(තරිඳු ජයවර්ධන)
උසස්පෙළ විභාගයට මුහුණ දෙමින් සිටි ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය පාසල් නිල ඇඳුමෙන් සිටියදීම අපයෝජනය කර ඝාතනය කිරීමත්, විභාගය නිමවී නිවසට නොපැමිණි තම දියණිය සොයා ආ ක්‍රිෂාන්තිගේ මව රාසම්මා, ඇගේ සහෝදරයා ප්‍රවනන් සහ ඇගේ නිවස ඉදිරිපිට සමූපාකාරයේ සේවය කළ කිරුබාමූර්ති ඝාතනය කිරීමත් ගැන ‘කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතුවූ චෙම්මනි සමූහ මිණීවලේ කතාව – 01 කොටසමැයෙන් පල විය. එම ලිපිය අවසන් කෙරුණේ  කුමාරස්වාමි පවුල ඝාතනය කළැයි වැරදිකරු වූ ලාස්න් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ අනාවරණයෙන් පසු චෙම්මනි සමූහ මිනීවලේ වැඩ මුලින් ආරම්භ වී පසු නතරවී තිබියදී පසුගිය පෙබරවාරි (2025) මාසයේදී යළිත් කැනීම් ආරම්භ කිරීමට හේතුවූ කරුණුවලිනි. මේ චෙම්මනි ගැන අප සොයා ගිය ගමනේ දෙවැනි ලිපියයි.
සිදම්බරම් සූරියකුමාර් සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා ය. ඔහුට බාල සහෝදරයෙක් සහ වැඩිමහල් සහෝදරියක් සිටියහ. මව සහ පියා 1979 වසරේ දී පමණ මරණයට පත්වීමෙන් පසු පවුලට මව වූයේ වැඩිමහල් සහෝදරිය වූ ඉන්ද්‍රාදේවිය. ඇය ඇගේ බාල සහෝදරයන් දෙදෙනා මවක මෙන් රැක බලා ගත්තේ තම දරුවන් ද රැක බලා ගන්නා අතරතුරදීමය. සූරියකුමාර්ට රැකියාව ලෙස තෝරා ගැනීමට සිදුවූයේ කයිතඩි-කෝපායි පාරේ කයිතඩි මංසන්දියට නුදුරෙන් පිහිටි සමූපාකාරයයි. 
ඉන්ද්‍රාදේවි
1983-84 යනු ශ්‍රී ලංකාවේ එතෙක් පැවැති තත්ත්වය සහ මුළින්ම වෙනස්වී තවත් දශක ගණනක් ඉදිරියට නොනැවතෙන ගැටලු රැසක් සමග සිවිල් යුද්ධයකට මග පෑදුණු වසරක් විය. දේශපාලනඥයන් ඇතුළු ඇතැම් කණ්ඩායම් විසින් තම දේශපාලන අනාගතය වෙනුවෙන් බිල්ලන් මැවීමක් ලෙස ඇතිවූ 83 කළු ජූලියේ ප්‍රතිඵලය වූයේ දහස් ගණනක් සිවිල් වැසියන්ට ජීවිත අහිමි වීම ය. එදා 20 කටත් අඩු එල්ටීටීඊ සංවිධානය පසුව දහස් ගණනකගේ බල සේනාවක් කරා තල්ලු කරවූ මූලික සාධකයක් වූයේ ද එදා දේශපාලනඥයන් සහ ඔවුන්ගේ වුවමනාවට වැඩ කළ පිරිස් විසින් ඇති කරන ලද කළු ජූලියයි. 1979 දී දෙමාපියන් අහිමිවූ සිදම්බරම් පවුලේ අනාගතයද තීරණාත්මක ලෙස වෙනසකට ලක් කරන්නට 83 කළු ජූලිය හේතු විය. 
කළු ජූලියේ ප්‍රතිඵලයක් ලෙස තවත් වසරක් දෙකක් ඈතට දිවෙන ඝාතන රැල්ලට සිදම්බරම් සූරියකුමාර් ද බිලිවිය. ඒ සමූපාකාරයේ රැකියාව කරමින් සිටිනා අතරතුරදී 1984 අගෝස්තු 13 වැනිදාය. හමුදාවේ පිරිසක් අතින් සමූපාකාරයේ රැකියාව කරමින් සිටියදීම සූරියකුමාර් ඝාතනය විය. ඔහු ඇතුළු සමූපාකාර සේවකයෝ තිදෙනෙක් ඝාතනය වූහ. එදා එම ස්ථානයේ දී ඝාතන වූ මුළු සංඛ්‍යාව 10 දෙනෙකි. 
සූරියකුමාර් ඇතුළු 10 දෙනකු ඝාතනයට අදාලව 2018දී ඉදි කරන ලද ස්මාරකය
සූරියකුමාර් ඇතුළු පිරිස ඝාතනය වෙද්දි එම සමූපාකාරය ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේ වත්ත ඇතුළේ පිහිටි නිවසේ මවක් සහ දරු තිදෙනෙක් ජීවත් වූහ. ඒ එදායින් වසර 12කට පසු ඝාතනය වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි, ඇගේ මව රාසම්මා කුමාරස්වාමි, ඇගේ අක්කා වූ ප්‍රශාන්ති කුමාරස්වාමි සහ ඇගේ සහෝදරයා වූ ප්‍රවනන් කුමාරස්වාමි ය. ඒ වන විට ක්‍රිෂාන්ති වයස අවුරුදු 07ක් පමණ වන දැරියකි. ඇගේ මල්ලී ප්‍රවනන් වයස අවුරුදු 06ක දරුවෙකි. එම පවුලට 1984 අමතක නොවන වසරක් වූයේ තම නිවස ඉදිරිපිට 10 දෙනකු ඝාතනය කිරීම නිසාම පමණක් නොවේ. ක්‍රිෂාන්තිගේ පියා මරණයට පත්වූයේ ද එම වසරේදීම බව සඳහන්වේ.
සමූපාකාරයේදී සූරියකුමාර් ඝාතනයත් සමග ඔහුගේ අක්කා ඉන්ද්‍රාදේවි තව තවත් අසරණ වුවද ඇගේ ධෛර්ය අඩුවක් තිබුණේ නැත. ඇය තම බාල සහෝදරයා වූ සිදම්බරම් කිරුබාමූර්ති තම දරුවකු මෙන් රැක බලා ගත්තාය. කිරුබාමූර්ති තම රැකියා ස්ථානය ලෙස තෝරා ගත්තේ තම අයියාගේ රැකියා ස්ථානය වූ සමූපාකාරයම ය. සමූපාකාරයේ රැකියාව කරමින් සිටි කිරුබාමූර්තිට විවාහයක් කර දීමට ද අක්කා ඉන්ද්‍රාදේවි කටයුතු කළාය. විවාහයෙන් වසර දෙකක් ගත වෙද්දීම එනම් 1996 සැප්තැම්බර් 07 වැනිදා ඊට පෙර ඔහුගේ සහෝදරයා අවසන් ගමන් යැවූ හමුදාවේ පිරිසක් අතින්ම කිරුබාමූර්තිගේ ඉරණම ද ලියැවිණි. 
දැන් ඉන්ද්‍රාදේවි  77 හැවිරිදි වියේ පසුවන්නීය. සිද්ධියෙන් වසර 29කට පසු ඇය තම මතකය අවදි කළේ මෙසේය. 
එදා දවසේ කිරුබාමූර්ති වැඩට ආවා. ඒ මේ සමූපකාරයේ.” ඉන්ද්‍රාදේවි එලෙස කීවේ සමූපාකාරය ඇති ස්ථානය දෙසට අත දිගු කරමිනි. 
කිරුබාමූර්ති
“සමූපාකාරය ඉස්සරහා තමයි ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ ගෙදර තියෙන්නේ. කිරුබාමූර්ති සමූපාකාරයේ වැඩ කරන නිසා ක්‍රිෂාන්තිගේ අම්මව හොඳින් අඳුරනවා. ක්‍රිෂාන්ති පාසල් යන්නේ බයිසිකලයෙන්. එහෙම ගිය වෙලාවක හමුදාවෙන් හරස් කරලා නතර කරගෙන රඳවාගෙන තිබෙනවා. ඒක දැකපු කෙනෙක් ඇවිත් සමූපාකාරෙ වැඩ කරමින් හිටපු අපේ මල්ලිට කියලා තියනවා. ඊට පස්සේ එයා ක්‍රිෂාන්තිගේ අම්මට ඒ බව දැනුම් දීලා. පසුව අම්මා හඬද්දි කිරුබාමූර්ති අම්මත් එක්ක ක්‍රිෂාන්ති හොයන්න ගිහිල්ලා තිබ්බා. ක්‍රිෂාන්තිගේ අම්මා ගියේ කිරුබාගේ බයිසිකළේ. ඊට පිටිපස්සේ ක්‍රිෂාන්තිගේ මල්ලිත් ගිහින් තියනවා. සමූපාකාරයේ එදා රැස්වීමකුත් තියෙද්දි ඒකත් දාලා තමයි ක්‍රිෂාන්තිගේ අම්මට උදව් කරන්න කිරුබා ගියේ. ඒ ගියාට පස්සේ අපේ මල්ලි ආවේ නෑ.”
තම මල්ලි මරා දමා ඇති බව දැනගත් ආකාරය ඉන්ද්‍රාදේවි පැහැදිලි කළාය.
“අපි කිරුබා මූර්ති හොයන්න කෑම්ප් ගාණේ ගියා. සාස්තර බැලුවා. මතක හැටියට දවස් හැටපහක් තිස්සේ හොයනවා කිසිම තොරතුරක් නෑ. ඊට පස්සේ තමයි චෙම්මනිවල මිනිස්සුන්ගේ කොටස් හම්බවුණා කියලා අපිව ප්‍රකාශ ගන්න කොළඹ ගෙන්නුවේ. ඒ වෙලාවෙ තමයි අපිට දැනුම් දුන්නේ කිරුබා මරලා දාලා කියලා. කිරුබාගේ බිරිඳ බාරගත්තේ නැහැ සිරුර. එයා විශ්වාස කළේ නෑ කිරුබා ජීවතුන් අතර නෑ කියලා. සිරුර තිබුණේ යාපනය රෝහලේ මතක හැටියට. පොලිතින් බෑග් එකක ඔහුගේ සිරුර දාලා තිබ්බේ. සෙරප්පුවකින් සහ අතේ දාලා තිබ්බ වළල්ලකින් තමයි කරුබාමූර්තිව හදුනාගත්තේ. හමුදාවෙ අය කිරුබාගේ බෙල්ල හිර කරන්න යොදා ගත්තා කියලා කියන පටියකුත් එතන තිබුණා.”
ඉන්ද්‍රාදේවි
මෙහි ශෝඛාත්නය එතනින් අවසන් වන්නේ නැත. ඇය අද තත්ත්වය ගැන ද විස්තර කළාය.
“කිරුබා බැඳලා අවුරුදු 02කින් විතර තමයි මේක වුණේ. ඒ වෙද්දි දරුවො හිටියෙත් නෑ. එයාගේ බිරිඳ මේකෙන් පස්සේ කසාදයක් කරගත්තෙත් නෑ. මේ දුකෙන් ඇය මව සමග ජීවත්වුණා. ඇගේ මව මැරුණට පස්සේ දැන් ඇය තනිවම ජීවත් වෙනවා.”
“අපිට සමහර අය ඒ දවස්වලම කිව්වා ක්‍රිෂාන්තිගේ අම්මාත් එක්ක කිරුබවත් කෑම්ප් එක ඇතුළට ගෙනිච්චා කියලා. ඒත් අපි ඒක විශ්වාස කළේ නෑ. අපි හිතුවේ නෑ මෙහෙම දෙයක් කරලා කියලා. මල්ලිගේ හිත හොඳ නිසා අනිත් අයට උදව් කරන්න ගිහින් තමයි මේ දේ වුණේ”
එදා ඉන්ද්‍රාදේවිට තම සහෝදරයා අහිමිවූයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය සොයා චෙම්මනි ගිය ගමනේදීය. 
රාසම්මා කුමාරස්වාමි
ක්‍රිෂාන්තිගේ මව වූ රාසම්මාට සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක් වූහ. ඒ අතරෙන් එක් සහෝදරියක් විදුහල්පතිනියක් වූවාය. ඇගේ සැමියා (ක්‍රිෂාන්තිගේ මහප්පා/ලොකු තාත්තා) වී ආරුමුගනාදන් එදා සිටියේ කොළඹ රැකියා ස්ථානයේය. සන්නිවේදනයේ අපහසුවත් කොළඹ සිට යාපනය බලා ඒමේ දුෂ්කරතාවත් හේතුවෙන් සතියක පමණ කාලයක් යන තුරු ආරුමුගනාදන්ට  තම නෑනා, ඥාති පුතා සහ දියණිය සොයන්නට එන්නට හැකියාවක් තිබුණේ නැත. පසුව ක්‍රිෂාන්තිට යුක්තිය සොයන ගමනේ ආරුමුගනාදන්ගේ බිරිඳ එනම් ක්‍රිෂාන්තිගේ ලොකු අම්මා ඉදිරියෙන්ම සිටියාය. ඇයට ලොකුම හයිය වූයේ සැමියා වූ අරුමුගනාදන්ය. අද වන විට ඇය ද ජීවතුන් අතර නැත. ආරුමුගනාදන් දැන් 85 වැනි වියේ පසුවෙයි. 
ආරුමුගනාදන්ගේ ඥාති දියණිය අපයෝජනය කර මරා දමා තිබූ බව සහ ඇය සොයා ගිය නෑනා ඇතුළු පිරිස ද මරා දමා තිබූ බව පසුව තහවුරු විය. යුද හමුදාවේ සහ පොලිසියේ පිරිසකට මරණීය දණ්ඩනය ද නියම විය. එය ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය ද ස්ථිර කළේය. එහෙත් ආරුමුගනාදන්ට තවමත් ඒ අමිහිරි අතීතය අමතකව ගොස් නැත. ඔහු තම මතකය අවදිකළේ මිනිත්තු කිහිපයක් හඬා වැටීමෙන් පසුවය. 
ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ මහප්පා
ක්‍රිෂාන්තිගේ සිදුවීම ගැන ලෝකයට කියන්න බොහෝ අය බයයි. ඒකට හේතුව දන්නෑ. අද වෙනකම් කිසිම මාධ්‍යෙව්දියෙක් ක්‍රිෂාන්තිගෙ ගෙදර බලන්න ඇවිත් නෑ.  නෑදෑයො හමුවෙන්න ඇවිත් නෑ. එහෙම තියෙද්දී ඔබලා  ඇවිත් ක්‍රිෂාන්තිගේ සිදුවීම ගැන ඇත්ත කතාව කියන්න උත්සාහ කරන එකට මම ස්තූතිවන්ත වෙනවා. ඔබේ අරමුණ මොකක්ද කියන්න මම දන්නේ නෑ. ඒ මොකක් වුණත් මෙහෙම හමුවීමට ලැබීම ගැන සතුටුයි.” ඔහු කතාව ආරම්භ කළේ එලෙසිනි.  ඔහුගේ නිවස පිහිටියේ ක්‍රිෂාන්තිගේ නිවසට මීටර කිහිපයක් ඔබ්බෙනි.
“ක්‍රිෂාන්තිගේ සිදුවීම වුණ දවසේ ක්‍රිෂාන්තිගේ අම්මා හින්දු භක්තිකයන්ගේ උපවාසයක කරමින් හිටියේ. උදේ ඇය අපේ ගෙදරටත් ඇවිත් මගේ බිරිඳත් එක්ක කතා කරලා ගිහින් තිබුණා. ඊට පස්සේ තමයි ක්‍රිෂාන්තිගේ සිදුවීම දැනගෙන තියෙන්නේ. රහසින් තමයි කියලා තියෙන්නේ. ප්‍රසිද්ධියේ කිව්වොත් හමුදාවේ අය ඒ අයටත් කරදර කරයි කියලා බය වෙලා. ක්‍රිෂාන්තිගේ අම්මා සහ කිරුබා  එතැනට ගියේ ඊට පස්සේ.”
එලෙස ගිය රාසම්මා, කිරුබා සහ ප්‍රවනන් නැවත නොපැමිණීම ගැන සොයා බලන්නට ඊළඟට චෙම්මනි ප්‍රදේශයට ගොස් ඇත්තේ ආරුමුගනාදන්ගේ බිරිඳයි. තවත් මිනිත්තු කිහිපයක් පසුවිණි නම් ඇතැම් විට ආරුමුගනාදන්ට තම බිරිඳ ද අහිමි වන්නට ඉඩ තිබිණි.
“හවස් වෙද්දී ඒගොල්ලන්ව තියාගෙන ඉන්නවා කියලා ආරංචිය ආවම මගේ බිරිඳත් එතනට ගිහින් තියනවා. ගිහින් කතා කරලා කොහොම හරි මේ අයව එළියට ගන්න බලාගෙන මුරපොළ ගාව ඉඳලා තියනවා. ඉන් පස්සේ  එතනින් ආපු කෙනෙක් කියලා තියෙනවා හයෙන් පස්සේ පාරේ හිටියොත් එයාවත් ගනියි, දැන් ගෙදර යන්න කියලා. ඒ අනුව ඇය ගෙදර ආවා. ඒ වෙනකොටත් මේ අයව ඝාතනය කරලා තියෙන්න ඇති කියලා දැන් හිතනවා.”
ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ නිවස
“ඊට පස්සේ හමුදාවෙන් ඇවිත් මගේ බිරිඳගෙන් ප්‍රශ්න කලා. මට බය හිතුණේ මට හෝ බිරිඳට අනතුරක් කරයි කියලා.  පසුව මාගේ බිරිඳ කොළඹ තිබුණ මහාධිකරණ නඩුවටත් සාක්ෂි දුන්නා. ක්‍රිෂාන්තිගේ සිදුවීම එළියට එන්න ප්‍රධාන භූමිකාවක් කළේ මගේ බිරිඳ සහ ඇගේ සහෝදරයා වන මනිවන්නන් කියන කෙනා. ක්‍රිෂාන්තිගේ අම්මා, මනිවන්නන් සහ මගේ බිරිඳ සහෝදරයෝ.  මනිවනන් දිගටම කිව්වා මේකට යුක්තිය ඕනා කියලා.  ඒකට මගේ බිරිඳත් දායක වුණා. පැමිණිලි කරලා ඒගොල්ලන් විමර්ශන ඉදිරියට ගෙන ගියා. මේකට යුක්තිය ඉටු නොවුණොත් මේ වගේම දිගටම සිද්ධවේවි කියලා හිතුවා.”
“ක්‍රිෂාන්තිගේ අක්කා ඒ වෙනකොට හිටියේ කොළඹ. ඇය ගොඩක් බය වෙලා තිබුණා තමන්ගේ අම්මා, මල්ලි, නංගි නැතිවෙලා තියෙද්දි මේ ගැන කතා කරන ලොකු අම්මටත් මොනවා හරි කරයි කියලා.  දැන් ඇය ඉන්නේ ලන්ඩන්. ඇය එක දවසක්වත් මේ සිද්ධියෙන් පස්සේ තමන්ගේ ගෙදර ඇවිත් පදිංචි වුණේ නෑ. ඇය ලොකු කම්පනයකට පත්වී හිටියා. ඇය ඒ නිවස කිසිම කෙනෙකුට රෙන්ට් එකට දෙන්න දෙන්නෙත් නෑ. විකුණන්න දෙන්නෙත් නෑ. කිසිම නවීකරණයක් කරන්න දෙන්නෙත් නෑ. තවම ගෙදර ඒවිදිහටම තියෙනවා.”
ක්‍රිෂාන්තිගේ බාප්පා
චෙම්මනිවලින් නැවත ඇටසැකිළි මතුවීම ආරුමුගනාදන් සලකන්නේ දෙවියන්ගේ කටයුත්තක් ලෙසයි.
“මේ විදිහට මෙය මතු වුණේ දෙවියන් නිසා. කවුරුත් හිතුවේ නෑ මෙහෙම නැවත මේක උඩට එයි කියලා. කාලයත් එක්ක දෙවියො මේක යට යන්න දෙන්නේ නැතුව මතු කලා. සමහරවිට තව තැන්වල තියන ඒවත් දෙවියො මතුකරයි. සමහර දේවල් වෙන්න සුදුසු කාලයක් උදාවෙන්න ඕනෑ. ක්‍රිෂාන්තිගේ සිුවීමට අදාල ජෝසෆ් පරරාජසිංහම් කියන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කොච්චර කෑගැහුවද?  කාලයේ කවුරුත් ඇහුම්කන් දුන්නේ නෑ. අන්තිමට පරරාජසිංහම් මන්ත්‍රීවරයාවත් ඝාතනය කළා.  කොච්චර කෑගැහුව් ඒක අහන්න කට්ටියක් ඉනන කාලයක් උදාවෙන්න ඕනෑ. ක්රිෂාන්තිව මරලා දාපු බවට ප්රවෘත්තිය ආපු ගමන් වැඩකරන තැන අය කිව්වා එල්ටීටීඊ වෙන්න ඇති කියලා. ඒත් මම කිව්වා එයා ප්‍රින්සිපල් කෙනෙකුගේ දුව කිලා. විශ්වාස කළාද නැද්ද කියලා දන්නේ නෑ. මම කවදාවත් හිතුවෙත් නෑ මගෙන් ඇවිත් කවදා හරි අපේ කතාව මෙහෙම අහයි කියලා.‘
ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ මහප්පා  ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිටි නිවසේ ඒ මේ අත ඇවිදිමින් අතීත කතා සිහිපත් කළේය. ක්‍රිෂාන්තිගේ නිවසේ කුස්සිය පැත්තේ ඇති අබලන් වූ වහළය යට ටික වේලාවක් හිටගෙන සිට කැඩුණු සිංහලෙන් ඔහු මෙසේ කීවේය.

“මම ලොකු කාලයක් කොළඹ වැඩ කළේ. සිංහල මිනිස්සු එක්ක වැඩ කළේ. ඇත්තටම මෙහේ (යාපනයේ) වෙච්ච දේවල් මං වැඩ කරපු තැන අයවත් දැනගෙන හිටියේ නෑ. මං සමහර දේවල් කිව්වම එයාලා හිතුවේ බොරු කියලා. මං එයාලට කිව්වේ බොරු නෙමේ. අපේ ගෙවල් පැත්තේ වැඩිපුර මැරුණේ එල්ටීටිඊ අය නෙමේ කියලා මං එදා කොච්චර කිව්වත් පිළිගත්තේ නෑ. හැබැයි අද අර ඇට ගොඩ ගනිද්දි පොඩි අයත් ඉන්නවා කියලා දකිද්දි ඒ අය පිළිගනියි. ඔයාලා මේ ඇත්ත අපේ සිංහල අයට පෙන්වන්න. ” ඔහු කීවේය. 
‘මගේ සිංහල තේරෙනවද ඔයාට?‘ කඳුළු පිරි දෙනතින් යුතුව මද සිනහවක් පාමින් ඔහු කීවේය. 
චෙම්මනියේ නැවත සමූහ මිණීවලක් මතු වූයේ 2025 පෙබරවාරි මාසයේදීය. ඒ ගැන පසුගිය ලිපියෙන් වාර්තා කළේය. එම කැණීම්වල දෙවැනි අධියර පසුගිය බ්‍රහස්පතින්දා (10)  අවසන් විය. යාපනය මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙහෙයවීමෙන් යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු සිදු විය. කැණීම් අවසන් වන විට මිනිස් ඇටසැකිලි 65ක් ගොඩ ගෙන තිබිණි. එසේම ඇඳුම් කැබලි, සෙල්ලම්බඩු, සෙරප්පු, බෑග් ඇතුළු පුද්ගලයන් පරිහරණය කළැයි සැක කළ හැකි දේවල් ද හමුවිය. ලබන 21 වැනිදා තුන් වැනි අධියරේ කැණීම් ආරම්භ වීමට නියමිතය.
චෙම්මනි යනු අහිංසක සිවිල් වැසියන්, දරුවන් සිය ගණනට සුසාන භූමිය වූ ප්‍රදේශයක් බව යාපනයේ වැසියන්ට රහසක් නොවූව ද මේ රහස නිල වශයෙන් හෙළිවූයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවකු වූ (වැරදිකරුවකු වී මරණ දඩුවම නියම වූ) ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ අධිකරණයේදී කළ ප්‍රකාශයකිනි. චෙම්මනි මුල්ම සමූහ මිණීවලේ කැණීම් ආරම්භ වූයේ ලාන්ස් කෝප්‍රල් රාජපක්ෂගේ මගපෙන්වීම මතය. ඔහු එදා සිටම කියන්නේ තමන් කළේ උසස් නිලධාරීන් කිහිප දෙනකු විසින් වරින් වර ඝාතනය කරන ලද 300කගේ 400කගේ සිරුරු වල දැමීම පමණක් බවයි. කෙසේ වෙතත් අවසානයේ සිදුවූයේ සෝමරත්න රාජපක්ෂගේ ජීවිතයට පවා තර්ජන පැමිණීම පමණි. ඔහු හෙළිදරව් කළ උසස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වූයේ නැත. 
සෝමරත්න රාජපක්ෂගේ අනාවරණය නැවත වරක් සත්‍යයක් බව සනාථ කරමින් කුඩා දරුවන්ගේ යැයි සැක කරන සිරුරු පවා හමුවෙමින් තිබේ. ක්‍රිෂාන්ති කුමාරස්වාමි රැගෙන ගිය හමුදා මුරපොළට මීටර කිහිපයක් ඔබ්බෙනි. මේ අවස්ථාවේ රජයේ ලොකුම වගකීම මෙහිලා ප්‍රධාන සාක්කිකරුවකු විය හැකි සෝමරත්න රාජපක්ෂගේ ජීවිතය ආරක්ෂා කිරීමය. යුද්ධයට මුවා වෙමින් සිදුවූ බරපතල අපරාධ ගැන තොරතුරු හෙළිදරව් කරන හමුදාවේ පිරිස්වලත්, සිවිල් වැසියන්ගේත් ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමකි.  
උතුරට දකුණත්, දකුණට උතුරත් අහිමි කළ පටු දේශපාලන දෘෂ්ඨිවාදවලින් මිදී ඇත්ත ඇති සැටියෙන් බාර ගන්නා වර්තමානයක සහ අනාගතයක අවශ්‍යතාව දැන් තිබේ. ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ ඝාතනයෙන් වසර 29කට පසු ඇගේ මහප්පා කී පරිදිම එදා දකුණේ බොහෝ ජනමාධ්‍ය උතුරේ ඇත්ත කතාව දකුණට කිව්වේ නැත. දකුණේ ඇත්ත කතාව උතුරට කිව්වේ නෑ. උතුරේත්, දකුණේත් බහුතර දේශපාලනඥයන් තමන්ගේ පැවැත්ම සඳහා සත්‍ය යටපත් කළේය. එහි අවසන් ප්‍රතිඵලය දකුණේ දහස් ගණනක් පවුල්වලට හමුදාවේ වැඩ කළ තම පුතා, දියණිය, සහෝදරයන් සහ හිතමිත්‍රාදීන් අහිමිවීමත්, උතුරේ බොහෝ පවුල් පිටින් ම දුක කියන්නටවත් ඉතුරු නොවීමත් ය. අදටත් දහස් ගණනක් දෙනා ගැන කිසිම තොරතුරක් නැත. 
නීතියෙන් වරදකරුවන්ට දඩුවම් ලැබීම යනු යුක්තියේ එක් කොටසක් පමණි. සත්‍ය සත්‍ය ලෙස පිළිගැනීම යුක්තියේ වැදගත්ම කොටසකි. සත්‍ය සත්‍ය ලෙස පිළිගැනීම මගින් ඇතැම්විට දඬුවමකට එහා ගිය අනාගත වැදගත්කමක් සමාජයට එකතු වෙයි. චෙම්මනි තුන්වැනි අධියරේ කැණීම් ආරම්භ කරද්දීවත් මේ ඇත්ත ඇත්තක් ලෙස පිළිගැනීමටත්, උතුරේ සහ දකුණේ දේශපාලනඥයන් විසින් වැපිරූ දෘෂ්ඨිවාදය පුරවැසි නෙත් පාට කණ්නාඩිවලින් වසා දැමීමක් ලෙසත් පිළිගැනීමට සමාජයේ කොටසක් හෝ නැඹුරු වුවහොත් එය නැවත මෙවැනි අපරාධ සිදු නොවීමට කරන අනාගත ආයෝජනයක් වනු ඇත. 
චෙම්මනි ගැන තවත් කොටසක් බලාපොරොත්තු වන්න…
(ඡායාරූප තරිඳු ජයවර්ධන
මෙම ලිපිය 2025 ජූලි 11 වෙළඳපොළට පැමිණි ජූලි 12 දිනැති ඉරිදා දිවයින පුවත්පතේ පළවිය.

සමූපාකාරයට ක්‍රිෂාන්තිගේ නිවස පෙනෙන අයුරු
වසර ගණනකින් භාවිත නොකළ ක්‍රිෂාන්තිගේ නිවසේ කුස්සිය
විසි නව වසරකින් ලිප ගිනි මොළවා නැති ක්‍රිෂාන්තිගේ නිවසේ පෝරනුව
සූරියකුමාර් සහ කිරුබාමූර්ති සේවය කළ සමූපාකාර ගොඩනැගිල්ලේ අද තත්ත්වය
චෙම්මනිවලින් සොයා ගත් අස්ථි
ක්‍රිෂාන්තිගේ නිවස
චෙම්මනි කැණීම් කරමින්

කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතුවූ චෙම්මනි සමූහ මිණීවලේ කතාව – 01 කොටස

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here