(ශාලික විමලසේන)
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බලපෑම් කරමින් ලංකාගම හරහා නෙළුව – දෙනියාය මාර්ගය පුළුල් කිරීම ජනතාවගේ යහපත සඳහා පමණක් සිදු කරන්නක් බවත්, හදිසියෙන් මෙම මාර්ගය පුළුල් කිරීමේ කිසිදු පටු අරමුණක් නැති බවත් ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින්-දිගටම කීවද, එය අසත්‍යයක් බවට පරිසරවේදීන් ඉදිරිපත් කළ තර්කය පෙරේදා (16) කැබිනට් මණ්ඩල රැස්වීමේදී යළිත් තහවුරු විය.
කැබිනට් තීරණ – 2020.11.16 – අංක 10
ගිං සහ නිල්වලා ගංගාවල ජලය ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සඳහා යෝජනා කරන ලද ගිං-නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම – ගිං සහ නිල්වලා ගංගා පිළිවෙලින් ජලය කියුබික් මීටර් 2,000ක් සහ 1,200ක් මුහුදට ගෙන යයි. මෙම ගංගාවල ඇති වන ගංවතුර පාලනය කිරීම සහ ගංගාවල ඇති අතිරික්ත ජලයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය හා වාරිමාර්ග ජල හිඟය මඟහරවා ගැනීම සඳහා ගිං-නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, මේ පිළිබඳ අධ්‍යයන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී. වාරිමාර්ග අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනා සහ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දේශීය අරමුදල් උපයෝගී කරගනිමින් ව්‍යාපෘතිය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදි.
කලබලයේ තරම
ලංකාගම හරහා නෙළුව – දෙනියාය මාර්ගය යුද හමුදාව යොදවා කඩිනමින් ඉදිකරමින් තිබූ අතර, ඊට එල්ල වූ විරෝධය නිසා ජනාධිපතිවරයා ද ලංකාගමට ගියේය. ඉන්පසු පසුගිය සති දෙකේ පැවැති වර්ෂාව නිසා මාර්ගයට අලුතින් යෙදූ තාර තට්ටු පුපුරා, ගැලවී යමින් තිබේ. එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කඩිනමින් ලංකාගමට ගොස් එය අසත්‍යයක් බව මාධ්‍යයට කීවේය.
මූලික පරිසර ඇගයීම් වාර්තා කිසිවක් නොමැතිව මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු අතර, සිංහරාජ රක්ෂිත වනාන්තරය ආසන්නයේ පොළොවේ පිහිටීම සහ පොළොවේ ඇති ඝන දිරාගිය කොළරොඩු තට්ටු නිසා මෙවැන්නක් සිදුවිය හැකි බව ඉදිකිරීම් සිදු කරන විට ලංකාගම ප්‍රදේශවාසීහු කීහ. එහෙත් ඒ ගැන තැකීමක් නොකෙරිණි. ජනතාව වෙනුවෙන් පමණක් බව පවසමින්, දැඩි කලබලයකින්, මාර්ගයේ ඉදිකිරීම් කරන ප්‍රදේශයට කිසිවකුට ඇතුළුවීමට නොදී සියල්ල සිදු කෙරිණි.
අත්‍යවශ්‍ය පාරක්
ලංකාගම ජනතාවට ඒ පාර අත්‍යවශ්‍ය ය. වැල් පාලම්, ඒ දඬු ගැන කතා, කතන්දර පමණක් වුවද, ඔවුන්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතියක් ඇත. දෙනියායෙන් ගියත්, නෙළුවෙන් ගියත් ලංකාගමට යන එක කතන්දරයකි. ගම ඇතුළේ මිනිස්සු දුක් විඳිති. හැම ආණ්ඩුවකටම අයත් නියෝජිතයෝ ඔවුන්ට පොරොන්දු දෙති. එහෙත් ඉහත නගර දෙකෙන්ම දුරස්ව, හුදෙකලාව පිහිටි ලංකාගම ඉන්පසු ඔවුන් අමතක කර දමති. මේ හුදෙකලාව යනු කිලෝමීටර් සිය ගණනක් නොවේ. ලංකාගම සිට නෙළුවටත්, එහි සිට දෙනියායටත් ඇත්තේ කිලෝමීටර් පහළොව – විස්ස අතර දුරකි. සිංහරාජය මේ දුරස්කම නිර්මාණය කර තිබේ. රජයේ ස්ථිර සේවකයෙකු වන ග්‍රාම නිලධාරිවරයෙකු පරිපාලනය සඳහා නිල වශයෙන් පත්කර ඇති පවුල් පන්සීයකට මදක් වැඩි ජනගහනයක් සහිත ගම්මානයකි, මේ.
මාධ්‍යයට තහනම්
මෙම මාර්ගය ඉදිකරන දිනවලදී ලංකාගමට මාධ්‍යයට ඇතුළු වීම තහනම් කර තිබිණි. ඒ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සමීපතමයන් පිරිසකි. ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින්-දිගටම ජනතා යහපත සඳහා පමණක් මෙම ඉදිකිරීම කරන බව පැවසූ නිසා, ජනතාවගෙන් ද ඔවුන්ට සහාය ලැබිණි. ඊට අමතරව හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය ද වෙනම මුරකාවල් දමා තිබිණි.
හමුදාව යෙදවීම
රටේ තවත් මාර්ග හදන්නට තිබියදී, මාර්ග හදන ආයතන තවත් තිබියදී හමුදාවට මේ පාර දුන්නේ ඇයිදැයි මාධ්‍ය දිගින්-දිගටම ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ මෙවැනි මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් වී තිබූ බවත්, ඒ අතරින් මාර්ග සංවර්ධන ආයතනවලට ඉදිකිරීම් කළ නොහැකි, ඊට අදාළ සැපයුම් සපයාගත නොහැකි මාර්ග තෝරාගෙන ඒවා ඉදිකිරීමේ වගකීම හමුදාවට භාරදුන් බවත් ය. එම මාර්ග ඉදිකිරීමට අදාළ පරිසර ඇගයීම් වාර්තා සකස් කර ඇද්ද, ඒ සම්බන්ධයෙන් හමුදාවට වගකීමක් තිබේද යනුවෙන් කළ විමසීමේදී බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේ හමුදාව යොදවා ඇත්තේ ඉදිකිරීම් සඳහා පමණක් බවත්, ඊට අදාළ වාර්තා සකස් කිරීම ඇතුළු මූලික කටයුතු මාර්ග සංවර්ධනයට අදාළ රාජ්‍ය ආයතනවල වගකීමක් බවත් ය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේ මෙහිදී හමුදාව අතින් අඩුපාඩුවක් සිදු වී ඇති බවයි. එහෙත් ඊට අදාළ ව දැන් නඩු පැවරිය නොහැකි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
ජනතාව පෙන්වා කරන්නේ කුමක්ද?
ජනතාව පෙන්වා මේ මාර්ගය කඩිනමින් ඉදිකරන්නට හැදුවේ ගිං-නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ය. ඊට අවශ්‍ය උපකරණ සහ වාහන ලංකාගමට ගේන්නට ය. එය මෙතෙක් ආරම්භ කර නැතත්, පාර වැටී ඇත්තේ එතැනට බව ඉහත කැබිනට් තීරණයෙන් ම පැහැදිලි වේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය රටට බලපෑම් කරමින් සිටින අවස්ථාවක, මේ මාර්ගයේ සිදුවීමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට කැබිනට් ඇමැතිවරයාම යෑමත්, ඊට පසු සතියේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමක් අහඹු සිදුවීම් විය හැකිද? අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම දේ නොකරන්නේ නම්, ඊට සුදුසු වෙලාවක් නැවත ලැබෙන්නේ නැත. ඊට හොඳම උදාහරණයකි, උමා ඔය ව්‍යාපෘතිය. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ මෙමඟින් සිදු වන පරිසර හානි, ජලයට සිදු වන බලපෑම පිළිබඳව පැහැදිලි කරන්නට උත්සාහ කළ විට එහි ජනතාව මෙසේ කීය.
‘සංවර්ධනයට අකුල් හෙළන්න එපා. ගමේ වැඩක් කළා ම දවසට හම්බ වෙන්නෙ රුපියල් දාහයි. ඉරාන කොම්පැනියෙන් අපිට දෙදාහක් ගෙවනවා. අපි කාලා, ඇඳලා ඉන්නවට ඉරිසියා කරන්න එපා.’ ඉන් වසර ගණනාවකට පසු ඒ ජනතාව පෙර කී පීඩා අත්වින්දෝය. නිවෙස් ඇතුළත ආවාට ඇති විය. ළිං සිඳිණි. ඔයවල් පවා හිඳී ගියේය. එහෙත්, ඒ වන විට එය ආපසු හැරවිය නොහැකි තරමට ඉදිරියට ‌ගොස් අවසන් ය. ඒ වෙලාවේ ජනතාව වැරදි නැත. අගහිඟකම්වලින් මිරිකී සිටි, තමන්ගේ එළවළුවලට නිශ්චිත මිලක් නැති ඔවුන්ට රුපියල් දෙදාහ වැදගත් ය. මේ වෙලාවේ ලංකාගම ජනතාව පෙන්වා, පාරේ වැදගත්කම පෙන්වා සැලසුම්කරුවන්ට තමන්ගේ වැඩේ කරගන්නට හැකියාව ලැබී ඇත්තේත් ඒ වගේම ය.
ව්‍යාපෘතියේ අරමුණු සාර්ථක?
ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ මූලික ශක්‍යතා අගැයීම් වාර්තා අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ය. මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකේ ප්‍රදේශ රැසකට පානීය ජලය සැපයීම, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ සහ වාණිජ කර්මන්ත කලාපයට ජලය සැපයීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 8,500ක වගා බිම්වලට ජලය සැපයීම, හම්බන්තොට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඒ අතර වේ. තත්ත්වය මෙසේ වුව ද, ගිං-නිල්වලා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවට පවසා ඇත්තේ, වර්ෂා කාලයට ඇති වන ගංවතුර පාලනය කිරීම සඳහා එම කාලයේ දී මේ ගංගා දෙකේ අතිරික්ත ජලය හම්බන්තොටට යවන බව ය. එහෙත්, ඉහත අරමුණු දෙස බලන විට පෙනී යන්නේ මෙය වසර පුරාම ක්‍රියාත්මක වීමට නියමිත බව ය. එනම්, වර්තමානයේ දී ද වර්ෂාව නොමැති කාලයේ මෙම ගංගා ද්‍රෝණිවල ජනතාව දැඩි ජල හිඟයකට මුහුණ දෙන අතර, ඉදිරි කාලය ඔවුන්ට තවත් අමාරු වනු ඇත.
මෙය පැරණි සැලසුමකි. එය අදට ගැළපෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. 1936 වසරේ දී මුල්වරට අධ්‍යයනය කළ ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය, වර්තමානයේ දී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය බරපතළ ගැටලු මතු කරන්නකි. මේ වන විට ගිං සහ නිල්වලා ගංගාවල ජල පෝෂක තෙත් වනාන්තර බොහොමයක් එළිපෙහෙළි කර පහතරට තේ වගා කර ඇත. මේ නිසා මෙම ගංගා ද්‍රෝණිවල ජලය විධිමත්ව පොළොවට උරා ගැනීමක් සිදු නොවේ. වර්ෂා කාලයේ දී මතුපිටින් ගලා යන ජලය ගංගාවලට එක් වී, තාවකාලික ගංවතුර තත්ත්වයන් ඇති කරයි. නියං කාලවල දී මතුපිට පසේ ඇති ජලය ශීඝ්‍රයෙන් වාෂ්ප වී, ජල හිඟයක් ඇති කරයි. මේ නිසා වර්ෂාව නොමැති කාලයේ දී පානීය ජල ප්‍රශ්නය, තේ වගාවට අවශ්‍ය ජලය නොමැති වීමෙන් අස්වැන්න අඩු වීම ආදී ගැටලු ඇති වේ. හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ ය.
උමං සැලසුම්
මෙම ව්‍යාපෘතිය යටතේ මූලිකව සිදු කෙරෙන්නේ පිටදෙනිය-ලංකාගම, කොටපොළ සහ අම්පනාගල ඉදි කෙරෙන වේලි තුනක් මඟින් කුඩා ජලාශ තුනක් ඉදි කර, උමං කිහිපයක් ඔස්සේ මුරුතවෙල ජලාශය දක්වා ගිං-නිල්වලා ජලය රැගෙන යාම ය. ඉන් පසුව ඇළ මාර්ගයක් ඔස්සේ චන්ද්‍රිකා වැව දක්වා ජලය ගෙන යන අතර, එමඟින් උඩවලව ජලාශයට ජලය ගෙන යාමට සැලසුම් කර ඇත. එහි දී කිරිඉබ්බන් වැව සහ මවුආර පෝෂිත ඇළ දක්වා ජලය පොම්ප කර යැවීමට නියමිත ය.
මෙම ව්‍යාපෘතිය යටතේ සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව ඉදි කෙරෙන පිටදෙනිය – ලංකාගම ජලාශයේ ජල පැතිරුම් ප්‍රදේශය අක්කර 14ක් ලෙස සැලසුම්වල දැක්වේ. ගිං ගඟ හරහා මීටර් 93ක් දිග සහ මීටර් 4.5ක් උස වේල්ලක් ඉදි කර මෙම ජලාශය ඉදි කෙරේ. ජලාශයේ සිට කිලෝමීටර් 12.5ක් දිග සහ විෂ්කම්භය මීටර් 4.3ක් වන උමඟකින් දියදාව වන රක්ෂිතය හරහා ගල්දොළ දක්වා ජලය ගෙන යාමට නියමිත ය. මෙවැනි උමං මාර්ග තුනක් හරහා ව්‍යාපෘතියේ ජලය ගෙන යන බව සැලසුමේ සඳහන් ය.
ලංකාගම – මාදුගැට ප්‍රදේශයේ මෙහි මුල් උමඟ කැණීමට අදාළ සටහන් යොදා තිබේ. ආන්දෝලනයට තුඩු දී ඇති ලංකාගම පාර පුළුල් කිරීමේ මූලික අරමුණ මීට අදාළ දැවැන්ත යන්ත්‍රසූත්‍ර රැගෙන ඒම බවට තර්ක කළ හැකිය. දැනට නෙළුව හරහා ලංකාගමට හෝ දෙනියායේ සිට ලංකාගමට ඇති පාරෙන් ඒවා ගෙන එන්නට නොහැකි ය. ජනතාවට මේ තරම් පුළුල් පාරක් අවශ්‍ය වන්නේ ද නැත. ජනතාව මේ තරම් පුළුල් පාරක් ඉල්ලු‍වේ ද නැත. පරිසර තක්සේරුවකින් තොරව හමුදාව යොදවා ජනතාව වෙනුවෙන් මේ හදිස්සියේ පාර හදන්නේ වෙන කුමකට ද?
MediaLK.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here