(තරිඳු ජයවර්ධන)
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කරන ලද අවුරුදු 80කට ආසන්න කාන්තාවක නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය.
අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ අදාල දඬුවමට එරෙහිව කාන්තාව ගොනු කර තිබූ අභියාචනයක් සලකා බැලීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
හම්බන්තොට මෝදරපිල්ලුව නම් ප්‍රදේශයේදී 1993 වසරේ ජනවාරි 18 වැනිදා මීගහලන්දාදුරගේ ජයසේන නම් පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාලටුව, ගල්පාමුණ පදිංචි පන්නිල ගමගේ රංජිත්, ජිනදාස මාදවන් ආරච්චි සහ අම්බලන්තොට පදිංචි සිරිමා එදිරිසූරිය යන තිදෙනාට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ ඇත්තේ 1999 වසරේදීය. 
ඊට අදාලව හම්බන්තොට මහාධිකරණයේ දී නඩු විභාගය අතරතුර දී එක් චූදිතයකු මරණයට පත්වී ඇති අතර සෙසු  චූදිතයන් දෙදෙනා වැරදි කරුවන් බවට තීන්දු කර තිබිණි. එම තීන්දුවට එරෙහිව ඔවුන් දෙදෙනා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ තීන්දුව ලබා දෙද්දී මහාධිකරණ විනිසුරුවරයා සාක්කි හරි හැටි විශ්ලේෂණය කර නොමැති බවයි. ඒ අනුව 2018 වසරේ දී අභියාචනාධිකරණය නැවත නඩු විභාගයක් පැවැත්වීමට නියෝග කළේය.
එම නියෝගයෙන් පසු නැවත නඩු විභාගයක් හම්බන්තොට මහාධිකරණයේදී  පැවැත්වූ අතර එම දෙවැනි නඩු විභාගය අතරතුරදී තවත් චූදිතයකු මරණයට පත්විය. ඉතිරි වූයේ සිරිමා එදිරිසූරිය නම් කාන්තාව පමණි. මහාධිකරණය දෙවැනි නඩු විභාගය අවසානයේ දී සිරිමා එදිරිසූරිය වැරදිකාරිය බවට තීන්දු කළ අතර ඇයට මරණ දඬුවම නියම කෙරෙිණි. 
එම තීන්දුවට එරෙහිව වැරදිකාරිය වූ කාන්තාව අභියාචනාධිකරණයට යළි අභියාචනයක් කළ අතර එම අභියාචනයේ දී ඇය වෙනුවෙන් පෙනී නීතිඥ දර්ශන කුරුප්පු මහතා සඳහන් කළේ චූදිත කාන්තාව සම්බන්ධයෙන් සාක්කිකරුවන්ගේ ප්‍රකාශ පරස්පර බවයි. මහාධිකරණය තීන්දුව ලබා දෙද්දී සාක්කි විශ්ලේෂණය කර එම පරස්පරතා හඳුනාගෙන නොමැති බව නීතිඥවරයා අභියාචනාධිකරණ නඩුවිභාගයේ දී සඳහන් කළේය.
අභියාචනාධිකරණ විභාගය පැවැතියේ විනිසුරු බී සසී මහේන්ද්‍රන් සහ විනිසුරු අමල් රණරාජා මහත්වරුන් ඉදිරියේදීය. ඒ අනුව විනිසුරු අමල් රණරාජා මහතා අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මරණීය දණ්ඩනය නියම වී සිටි කාන්තාව නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කළේය. 
මෙම නඩුවේ පළමු සාක්කිකරු වී ඇත්තේ මරණයට පත්වූ පුද්ගලයාගේ වැඩිමල් දියණියයි. ඇය අධිකරණයේදී සඳහන් කර තිබුණේ තමා පාසල් යන අතරතුර තම පියා සහ නඩුවේ වගඋත්තරකරුවන් වූ තිදෙනා පොරබදමින් සිටි බවත්, ඒ අනුව තමා නිවසට පැමිණ මවට ඒ ගැන කී බවත්ය. කෙසේ වෙතත් ඇය මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයේ දී සඳහන් කර ඇත්තේ පිරිමි පුද්ගලයන් දෙදෙනා පමණක් පොර බදමින් සිටි බවයි. ඇය පොලිසියට දුන් ප්‍රකාශය හා මරණ පරීක්ෂණයේ ප්‍රකාශයට වැඩිමනක් ඇය මහාධිකරණයේදී ප්‍රකාශ කර තිබිණි. එසේම මරණයට පත්වූ පුද්ගලයාගේ බාල දියණිය දෙවැනි සාක්කිකාරිය ලෙස මහාධිකරණයේදී සාක්කි ලබා දී ඇති අතර ඇය ද ඊට පෙර නොකී කාරණා මහාධිකරණ සාක්කි විභාගයේ දී ප්‍රකාශ කර තිබිණි. එනම් චූදිතයන්ගේ අතේ ආයුධ තිබුණු බවක් මීට පෙර ප්‍රකාශවලදී කියා නැති අතර මහාධිකරණ සාක්කියේදී ඒ බව කියා තිබිණි.
අභියාචනාධිකරණය තම නීත්දුවේදී සඳහන් කරන්නේ මිය ගිය පුද්ගලයාගේ බිරිඳ වන තුන් වැනි සාක්කිකාරියට දෙවැනි සාක්කිකාරියවන වැඩිමල් දියණිය ප්‍රකාශ කර ඇති කරුණු අතර  මෙම නඩුවේ චූදිත කාන්තාව මිය ගිය පුද්ගලයාට පහර දුන් බවට දැනුම් දුන්නේයැයි ඇයි නඩු  විභාගයේ දී ප්‍රකාශ කර නැති බවයි. ඒ මගින් වැඩිමල් දියණිය මහාධිකරණයේ දී කළ ප්‍රකාශයේ විය හැකි භාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බව අභියාචනාධිකරණය සඳහන් කරයි.
ඒ අනුව සාක්කිකාරියන්ගේ ප්‍රකාශවල පිළිගතහැකි භාවය ගැන ප්‍රශ්න මතුවන බව සඳහන් කරන අභියාචනාධිකරණය,   මෙම නඩුවේ සාක්කිකරුවන්ගේ ප්‍රකාශ අතර පරස්පරතාවක් සහ විශ්වාසනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත්, ඒවා මත චූදිත කාන්තාව වැරදිකාරිය කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඒ අනුව ඇය වැරදිකාරිය කරමින් මහාධිකරණය ලබා දුන් තීන්දුව අත්හිටුවන බවත්, චූදිත කාන්තාව නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවත් සඳහන් කළේය. 
මෙම නඩුවේ නිදහස් වූ කාන්තාව වෙනුවෙන් නීතිඥ තරුෂි ගමගේ සහ නීතිඥ සහන් වීරසිංහ සමග නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here