(තරිඳු ජයවර්ධන සහ ශාලික විමලසේන)
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට අදාල සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සොයා බැලීමක් සිදු කර මහේස්ත්‍රාත් අධිකරණයේ බලය භාවිත කිරීම ගැන අභියාචනාධිකරණය මාතර මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය අගය කළේය.
අභියාචනාධිකරණය මෙම අගය කිරීම කළේ අධිකරණ නියෝගයට අවනත නොවී සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් පිටු 22ක නියෝගය මගිනි. දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවටත්, පොලිස්පතිටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරටත් අභියාචනාධිකරණය නියෝග කළේ එම පිටු 22ක නියෝගය මගිනි. එසේම දේශබන්දු තෙන්නකෝන්ට සැඟවීමට ආධාර අනුබල දුන් පිරිසට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාට නියෝග කළේ ද එම නියෝගය මගිනි.
මෙම ෙඑතිහාසික නියෝගය පසුගිය 17 වැනිදා ලබා දුන්නේ අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් සහ අභියාචනාධිකරණ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන් විසිනි.
මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට තමා අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය බල හරිත කරන ලෙසත්, තමා අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාල සිදුවීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් තොරව සිදුකිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු රීට් පෙත්සම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට ද අභියාචනාධිකරණය එහිදී තීන්දු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පිළිවෙළින් මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී අම්පාවිල, සහකාර පොලිස් අධිකාරී ඩී ආර් විජේකෝන්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥ සුගත් කල්දේරා, නිරාන් ඇන්කිටල් සමග ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා සිල්වා සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
මෙම පෙත්සම පසුගිය 12 වැනිදා (මාර්තු 12) කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් කරුණු කිහිපයක් යටතේ කරුණු දැක්වීය. එම කරුණු මෙසේය.
1. 1976 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)(b) වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයාට පළමු අවස්ථාවේදීම වරෙන්තුවක් නිකුත් කිරීමට බලය නොමැත.
2. ස්ථානාධිපති වැලිගම විසින් 2023/12/31 දිනැති P20 ලෙස සලකුණු කර ඇති මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව (පළමු බී වාර්තාව) අසම්පූර්ණ වාර්තාවක් වන අතර එහි පෙත්සම්කරු (දේශබන්දු තෙන්නකෝන්) පිළිබඳ කිසිදු සඳහනක් නොමැත.
3. ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය යටතේ, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම තහනම් කර ඇත.
4. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 139(1)(b) වගන්තියේ 1 වන වගන්තිය යටතේ වරෙන්තුවක් නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුට සිතාසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට යුතුකමක් ඇත. මහේස්ත්‍රාත්වරයා සිතාසියක් නිකුත් නොකර අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.
5. අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට පෙර මහේස්ත්‍රාත්වරයා හෝ විමර්ශන නිලධාරීන් හෝ දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රකාශයක් සටහන් කරගෙන නැත.
ඉහත කරුණු 05 ගැන දීර්ඝ ලෙස කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ මෙම කරුණු සලකා බලා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඊට ප්‍රතිචාර ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ඔස්සේ දීර්ඝ ලෙස කරුණු දැක්වීය.
1. පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට රිට් පෙත්සම ඉදිරිපත් කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කරමින් සම්පූර්ණ නඩු ගොනුව ඉදිරිපත් නොකර ඔහුට වාසි සහගත කරුණු පමණක් ඉදිරිපත් කර තිබෙන බැවින් මෙම නඩුව ප්‍රතික්ෂේප කළ යුතුය.
2. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට එකඟ නොවන්නේ නම් ඒ සඳහා ප්‍රතිෂෝධන පෙත්සමක් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතියෙන් අවස්ථාව සලසා තිබියදී එසේ සිදු කර නැත.
3. මෙම නඩුවේ සියලු කරුණු සලකා බැලීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත්ට බලය ලබාදී තිබේ.
එම කරුණු තුන යටතේ දීර්ඝ කරුණු දැක්විමක් කළ දිලීප පීරිස් මහතා අවසාන වශයෙන් ඉල්ලා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කර රිට් පෙත්සම අතුරු සහන ලබා නොදී ප්‍රතික්ෂේප කරන ලෙසයි.
මෙම රිට් පෙත්සමට අදාල නියෝගය පිටු 22කින් යුක්තව නිකුත් කළ අභියාචනාධිකරණය එම නියෝගයේ වැදගත් කොටස් විවෘත අධිකරණයේදී කියැවීය.
එහි උපුටා ගැනීම් කිහිපයක් පහත දැක්වේ.
‘‘පෙත්සම්කරු සඳහන් කරන්නේ 2023 දෙසැම්බර් 29 වැනිදා තමාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා සමග තවත් පිරිසක් 2023 දෙසැම්බර් 30 වැනිදා මාතර ප්‍රදේශයට යොමු කළ බවයි. එසේ කිරීමට හේතුව පොලිස් අත්අඩංගුවෙන් බේරී සිටින පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ හිතවතුන් පිරිසක් ගැන විමර්ශනවලදී ලැබුණු විවිධ තොරතුරු මත බව පෙත්සමේ සඳහන්වේ. එම කොළඹ අපරාධ කොට්ඨාසයේ ජංගම කණ්ඩායම වලිගම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී 2023 දෙසැම්බර් 31 වැනිදා උදෑස 2.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායම වෙඩි තැබීමකට ලක්වූ බවට වාර්තාවීයැයි පෙත්සම්කරු (දේශබන්දු) සඳහන් කරයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමට වෙඩි තැබීමත් සමග එම කණ්ඩායම වෙඩි තැබීමෙන් බේරීම සඳහා වාහනය මාර්ගය දිගේ ධාවනය කළ බවත්, මෙම සිද්ධිය අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බවත්, තුවාල ලැබූවන්ගෙන් පොලිස් සැරයන් උපාලි (57241) ඔහුගේ තුවාල නිසා මරණයට පත්වූ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබේ. පෙත්සම්කරු විසින් ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහු මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා සහ අදාල තොරතුරු උගත් මහේස්ත්‍රාත්ට වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
කෙසේවෙතත් පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කරන්නේ පෙත්සමේ හය වැනි වගඋත්තරකාර මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඩී ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න සහ හත්වැනි වගඋත්තරකාර මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර පෞද්ගලික එදිරිවාදිකම් මත පෙත්සම්කරුට එරෙහිව අලුතෙන් විමර්ශනයක් නීතිමය පියවර ගැනීම ආරම්භ කර ඇති බවයි.
තමාට එරෙහි එම විමර්ශනය ද්වේශ සහගත, දේශපාලනික අරමුණක් සහිත, ඉලක්කගත, පක්ෂග්‍රාහී සහ පෙත්සම්කරු කොටු කිරීම අරමුණු කරගත් එකක් බව පෙත්සම්කරු තර්ක කරයි. එසේ හෙයින් පෙත්සම්කරු අනීතිකව මෙම සිද්ධිය ඇතිකරණ ලදැයි කියමින් පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් 2025 පෙබරවාරි 27 වැනිදා නිකුත් කළ නියෝගය එම නිසා නීති විරෝධී බව ද පෙත්සම්කරු කියා සිටියි.’’
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දිවුරුම් ප්‍රකාශයේ සහ කරුණු දැක්වීම්වල සඳහන් කාරණා ගැන එසේ සඳහන් කළ අභියාචනාධිකරණය දෙපාර්ශ්වයේම කරුණු විශ්ලේෂණය කරමින් අධිකරණයේ මතය ප්‍රකාශයට පත් කළේය.
යම් තොරතුරක් හෝ වෙනත් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් නොකර හෝ වැරදිලෙස ඉදිරිපත් කර ඇත්නම් සහන ගැන සැලකා බැලීමකින් තොරවම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරනු ඇති බව ස්ථාපිත නීතිය බවත්, ඒ බව ඩබ්ලිව් එස් ඒ අප්පුහාමි එදිරිව හෙට්ටිආරච්චි නඩුවේදී විනිසුරු පතිරණ මහතා විසිනුරුත් වෝල්කර් සහ සන්ස් එදිරිව විජයසේන නඩුවේදී විනිසුරු ඉස්මයිල් මහතා විසිනුත් සඳහන් කර ඇති බව අභියාචනාධිකරණය සඳහන් කළේය.
එසේම දහනායක එදිරිව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නඩුවේදී විනිසුරු මර්සූෆ් මහතා සඳහන් කර ඇත්තේ ද සම්පූර්ණ සහ සත්‍ය කරුණු අධිකරණයට අනාවරණය කර නැත්නම් ඉල්ලීම් ගැන හෝ පෙත්සමේ වැඩිදුර කරුණු හෝ සලකා බැලීමකින් තොරවම අදාල ඉල්ලීම නිශ්ප්‍රභ කරන බව සඳහන් කර ඇති බව ද සඳහන් කළ අභියාචනාධිකරණය මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස ලබා දුන් නියෝගය නීතියට අනුව කර ඇත්දැයි සලකා බැලීම සඳහා එම නියෝගයට පමදම් කරගෙන ඇති ඔහු විසින් පී 20 ලෙස සලකුණු කර ඉදිරිපත් කරන ලද වාර්තාව පමණක් නොව මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු සහ බී වාර්තාද, මරණ පරීක්ෂණ වාර්තා සහ අදාල උසාවි සටහන් ද සැලකිල්ලට ලක් කළ යුතු බවයි. එසේ වුවද පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් අදාල වාර්තා ඉදිරිපත් කර නැති බවද, අදාල කරුණු පෙත්සම්කරුගේ ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණයේ කරුණු දක්වද්දී අනාවරණය නොකළ බවද, අදාල ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නඩුවේ කරුණු දැක්වීම් සඳහා ඉල්ලීම් නොකළ බව ද අධිකරණය අවධානරණය කළේය.
එම ලේඛන ඉදිරිපත් කළේ නම් සාක්කි ආඥා පනතේ 114(f) හි ද සඳහන් කර ඇති පරිදි ඒවා පෙක්සම්කරුට අහිතරක ලෙස බලපෑමට ඇති බැවින් ඒවා ඉදිරිපත් කර නැති බවට අධිකරණයට නිගමනය කිරීමට හැකි බවත්, අදාල අත්‍යවශ්‍ය කරුණු ඉදිරිපත් නොකිරීම මතම දේශබන්දු තෙන්නකෝන්ගේ මෙම පෙත්සම නිශ්ප්‍රභ කළ හැකි බවත් අභියාචනාධිකරණය අවධාරණය කළේය.
කොළඹ සිට මාතරට විශේෂ වැටලීමකට කණ්ඩායමක් යවන්නේ නම් මාතර ප්‍රදේශයේ අදලා පොලිස් බලධාරීන් දැනුම්වත් කිරීමට සහ අදාල සටහන් යෙදීමට පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ වගකීමක් ඇති බවත්, කෙසේවෙතත් පෙත්සම්කරු මාතරට කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් යවද්දී පොලිස් ආඥා පනත සහ රෙගුලාසි අනුව කටයුතු කර නැති බවට අනාවරණය වූ බවත් අධිකරණය සඳහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායම සිවිල් ඇඳුමින් සැරසී සිට ඇති බවත්, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා මරණයට පත්වූ පොලිස් නිලධාරියා තුවාල ලැබූ අවස්ථාවේ ප්‍රතිකාර සඳහා ළඟම රෝහලට ඇතුළත් කර නැති බවත්, ඔහු ළඟම රෝහලට ඇතුළත් නොකර කරාපිටිය රෝහලට රැගෙන යාමෙන් පෙත්සම්කරුගේ ක්‍රියාවන් ගැන සාධාරණ සැකයක් ඇති වන බවත්, තුවාල ලැබූ නිලධාරියා ළගම රෝහලට ඇතුළත් කළේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබුණු බවත්, යුක්තිය ඉටු කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ බලය භාවිත කිරීමේදී මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සොයා බැලීමක් කිරීම ගැන අභියාචනාධිකරණය මාතර මහේස්ත්‍රාත්ගේ ක්‍රියාකලාපය අගය කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවිනිසුරුවරයා ප්‍රකාශ කළේය.
මරණ පරීක්ෂණ වාර්තාව අනුව පෙත්සම්කරු (දේශබන්දු තෙන්නකෝන්) පුද්ගලික අරමුණක් ඉෂ්ඨ කර ගැනීම සඳහා නීති විරෝධී පැරා මිලිටරි (අතුරු හමුදා) කණ්ඩායමක් යවා ඇති බවට මහේස්ත්‍රාත්වරයා නිවැරදිව නිරීක්ෂණය කර සහ අනාවරණය කර ඇති බව කියන අභියාචනාධිකරණය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් එම කොටස උපුටා දක්වා තිබේ. එම කොටස පහත දැක්වේ.
“ඒ අනුව නඩුවට අදාලව ඉදිර්පත්ව ඇති සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයට සිද්දීමය කරුණු සම්බන්ධයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ, වැඩ බලන පොලිස්පතිවරයා ලෙස සිටි දේශබන්දු තෙන්නකෝන් යන අය විසින් “W15” හෝටලයට අදාලව අනර්ථය, සාපරාධී බලහත්කාර පෑම ආදී සහ හෝ වෙනත් ක්‍රියාමර්ගයක් එකී අයිතිකරුවන්ට, රැඳී සිටින්නන්ට හෝ සේවකයන්ට එරෙහිව සිදුකීරීම සඳහා තමා යටතේ සිටින පොලිස් නිලධාරීණ් අට දෙනකුගෙන් යුතු කණ්ඩායමක් නීති විරෝධී ආකාරයෙන් රජය ස.ු නිල වාහන, ගිනි අවි, උණ්ඩ ආදියද සමග යොදවා ඇති බවයි.’’
‘’දේශබන්දු තෙන්නකෝන් යන අය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එක්ව නිර්මාණය කරන ලද එක අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට චේතනාන්විතව දායකත්වය ක්මින්, අධිකරණය විසින් පවත්වන ලද විමර්ශනයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් පරීක්ෂක මදුරංග නිලධාරියා විසින් වෙඩි තබන ලද උණ්ඩ සංඛ්‍යාව පිළිබඳව වැරදි සංඛ්‍යාත්මක ඇතුළත් කර වෙඩි තැබීමෙන් ඉතිරි උණ්ඩ සංඛ්‍යාව සම්බන්ධයෙන් සහ හිස් පතුරම් කොපු සංඛ්‍යාව සම්බන්ධයෙන් දෝෂ සහගත සටහන් යෙදීමෙන් වැලිගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වන උපුල් නිලධාරියා බොරු සාක්ෂි ගැනීමේ ක්‍රියාවෙන් සහ නීත්‍යනුකූලව විමර්ශන නිලධාරියා ලෙස තමන් බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුව වගකීමට පටහැනිව අකීකරුව ක්‍රියා කිරීමෙන් කර ඇති වැරදි පිළිබඳව එම අයට විරුද්ධව නඩු කටයුතු පැවැත්වීමට ප්‍රමාණවත් හේතු පවතින බවටද වැඩිදුරටත් නිගමනය කරමි.’
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ එම තීන්දුව සඳහා එක් වාර්තාවක් පමණක් නොවන මරණ පරීක්ෂණයේ සාක්කි, බී වාර්තා සහ අනිකුත් සාක්කි මත පදනම්ව එම තීරණය ලබා දී ඇති බව යැයි සඳහන් කළ අධිකරණය ඒ අනුව පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ නියෝගයේ පදනම ගැන අධිකරණයට සෑහීමකට පත්විය හැකි බව ද ප්‍රකාශ කළේය.
වික්ටර් අයිවන් එදිරිව සරත් නන්ද සිල්වා නඩුවේදී ප්‍රනාන්දු විනිසුරුවරයා ලබා දුන් තීන්දුවේ කොටසක් සඳහන් කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ අපරාධ නඩුවලදී මහේස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් සේ කටයුතු නොකළ යුත බවයි. ඔහු පොලිසියේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අභිමතය පරිදි ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා නොකරන බවත්, සිදුවීම්වල සත්‍යතාව තහවුරු කර ගැනීම මහේස්ත්‍රාත්වරයාට පැවරී ඇති යුතුකමක් වන බවත්, ඔහුද විමර්ශනයේ කොටසක් විය හැකි බවත්, පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණුවලට අනුකූල විය යුතුද නැද්ද යන්න තීරණය කිරීමට මහේස්ත්‍රාත්ට බලය ඇති බවත් අභියාචනාධිකරණය සඳහන් කර තිබේ.
බොහෝ විට, ඇප අයදුම්පත් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණි විට ඇප ලබා දීමට අවසර දෙනු ලබන්නේ හෝ ප්‍රතික්ෂේප කරනු ලබන්නේ පැමිණිලි පාර්ශ්වය අයදුම්පතට විරුද්ධ වන්නේද නැතහොත් විරුද්දත්වයක් නොමැතිද යන්න මත පමණක් බවත්, ඒ හා සමානව, විනිසුරුවරුන් බොහෝ විට පැමිණිල්ලට අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නේ ද පැමිණිල්ලට එසේ කිරීමට අවශ්‍ය නිසා පමණක් බවත් සඳහන් කරන අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවිනිසුරුවරයා මෙය නීතියෙන් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහේස්ත්‍රාත්වරයෙකුට හෝ විනිසුරුවරයෙකුට ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට පවරා ඇති අධිකරණ බලය එය නොවන බවත් සඳහන් කරයි. කෙසේ වුවද මෙම සිදුවීමට අදාලව මහේස්ත්‍රාත්වරයා තම නියෝගය ප්‍රකාශයට පත් අධිකරණමය මනස මෙහෙයවා බී වාර්තා, මරණ පරීඛ්ෂණ සාක්කි සහ වෙනත් ඊට අදාල තොරතුරු මෙන්ම නීතිමය ප්‍රතිපාදනද සලකා බලා ඇතැයි ද අභියාචනාධිකරණය සඳහන් කරයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1.ආ වගන්තිය ගෙනහැර දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාට බලයක් නැතැයි පෙන්වීමට උත්සාහ කළ ද, එම වගන්තිය හුදකලාව කියවා ගත යුතු වගන්තියක් නොවන බවත්, වරෙන්තුවක් නිකුත් කිරීමට අදාලව මහේස්ත්‍රාත්ට පුළුල් බලතල ඇති බවත්, එය තීරණය වන්නේ තොරතුරු, අවස්ථානුගත කරුණු සහ වරදේ ස්වභාවය මත බවත්, පැරා මිලිරටි කණ්ඩායමක් විසින් නීති විරෝධී ලෙස ගිනි අවි භාවිත කරමින් කළ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ජීවිතයක් අහිමිවීම බව ද, ඊට අදාලව පළමු අවස්ථාවේම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් පළමු අවස්ථාවේම නිකුත් කිරීම මහේස්ත්‍රාත්ගේ බලය යටතේ ඇති සහ සාධාරණය කළ හැකි තත්ත්වයක් බව ද අධිකරණය තීන්දු කර තිබේ.
පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ට විකල්ප සහන ලබා ගැනීමේ ක්‍රම ඇත්නම් ඔහුට රිට් සහනය ලබා ගැනීමට හැකියාවක් නැති බවත්, මෙම නඩුවට අදාලව මහේස්ත්‍රාත්ගේ නියෝගයට එරෙහිව පෙත්සම්කරුට මහාධිකරණයට ප්‍රතිෂෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණු බවත්, අභියාචනා හෝ ප්‍රතිෂෝධන මගින් මහාධිකරණයේ බලසීමාවේ මහේස්ත්‍රාත් නියෝගය ප්‍රශ්න කළ හැකිව තිබියදී එය සිදු කර නැති බවත්, එය භාවිත නොකර රිට් අධිකරණ බලය පාවිච්චි කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවත්, එම නිසා මෙම පෙත්සම පවත්වාගෙන යෑමට ඉඩ නොදිය යුතු බවත් අධිකරණය සඳහන් කරයි.
නීතියේ පාලනය (නීතියේ ආධිපත්‍ය සංකල්පය) ගැන අභියාචනාධිකරණය මෙසේ සඳහන් කර තිබේ.
‘නීතියේ ආධිපත්‍යය යනු පාලකයන්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ අත්තනෝමතික තීරණ මගින් නොව නීති මගින් රාජ්‍යයක් පාලනය වන බව සහතික කරන මූලික මූලධර්මයකි. එහි මූලාරම්භය පුරාණ රෝමය දක්වා දිවෙන අතර පසුව සමාජ ගිවිසුම් න්‍යාය හරහා හොබ්ස්, ලොක් සහ රූසෝ වැනි මධ්‍යකාලීන යුරෝපීය චින්තකයින් විසින් වර්ධනය කරන ලදී. මෞර්ය අධිරාජ්‍යයා වන චන්ද්‍රගුප්තගේ ප්‍රධාන උපදේශක චානක්‍ය වැනි ඉන්දියානු දාර්ශනිකයන්, රජු විසින්ම නීති මූලධර්මවලට යටත් වුවහොත් පමණක් සාධාරණ හා ස්ථාවර රාජ්‍යයක් පවත්වා ගත හැකි බව පවසමින් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම අවධාරණය කළහ. ඔහුගේ අර්ථශාස්ත්‍ර ග්‍රන්ථයේ, චානක්‍ය පාලනය සඳහා රාමුවක් ගෙනහැර දැක්වීය, එහි කිසිදු පුද්ගලයෙකු නීතියට ඉහළින් නොසිටින අතර, නීති අපක්ෂපාතීව ක්‍රියාත්මක කළ යුතු බවත් රජුගේ බලය ධර්මයේ සීමාවන් තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් නීතිමය සම්මතයන් ස්ථාපිත කළ යුතු බවත් විශ්වාස කළේය.’
‘මෙම මූලධර්මය පිළිබඳ ඓතිහාසික තහවුරු කිරීමක් තහනම් ඩෙල් රෝයි (1607) නඩුවේදී දක්නට ලැබුණි. එහිදී එඩ්වඩ් කෝක් සාමිවරයා රජතුමා පවා නීතියට යටත් වන බවත් නීතිමය ආරවුල් ස්වාධීන අධිකරණ මගින් විසඳා ගත යුතු බවත් තීන්දු කළ අතර නීතියේ ආධිපත්‍යයේ කේන්ද්‍රීය මූලධර්මය ඉස්මතු කළේය: බලයේ සිටින අය ඇතුළුව කිසිවෙකු නීතියට ඉහළින් නැත.’
මෙවැනි පසුබිමක මෙම නඩුව විශ්ලේෂණය කිරීමේදී පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියකු නොවන බවත්, ඔහු පොලිස් බලකායේ ඉහළම තනතුර දරණ පොලිස්පතිවරයා බවත්, රටතුර නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ වගකීම ඇත්තේ ඔහුට බවත්, සාමාන්‍ය පුරවැසියකු මෙන් නොව ඔහුට රටේ නීතියේ පාලනය ගැන ඉහළ අවබෝධයක් තිබෙන බවත් අභියාචනාධිකරණය සඳහන් කරයි.
නීතිය පිළිබඳ පුළුල් දැනුමක් ඇති සහ විශාල වගකීම් ඇති තනතුරක් දරන පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බරපතල වරදකට සම්බන්ධ වී අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීම දැඩි කනස්සල්ලට හා කණගාටුවට කරුණක් බව ද, අධිකරණ නියෝගයට සහයෝගය දැක්වීමට ඔහු අපොහොසත් වීම සහ සැඟවී සිටීමට ඔහු දරන උත්සාහයන් යුක්තියේ මූලධර්මවලට හානි කරනවා පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට ද හානි කරන බව ද, එවැනි ක්‍රියා පිළිගත නොහැකි හා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට භාර දී ඇති ආයතනය කෙරෙහි මහජන විශ්වාසය හීන කරන බව ද, නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම සහ සමාජයට ආදර්ශයක් සැපයීමේ වගකීම පැවරී ඇති පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ට නීතියට ඉහළින් සිටිමින් කටයුතු කිරීමට අවසර දිය නොහැකි බව ද අභියාචනාධිකරණය සඳහන් කර තිබේ.
ජාතිය, කුලය, ආගම, භාෂාව, තනතුර, දේශපාලන විශ්වාසයන් හෝ වෙනත් යටි අරමුණක් මත පදනම් වූ කිසිදු බලපෑමකින් තොරව පොලිස් දෙපාර්තමේන්තුව සහ අධිකරණය අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව සැලකිල්ලට ගත යුතු බවත්, මෙම ආයතන ඔවුන්ගේ ක්‍රියාවන්වල සාධාරණත්වය සහ සමානාත්මතාවය ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත්, එය අනිවාර්යයෙන්ම යුක්තිය පසිඳලීමේ පද්ධතිය සහ සමස්තයක් ලෙස යුක්තිය පසිඳලීම කෙරෙහි මහජන විශ්වාසය පලුදු කිරීමට හේතු වනු ඇති බවත්, මේ අනුව සමාජයේ මෙම මූලික කුළුණු කෙරෙහි විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩතාව සහ අපක්ෂපාතීත්වය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බවත්, මෙම ආයතන දෙක බියෙන් හෝ අනුග්‍රහයෙන් තොරව ක්‍රියාත්මක වී රටේ නීතියට දැඩි ලෙස අනුගත වන්නේ නම්, එය අපරාධ 90% කින් පමණ සැලකිය යුතු ලෙස අඩු කරන අතර එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු කරනු ඇති බව තම මතය බව ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා අවධාරණය කළේය.
මෙම ආයතන දෙක ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට අපොහොසත් වුවහොත්, මහජනතාවට එම ආයතන දෙක කෙරෙහි ඇති විශ්වාසය අනිවාර්යයෙන්ම අහිමි වන බවට නිරීක්ෂණය කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, මිනිසුන් තනිවම ආරවුල් විසඳා ගැනීමට යොමු විය හැකි බවත්, එමඟින් නීති විරෝධී ක්‍රියා, මැර ක්‍රියා සහ නීතිය හා සාමය බිඳ වැටීම ඉහළ යාමට හේතු වන බවත්, මෙම පිරිහීම නිසා පුද්ගලයන් යුක්තිය පසිඳලීම ආදි තමන්ගේ අතට ගනු ඇති බවත්, අවසානයේ නීත්‍යානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්තිවාරමම බිඳ වැටෙනු ඇති බවත් සභාපති විනිසුරුවරයා අවධාරණය කරයි.
අධිකරණ තම රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කරන විට, නඩුවක නීතිමය අංශ පමණක් නොව, සමාජයට එම විනිශ්චයෙන් වන පුළුල් බලපෑම ද සලකා බලන බව මේ වන විටත් ස්ථාපිත නීතිමය මූලධර්මයක් යැයි නඩු තීන්දු ගෙනහැර දක්වමින් සඳහන් කර තිබේ.
සුළු වැරදි කරන සැකකරුවන් කඩිනමින් අත්අඩංගුට ගෙන අධිකරණයටඉදිරිපත් කර දඬුවම් පැමිණවීමට කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා රිට් පෙත්සමක් මගින් අත්අඩංගුවෙන් බේරීමට උත්සාහ කරන බවත්, යුක්තිය පසිඳලීමේ මෙවැනි අසමතුලිතතාවයක් මගින් නිසැකවම නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය අඩු කරනු ඇති බවත්, ආයතනවලට අරගලය හා සමාන සමාජ නොසන්සුන්තාවක් මෙමගින් ඇතිවිය හැකි බවත් සඳහන් කරන අභියාචනාධිකරණය මෙවැනි ක්‍රියා මහජන පෙයට සහ මහජන නොසන්සුන්තාවට ෙඑතිහාසිකව හේතුවී ඇති බව ද සඳහන් කරයි. එසේම පවතින සමාජ තත්වයන් නොසලකා අධිකරණ විසින් අහඹු තීන්දු ලබා දෙන්නේ නම්, ඒවා මහජන අතෘප්තිය සහ අස්ථාවරත්වය තවදුරටත් තීව්‍ර කිරීමේ අවදානමක් ඇති කරවන බව ද, , අවසානයේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අඩපණ කරන බව ද, රිට් ආඥා නිකුත් කිරීමට පෙර, එමගින් සමාජයට ඇති කරන බලපෑම් සැලකිල්ලට ගත යුතු බව ද, ඒවායේ තීරණ යුක්තිය, සාධාරණත්වය සහ පුළුල් සමාජ සන්දර්භය සමඟ සමපාත වන බව සහතික සහතික කරන බව ද එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.
මහේස්ත්‍රාත්වරයා හෝ සුළු අධිකරණ තම බලතල නිසිලෙස, කඩිනමින් සහ නීතියට අනුකූලව ක්‍රියාත්මක කරන විට, ඉහළ අධිකරණ ඔවුන්ගේ කාර්යයන්ට මැදිහත් නොවිය යුතුය බවත්, නීතියෙන් නියම කර ඇති පරිදි, එම අධිකරණවලට නිදහසේ සහ ස්වාධීනව තම අධිකරණ රාජකාරි ඉටු කිරීමට ඉඩ දිය යුතු බවත්, සුළු අධිකරණයේ ක්‍රියාකාරිත්වයට ඉහළ අධිකරණ අනවශ්‍ය සහ පදනම් විරහිත ඇඟිලි ගැසීම් මගින් එම අධිකරණවලට ඔවුන්ගේ රාජකාරි ඵලදායී ලෙස ඉටු කිරීමේ හැකියාවට බාධාවක් විය හැකි බවත් අභියාචනාධිකරණය අවධාරණය කරයි.
කෙසේ වෙතත් සුළු අධිකරණයක් නීතියට අනුකූලව ක්‍රියාත්මක නොවේ නම් හෝ බැලූ බැල්මට වැරදි සිදු කරන බව අනාවරණය වන්නේ නම් යුත්තිය පසිඳලීම සඳහා මැදිහත්වීම ඉහළ ධිකරණවල යුතුකම බවත්, ප්‍රමාණවත් හේතු මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා සැකකරුවකුට එරෙහිව නියෝග නිකුත් කරද්දී මහේස්ත්‍රාත්වරයා තම රාජකාරි ඉටු කිරීම වැලැක්වීම සදහා රිට් අධිකරණය බලය ඉල්ලා සිටීම මගින් පහළ අධිකරණ අකාර්යක්ෂම කරන බවත්, මෙමගින් පහළ අධිකරණවල කටයුතුවලට ඉහළ අධිකරණවලට අනවශ්‍ය ලෙස මැදිහත්වීමට වක්‍රාකාරව දොරටු විවෘත කරනු ඇති බවත් අභියාචනාධිකරණය කියයි.
මහේස්ත්‍රාත්වරයකුගේ නියෝලයක් පැහැදිලිවම වැරදි හෝ නීතියට පටහැනි විය හැකි අවස්ථා තිබෙන බවත්, එමගින් අදාල පාර්ශ්වයන්ට සැලකිය යුතු අගතියක් ඇති විය හැකි බවත්, එවැනි අවස්ථාවලදී යුක්තිය සහතික කිරීම සඳහා රිට් අධිකරණවල මැදිහත්වීම නොවැළැකවිය හැකි බවත්, කෙසේ වෙතත් මෙම නඩුවේදී මෙම ක්‍රියාදාමයේ කරුණු සහ තත්ත්වයන් මත පදනම්ව ඉහළ අධිකරණයේ මැදිහත්වීමක අවශ්‍යතාවක් මතුවී නැති බවත් අධිකරණය කියයි.
යම් ප්‍රාශ්වයක් අධිකරණයේ සහය බලා ගැනීමට පැමිණීමේදී පිරිසිදු දෑතින් පැමිණිය යුතුය යන නීතිමය සංකල්පය ගැන විස්තර කර ඇති අධිකරණය පෙත්සම්කරු සැබවින්ම තමා නිර්දෝෂී බවත් බිය වීමට කිසිවක් නොමැති බවත් විශ්වාස කරන්නේ නම්, ඔහු නීතිමය ක්‍රියාවලිය මග හැරීම වෙනුවට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටිය යුතුව තිබූ බව සඳහන් කරයි.
පවතින ලේඛන සහ සාක්කි මත පදනම්ව මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණ කිහිපයක් අධිකරණය අවධානයට ලක් කර තිබේ. ඒවා මෙසේය.
1) පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළේ පැරා මිලිටරි (අතුරු හමුදා කණ්ඩයක්) නඩත්තු කර ඇත.
2) තමන්ගේ පෞද්ගලික කාර්යක් වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නීති විරෝධීව දකුණු පළාතට යොමු කර තිබේ.
3) මේ සම්බන්ධයෙන් පොලිස් තොරතුරු පොත්වල සටහන් යොදා නැත.
4) ප්‍රදේශයේ ස්ථානාධිපතිට වැටලීම ගැන තොරතුරු ලබා දී නැත.
5) කොළඹ අපරාධ කොට්ඨාස ගිනි අවි රැගෙන ඇත්තේ නිසි අවසරයක් නැතුව නීකි විරෝධීව වේ.
6) වැටලීම අතරතුර සැක සහිත ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ ජංගම දුරකතන විසන්දි කර තිබේ.
7) වෙඩි වැදීමෙන් තුවාල ලද පොලිස් සැරයන් උපාලි ළඟම රෝහලට ඇතුළත් කර නැත.
8) විමර්ශන නොමග යැවීම සඳහා ව්‍යාජ සටහන් ඇතුළත් කිරීමට උත්සාහ දරා තිබේ.
9) අධිකරණ නියෝගයට අවනත නොවී පෙත්සම්කරු 2025 පෙබරවාරි මස 27 වැනිදා සිට සැඟවී සිටියි.
ඉහත සියලු කරුණු සැලකිල්ලට ගත් පසු පෙනී යන්නේ පෙත්සම්කරු පිරිසිදු දෑතින් අධිකරණයට පැමිණ නැති බව යැයි අභියාචනාධිකරණය සඳහන් කරයි.
අභියාචනාධිකරණය ඉන් පසු සලකා බලා ඇත්තේ අවනත වී පසුව පැමිණිලි කිරීමේ නීතිමය සංකල්පයයි. අවනතවී පැමිණිලි කිරීමේ සංකල්පය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහ තහවුරු වූ සංකල්පයක් බවත්, එය අධිකරණ පද්ධතියේ විනිවිධබවට ඇති කරන බවත් අධිකරණය කියයි.
මෙම නඩුවේ පෙක්සම්කරු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස නීතියට අනුගතව කටයුතු කිරීම අපේක්ෂා කරන බවත්, මහේස්ත්‍රාත්ගේ නියෝගය වැරදි හෝ අසාරධාරණ බව ඔහු විශ්වාස කරන්නේ නම් ඔහු කළ යුතුව තිබුණේ සැඟවීම නොව නීතිමය යාන්ත්‍රණය ඔස්සේ එය අභියෝගයට ලක්කිරීම බවත්, අවනත වීම ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට සැඟවීම මගින් ඔහු විසින් ආරක්ෂා කිරීමට බැඳී සිටින නීති පද්ධතිය අවතක්සේරු කරන බවත්,
එවැනි ක්‍රියා අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය දුර්වල කරනවා පමණක් නොව, පුද්ගලයන් තමන්ගේම අවශ්‍යතා මත පදනම්ව අධිකරණ නියෝග තෝරා බේරා අනුගමනය කරන භයානක පූර්වාදර්ශයක් සපයන බවත් අභියාචනාධිකරණය අවධාරණය කරයි.
පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීමට පෙර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නැති බවට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ ප්‍රකාශය ගෙනහැර දක්වමින් අධිකරණය සඳහන් කළේ පෙත්සම්කරු දිගින් දිගටම සැඟවෙමින් අත්අඩංගුවෙන් බේරීමට කටයුතු කරමින් සිටින පසුබිමකට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලධාරීන්ට හැකියාවක් නොලැබෙන බවයි.
දේශබන්දු තෙන්නකෝන් හිතාමතාම නොපැමිණීම නිසි නීතිමය ක්‍රියාවලියට බාධාවක් වන බව සඳහන් කළ අධිකරණය අවසානයේ මෙම රිට් පෙත්සමට අදාල නියෝග තුනක් ප්‍රකාශයට පත් කළේය. එම නියෝග තුන පහත දැක්වේ.
1) මහේස්ත්‍රාත්වරයා විසින් පෙත්සම්කරු අත්අඩංලුවට ගැනීම සඳහා ලබාදී ඇති නියෝගය නීතියට අනුකූල වේ. එසේ හෙයින් රිට් නියෝගයක් මගින් මහේස්ත්‍රාත් නියෝගයට මැදිහත්වීම සඳහා පදනමක් නැත.
2) නීතියේ අධිපත්‍ය තහවුරු කිරීම සඳහා උගත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කර පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස 2 සිට 14 දක්වා වගඋත්තරකරුවන්ට නියෝග කරමි.
3) අත්අඩංගුවෙන් මිදීමට සැඟවී සිටීමට පෙත්සම්කරුට අධාර අනුබල දුන් සියලු දෙනාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට උගත් මහේස්ත්‍රාත්වරයාට නියෝග කරමි.
ඉහත නයෝගවලට යටත්ව මෙම පෙත්සමට අදාලව අතුරු සහන ලබාදීමත්, නොතීසි නිකුත් කිරීමත් ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය රිට් පෙත්සම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර රුපියල් 10,525ක නඩු ගාස්තුවක් රජයට ගෙවීමට ද පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කළේය.