(චරිත් රණබාහු)
සිවිල් පුරවැසියන් සිදුකරන පැමිණිලිවලට අදාළ ව කඩිනමින් ක්‍රියාත්මක වීමටත්, ඒ සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට සහ එම ක්‍රමවේදය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමටත් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පොලිස්පතිවරයාට නිර්දේශ කළේය.
බත්තරමුල්ල, පොල්දූව වටරවුමේ පාර්ලිමේන්තු මාර්ගය අසලදී 2023 දෙසැම්බර් 04 වන දින ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සිදු කළ විරෝධතාවක් සංවිධානය කළ බවට සහ එම විරෝධතාවේ සාමාජිකයකු වූ බවට තමන්ගේ නම ඇතුළත් කර ඇති බවත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් අහේතුක සහ ද්වේෂසහගත ලෙස තමන් ව අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත් සඳහන් කරමින් අචලා සෙනෙවිරත්න මහත්මිය විසින් මානව හිමිකම් කොමිසමට සිදු කළ පැමිණිල්ලක තීන්දුව ලබාදෙමින් කොමිසම මේ නිර්දේශය ලබාදුන්නේය.
මේ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස වැලිකඩ පොලිසියේ එවකට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ සහ පොලිස්පතිවරයා නම් කර ඇත. වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණයට 463/04/2024 යටතේ බී වාර්තාවක් මගින් මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති බවත්, එම වාර්තාවේ 07 වන විත්තිකරු ලෙස තමන්ගේ නම ද ඇතුළත් කර ඇති බවත් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ මේ විරෝධතාව මගින් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් පොදු දේපොළක් වන මාර්ග සංවර්ධන අධිකාරියේ දේපොළවලට අනර්ථයක් කිරීමත්, මාර්ගයේ ගමන් කළ මගීන් දෙදෙනකුට අයුතු අවහිර කිරීමත් 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි ලා සිදුකරන වැරදි සම්බන්ධ පනතේ 02 වගන්තිය යටතේ වූ වැරදි බවටයි. මේ පිළිබඳව තමන්ගේ මිතුරියක සහ සිදුවීමේ 4 වන විත්තිකරු ලෙස නම් කර ඇති නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි තමන්ට වට්සැප් මාර්ගයෙන් දැනුම්දුන් බව ද පැමිණිලිකාරිය කොමිසමට දැනුම් දී තිබිණි.
මේ සිද්ධියට ද්වේෂසහගත ලෙස තමන්ගේ නම ඇතුළත් කර වගඋත්තරකාර පාර්ශ්වය, එනම් පොලිසිය තමන් ව අත්අඩංගුවට ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වන බවත්, සිදුවීම වූ දිනයේ තමන් සාමාන්‍ය වෘත්තීය කටයුතුවල නිරතවෙමින් කොළඹ – අලුත්කඩේ උසාවි සංකීර්ණයේ රැඳී සිටි බවත් මෙහිදී පෙන්වා දී ඇති පැමිණිලිකාර පාර්ශ්වය, තමන් කිසිදු විරෝධතාවකට සහභාගි නොවූ බව ද ප්‍රකාශ කර ඇත.
මෙවැනි තත්ත්වයක් යටතේ ද්වේෂසහගත සහ අහේතුක ලෙස තමන් ව අත්අඩංගුවට ගතහොත් එමගින් තමන්ගේ ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ එදිනෙදා කටයුතුවලට හානි සිදු වන අතර, එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව ද මෙහිදී පැමිණිලි පාර්ශ්වය අවධාරණය කර තිබේ. එසේ තමන් ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති නිසා තමන් අභියාචනාධිකරණය වෙත යොමු වී අතුරු නියෝගයක් ලබාගත් බවත් වැඩිදුරටත් දක්වා ඇත.
පැමිණිලිකාර නීතිඥවරිය කොමිසමට තවදුරටත් දක්වා තිබුණේ මීට පෙර අවස්ථා 02කදී කොළඹ – කොටුව පොලිසිය මගින් ද බී/222759/22 යටතේ තමන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවයි. මේ අවස්ථාවේදී ද වගඋත්තරකාර පාර්ශ්වය අත්තනෝමතික ලෙස තමන් ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවත්, එය තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට හේතුවක් වන නිසා 2024 පෙබරවාරි 26 දින තමන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් කොමිසමට පෙන්වා දුන් පැමිණිලිකාර පාර්ශ්වය, ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවූ බව ද වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
පැමිණිල්ලේ 01 වන වගඋත්තරකාර පාර්ශ්වය වන වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ කොමිසමේදී කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මේ විරෝධතාවයේ නීතිවිරෝධී තත්ත්වය සම්බන්ධයෙන් අලුත්කඩේ ම/උ/ බී 5463/04/23 ගොනුකර ඇති නඩුවට අදාළ වැඩිදුර වාර්තාවේ සැකකරුවන් 08 දෙනකු නම් කර ඇති බවයි. එහි 07 වන චූදිත ලෙස නම් කර ඇත්තේ අචලා සෙනෙවිරත්න යන නම බවත්, අචලා ශානිකා සෙනෙවිරත්න යන නමින් හෝ ඇයගේ පදිංචි ලිපිනයේ පදිංචි සැකකරුවකු සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවේ සඳහන් කර නොමැති බවත් පෙන්වා දුන් පොලිස් ස්ථානාධිපතිවරයා, පැමිණිලිකාරිය කරන චෝදනා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.
2024 අප්‍රේල් 09 දිනැති කොමිෂන් සභා විභාගයේදී X නමින් කොමිෂන් සභාවට ලබාදුන් ඡායාරූපයේ සිටි කාන්තාව ඉහත සිද්ධියට අදාළ ව තමන් සොයමින් සිටින අචලා සෙනෙවිරත්න වන බවත්, මීට පෙර උද්ඝෝෂණවලට ඡායාරූපයේ සිටි කාන්තාව සහභාගි වී ඇතත් ඡායාරූපයේ සිටින කාන්තාව සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේ ම මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද ඔහු කොමිසම ඉදිරියේ පැවසීය.
අප්‍රේල් 09 දිනැති මානව හිමිකම් කොමිෂන් සභා විභාගයේදී නීතිඥ නානායක්කාර ගොඩකන්දේ අචලා ශානිකා සෙනෙවිරත්න නමින් හෝ අදාල ලිපිනයේ පදිංචි සැකකාරියක පිළිබඳව අධිකරණයේ කරුණු වාර්තා කර නැති බව 01 වැනි වගඋත්තරකරු පැහැදිලිව ම පිළිගෙන ඇති බවත්, විත්තියට අදාළ අචලා සෙනෙවිරත්න යන අයගේ ඡායාරූපයක් ද 01 වන වගඋත්තරකරු කොමිසමට ඉදිරිපත් කර ඇති බවත්, එසේ හෙයින් 01 වන වගඋත්තරකරු විසින් පැමිණිලිකාර පාර්ශ්වය වන අචලා ශානිකා සෙනෙවිරත්න යන අය ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නිරීක්ෂණය නොවන බවත් සඳහන් කරන මානව හිමිකම් කොමිෂන් සභාව, එම නිසා පැමිණිලිකාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්යාසන්නතාවක් නිරීක්ෂණය නොවන බව නිගමනය කර ඇත.
එසේ වුවත් 01 වන වගඋත්තරකාර පාර්ශ්වය විසින් අචලා සෙනෙවිරත්න යන අයගේ අනන්‍යතාව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා නිසි විමර්ශනයකින් තොරව අචලා සෙනෙවිරත්න යන නම වාර්තා කර ඇතැයි නිරීක්ෂණය වන බවත්, 01 වන වගඋත්තරකාර නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් 02 වන වගඋත්තරකාර පාර්ශ්වය වෙත 2024 පෙබරවාරි 24 දිනැති ව සිදු කළ ලිඛිත පැමිණිල්ලට ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් සාමාන්‍ය පුරවැසියකු ලෙස ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ට ඉදිරිපත් කරන පැමිණිලි පිළිබඳව අවධානය යොමුනොකිරීම නිසා පැමිණිලිකාර පාර්ශ්වය අගතියට පත්ව ඇති බවත් කොමිසම පෙන්වා දෙයි.
සියලු කරුණු සලකා බලා පැමිණිල්ලේ 01 වන වගඋත්තරකාර පාර්ශ්වය වන වැලිකඩ පොලිස් ස්ථානාධිපති චින්තක අනුරාධගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත කොමිසම නිර්දේශ කර ඇති අතර, පොලිස්පතිවරයා විසින් සිවිල් පුරවැසියකු සිදුකරනු ලබන පැමිණිලි පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වීමටත්, ඒ පිළිබඳව පාරදෘෂ්‍ය ක්‍රමවේදයක් සකස් කරන ලෙස සහ ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට සුදුසු පියවර ගෙන කොමිෂන් සභාව දැනුම්වත් කරන ලෙසත් 2024 නොවැම්බර් 05 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය සහ එහි කොමසාරිස් නිමල් ජී. පුංචිහේවාගේ අත්සනින් නිකුත් කළ පැමිණිල්ල පිළිබඳව වාර්තාවෙන් පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ.