මාවනැල්ලේ තරුණයකු කිසිම සාක්කියක් නැතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලෙසට නියෝග කරමින් රැඳවුම් නියෝග ලබා දී ඇත්තේ පාස්කු ඉරිදා සිදුවූ ම්ල්චේඡ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ නඩු පවරන ලෙස ජනාධිපති කොමිසමේ නිර්දේශයට ලක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු බව නවු වාර්තා පරීක්ෂා කරද්දී අනාවරණය විය.
එසේම තරුණයා අත්අඩංගුවට ගැනීම ගැන ඔහු යටතේ සිටින දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් නම් නිලධාරියා අසත්‍ය තොරතුරු අධිකරණයට වාර්තා කර ඇති බව ද මේ වන විට හෙළිවී තිබේ.
ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා එම තරුණයා රඳවා තබා ගන්නා ලෙස පොලිස් නිලධාරීන් 05 දෙනකුට අවසර ලබාදී තිබෙන අතර එලෙස අවසර ලබා දී ඇත්තේ තරුණයා සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු තොරතුරක් අනාවරණය වී නොතිබියදී හා තරුණයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් හෝ අධ්‍යයනය කිරීමකින් තොරව වීම විශේෂත්වයකි.
පාස්කු ඉරිදා සිදුවූ ම්ල්චේඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර ලැබුණු බුද්ධි තොරතුරු කොළඹ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එවකට කටයුතු කළ අජිත් රෝහණ මහතා විසින් 2019 අප්‍රේල් 11 දින වන විට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ වෙත ලබාදී තිබූ අතර, වැඩ බලන අධ්යක්ෂවරයා ඒ අනුව කටයුතු කරමින් ප්‍රහාරකයන් ගැන සොයා බැලීමක් හෝ බුද්ධි නිලධාරීන් යෙදවීමක් සිදු කර නැති බව පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේදී අනාවරණය විය. ඒ අනුව එවකට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න බ්රාහ්මනගේ නම් නිලධාරියාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට සලකා බලන්නැයි ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කළේය.
එලෙස නිර්දේශ ලැබූ ප්‍රසන්න බ්රාහ්මනගේ නම් නිලධාරියා පසුව උසස්වීම් ලබා ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ලෙස පත්වී තිබෙන අතර 2024 ඔක්තෝබර 24 වැනිදා නීති විරෝධී ලෙස මාවනැල්ලේ තරුණයකු දෙහිවල පොලිසියේ ස්ථානාධිපති අනුරාධ හේරත් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 03ක් රඳවා තබා ගැනීම සඳහා අවසර දී ඇත්තේ මෙම ප්‍රසන්න බ්‍රහ්මනගේ නම් නිලධාරියාය.
දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් නම් නිලධාරියා මෙම තරුණයා සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 2024 ඔක්තෝබර් 27 දිනැති පළමු බී වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම තරුණයා අත්අංගුවට ගත්තේ උසස් නිලධාරීන්ගේ උපදෙස් අනුව බවයි. කෙසේ වෙතත් තරුණයා අත්අඩංගුවට ගත්තේ කුමන උසස් නිලධාරියකුගේ උපදෙස් මතද යන්න ගැන එම බී වාර්තාවේ සඳහන් නොවන අතර පසුව හෝ ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නැත. කෙසේ වෙතත් එලෙස අත්අඩංගුවට ගත් තරුණයා රඳවා තබා ගන්නා ලෙසට නියෝග ලබා දී ඇත්තේ ඉහත සඳහන් කළ ප්‍රසන්න බ්‍රහ්මනගේ නම් නිලධාරියාය.
එලෙස රඳවා තබා ගැනීමෙන් පසු තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටටේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූ අතර මාස නවයකට පසු ඔහුට පසුගියදා ඇප ලැබිණි. පොලිසිය මාස 09ක් තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් කර තැබීමට කටයුතු කිරීමෙන් පසු අධිකරණයට දැනුම් දුන්නේ ඔහුට එරෙහිව කිසිදු අපරාධයකට අදාල සාක්කියක් අනාවරණය නොවන බවයි.
ගුවන්යානා සම්බන්ධයෙන් පාඨමාලාවක් හදරා ඇති මෙම තරුණයා 2024 ඔක්තෝබර 23 වැනිදා කොළඹ පැමිණ නවාතැනක් සොයද්දී ඔහුගේ අත ජාතික හැදුනුම්පත නොමැතිවීම මත දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පසුදින එනම් 24 වැනිදා ඉදිරිපත් කළ අතර, ඔහුගේ පියා මාවනැල්ලේ සිට පැමිණ හැදුනුම්පත ඇතුළු අනන්‍යතා ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයෙන් මුදා හැරිණි. පසුව පියා සහ තරුණයා මාවනැල්ලේ නිවසට යද්දී ගල්කිස්ස පොලිසියේ ජිප් රියෙන් ගල්කිස්ස ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාවනැල්ලට පැමිණ ඔහු යළි අත්අඩංගුවට ගෙන ඇති බව තරුණයාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබේ. තරුණයා අත්අඩංගුවට ගත්තේ මාවනැල්ලේදි බව සනාථ කරන සීසීටීවී දර්ශනවල ඡායාරූප දෙකක් ද නීතිඥවරයා විසින් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.
කෙසේ වෙතත් දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ මෙම තරුණයා 24 වැනිදා මුදා හැරිය පසු 25 වැනිදා යළි සැක කටයුතු ලෙස ඊශ්‍රායල තානාපති කාර්යාලයට අදාල ගොඩනැගිල්ලක් අසල සිටියදී උසස් නිලධාරීන්ගේ උපදෙස් මත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බවයි. නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛණ අනුව පැහැදිලි වන්නේ අනුරාධ හේරත් නම් පොලිස් ස්ථානාධිපතිවරයා අසත්‍ය තොරතුරු අධිකරණයට වාර්තා කර ඇති බවයි.
කිසිම සාධාරණ සැකයක් හෝ කිසිම සාක්කියක් නැතිව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් රඳවා තබා ගැනීමටත්, රිමාන්ඩ් බාරයේ තැබීමටත් දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් සහ ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රසන්න බ්රාහ්මනගේ කටයුතු කර ඇත්තේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
MediaLK ජනමාධ්‍ය වැඩවලට සහයෝගය දැක්වීමට ඔබටත් හැකියාව තිබේ. ඒ සඳහා පහත Link එක ඔස්සේ පිවිසෙන්න.