ඡායාරූපය CNN
(භානුල ගිරිබාව)
2026 පෙබරවාරි 28 වැනිදා ලෝක ඉතිහාසයේ තීරණාත්මක දිනයක් ලෙස සටහන් විය. එදින අලුයම ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර මාලාව හුදෙක් තවත් එක් යුද්ධයක ආරම්භය පමණක් නොවේ. එය 21 වැනි සියවසේ බල දේශපාලනය “ඒකධ්‍රැවීය” (Unipolarity) තත්ත්වයේ සිට “ඛණ්ඩනය වූ බහුධ්‍රැවීය” (Fragmented Multipolarity) තත්ත්වයකට සංක්‍රමණය වීම පෙන්වන කැඩපතක් බව ජාත්‍යන්තර සම්බන්ධතා විශ්ලේෂණ (CFR, SIPRI) මගින් පෙන්වා දී ඇත.
මෙම යුද්ධය එහි ගැඹුරුතම තැනින් වටහා ගැනීමට නම්, ක්ලවුස්විට්ස්ගේ (Clausewitz) “යතාර්ථවාදී යුද න්‍යාය” (Clausewitzian Realism) භාවිත කිරීම වැදගත් වේ. ඔහුට අනුව, යුද්ධය යනු “වෙනත් මඟකින් කරනු ලබන දේශපාලන සබඳතාවල අඛණ්ඩ පැවැත්මකි” යන අදහස ඔහුගේ On War කෘතියේ පැහැදිලි කර ඇත. 2026 යුද්ධය පිටුපස ඇති සැබෑ දේශපාලන අරමුණ හුදෙක් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීම පමණක් නොවන බවත් ඇමෙරිකානු ගෝලීය ආධිපත්‍යයට එල්ල වන ආර්ථික හා මතවාදී අභියෝග මර්දනය කිරීම බවත් යුද විශ්ලේෂණ මගින් පෙන්වා දී ඇත.
තොගසයිඩීස් උගුල (Thucydides Trap) සහ වර්තමාන ගැටුම
ග්රැහැම් ඇලිසන් විසින් ප්‍රචලිත කරන ලද Thucydides Trap න්‍යාය මෙහිදී අතිශයින්ම වැදගත් වේ. මෙම න්‍යායට අනුව, නැගී එන බලවතකු සහ දැනට බලයේ සිටින බලවතකු අතර ඇති වන ව්‍යුහාත්මක ආතතිය නිසා යුද්ධයක් ඇති වීමේ සම්භාවිතාව අතිශයින් වැඩි බව පෙන්වා දෙයි. මෙම අදහස Harvard Belfer Center අධ්‍යයන මගින් ද තහවුරු කර පෙන්වා දී ඇත. ඉරානය, රුසියාව සහ චීනය වැනි රටවල් බටහිර බලයට අභියෝග කිරීම හරහා මෙම උගුල සක්‍රීය වී ඇති බව ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂණ මගින් හෙළි කර ඇත.
මෙම යුද්ධය අධ්‍යයනය කිරීමේදී අපට ප්‍රධාන ක්‍රියාකාරී ස්ථර කිහිපයක් හඳුනාගත හැකිය:
1. ඉදිරි පෙළ තීරකයන්: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු මෙම යුද්ධයේ ඉදිරි පෙළ නායකයන් වේ. (Reuters, Al Jazeera වාර්තා මගින් පෙන්වා දී ඇත).
2. සැඟවුණු බලවතුන් (Shadow Brokers): යුද්ධයේ දිශානතිය තීරණය කරන්නේ රූපවාහිනියේ පෙනෙන නායකයන්ට වඩා පිටුපස සිටින “ආයුධ කර්මාන්තශාලා හිමිකරුවන්” සහ “ප්‍රකෝටිපති තැරැව්කරුවන්” බව පෙනී යයි. ඒ අනුව ලොක්හීඩ් මාර්ටින් සහ රේතියන් වැනි සමාගම් සඳහා මෙම යුද්ධය මහා පරිමාණ ලාභ උපයන ව්‍යාපෘතියක් වී ඇති බව SIPRI සහ Defense News වාර්තා මගින් පෙන්වා දී ඇත.
ඇමෙරිකාව මැදපෙරදිග යුද්ධයකට මෙතරම් ආයෝජනය කරන්නේ ඇයි?
මීට හේතුව සොයායෑමේදී 1971 වසරේ ඇති වූ මූල්‍ය පෙරළිය පිළිබඳ අධ්‍යයනයක් කළ යුතු ම ය. 1971ට පෙර ඇමෙරිකානු ඩොලරයට රත්තරන් සහතිකය තිබුණද, රිචඩ් නික්සන් එය ඉවත් කළ පසු ඩොලරය fiat currency එකක් බවට පත් වූ බව U.S. Federal Reserve ඉතිහාස දත්ත මගින් හෙළි කර ඇත.
ඇමෙරිකාව මෙම නෝට්ටුවට වටිනාකමක් ලබාදුන්නේ සෞදි අරාබිය සමඟ ඇති කරගත් “පෙට්‍රෝඩොලර්” ගිවිසුම හරහා ය. ඒ අනුව ලෝකයේ සියලුම තෙල් ගනුදෙනු ඩොලර්වලින් සිදුවීම ඇරඹිණි. මෙම ක්‍රමය IMF සහ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ මගින් තහවුරු කර පෙන්වා දී ඇත. නමුත් වර්තමානය වන විට ඉරානය, රුසියාව සහ චීනය ඇතුළු BRICS රටවල් මෙම පද්ධතියට අභියෝග කරමින් චීන “යුවාන්” වැනි මුදල් ඒකක හරහා තෙල් ගනුදෙනු ආරම්භ කර ඇත. එම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ඇමෙරිකානු ආර්ථිකයේ හදවතට බලපාන බව Financial Times සහ World Bank විශ්ලේෂණ මගින් පෙන්වා දී ඇත. එබැවින් 2026 ඉරාන යුද්ධය යනු මූලික වශයෙන් එම මුදල් ආධිපත්‍යය රැකගැනීමේ සටනක් ලෙස දැකිය හැකිය.
යුද පිටියේදී දෙපාර්ශ්වයේ ශක්තීන් හා දුර්වලතා හාත්පසින්ම වෙනස් වේ. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සතුව ලෝකයේ ප්රබලතම ගුවන් හා නාවික හමුදාවක් ඇත. (Global Firepower Index මගින් මේ බව පෙන්වා දී ඇත.) නමුත් ඉරානය භාවිත කරන්නේ “අසමමිතික වාසිය” (Asymmetric Leverage) නම් උපායමාර්ගයයි. (RAND Corporation අධ්‍යයන මගින් එය පෙන්වා දී ඇත).
උදාහරණයක් ලෙස, ඉරානය නිපදවන ෂහීඩ් (Shahed) වර්ගයේ ඩ්‍රෝනයක් නිපදවීමට වැයවන්නේ ඩොලර් 20,000ක් පමණි. නමුත් එය විනාශ කිරීමට ඇමෙරිකාවට වැයවන පේට්‍රියට් මිසයිලයක මිල ඩොලර් මිලියන 2කට වඩා වැඩි බව CSIS Missile Defense Project වාර්තා මගින් හෙළි කර ඇත. ප්‍රහාරයේ පිරිවැයට වඩා ආරක්ෂාවේ පිරිවැය 100 ගුණයකින් වැඩි වීම නිසා බටහිර යුද ක්‍රියාවලිය ආර්ථිකමය වශයෙන් බංකොලොත් කිරීම ඉරානයේ අරමුණ ලෙස පෙනී යයි.
එසේම ඉරානයේ මිසයිල නගර (Missile Cities) පිහිටා ඇත්තේ සග්රෝස් කඳුකරයේ අඩි 300කට වඩා ගැඹුරු භූගත උමං පද්ධති තුළ ය. මේවා විනාශ කිරීමට ඇමෙරිකාව සතු ප්‍රබලම “බංකර් බස්ටර්” (Bunker Buster) බෝම්බ පවා ප්‍රමාණවත් නොවන බව Jane’s Defence සහ BBC ආරක්ෂක විශ්ලේෂණ මගින් පෙන්වා දී ඇත.
යුද්ධයේ සයිබර් භූමිකාව
මේ යුද්ධයේ තවත් ප්‍රබල පැතිකඩක් ලෙස සයිබර් මෙහෙයුම් දැක්විය හැකිය. ඊශ්‍රායලයේ ප්‍රභූ යුනිට් 8200 ඒකකය වසර 20ක් තිස්සේ ඉරාන සන්නිවේදන ජාල තුළ රහසිගතව රැඳී සිට ඇතැයි New York Times සහ ජාත්‍යන්තර සයිබර් ආරක්ෂක වාර්තා මගින් හෙළි කර ඇත. ඉරානයේ හිටපු උත්තරීතර නායකයාගේ සිට ප්‍රධාන අණදෙන නිලධාරීන් සිටින ස්ථාන පවා පින්පොයින්ට් කිරීමට ඔවුන් ටෙහෙරාන් නුවර මාර්ගවල ඇති ට්‍රැෆික් කැමරා පද්ධතිය හැක් කර භාවිත කර ඇති බව Washington Post විමර්ශන වාර්තා මගින් පෙන්වා දී ඇත.
මීට අමතරව “ට්‍රෝල් ෆාම්ස්” (Troll Farms) සහ ව්‍යාජ අන්තර්ජාල ගිණුම් හරහා ගෝලීය ජනමතය යුද්ධයට පක්ෂව හැඩගැස්වීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව Oxford Internet Institute අධ්‍යයන මගින් හෙළි කර ඇත. මෙය මහජන මතයේ ආධිපත්‍යය තබාගැනීමට දරන උත්සාහයකි.
බටහිර බලවතුන් බොහෝ විට යුද්ධයක් තක්සේරු කරන්නේ තාක්ෂණය සහ අවි බලය මත පදනම්ව වුවද, ඉරානය වැනි රාජ්‍යයක යුදමය පදනම තේරුම් ගැනීමට නම් එහි ගැඹුරු ආගමික මනෝවිද්‍යාව වන “කර්බලා සුසමාදර්ශය” (Karbala Paradigm) අවබෝධ කරගත යුතුය. මෙම මතවාදය පදනම් වී ඇත්තේ ක්‍රි.ව. 680දී ඉරාකයේ කර්බලා තැනිතලාවේදී අයුක්ති සහගත පාලනයට එරෙහිව සටන් කර මියගිය ඉමාම් හුසේන්ගේ පරිත්‍යාගය මතයි.
මෙම සුසමාදර්ශයට අනුව, සතුරා කොතරම් බලවත් වුවත්, පරාජය හමුවේ යටත්වීමට වඩා “ප්‍රාණ පරිත්‍යාගය” (Martyrdom) උතුම් කොට සලකනු ලැබේ. මෙම “martyrdom culture” පිළිබඳ Middle East Institute අධ්‍යයන මගින් ද පෙන්වා දී ඇත. 2026 යුද්ධයේදී ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය වීම පාලන තන්ත්රයේ බිඳවැටීමක් ලෙස බටහිර ලෝකය දුටුවද, ඉරාන වැසියන්ට එය තම ආගමික වීරයකුගේ ප්‍රාණ පරිත්‍යාගයකි. මෙය ජනතාව තුළ පළිගැනීමේ චේතනාව සහ ජාතිකවාදය තවදුරටත් තීව්ර කරන සාධකයක් බවට පත්වී ඇත. මෙම මානසිකත්වය හුදෙක් ඉරානයට පමණක් නොව, ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හූති වැනි Axis of Resistance ලෙස හැඳින්වෙන කලාපීය සන්නද්ධ කණ්ඩායම් වෙත ද ව්‍යාප්ත වී ඇතැයි BBC සහ Al Jazeera වාර්තා මගින් පෙන්වා දී ඇත.
ඉරානයේ යුද මූලධර්මය පදනම් වී ඇත්තේ “ඉදිරි ආරක්ෂාව” (Forward Defence) නම් සංකල්පය මත ය. ඒ අනුව සතුරා තම දේශසීමාවට පැමිණෙන තෙක් බලා නොසිට, සතුරාගේ මූලස්ථාන වෙත හෝ තම දේශසීමාවෙන් ඔබ්බට ගොස් සතුරාට පහර දීම සිදු වේ. මේ සඳහා ඉරානය තම උපායමාර්ගික සැලසුම් ඉරාකයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා ව්‍යාප්ත කර ඇත.
මෙම උපායමාර්ගය ප්‍රධාන අංග තුනකින් සමන්විත වේ. එනම්,
1. මිසයිල පද්ධතිය: ඉරානය සතුව කිලෝමීටර් 2,000කට වඩා විහිදෙන මැදපෙරදිග විශාලතම මිසයිල ගබඩාව පවතින බව IISS Military Balance වාර්තා මගින් පෙන්වා දී ඇත.
2. රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්: හිස්බුල්ලා, හූති සහ ඉරාකයේ මහජන බලමුළු (PMF) හරහා නිල නොවන යුද්ධයක නිරත වීම.
3. සයිබර් සහ ඩ්‍රෝන හැකියාවන්: අඩු පිරිවැයකින් සතුරාගේ යටිතල පහසුකම් අඩපණ කිරීම.
ආයතනික අපැහැදිලිතාව සහ බල අර්බුදය
ඇමෙරිකානු දේශපාලන බලය අභ්‍යන්තරයෙන් බිඳවැටීමට බලපාන එක් ප්‍රධාන සාධකයක් වන්නේ ආයතනික අපැහැදිලි බවයි. එප්ස්ටීන් ලේඛන වැනි සිදුවීම් හරහා පෙනීයන්නේ ප්රජාතන්ත්රවාදී ඒකක වන නීතිය, බුද්ධි අංශ අභිබවා ප්‍රභූ ජාලයන් ක්‍රියාත්මක වන බවයි. Pew Research සහ මාධ්‍ය විමර්ශන වාර්තා මගින් මහජන විශ්වාසය පහළ යෑම පෙන්වා දී ඇත. යුද්ධයක් වැනි ආතතිසහගත අවස්ථාවකදී, පද්ධතිය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය පළුදුවීම ඕනෑම අධිරාජ්‍යයක බිඳවැටීමේ ආරම්භය ලෙස දැකිය හැක. ඒ අනුව අධිරාජ්‍යයන් බිඳවැටෙන්නේ සත්‍යය හෙළිවීමෙන් නොවන වගත් ඔවුන් පණපොවමින් පවත්වාගන ගිය මායාව නඩත්තු කිරීමට නොහැකිවීමෙන් වගත් වටහා ගත යුතු වේ.
මෙම යුද්ධය ශ්‍රී ලංකාව වැනි රටවලට හුදෙක් ප්‍රවෘත්තියක් පමණක් නොවේ. ගෝලීය බලශක්ති සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී යෑම ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑමක් ඇති කළ හැකිය. Hormuz සමුද්‍ර සන්ධිය හරහා ලෝක තෙල් සැපයුමේ විශාල කොටසක් ගමන් කරන බව U.S. Energy Information Administration දත්ත මගින් පෙන්වා දී ඇත. මේ වන විටත් එදිනෙදා ජන ජීවිතයට මෙහි බලපෑම එල්ල වී හමාර ය.
තෙල් මිල ඉහළ යෑම සහ සැපයුම් දාම බිඳවැටීම නිසා දේශීය නිෂ්පාදන පිරිවැය ඉහළ යමින් පවතී. ඊට අමතරව මැදපෙරදිග සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන්ගේ රැකියා සහ ජීවිත අවදානමට ලක්වීමෙන් විදේශ විනිමය ආදායම අහිමි වී යෑමේ තර්ජනයක් තිබේ. එසේම මෙරට තේ සඳහා වන ප්‍රධාන වෙළඳපොළක් වන මැදපෙරදිග කලාපය අස්ථාවර වීමෙන් අපනයන ආදායම තවදුරටත් පහත වැටෙනු ඇති බව ආර්ථික විශ්ලේෂණ මගින් පෙන්වා දී ඇත.
යුද්ධය උත්සන්න වන්නේ කෙසේද?
ඕනෑම ගෝලීය ගැටුමක් හදිසියේ උපත ලබන්නක් නොවන අතර, එය විවිධ උත්සන්නවීම් හරහා ගමන් කරයි. එනම්,
1. රාජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇතිවන ඝට්ටන.
2. සම්බාධක පැනවීම සහ වෙළඳ සීමාකිරීම්.
3. නියෝජිත ගැටුම් හෙවත් රටවල් දෙකක් සෘජුව සටන් නොකර වෙනත් සන්නද්ධ කණ්ඩායම් හරහා සටන් මෙහෙයවීම.
4. ඩිජිටල් යටිතල පහසුකම් අඩපණ කිරීම සහ මහා පරිමාණ තොරතුරු හැසිරවීම.
5. නිශ්චිත ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර.
6. මහා පරිමාණ යුද මෙහෙයුම්.
7. සිවිල් ජනතාව සහ යුද ඉලක්ක අතර වෙනසක් නොමැතිව සියල්ල විනාශ කිරීම.
8. රසායනික, ජෛව හෝ න්‍යෂ්ටික යුද්ධ.
මෙවැනි escalation ladder පිළිබඳ NATO සහ ජාත්‍යන්තර ආරක්ෂක අධ්‍යයන මගින් ද පැහැදිලි කර ඇත. මේ වන විට මෙම යුද්ධය හත්වැනි මට්ටම දක්වා ළඟා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හෙළි කර තිබේ. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ පළාත් 31කින් 26කට ම බෝම්බ හෙළා ඇති අතර, ඉරානය ද සිය මිසයිල ප්‍රහාර ගල්ෆ් කලාපය පුරා ව්‍යාප්ත කර ඇත.
කෙසේ වෙතත්, මෙහිදී ඇමෙරිකානු බලය මතුපිටින් ප්‍රබල ලෙස පෙනුණද, එය ඇතුළතින් බොල්වීමට හේතුවන ප්‍රධාන සාධකයක් ලෙස පෙර සඳහන් කළ ආයතනික අපැහැදිලි බව හැඳින්විය හැකිය. මූලාශ්‍ර පෙන්වා දෙන්නේ එප්ස්ටීන් ලිපිගොනු (Epstein Files) වැනි සිදුවීම් හරහා ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදී ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටී ඇති බවයි.
මෙය යුද්ධයකදී තීරණාත්මක වන්නේ ඇයි?
ප්රජාතන්ත්රවාදී රටක් යුද්ධයකට යන්නේ ජනතා කැමැත්ත සහ ආයතනික ශක්තිය මතයි. නමුත් එප්ස්ටීන් වැනි “සෙවනැලි බල තැරැව්කරුවන්” (Shadow Brokers) දේශපාලන නායකයන්ව අල්ලේ නැටවීම හරහා ජාතික තීරණ තමන්ගේ පෞද්ගලික ලාභය සඳහා මෙහෙයවයි. අධිරාජ්‍යයන් බිඳවැටෙන්නේ සත්‍යය හෙළි වූ විට නොව, ඔවුන් පවත්වාගෙන ගිය “බොරුව” තවදුරටත් ක්‍රියා නොකරන විටයි.
ඉරානයේ “ඉදිරි ආරක්ෂාව” (Forward Defence) සහ උපායමාර්ගික ගැඹුර
ඉරානය සිය ආරක්ෂාව උදෙසා අනුගමනය කරන්නේ “ඉදිරි ආරක්ෂාව” නමැති මිලිටරි උපායමාර්ගයයි. මෙහි මූලික අදහස වන්නේ තර්ජනයක් තමන්ගේ දේශසීමාවට පැමිණෙන තෙක් බලා නොසිට, සතුරාගේ කඳවුර තුළට ම හෝ සතුරාට ආසන්න ප්‍රදේශ වෙත හෝ ගොස් සටන් කිරීමයි.
ඉරානය සිය උපායමාර්ගික ගැඹුර ඉරාකයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා ව්‍යාප්ත කර ඇත. මේ සඳහා ඔවුන් සිය නියෝජිත (Proxy) කණ්ඩායම් වන ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූති සහ පලස්තීනයේ හමාස් වැනි කණ්ඩායම් භාවිත කරයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙන විට, ඉරානය සිය නියෝජිතයන් මගින් කලාපයේ ඇති ඇමෙරිකානු කඳවුරු 19කට සහ ගල්ෆ් රටවලට පහරදෙන්නේ මෙම උපායමාර්ගයට අනුවයි.
ඉරාන අභ්‍යන්තරය
යුද්ධයේ දිශානතිය තීරණය කරන තවත් නිර්ණායකයක් වන්නේ “බලපෑමට ලක්වන ජනගහනය”යි. 2026 වන විට ඉරානය අභ්‍යන්තරිකව විශාල කැළඹීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර වාර්තා මගින් හෙළි කර ඇත.
ඉරානයේ වැව් සහ ගංගා සිඳී යෑම නිසා විශාල ජනගහනයක් අසරණ වී සිටිති.
• ඉරාන රියාල් ඒකකය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මාස 7ක් තුළ 40%කින් කඩා වැටී ඇති බව ආර්ථික වාර්තා මගින් පෙන්වා දී ඇත.
• උත්තරීතර නායක කමේනිගේ මරණයෙන් පසු ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි පත්කිරීම හරහා පාලන තන්ත්රය සිය ස්ථාවරත්වය පෙන්වීමට උත්සාහ කරන බව විශ්ලේෂණ පෙන්වා දෙයි.
බටහිර බලවතුන් බලාපොරොත්තු වන්නේ මෙම අභ්‍යන්තර පීඩනය නිසා ඉරාන වැසියන් සිය රජයට එරෙහිව කැරලි ගසනු ඇති බවයි. නමුත් “කර්බලා සුසමාදර්ශය” මගින් පෝෂණය වන ඉරාන මානසිකත්වය හමුවේ සතුරකුට එරෙහිව ජනතාව ඒකරාශී වීමේ වැඩි ඉඩක් පවතින බව අධ්‍යයන මගින් පෙන්වා දී ඇත.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබුණේ බටහිර ප්‍රහාර හමුවේ ඉරානයේ ආක්‍රමණශීලී මිලිටරි හැකියාවෙන් 80%ක් දැනටමත් විනාශ වී ඇති බවයි. මෙම ප්‍රකාශය මතුපිටින් බලන විට සත්‍යයක් සේ පෙනුණද, යුද පිටියේ දත්ත මගින් වෙනත් ප්‍රතිරූපයක් මතු කරන බව විශ්ලේෂණ මගින් හෙළි කර ඇත.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ගුවනේ ආධිපත්‍යය අත්පත් කරගෙන ඇති අතර, ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිවලට දැඩි හානි පමුණුවා ඇත. එහෙත් ඉරානයේ සැබෑ ශක්තිය පවතින්නේ මතුපිට නොව, ගැඹුරු භූගත උමං තුළ පිහිටි මිසයිල නගර තුළ බව ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. මෙම මධ්‍යස්ථාන විනාශ කිරීමට ‘බංකර් බස්ටර්’ බෝම්බ පවා ප්‍රමාණවත් නොවන අතර, ඉරානය තවමත් සිය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර අඛණ්ඩව දියත් කරමින් සිටියි.
දිනන්නේ කවුද?
ඉතිහාසය දෙස බලන විට ඇමෙරිකාව වියට්නාමය සහ ඇෆ්ගනිස්ථානය වැනි දීර්ඝකාලීන යුද්ධ තුළ කිසිවිටෙකත් අවසාන ජයග්‍රහණයක් ලබාගෙන නැති බව ඉතිහාස වාර්තා මගින් පෙන්වා දී ඇත. ඇමෙරිකානු යුද යන්ත්‍රය කෙටි කාලීන ප්‍රහාරවලට දක්ෂ වුවද, ඉරානය සිය භූගෝලීය වාසිය සහ මතවාදී ශක්තිය හරහා මෙම යුද්ධය දිගුකාලීන වෙහෙසකර සටනක් බවට පත්කරනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
මෙම යුද්ධයේ සැබෑ ගමන් මග තීරණය වන්නේ මිලිටරි ජයග්‍රහණයකින් නොව, පෙට්‍රෝඩොලර් ක්රමයේ පැවැත්ම හෝ බිඳවැටීම මතයි. ඩොලරයෙන් බැහැර වූ නව වෙළෙඳ ගිවිසුම් සහ BRICS වැනි සංවිධාන හරහා ගොඩනැගෙන නව මූල්‍ය පර්යාය බටහිර ඒකධ්‍රැවීය බලය අවසන් කිරීමට සමත් වනු ඇති බව ආර්ථික විශ්ලේෂණ මගින් පෙන්වා දී ඇත.
අවසාන වශයෙන්, මෙම යුද්ධය ශක්තිවන්තයා රජයන, බෙදී ගිය බහුධ්‍රැවීය ලෝකයක උපත වනු ඇති බව පෙනී යයි. මෙවැනි ලෝකයක සාමය පවතින්නේ සාරධර්ම මත නොව, බලවතුන් අතර ඇති වන මිලිටරිමය “බල තුලනය” මත බව ජාත්‍යන්තර සම්බන්ධතා න්‍යාය මගින් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම නව ලෝක පර්යාය තුළ සිය පැවැත්ම තහවුරු කර ගැනීමට නම් වඩාත් තියුණු සහ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
26