවුණු අරමුණකින්, සදාචාර විරෝධී ලෙස හෝ පොදු මහජන ජීවිතයට බාධා වන අයුරින් විනය විරෝධී ලෙස හැසිරෙන්නේ නම්, එවැනි ක්‍රියාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය මගින් ආරක්ෂා කළ නොහැකි බව අධිකරණය ප්‍රකාශ කර ඇත. අයිතිවාසිකම් භුක්ති විඳීම යනු අන් අයගේ අයිතිවාසිකම්වලට සහ මහජන සාමයට ගරු කිරීමේ වගකීමෙන් බැහැර වීමක් නොවන බව විනිසුරුවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කොට ඇත.
වසර කිහිපයක සිට පවතින බව කියන වරෙන්තු සහ චෝදනා තිබියදී, ඒ පිළිබඳව සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර නොගෙන, හදිසියේම 2022 අගෝස්තු 18 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මුදලිගේ මහතා අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ කරුණු ප්‍රමාණවත් නොවන බව අධිකරණය තීන්දු කළේය. ඒ අනුව, වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම මගින් 8 වන වගඋත්තරකරු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) (නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ අයිතිය) සහ 13(1) (අත්තනෝමතික පරිදි අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් වීමේ අයිතිය) යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේඨාධිකරණය තීන්දු කළේය.
කෙසේ වෙතත්, වසන්ත මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) වගන්තිය උල්ලංඝනය වී ඇති බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර නොමැති බව අධිකරණය නිගමනය කර ඇත. මෙම නඩු තීන්දුව මගින් වසන්ත මුදලිගේ මහතාට එරෙහිව දැනට පවතින හෝ ඉදිරියේදී පවරනු ලබන කිසිදු නීත්‍යානුකූල අපරාධ නඩු කටයුත්තකට බාධාවක් හෝ බලපෑමක් නොවන බවද අධිකරණය සිය තීන්දුව මඟින් අවධාරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල අවසාන වශයෙන් අවධාරණය කර ඇත්තේ රජයේ විධායක බලය යොදා ගනිමින් පුද්ගල නිදහසට බාධා කිරීම අත්තනෝමතික ලෙස සිදු නොකළ යුතු බවත්, ඕනෑම අත්අඩංගුවට ගැනීමක් නීතියේ ආධිපත්‍යයට යටත්ව සිදු විය යුතු බවත්ය.
අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පහත දැක්වේ.
sc_fr_283_2022
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here