Home පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව පුවත්මානව හිමිකම්හෙළිදරව්ව පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව By www.medialk.com - October 26, 2025 FacebookTwitterPinterestWhatsApp (දිලිණි රණේපුර) ඔක්තෝබර් 27 දින, සීදූව, රද්දොළුව මංසන්ධියේ පිහිටි අතුරුදන්වූවන්ගේ ස්මාරකයට අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පැමිණ හඬාවැටෙන දසුන් බොහෝදෙනකු දැක තිබුණද, එවැනි ස්මාරකයක් එවැනි ස්ථානයක ඉදිකිරීමට හේතුව දන්නේ අතළොස්සක් පමණි. තවත් දින කිහිපයකින් යළිත් වරක් රද්දොළුවේ අනුස්මරණයක් පැවැත්වීමට නියමිත ය. මේ ලිපිය අතුරුදන්වූවන්ගේ ස්මාරකයේ පසුබිම් කතාව ගැනයි. ඒ, 1991 ඔක්තෝබර් 27 වැනිදා ය. ඒ වන විටත් ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාත්, ජයන්ති දන්දෙණිය නම් තරුණියකුත් ඇතුළු සුළු පිරිසක් විශේෂ අනුස්මරණ වැඩසටහනක් සීදූව, රද්දොළුව හංදියේ පල්ලිය අසලදී සිදු කරමින් සිටියහ. 1991 ඔක්තෝබර් 27 වැනිදා පිරිසක් එක්ව අනුස්මරණයක් පැවැත්වීමේ කතාව ආරම්භ වන්නේ 1989 වසරේදීය. අද වන විට මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සහ සිරකරුවන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරිනියක වන ජයන්ති දන්දෙනිය එවකට කටුනායක වෙළඳ කලාපයේ ආයතනයක රැකියාව කළ තරුණියකි. ඇයගේ පෙම්වතා වූයේ එච්. එම්. රංජිත් ය. රංජිත්, කටුනායක වෙළඳ කලාපයේ සේවය කළ අතර, සේවක අයිතිවාසිකම් පිළිබඳ අරගලවලදී පෙරමුණේ සිටි අයෙකි. ජයන්ති දන්දෙණිය ‘‘88-89 කාලයේ භීෂණය ඉතාමත් දරුණු විදිහට තිබුණා. වෙළඳ කලාපේ හා ඒ අවට කම්කරුවෝ හැටියට ආයතනවල වැඩ කරපු අය සමහර දේවල්වලට භීෂණය පාවිච්චියට ගත්තා එයාලගේ ප්‍රශ්න විසඳගන්න. මමත් වෙළඳ කලාපේ වැඩ කළේ. සමහර වෙලාවට අපි වැඩට යනවා, පොඩි චිට් එකක් එනවා, පැයකින් දෙකකින් ආපහු අපි බෝඩිමට එනවා. රංජි අයියා වැඩ කළේ කොරියන් සමාගමකට අයත් ආයතනයක. ඒක මල් හදන සමාගමක්. එයා කියන විදිහට, ඒකෙ ඉතාම දරුණු විදිහට ආයතන ප්‍රශ්න තිබුණා. රංජි අයියා තදින්ම ඒවාට විරුද්ධව මැදිහත් වුණා.’’ ජයන්ති තම පෙම්වතා ගැන අතීතය ආවර්ජනය කළේ එසේ ය. එම කාලයේ කලාපයේ පිහිටි ආයතනවල වෘත්තීය සමිති සංස්කෘතියක් නොතිබිණි. එසේ වුවද ආයතනික ප්‍රශ්න විසඳාගැනීම සඳහා රංජිත් විශේෂ මැදිහත්වීමක් කළේය. ඔහු ලයනල් මහතා ළඟින් ම ඇසුරු කළේය. ලයනල් මහතා ඒ වන විට නීති උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. වෙළඳ කලාපයේ තිබෙන බොහෝ ආයතනවල සේවකයන්ගේ ප්‍රශ්නවලට අවශ්‍ය නීතිමය උපදෙස් හා සහයෝගය ලබාදුන්නේ ලයනල් මහතා ය. දෙදෙනෙක් අතර සිදු වූ ආරවුලක් නිසා, 1989 වසරේදී රංජිත්ගේ වැඩ තහනම් විය. ආයතනයට සම්බන්ධ කිසිදු ස්ථානයකට ඇතුළු නොවන ලෙස සඳහන් කරමින් රතු පාටින් ලියන ලද ලිපියක් රංජිත්ට ලැබිණි. ඔහු ඒ වන විටත් ඔහුගේ බෝඩිමේ රැඳී සිටිමින්, ලයනල් මහතාගේ උපදෙස් පරිදි, අවශ්‍ය ලිපි ලේඛන සකස් කරමින් සිටියේය. 1989 ඔක්තෝබර් 27, පස්වරු 4ට ආයතනය විසින් පවත්වනු ලබන විමර්ශනයට නීති උපදේශකවරයකු සමඟ පැමිණෙන ලෙස දන්වමින් රංජිත්ට තවත් ලිපියක් ලැබිණි. ඒ අනුව අදාළ පරීක්ෂණයට තමන් නීති උපදේශකයකු සමඟ පෙනී සිටින බව හැඳුනුම්පත් පිටපත් ද සමඟ රංජිත් ආයතනයට ලිඛිත ව දැනුම් දුන්නේය. එම පරීක්ෂණයට ආයතනය පාර්ශ්වයෙන් නීතිඥයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පෙනී සිටින බව රංජිත්ට දැනගන්නට ලැබිණි. රංජිත් “එදා සිකුරාදා. එදා උදේ ම මාව ෆැක්ට්‍රි එකට දාලා රංජි අයියා ගියා. හවසට විමර්ශනයට යනවා කියලයි ගියේ. එච්චරයි, ඉන්පසු ඔහු නැවත ආවේ නෑ. මං හොයනවා එයාව, ඒත් හොයාගන්න බෑ. මගේ බෝඩිමේ එහා පැත්තේ හිටපු නංගි දැකලා තියෙනවා රංජි අයියා තව කෙනෙක් එක්ක මඟට එනවා පාපැදියෙන්. එයා යන්ඩ ඉස්සෙල්ලා මට කිව්වා, රෑ වුණොත් ලයනල් අයියව බස් එකට දාලා එන්නේ කියලා. මගේ යාළුවා එයාව දැක්කා කියල කිව්වත්, මන් හිතුවා ලයනල් අයියාව දාලා එන්න තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා. කොහොම වුණත් එයා ආවේ නැහැ.” ජයන්ති කීවාය. ජයන්ති පසු දින උදෑසනම ඔහු සේවය කළ ආයතනයට ගියද, ඒ වන විටත් ආයතනය වසා තිබූ නිසා ඇය රංජිත් සමඟ සේවය කළ හිතවතකු වූ චන්ද්‍රා දේවනාරායනගේ නවාතැනට ගියාය. රංජිත් හා ලයනල් දෙදෙනාම ආයතනයේ පැවති විමර්ශනයට ගියත් නැවත නොපැමිණි බව ඔහුගෙන් ද ඇයට දැනගන්නට ලැබිණි. ඉන්පසු දෙදෙනා ම ලයනල් මහතාගේ ජා-ඇල, ඒකල පිහිටි නිවස බලා පිටත් වූයේ ඔවුන් දෙදෙනා එහි සිටීද යන්න දැනගැනීමට ය. ලයනල් මහතා ගෙදර නොපැමිණි බව ඔහුගේ බිරිඳ ද පැවසුවාය. ඒ වන විට ලයනල් මහතාට කුඩා දියණියෝ දෙදෙනෙක් ද සිටියහ. ජයන්ති නැවත නවාතැන වෙත පැමිණෙන විට ඒ අවට සියල්ලෝ ම මේ දෙදෙනාගේ අතුරුදන් වීම ගැන දැන සිටියහ. “ඇත්තටම අපි ප්ලෑන් කරලා තිබුණෙ රංජි අයියා ඉන්ක්වරි එකට යනවා, ඒක ඉවර වෙලා ඇවිල්ලා එයාගෙ අම්මව බලන්න යන්න. අපේ අම්මට ලියුමක් දාලා තිබුණෙ, කිරියි, මාළුයි අරන් එන්න කියලා එයාගෙ අම්මට ගෙනියන්න. අම්මා එනවා මාතර ඉඳලා ඒවත් අරගෙන 28 වැනිදා. එතකොට මෙයා නැහැ. ඒ වෙනකොට සිස්ටර්ස්ලත් ඇවිල්ලා හිටියෙ මගේ බෝඩිමට. අම්මව බෝඩිමේ තියලා සිස්ටර් මාව කටුනායක කොන්වන්ට් එකේ තියාගෙන හිටියා. ඒ වෙනකොට සරත් ඉද්දමල්ගොඩ පියතුමාත්, ක්‍රිෂ්ටීන් කන්‍යා සොයුරියත් මේක දැනගෙන. සිස්ටර් මට සුරවීර කියලා කෙනෙක්ව හඳුන්වලා දුන්නා. සුරවීර හොඳට දන්නවා ලයනල් අයියලව. සුරවීර කිව්වා, මෙහෙම බ්‍රිටෝ කියලා අයියා කෙනෙක් ඉන්නවා, එහෙට යමු කියලා. අපිට කියන්න වෙන කෙනෙකුත් නැහැනෙ.” ජයන්ති ඒ කීවේ බ්‍රිටෝ ප්‍රනාන්දු ගැන ය. බ්‍රිටෝ ප්‍රනාන්දු මානව හිමිකම් ක්‍රියාධරයෙකි. විශේෂයෙන් ම අතුරුදන්වූවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ හඬනගන අව්‍යාජ මිනිසෙකි. මේ කතාව එය තවත් තහවුරු කරයි. ජයන්ති කියන ආකාරයට ඉන්පසු මෙසේ සිදු වී ඇත. බ්‍රිටෝ ප්‍රනාන්දු ඔක්තෝබර් 30 වැනිදා උදේ 6ට පමණ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ නිවසට සුරවීර සමඟ ජයන්ති ගියහ. සුරවීර සිද්ධිය මුල සිට බ්‍රිටෝට පැවසීය. වාසුදේව නානායක්කාර මහතාට දුරකතනයෙන් මේ සිදුවීම ගැන බ්‍රිටෝ දැනුම් දුන්නේය. ඉන් අනතුරුව ඔහුගේ ජා-ඇල පදිංචි අයියාට දුරකතන ඇමතුමක් ගෙන කතා කළේය. ඔහුගේ සහෝදරයා වෑන් රථයකින් ජා-ඇල සිට කටුනායක වෙළඳ කලාපය දක්වා සේවකයන් ප්‍රවාහනය කළේය. ඔහුගේ වෑන් රථය ඔක්තෝබර් 27 වැනිදා එස්. අයි. උඩුගම නම් පොලිස් නිලධාරියා විසින් රැගෙන ගොස් ඇති බව මෙහිදී දැනගන්නට ලැබිණි. ඒ අනුව ලයනල් හා රංජිත් දෙදෙනා නැති වූ වේලාවත්, මෙම වාහනය පොලිසියෙන් ගත් වේලාවත් සමඟ බලන විට යම් සැකයක් තිබෙන බව බ්‍රිටෝ පැවසීය. දවස් කිහිපයකට පසු, ජයන්ති, ඉද්දමල්ගොඩ පියතුමා සහ ක්‍රිෂ්ටීන් කන්‍යා සොයුරිය සමඟ පැමිණිල්ලක් දැමීමට කටුනායක පොලිසියට ගියාය. නමුත් පොලිසියෙන් පැමිණිල්ල ලියාගන්නවා වෙනුවට කර ඇත්තේ ජයන්තිට බැණ වැදීමයි. පොලිසියේ හැසිරීම ගැන ජයන්ති මෙසේ ප්‍රකාශ කළාය. “මට හොඳට මතකයි, මට බැන්නා. තමුසෙගෙ මිනිහා අපිට උස්සාගෙන යන්න වුවමනාවක් නැහැ. අතුරුදන් කරන්න ඕනෙත් නැහැ. තමුසෙගෙ මල්ලිත් නැතිවෙලානෙ, එයාලම මේක කරන්න ඇති. අපි එහෙම්ම ආවා, ඇවිල්ලා ගියා ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේගේ ගෙදර. එතැන ඉඳන් කතාව එන්නෙ ජෙයරාජ් ඇමතිතුමාගෙ කටඋත්තරයත් එක්ක. එයා සීඅයිඩී එකට සහ ඒඑස්පී ඔෆිස් එකට මේක ගැන කටඋත්තර දුන්නා. ඒ සියලු කටඋත්තරවල ඉතාම පැහැදිලිව, මෙයාලගෙ නම්-ගම් එක්ක, මෙයාලා අරගෙන ගිය හේතුව තියෙනවා..” ජයන්ති කීවාය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ලබාදුන් කටඋත්තරයට අනුව, විමර්ශනය සිදු කර ඇත්තේ, රංජිත් සේවය කළ ආයතනයේ පිරිස් කළමනාකාරිනියයි. රංජිත්ගෙන් ප්‍රශ්න අසන සෑම වේලාවකදීම ඇය මඟහැර ගිය බවත්, පස්වරු 4.30ට පමණ පටන්ගත් විමර්ශනය රාත්‍රී 7.15 පමණ වනතෙක් පැවැත්වුණු බවත්, විමර්ශනය ප්‍රමාද කරන ලෙස අදාළ කළමනාකාරිනිය තමන්ට උපදෙස් දුන් බවත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ. ඇය විමර්ශනය අවසන් වූ සැණින් ඇගේ කාමරය වෙත ගොස් දුරකතන ඇමතුමක් ලබා ගත්තාය. “කටුනායක පොලිසියෙන්ද කතා කරන්නෙ? මගෙ වැඩේ ඉවරයි කියලා උඩුගමට කියන්න.” ඇය පවසනු ජෙයරාජ්ට ඇසිණි. සාමාන්‍යයෙන් වෙළඳ කලාපයේ ආයතනයක විමර්ශනයක් සිදුකිරීමට නම් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු වුවත්, මෙම විමර්ශනයේදී එසේ අවසර ගැනීමක් සිදුවී නොමැති බව ද කියැවිණි. “විමර්ශනය අතරතුර ජෙයරාජ්ගෙ කකුල වැදිලා තියෙනවා අර දෙන්නගෙන් එක්කෙනෙකුගෙ කකුලක. මේසය යටින් බලද්දි ඔහුගේ සපත්තු දෙකට සමාන සපත්තු දෙකක් තමයි එක්කෙනෙක් දාගෙන ඉඳලා තියෙන්නේ, ඇත්තටම රංජිත්ට සපත්තු දෙකක් නැතුව, එදා දාගෙන ගියෙ යාළුවෙකුගෙ කැන්වස් සපත්තු දෙකක්.” ජයන්ති තවදුරටත් එසේ විස්තර කළාය. රද්දොළුව නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ජෙයරාජ්ගේ ලේකම්වරයෙක් ඔක්තෝබර් 28 වැනිදා උදෑසන අඩක් පිළිස්සුණු මළසිරුරු දෙකක් රද්දොළුව හන්දියේ තිබෙන බව ජෙයරාඩ්ට දුරකතන ඇමතුමකින් දැන්වීය. ඉන් එක් අයකු ජෙයරාඩ්ගේ සපත්තුවලට සමාන සපත්තු දෙකක් පැළඳ සිටින්නේ යැයි පෙනෙන බවත් ලේකම්වරයා පවසා ඇත. ඒ අනුව සීදූව – රද්දොළුවේ තිබූ මළසිරුරු දෙක ජයන්තිගේ පෙම්වතාගේ සහ පෙම්වතාගේ නීති උපදේශකවරයාගේ බව ජෙයරාජ් දැනගත්තේය. “මෙයාලව අත්අඩංගුවට අරගෙන සීදූව පොලිසියට අරගෙන ගිහිල්ලා, එළිවෙනකම් පොලිසියේ කොට්ටම්බා ගහක් යට තියාගෙන ඉඳලා තියෙනවා. එතැන ඉඳලා උදේ පාන්දර මෙයාලව අරගෙන ගිහිල්ලා රද්දොළුව පල්ලිය ඉස්සරහා මරලා දාලා තියෙන්නෙ. මෙයාලව අරගෙන ගිහිල්ලා, මෙයාලට බහින්න කියලා, ඉස්සරහට දුවන්න කියලා තමයි වෙඩි තියලා තියෙන්නෙ. එතකොට බාගෙට තමයි මැරිලා තියෙන්නෙ. ටයර් දාලා පුච්චලා මෙයාලව. එතැන තියෙනවා පලතුරු කඩයක්, ඒකෙ තියෙන ලෑලිත් දාලා, පෙට්‍රල් දාලා ගිනිතියලා තියෙන්නෙ. ඒකත් බාගෙට. මෙයාලා අතුරුදන් වුණේ නැහැ. මැරුවා. මරලා මිනිය අරං ගියා. මිනිය කොහෙද කියලා තාම දන්නෙ නැහැ. මිනීමරුවො තවම ඉන්නවා. ජෙයරාජ්ගෙ කටඋත්තරයේ පැහැදිලිව මේ ගැන තියනවා.‘‘ වසර ගණනාවක් තිස්සේ තම පෙම්වතාට යුක්තිය සෙවූ ජයන්ති පැවසුවාය. බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා, ජයන්ති මහත්මිය ඇතුළු පිරිස් එකතු වී බොහෝ දෑ සිදු කළ ද, අඩුතරමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක්වත් සිදු වූයේ නැත. “අපිට ඕනෙ වුණේ මෙයාලව උසාවියකට හරි දාන්න. කතා කරවන්න. අපි පෝස්ටර් ගැහුවා. පඹයො හැදුවා. උඩුගමගෙයි, කළමනාකාරිනියගෙයි ෆොටෝ අරන් පඹයො හදලා එයාපෝට් පාරෙ පිච්චුවා.” ජයන්ති එසේ යුක්තිය සෙවූ සටනේ සන්ධිස්ථාන පැහැදිලි කළාය. රංජිත් සහ ලයනල්ට පමණක් නොව තවත් විශාල පිරිසකට යුක්තිය ඉල්ලමින් සිටි බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් රංජිත් සහ ලයනල් සිහිකරමින් 1991 ඔක්තෝබර් 27 වැනිදා සීදූව, රද්දොළුවේ පල්ලිය අසල මේ දෙදෙනා පණපිටින් පිළිස්සූ ස්ථානයට ගොස් අනුස්මරණයක් පැවැත්වීය. එදා ඊට සහභාගි වූයේ ඉතා සුළු පිරිසකි. රද්දොළුව පල්ලියට ගොස් මල් තියා, ආගමික වතාවත්වල නිරත වූ බ්‍රිටෝ, ජයන්ති ඇතුළු පිරිස ඉන් අනතුරුව රංජිත් හා ලයනල් අත්අඩංගුවට ගත් කටුනායක 18 කණුව අසලදී ද ආගමික වතාවත්වල නිරත වූහ. සුසන්ත පියතුමා සහ සමිත ස්වාමීන් වහන්සේ ආගමික කටයුතු කිරීමට මුල් වී තිබිණි. එතැන් පටන් සෑම වසරකම විවිධ කටයුතු සිදුකරමින් මේ අනුස්මරණ වැඩසටහන අද වනතුරු පවත්වන්නට බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිස කටයුතු කරති. මීට අමතරව ඔවුහු “නිවේකා” නමින් පුවත්පතක් ද මුද්‍රණය කරමින් මේ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කරයි. එදා රංජිත්ගේ පෙම්වතිය වූ ජයත්නි දන්දෙණිය, 1989 වසරේ සිට මේ වන තෙක් වසර 36කට ආසන්න කාලයක් පුරා අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ලබාගැනීමට අරගල කරන්නීය. දකුණු කොරියාවේ, මැයි 18 පදනම මඟින් 2003 වසරේදී “මානව හිමිකම් සම්මානය” ජයන්ති මහත්මියට පිරිනමන ලදි. තම කාර්යයන් තුළින් මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ සාමය ප්‍රවර්ධනය කිරීමට සහ ඉදිරියට ගෙනයෑමට දායක වූ කොරියාවේ සහ විදේශ රටවල පුද්ගලයන්, කණ්ඩායම් හෝ ආයතන අගය කිරීමට මෙම සම්මානය වාර්ෂිකව පිරිනමයි. ජයන්ති මහත්මියට මේ සම්මානය පිරිනැමීමට පෙර 2001 වසරේදී මෙම සම්මානය නීතිවේදියකු, දක්ෂ ලේඛකයකු, කවියකු, මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු මහතාට පිරිනමන ලදි. 2018 වසරේ මෙම සම්මානය රාජ්‍ය ප්රචණ්ඩත්වයේ වින්දිතයන්ට උපකාර කිරීම සහ යුක්තිය වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙන් නන්දන මනතුංග පියතුමාට පිරිනමා ඇත. 2024 මානව හිමිකම් සඳහා වූ ග්වාංජු ත්‍යාගය ශ්‍රී ලංකාවේ දෙමළ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන සුගන්තිනී මතියමුතන් තංගරාසා වෙත පිරිනමන ලදි. මැයි 18 අනුස්මරණ පදනම විසින් පිරිනමන ලද මෙම සම්මානය, ප්රචණ්ඩත්වය සහ මර්දනයෙන් පීඩාවට පත්වූ කාන්තාවන්, විශේෂයෙන් ලිංගික හිංසනයෙන් සහ මුල්ලිවයික්කාල් ජනසංහාරයෙන් දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනීසිටීම සඳහා ඇයගේ කාර්යය අගය කර ඇත. ජයන්ති ඇගයීමට ලක්වුණේ එලෙසිනි. එදා බ්‍රිටෝ ප්‍රනාන්දු, ජයන්ති දන්දෙණිය ඇතුළු පිරිසක් ආරම්භ කළ මෙම ඔක්තෝබර් 27 අතුරුදන්වූවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනේ සන්ධිස්ථානයක් 2000 වසරේදී සනිටුහන් විය. ඒ අතුරුදන්වූවන් විශාල පිරිසකගේ ඡායාරූප සහිතව ‘කඳුළු බිත්තිය‘ නමින් ස්මාරකයක් රද්දොළුවේ ඉදිකිරීම ය. මරණයට පත්වූවන් වෙනුවෙන් සොහොන්, ස්මාරක ඉදිකළ ද අතුරුදන්වූවන් වෙනුවෙන් මෙවැනි ස්මාරකයක් නිර්මාණය වූ ලංකාවේ පළමු අවස්ථාව එය විය. එතැන් සිට ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීහු ඔක්තෝබර් 27 වැනිදා රද්දොළුවට පැමිණ තම අතුරුදන්වූවන් සමරති. අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව මඟින් මෙවර පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ 35 වැනි අනුස්මරණ වැඩසටහනයි. ඊට සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඔක්තෝබර් 07 වැනිදා එම සංවිධානයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විද්‍යුත් ලිපියක් මඟින් ආරාධනා කර ඇත. එහෙත් ඊට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බව බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා කීවේය. 1988 වසරේ සිට වසර 2ක කාලයක් තුළ ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් කෙරිණි. රංජිත් සහ ලයනල් යනු එයින් දෙදෙනකු පමණි. රංජිත් සහ ලයනල්ට මෙන්ම එසේ අතුරුදන් කෙරුණු බොහෝ පවුල්වලට තවම යුක්තිය ඉටු වී නැත. බ්‍රිටෝ ප්‍රනාන්දුලා, ජයන්ති දන්දෙනියලා තවමත් අතුරුදන්වූවන්ට යුක්තිය සොයමින් සටන් කරති. දැන් ආණ්ඩු කරන්නේ 88/89 කාලයේ වැඩියෙන්ම බැට කෑ දේශපාලන පක්ෂයකි. එසේ හෙයින් එම කාලයේ බලහත්කාරයෙන් අතුරුදන්කළවුන්ට යුක්තිය ඉටුකිරීම සඳහා වර්තමාන ආණ්ඩුවට ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. වසර 30කටත් වැඩි කාලයක සිට ඔක්තෝබර් 27 වැනිදා සීදූවට පැමිණ කඳුළු සළන සියලුදෙනාටත්, සීදූවට නොපැමිණියද නිවෙස්වල සිට කඳුළු සළන සියලුදෙනාටත් යුක්තිය ඉටුකිරීම කඩිනම් කිරීම බලාපොරොත්තු විය හැකි අවසන් ආණ්ඩුව ද වර්තමාන ආණ්ඩුව ම බව පිළිගත යුතුය. යුක්තිය යනු හුදු අකුරු හතරක් පමණක් නොවේ. ජයන්ති දන්දෙණිය මහත්මියගේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව නරඹන්න… RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු මානව හිමිකම් මාකඳුරේ මදූෂ් ඝාතන විමර්ශන සීඅයිඩියට පවරන්නැයි ඉල්ලීමක් පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.