(තරිඳු ජයවර්ධන)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන මල්ලිකා තෙබුවනආරච්චි මහත්මිය ගුරු වෘත්තිය තෝරාගෙන තිබුණේ සුවහසක් දරු දැරියන් දැනුමෙන් සන්නද්ධ කිරීමට පමණක් නොව දරු දරියන් සමාජ දේශපාලන ප්‍රායෝගික අත්දැකීම් සහිත පුරවැසියන් බවට පත් කිරීමේ ද අරමුණිනි. අවසානයේ එලෙස දරුවන් දැනුමැති පුරවැසියන් කරමින් සිටි ඇය සේවය කළ පාසලේ ක්‍රීඩාපිටියම ඇයට සොහොන් පිට්ටනිය ද විය.

තෙබුවන ආරච්චිගේ මල්ලිකා තෙබුවන ආරච්චි 2006 මාර්තු 09 වැනිදා විවාහ ගිවිස ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයකු සමගය. ඔහු නමින් දේවේන්ද්‍ර ගෙදර ශාමින්ද නයනකුමාර කරුණාසිංහය. විවාහයෙන් පසු ඔවුනට පුතෙකු ලැබිණි. පුතා ක්‍රීඩාවේ මෙන්ම ඉගෙනීමේ ද දක්ෂයෙක් විය. සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 09ක් සහ බී සාමාර්ථයක් සමග සමත්වූ ඔහු උසස්පෙළට සූදානමින් සිටියේය. මල්ලිකාගේ සහ ශාමින්දගේ විවාහයේ 20 වැනි සංවත්සරය සැමරීමට මාස හතරක් ඉතිරිව තිබියදී ඔවුන්ගේ ජීවිතයේ තීරණාත්මක දිනය උදා විය.
ඒ 2025 නොවැම්බර් 27 වැනිදාය.
ඒ වන විට මල්ලිකා ගම්පොල වැවතැන්න විද්‍යාලයේ සිට ස්ථානමාරු ලැබ ගම්පොල ජිනරාජ පිරිමි විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය. එම විද්‍යාලය පිහිටියේ සිංහාපිටිය ප්‍රදේශයේය. ශාමින්ද බලපංති සැරයන්වරයකු ලෙස ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් වෙනත් ආයතනයක පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරමින් සිටියේය. ඔවුන් දෙදෙනාගේ එකම පුතා 2026 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදීම සඳහා සූදානම් වෙමින් සිටියේය.
මල්ලිකා ගුරුවරියට පාසලට යෑමට පහසු වීම පිණිස ඇගේ සැමියා ශාමින්ද ජිනරාජ පිරිමි විද්‍යාලයට ගෙවල් දෙක තුනක් ඉහළින් වූ නිවසක් කුලියට ගත්තේය. ඒ අම්බුළුවාව කඳු පාමුල නිවසකි. පවුලේ තිදෙනාම ජීවත්වූයේ එම නිවසෙහිය. එම පවුල ඉතා ලෙංගතු එකිනෙකාට ඇළුණු පවුලක් විය.
තීරණාත්මක රාත්‍රියක්
2025 වසරේ උසස්පෙළ විභාගයේ විභාග රාජකාරි හේතුවෙන් තරමක් කාර්යබහුල වූ මල්ලිකා ගුරුවරිය එම කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද නිවාඩුවක් ලද වහාම පාසලේ අමතර පන්ති පැවැත්වීමට අමතක නොකළාය. 2025 නොවැම්බර් 27 වැනිදා ද ඇය නිවසේ සිට මීටර කිහිපයක් නුදුරින් පිහිටි පාසල වෙත ගියේ අමතර පන්තියක් පැවැත්වීම සඳහාය. අමතර පන්තිය නිමාවී නිවසට පැමිණි ඇය සුපුරුදු ලෙස පුතා සහ සැමියා සමග කතා බහ කරමින් සිටියාය.
එතැන් සිට සිදුවීම විස්තර කරන්නේ ඇගේ සැමියා වූ ශාමින්ද ය.

‘එදා අධික වර්ෂාවක් තිබුණු දවසක්. මගේ බිරිඳ උදේ 8ට විතර නිවසින් පිටත් වෙලා ගියා පාසලේ අමතර පන්තියක් සඳහා බව කියලා. 11.30ට පමණ ඇය නැවත පැමිණියා. ඇය නිවසට එද්දිත් හොඳටම වැස්ස. අපි කරන්න හිටපු වැඩ කරගන්න බැරිවුණා අධික වැස්ස නිසා. රෑ හතට විතර රොටී හදලා අපි තුන් දෙනාම රාත්‍රී ආහාරය ගත්තා. අවස්ථා දෙකකි විතර විදුලියත් විසන්ධි වුණා.‘
‘රෑට රොටී කාලා ආයෙතන් රෑ නවයට විතර අපි තේ බොමින් ඉන්දි මගේ බිරිඳ කිව්වා අමු පස් සුවඳක් එනවා කියලා. අපේ නිවසට දකුණු පසින් කුඩා ඇලක් ගලාගෙන යනවා. බිරිඳ අමු පස් සුවඳක් එනවා කිව්වම මමයි පුතයි ඇල ගාවට ගියා. ඇලේ වතුර සාමාන්‍ය විදිහට ගලා යමින් තිබුණා. කිසිම විශේෂත්වයක් තිබුණේ නෑ. ටික වෙලාවකින් නැවතත් බිරිඳ කිව්වා අමු පස් සුවඳක් වගේ දැනෙනවා කියලා. නැවතත් අපි ඇල සහ ගෙයි අනිත් පැත්ත බැලුවා. කිසිම වෙනසක් තිබුණේ නෑ. ඉස්සරහා දොර වගහෙන මම ගේ ඇතුළට ආවා මුකුත් වෙලා නෑ කියලා. ‘
‘මම ගේ ඇතුළට ඇවිත් ඉතාම ටික වෙලාවකින් ගල් පෙරෙළෙනවා වගේ ඉතාම බියකරු සද්දයක් ඇහුනා. මමයි බිරිඳයි පුතයි මුකුත් කියාගන්න, හිතාගන්න බැරුව එක තැන හිටියා. ඒ සද්දේ ඇහිලා පොඩි වෙලාවක් යද්දි ගෙදර පිටිපස්සේ කාමරේ ජනෙල්වල වීදුරු කැඩෙන සද්දයක් ඇහුනා. ඒ එක්කකම මගේ බිරිඳ ගෙදර ඉස්සරහා දොර ඇරලා මිදුලට යන්න හැදුවා. ගෙදර වම් පැත්තෙන් ලොකු වතුර පහරක් ඇවිත් ඇයව ගහගෙන ගියා. මමයි පුතයි ඇයව අල්ලගන්න හදද්දි අපි දෙන්නවත් වතුර පහරත් එක්ක පහලට ගසාගෙන ගියා.’
‘අපේ ගෙදරයි පහළ ගෙදරයි අතර පොඩි කණ්ඩියක් තියනවා. ඒ කණ්ඩිය ගාව කොහේදෝ ඉඳන් අපු ලී කොටං වගයක් තිබිලා එතන අපිව රැඳුනා. ඊට පස්සේ නැවතත් ලොකු වතුර පහරක් ආවා. ඒ වතුර පහරට අපි තුන්දෙනාම දිසාවන් තුනකට ගහගෙන ගියා. මාව ගහගෙන මීටර 50ක් 100ක් පාර දිගේ ගසාගෙන යද්දි කොන්ක්‍රීට් කණුවක් අල්ලගන්න පුලුවන් වුණා. ඒක අල්ලු ගත්තු නිසා මට මගේ ජීවිතේ බේරගන්න පුලුවන් වුණා. නැත්නම් ඒ ආපු මඩයි, ගලුයි එක්ක මාව ජිනරාජ ඉස්කෝලේ පිට්ටනියට යනවා. ඒ වන විට මං ඇඳගෙන හිටපු ඇඳුමුත් වතුරට ගහාසෙගන ගිහින් තිබ්බා. මම ඉතාම අපහසුවෙත් ඒ ආසන්නයේ වෙනත් නිවසකට ගිහින් සරමක් ඉල්ලගෙන ඇඳගෙන මඩ හෝදගෙන පුතාවයි බිරිඳවයි හොයන්න අපි හිටපු නිවසට ගියා.‘

‘මම යනවිට මගේ නිවස පිටුපසත්, දකුණුපස ඇල ප්‍රදේශයත් විශාල ගල් කුට්ටිවලින් වැසී තිබුණා. ඒ සමහර ගල් මට ඉවත් කරන්නත් බැරි තරම් විශාල ඒවා. මීට කලින් ඒ විදිහේ ගල් එම ප්‍රදේශයේ තිබුණේ නෑ. මම සෑහෙන්න බය වුණා මගේ බිරිඳ සහ පුතා ඒ ගල්වලට යටවෙලා ඇති කියලා. ඒ වනකොටත් අඩි ගණනක් උස වතුර පාරක් මගේ ගෙදරට වම් පැත්තෙන් සහ ගේ ඇතුළෙන් ගලා එමින් තිබුණා. මීට කලින් නොතිබුණු විශාල ගස් කඳන් මගේ ගෙදර වටේට තිබුණා. මම ඒවා තියෙද්දිත් මගේ බිරිඳයි පුතයි හොයන්න උත්සාහ කළා. ඉන් පස්සේ පහලින් තිබෙන ජිනරාජ පිරිමි විද්‍යාලයේ පිට්ටනියෙත් ගිහින් බැලුවා. ඒ වෙනකොට පිට්ටනියේ මඩ සහ ගල් සෑහෙන්න තිබුණා. රෑ හෙව්වට පුතාවයි, බිරිඳවයි හොයාගන්න බැරිවුණා. ‘
අත්දෙකෙන් හඳුනාගනී
’28 උදේ වෙද්දි මට දැනගන්න ලැබුණා අපේ ගෙදරට පහලින් ගෙවල්වල කිහිප දෙනකුත් ගසාගෙන ගිහින් කියලා. ඒ අය එක්ක මගේ පුතත් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඒත් බිරිඳ ගැන ආරංචියක් ලැබුණේ නෑ. ඒ වන විට ගම්පොල නගරයත් ජලයෙන් යට වෙලා තිබුණේ. මම සිංහාපිටියට ගියා. මට ක්ලාන්ත ගතියක් ආවා. ඒ ළඟ ව්‍යාපාර ස්ථානයකදි මට දැනගන්න ලැබුණා ගම්පොල ජිනරාජ පිරිමි විද්‍යාලය ආසන්නතේය ඇල පාරක් ළඟ තිබිළා මෘත ශරීරයක් හමුවුණා කියලා.‘

‘ඉන් පස්සේ මම ජිනරාජ පිරිමි විද්‍යාලයයේ ක්‍රීඩාංගනයට ගියා. ඒ ක්‍රීඩාංගනයත්, පාසලේ ප්‍රධාන ශාලාවත් යා කිරීමට සකසා තිබුණු පඩියක් ආසන්නයෙන් වතුරට ගසාගෙන ආපු ගස් අතු කොළරටු හා ගල් අතරේ අත්දෙකක් පමණක් ඉහළට එසවී තිබුණා. ශරීරයේ වෙනත් කිසිම තැනක් පේන්න තිබුණේ නෑ. ඒත් ඒ අත්දෙක දැක්කම මම අඳුර ගත්තා මේ ඉන්නේ මගේ බිරිඳ කියලා. ගම්පොල යට වෙලා නිසා පොලිසියට එන්නත් හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා පාසලේ නිල නිවාසයක ඒ වෙලාවේ පදිංචි වෙලා හිටපු ගුරුවරියකටත් දැනුම් දීලා, එම අවස්ථාවේ එහෙට වෙලා හිටපු පොලිසියේ දෙන්නෙකුගෙත් සහයෝගයෙක් සිරුර ගොඩ ගත්තා. ඒ මගේ බිරිඳම තමයි. ඉන් පස්සේ ගම්පොල මූලික රෝහලට මෘත ශරීරය ගෙන ගියා.‘
‘බිරිඳගේ දේහය ගොඩ ගනිද්දියි එතැන හිටපු අයගෙන් දැන ගත්තේ මගේ ඔළුවත් තුවාල වෙලා කියලා. ඒ අනුව ගම්පොල රෝහලෙන් බෙහෙත් දාගත්තා.‘
ඇගේ අවසන් කටයුතු 2025 නොවැම්බර් 30 වැනිදා ගම්පොල බෝවල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙිණි. ඒ වන විට ඔවුන් නතර වී සිටි නිවසේ සිටීමට නොහැකි තත්ත්වයකට පත්වී තිබිණි. නිවසේ පිටුපස පස් සහ ගල් පිරී තිබුණු අතර නිවස තුලද මඩ තිබිණි. එසේම නිවසේ මිදුලෙහිද ගස් කඳන් තිබිණි. ඒ අනුව ශාමින්දගේ මිතුරකුගේ නිවසට වී සිටීමට ඔහුටත් පුතාටත් සිදුවිය. පුතා ද අනූනමයෙන් දිවි බේරාගෙන තිබිණි. පුතාගේ ශරීරයේ තැනින් තැන සීරීම් තුවාල තිබිණි. බිරිදගේ භූමදානයෙන් සතියකට පමණ පසු ශාමින්දගේ ශරීරයේ වම් අත සහ වම් කකුල ඇතුළුව වම් පෙදෙස වෙව්ලන ගතියක් සහ පණ නැති ගතියක් ඇතිවීමෙන් පසු ගම්පොල රෝහලට ඇතුළත් කරනු ලැබිණි. පසුව ඔහු මහනුවර රෝහලට මාරු කර යැවිණි. ඔහුගේ මවට රෝහලෙන් දැනුම්දී තිබුණේ බිරිඳ මියයාමේ කම්පණය නිසා එම තත්ත්වය ඇතිවන්නට ඇති බවයි.
එතැන් සිට ඔහු සහ ඔහුගේ පුතා තවමත් ජීවත්වන්නේ මිතුරකුගේ නිවෙසකය.
‘අපේ ගේ අවට සහ එම ප්‍රදේශය අවට සිද්ධියෙන් පස්සේ තිබුණු ගල් සහ ගස් කදන් ඊට පෙර නොතිබුණු ඒවා. මීට වසරකට පමණ කලින් ටීවී එකේ ප්‍රවෘත්තියක් දැක්කා ප්‍රාදේශීය ලේකම්වරිය අම්බුළුවාවට ගිහින් කිව්වා පස් සහ ගල් කන්දෙන් පහලට දාන්න එපා, එහෙම වුණොත් වැස්සකදි ගම්මානයට ගිහින් අනතුරක් වෙයි කියලා. ඒ වෙලාවේ කවුරුත් ඒක ගණන් ගත්තේ නෑ. අම්බුළුවාවේ ඉදන් ආපු ගල් තමයි පහලට ඇවිත් තියෙන්නේ කියලා වටේ ගෙවල්වල අය කිව්වා. එදා ප්‍රාදේශීය ලේකම්වරිය කියන දේ ඇහුවා නම් මගේ බිරිඳගේ ජීවිතය නැති වෙන්නේ නෑ.‘ ශාමින්ද කීවේය.
බෝර ගල් හැමතැනම
අවසානයේ තමන් සේවය කරමින් සිටි පාසලේ පිට්ටනියම ඇයට සොහොන් පිට්ටනිය විය. අප සිද්ධියෙන් දෙදිනකට පමණ පසු එම ප්‍රදේශයට යන විට බෝර දමා කැඩූ ගල් අම්බුළුවාවේ සිට පහළට පැමිණ ඇති ආකාරයත්, ඇලේ සිරවී ඇති ආකාරයත් දක්නට ලැබිණි. ඇතැම් ගල්වල බෝර සලකුණු පැහැදිලිව දක්නට ලැබිණි.

එදා ප්‍රාදේශීය ලේකම්වරියගේ අනතුරු ඇඟවීම රාජ්‍ය ආයතනයක් වන අම්බුළුවාවේ භාරකාර මණ්ඩලය පමණක් නොව පරිසර අධිකාරිය ඇතුළු ආයතන ද ගණනකට ගත් බවට පෙනෙන්නට නොතිබිණි. අවසානයේ මල්ලිකා ගුරුවරියට දිවි පිදීමට සිදුවිය.
මේ ගැන වැඩිදුරටත් සොයා බලද්දී අනාවරණය වූයේ අම්බුළුවාව කඳු මුදුනට යන මාර්ගය ඉදි කිරීමේදී ගල්බෝර විශාල ප්‍රමාණයක් දමා ඇති බවයි. එසේම බුදුපිළිමයක් සකස් කිරීමට බව කියමින් ද ගල් කඩා තිබුණු අතර වෙනත් ඉදිකිරීම්වලට ද ගල් කඩා තිබිණි. එම ඇතැම් ගල් කන්දෙන් පහලට තල්ලු කර දමා තිබුණු අතර ඒවා ගස්වල රැඳී තිබී ඇත. අම්බුළුවාව කන්දේ කළ සංචාරවලදී තවත් එවැනි ගල් රැඳී තිබෙන ආකාරය දක්නට ලැබිණි.
2023 වසරේ විගණකාධිපති වාර්තාවේ විගණන නිරීක්ෂණවල මෙසේ සඳහන් විය.
‘2019 වර්ෂයේ ශෛලමය පිළිමයක් ඉදිකිරීම සඳහා කළුගල් කඩා තිබූ නමුත් එම කළුගල් කිසිදු කටයුත්තකට යොදාගෙන නොතිබූ අතර, අලෙවි කර හෝ නොතිබිණි. භාරකාර අරමුදලේ අවශ්‍යතා සදහා කළුගල් කියුබ් 16ක් සැපයීම සදහා එකතුව රුපියල් 157,000ක් සමාලෝචිත වර්ෂය තුලදී ගෙවා තිබිණි.‘
එම විගණන නිරීක්ෂණය ගැන අම්බුළුවාව විසින් ලබා දී තිබූ කරුණු පැහැදිලි කිරීමේ සදහන් වූයේ ගල් කැඩීමේදී මෙම ස්ථානය බෑවුම් සහිත ප්‍රදේශයක් බැවින් පහළ ප්‍රපාතයට ගල් වැටීම නිසාත් ඉතිරිවූ ගල් කුට්ටි විශාල වීම නිසාත් භාවිතයට ගැනීමට නොහැකි වූ බවයි.
එසේම 2020 වසරට අදාල විගණන වාර්තාවේ විගණන නිරීක්ෂණයක් ලෙසෙ මෙසේ සදහන් විය.
‘ශෛලමය බුදු පිළිමය සැකසීම සදහා කඩා ඉවත් කරනු ලබන ගල් මිනුම් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර නොතිබූ අතර එම ගල් අලෙවිය හෝ වෙනත් ඵලදායී කටයුත්තකට යොදාවා ගැනීම සදහා කටයුතු කර නොතිබිණි. වෙළඳපොල මිල රුපියල් 9,833,130ක් පමණ වන මෙම කඩා ඉවත් කරන ලද කළුගල් කියුබ් 2185.4 වැඩ බිම තුළ නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයන්ද හෙලිදරව් නොකෙරිණි.‘
ඊට අදාලව අම්බුළුවාව විසින් ලබාදී තිබුණු කරුණු පැහැදිලි කිරීම විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.
‘ගල් කැඩීමේදී පුපුරා විසිවන ගල් ආසන්නයේ ඇති බෑවුම වෙත ඇදවැටේ. මාර්ගයේ ඉතිරි ගල් පමණක් මැනුම් කර බෑවුමට තල්ලු කිරීම සිදු කරන ලද බව.‘
අම්බුළුවාව කන්දෙන් පහළට ගල් තල්ලු කළ බව එම ආයතනයම පිළිගෙන ඇත. පාරිසරික අතින් සංවේදී මෙවැනි ප්‍රදේශයක සහ කඳු පාමුල ජනාවස ඇති ප්‍රදේශයක හිතුමතේ ගල් කැඩීමට අවසර දුන් අය කවුරුන්ද යන්න මීළඟට මතුවන ප්‍රධානතම ගැටලුවයි. 2020 වසරේ විගණකාධිපති වාර්තාව මගින් විගණකාධිපතිවරයා හෙළිදරව් කර ඇති එම කාරණය ගැන බලධාරීන් ගත් ක්‍රියාමාර්ගයක් පෙනෙන්නට නැත. උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්සි මහත්මිය මෙම ගැටලුව ආමන්ත්‍රණය කරන තෙක් බලධාරීන් මෙය නොදැක්කා සේ සිටි අතර ප්‍රාදේශීය ලේකම්වරිය අනාවරණය කිරීමෙන් පසුව ද බලධාරීන් ගත් ක්‍රියාමාර්ගයක් නැත.

අවිධිමත් ලෙස මාර්ග කැපීමේ සහ ඉදිකිරීම් කිරීමේ අවසාන ප්‍රතිඵලය වූවේ මල්ලිකා තෙබුවන ආරච්චි ගුරුවරියගේ දිවි අහිමිවීම සහ තවත් පිරිසකට තුවාල සිදුවීමය.
පොතට සීමාවූ නීතිය
දණ්ඩ නීති සංග්‍රහයේ 327 වගන්තිය මෙසේය.
‘මනුෂ්‍ය ජීවිතය හෝ අන් තැනැත්තන්ගේ පුද්ගලික ආරක්ෂාව අන්තරාදායක කරවන අන්දමේ අපරික්ෂාකාරී හෝ නොසැළකිලිමත් ක්‍රියාවක් කරන තැනැත්තකුට මාස තුන දක්වා කාලයන දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමෙන් හෝ රුපියල් සියය දක්වා දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.‘
දණ්ඩනීති සංග්‍රහයේ 329 වගන්තිය මෙසේය.
‘මනුෂ්‍ය ජීවිතය හෝ අන් තැනැත්තන්ගේ පුද්ගලික ආරක්ෂාව අන්තරාදායක කරවන අන්දමේ අපරික්ෂාකාරී හෝ නොසැළකිලිමත් ක්‍රියාව් කිරීමෙන් යම් තැනැත්තකුට යමකු බරපතල තුවාල සිදු කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් එක් දහස දක්වා දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.‘
එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තියේ මෙසේ සඳහන් වේ.
‘සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවන අපරික්ෂාකාරී හෝ නොසැලකිලිමත් ක්‍රියාවක් කිරීමෙන් යමකුගේ මරණය සිදුකරන තැනැත්තකුට අවුරුදු පහ දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.‘
1992 අංක 33 දරණ පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ 28 වගන්තිය අනුව ගල්කැඩීම සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කාර්යංශයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. අම්බුළුවාවේ අවස්ථා ගණනාවකදී ගල්බෝර දමා කළු ගල් කඩා තිබේ. ඒ අනුව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයට මෙම සිදුවීමේදී බරපතල වගකීමක් පැවරී තිබේ.
ජාතික පාරිසරික පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති බොහෝ රෙගුලාසි මගින් පාරිසරික ආරක්ෂාව තහවුරු කරන අතර සංවේදී හා විශේෂිත පාරිසරික පද්ධති තුළ මානව ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇත. කෙසේ වෙතත්, අම්බුලුවාව සම්බන්ධයෙන් ගත් කල, කළු ගල් කැණීම් සහ කඳු බෑවුමෙන් විශාල පාෂාණ කැබලි පෙරළීමෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ මෙම නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක නොවූ බවයි.
අම්බුළුවාව බාරකාර මණ්ඩලය පමණක් නොව මධ්‍යම පරිසර අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන, පරිසර අමාත්‍යංශය, මහා භාරකාර දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ස්වභාවික සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් අම්බුළුවාවට අදාලව නියාමන ආයතන ලෙස අවස්ථා ගණණාවකදී ක්‍රියාත්මක විය යුතුව තිබුණු ආයතන වේ. එම ආයතන අදාල අවස්ථාවලදී මැදිහත්වීම් කළේ නම් ජෛව විවිධත්වය අතින් අති සංවේදී කලාපයක් වන අම්බුළුවාවේ කල් කැඩීම නතර කිරීමට ඉඩ තිබිණි. එසේම කඩන ගල් අනතුරුදායක තත්ත්වයක් ඇතිවන අයුරින් කන්දෙන් පහලට තල්ලු කිරීමට ද ඉඩනොදීම පමණක් නොව එලෙස තල්ලුකිරීමට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමේ යුතුකම ද අදාල ආයතනවලට තිබිණි.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ‘මහජන විශ්වාසය පිළිබඳ මූලධර්මය‘ (Public Trust Doctrine) සම්බන්ධයෙන් නඩු තීන්දු ගණනාවකදී සාකච්ඡා කර තිබේ. වර්තමාන පරිසර අමාත්‍යංශ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් චුන්නාකම් බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේදී (SC FR Application No. 141/2015)  ද Public Trust Doctrine සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මධ්‍යම පරිසර අධිකාරිය එය කඩ කළ ආකාරය ද අධිකරණය පෙන්වා දුන්නේය. එම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මෙසේ සඳහන් කළේය.
“The BOI and the CEA were required to perform these duties and obligations vested in them by the provisions of Part IV C of the Act and the National Environmental (Procedure for approval of projects) Regulations No. 1 of 1993 keeping in mind that doing so was not only their statutory and regulatory duty but also that these powers have been conferred on them in the public trust. This Court has, in several decisions such as WIJEBANDA vs. CONSERVATOR GENERAL OF FORESTS, SUGATHAPALA MENDIS vs. CHANDRIKA KUMARATUNGE [2008 2 SLR 339], ENVIRONMENTAL FOUNDATION LTD vs. MAHAWELI AUTHORITY OF SRI LANKA and PREMALAL PERERA vs. TISSA KARALIYADDE [SC FR 891/2009 decided on 31st March 2016], recognised and given effect to the public trust doctrine.”
අම්බුළුවාවට අදාලව ද මෙම සංකල්පය එලෙසම අදාල විය යුතුය. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදයේ 27(8) ව්‍යවස්ථාවෙහි මෙසේ සඳහන් වේ.
‘ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර වන සේ ඒකරාශි නොවන බවට රජය වගබලා ගත යුත්තේ ය.‘
27(14) ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ.
‘ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේය.‘
ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම එලෙස ඉහත කරුණු දෙක ඇතුළු කරුණු ගණනාවක් සඳහන් වුවද අම්බුළුවාව සිදුවීම්වලදී පෙනෙන්නේ වගකිවයුතු බලධාරීන් මෙම මූලධර්ම ව්‍යවස්ථාවට පමණක් සීමා කර ඇති බවයි. එසේ වුවද, ඉහත සඳහන් කළ චුන්නාකම් නඩු තීන්දුවේදී ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කළේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙවීමේ මූලධර්ම යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටුවල නාස්තිවන තීන්ත පමණක් නොවන බවයි.
‘‘ඒවා රාජ්‍යය සහ එහි ආයතන විසින් ක්‍රියාත්මක කළ යුතු ජීවමාන මාර්ගෝපදේශ මාලාවකි. මේ අනුව, පෙත්සම්කරුවෙකු රාජ්‍යය හෝ රාජ්‍ය ආයතනයක් විසින් ව්‍යවස්ථාපිත හෝ නියාමන යුතුකමක් උල්ලංඝනය කිරීමෙන් පැන නගින ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පිළිබඳව පැමිණිලි කරන විට, එම උල්ලංඝනය රාජ්‍ය ප්‍රතිපත්තියේ මාර්ගෝපදේශක මූලධර්ම එකක් හෝ කිහිපයක් උල්ලංඝනය කිරීමක් බව පෙන්නුම් කිරීම, ඔහුගේ නඩුවට ශක්තිමත් සහායක් ලබා දෙනු ඇත.”
මෙය අම්බුළුවාවේ සිදුවීමට ද එලෙසම අදාල වේ.
මානවයාගේ හිමිකම් පමණක් නොව වනජීවීන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීම සඳහා විවිධ ජාත්‍යන්තර පිළිගැනීම් සහ රාමු දැනටමත් ස්ථාපිත කර ඇත. එවැනි සන්දර්භයක් තුළ, අම්බුළුවාවේ ඛේදවාචකය ශ්‍රී ලංකාවේ ඇතැම් වගකිවයුතු බලධාරීන් විසින් මෙම සියලු පිළිගත් මූලධර්ම අමු අමුවේ නොසලකා හැර එම පිළිගැනීම්වලට පයින් ගැසීමේ තත්ත්වයක් බව පැහැදිලිව පෙනේ.
ඒ අනුව මල්ලිකා ගුරුවරියගේ මරණය සහ නිවාස හානිවීම හුදු ආපදාව නිසා ඇතිවූ තත්ත්වයක්ම පමණක් නොව මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයකි. එම මනුෂ්‍ය ක්‍රියාකාරකම් සිදුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නීතියක් අනුව ස්ථාපිත ආයතනයකිනි. එම ආයතනයේ කටයුතු නියාමනය කිරීමට තවත් රාජ්‍ය ආයතන ගණනකාවක් වගකීමෙන් බැඳි ඇතත් ඔවුන් වගකීම හරිහැටි ඉනු නොකිරීමේ ප්‍රතිඵලය වූවේ ගුරුවරියට තමන් සේවය කළ පාසලේ පිට්ටනියේ දී අවසන් හුස්ම හෙළිමට සිදුවීමය.
මල්ලිකා ගුරුවරියට යුක්ති ඉෂ්ඨ කිරීම යනු රුපියල් දස ලක්ෂයක වන්දිය ලබාදීම පමණක්ම නොවේ. නැවත මෙවැනි සිදුවීම් ඇති නොවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සහ මෙවැනි තත්ත්වයක් ඇති කළවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ද යුක්තියේ ප්‍රධානතම කොටසක් දෙකකි.

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here