Home පුවත් බලහත්කාරයෙන් අතුරුදන්වූවන් ගැන ඇත්ත දැනගැනීම අයිතියක් – නඩු අහන ස්වාධීන කාර්යාලය කෝ?...

බලහත්කාරයෙන් අතුරුදන්වූවන් ගැන ඇත්ත දැනගැනීම අයිතියක් – නඩු අහන ස්වාධීන කාර්යාලය කෝ? – මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්

(ආචිත ඩී නානායක්කාර)
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් විමර්ශනය කිරීමට සහ වැරදිකරුවන්ට නඩු පැවරීමට හා බලයලත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන බරපතළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා ස්වාධීන ස්ථිර කාර්යාලයක් පිහිටුවීමට ලබාදී ඇති නිර්දේශ නැවත සිහිගන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අගෝස්තු 30 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති සහ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ අත්සනින් යුතුවය.
එමෙන්ම සත්‍ය කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් ද සිය පෙර නිර්දේශ මානව හිමිකම් කොමිසම මෙම නිවේදනය තුළින් යළිත් අවධාරණය කර තිබේ. සෑම වසරකම අගෝස්තු 30 වැනිදාට යෙදෙන ‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ වින්දිතයන්ගේ ජත්‍යන්තර දිනය‘ට සමගාමීව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීම, නඩු විමර්ශනය කිරීම, අපරාධකරුවන්ට දඬුවම් කිරීම, සත්‍ය සහතික කිරීම, වින්දිතයන් සඳහා වගවීම සහ වන්දි ගෙවීම සහ 2010දී බලාත්මක වූ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍යයන්ගෙන් කරන ඉල්ලීම නැවත තහවුරු කිරීමේ දිනයක් බව මේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව 2016දී මේ සම්මුතිය අනුමත කළ අතර, 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත බලාත්මක කළ බව ද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක මානව හිමිකම් ගැටලුවක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභා නිරන්තරයෙන් පිළිගෙන ඇති අතර, එවැනි තත්ත්ව සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සහ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා රජයේ වගකීම අවධාරණය කරන අතර ම, ඵලදායී විමර්ශන, සත්‍ය සෙවීම සහ වන්දි ගෙවීමේ හදිසි අවශ්‍යතා ද මේ මාධ්‍ය නිවේදනය මඟින් මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.
එමෙන්ම අතුරුදන්වූවන්ගේ පවුල්වලට සත්‍ය දැනගැනීමට සහ යුක්තිය ලබාගැනීමට ඇති අයිතිය හා එය අනුකම්පාව පිළිබඳ කාරණයක් ලෙස පමණක් නොව, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ බැඳී ඇති නීතිමය බැඳීමක් ඇති දෙයක් බව ද තර්ජන හෝ බියගැන්වීම්වලට මුහුණ නොදී සත්යැය, වගවීම සහ වන්දි සඳහා පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ගොදුරුවූවන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යෑම සඳහා ස්ථිර පියවර ගන්නා ලෙසමානව හිමිකම් කොමිසම රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සහ වන්දි ගෙවීමේ කාර්යාලයේ ක්‍රියාවලිය සඳහා සහාය දීම ශක්තිමත් කරන ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම මාධ්‍ය නිවේදනය මගින් රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
www.medialk.com

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version