(තරිඳු ජයවර්ධන)
පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් අනුව මෑතකදී පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාලුමුවදොර පරිශ්‍රයේ පිහිටි ගෝඨාගෝගම අරගල ස්ථානයට සහ අරලියගහ මන්දිරය අසල පිහිටි මයිනාගෝගම අරගල ස්ථානයට 2022 මැයි මස 09 වැනිදා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුගේ නිවසේ දී ඊයේ (20) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම සිද්ධියට අදාලව තමා අත්අඩංගුවට ගතහොත් ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලමින් තෙන්නකෝන් මහතා ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය විසින් ඊයේ (20) දහවල් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.
ගෝඨාගොම සහ මයිනාගෝගම යන අරගල ස්ථානවලට පහරදීම සම්බන්ධයෙන් වන බී 22046/22 දරණ නඩුවට අදාල විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2022 දී නීතිපතිවරයා වෙත උදෘත යොමු කළ අතර ඒ අනුව නීතිපති සංජය රාජරත්නම් මහතා 2023 අප්‍රේල් 19 වැනිදා ඊට අදාලව නීතිපති උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව අරගල ස්ථානවලට පහරදීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 314, 316, 343 සහ 300 දරණ වගන්ති යටතේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඇතුළු 32කු සැකකරුවන් ලෙස නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් අතර එම වරදවල් කිරීමට ඉහත සැකකරුවන්ට ආධාර අනුබල දීම යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 100 වගන්තියට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස ද උපදෙස් ලබා දී තිබිණි.
එම නීතිපති උපදෙස් අත්හිටුවන ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් මහතා 2023 අප්‍රේල් 24 වැනිදා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කළේය. එය හදිසි පෙත්සමක් බැවින් එදිනම දහවල් පෙත්සම කැඳවන ලෙස අභියාචනාධිකරණයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වෙුනවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටි අතර අධිකරණයේ වෙනත් නඩුවක් වෙනුවෙන් පෙනී සිටීමට එහි පැමිණ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියකට මෙම පෙත්සමේ නොතීසි බාරගෙන පෙනී සිටින ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිස්සංඛ බන්දුල කරුණාරත්න මහතා දැනුම් දුන්නේය. කෙසේ වෙතත් තමාට එසේ පෙනී සිටිමට උපදෙස් ලැබී නොමැති බවින් ඒ ගැන දෙපාර්මේන්තුව සමග සාකච්ඡා කළයුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම් දුන්නාය.
කෙසේ වෙතත් මෙය හදිසි පෙත්සමක් බව සඳහන් කරමින් පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වීමට එදිනම අවස්ථාව ලබා දෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටි අතර වගඋත්තරකාර පාර්ශ්වය නැතිවම ඒකපාර්ශ්විකව පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිස්සංඛ බන්දුල කරුණාරත්න මහතා දේශබන්දු තෙන්නකෝන්ගේ ජනාධිපති නීතිඥවරයාට අවස්ථාව ලබා දුන්නේය. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් කරුණු දැක්වීමෙන් පසු පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය, නීතිපතිවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් දින 14ක් සඳහා අතුරු නියෝගයක් ද නිකුත් කළේය.
ඒ අනුව මීළඟ නඩු දිනය වූ 2023 මැයි මස 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටි අතර, පෙත්සම වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට අවසර ඉල්ලා සිටියාය. මැයි මස 24 වැනිදා හෝ ඊට පෙර විරෝධතා ඇත්නම් ගොනු කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට අවසර ලබා දුන් අභියාචනාධිකරණය ජුනි මස 06 වැනිදා මෙම පෙත්සම විභාගයට ගැනීමටත්, ඒ වන තෙක් නීතිපතිගේ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු නියෝගය දීර්ඝකිරීමටත් නියෝග කළේය.
ජුනි මස 06 වැනිදා පෙත්සම විභාග කළ අතර ලිඛිත කරුණු දැක්වීම් ජුනි 15 වැනිදා හෝ ඊට පෙර ගොනු කිරීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු නිස්සංඛ බන්දුල කරුණරත්න මහතා නඩුවේ තීන්දුව ජුනි 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. ඒ අනුව ජුනි 23 වැනිදා අභියාචනාධිකරණ විනිසුරු අශාන් ආර් මරික්කාර් මහතා සමග තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියචනාධිකරණ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලිපිය අත්හිටුවීමටත්, ඒ අනුව කටයුතු කිරීම අත්හිටුවීමටත් නියෝග කළේය.
අභියාචනාධිකරණයේ එම නියෝගය නීතියට පටහැනි බැවින් එය අත්හිටුවන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම 2025 ජූලි 22 කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණ තීන්දුව තාවකාලිකව අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කළේය. එම අතුරු නියෝගයෙන් පසු දේශබන්දු තෙන්නකෝන් මහතා අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ අතර එය ඊයේ (20) ප්‍රතික්ෂේප විය.
එම අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයේ ඔහු සඳහන් කර තිබුණේ 2022 මැයි මස 09 වැනිදා තමා කටයුතු කළේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බවයි.
මීට පෙර මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දුන් මාතර මහේස්ත්‍රාත් බී ඒ අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා, තෙන්නකෝන් මහතා ද එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 2025 පෙබරවාරි මස 27 වැනිදා නියෝග කළේය. එම නියෝගයෙන් පසු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ කණ්ඩායම් විවිධ ප්‍රදේශවලට ගිය ද, ඔහු සැඟවී සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. පසුව ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වන පෙත්සමක් අභියාචනාධිකරණයේ ගොනු කළ එතර අධිකරණය එම පෙත්සම ප්‍රතික්ෂේප කරමින් තෙන්නකෝන් මහතා වාහම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීමෙන් පසු ඔහු අධිකරණයට බාර විය.
එමෙන්ම ඔහුගේ නිවසේ තිබී විදෙස් මත්පැන් බෝතල් සහ ත්‍යාග පාර්සල් ලෙස සැක කරන පාර්සල් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේ සැකකරුවකු ලෙස ද තෙන්නකෝන් මහතා නම් කර තිබේ. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඊට අමතරව ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක වගඋත්තරකරුවකු ද වේ. ඔහු නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටියදී පුවරසියන් නිරුවත් කර ලිංගේන්ද්‍රයේ සිද්ධාලේප ආලේප කිරීමට සැලැස්වීම මගින් සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්වලට ආධාර අනුබල දුන් පුද්ගලයකු බව තහවුරු වීම හේතුවෙන් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව ඇතුළු මූලික අයිතිවාසිකම් කිහිපයක් කඩ කළ පුද්ගලයකු බව 2023 දෙසැම්බර් මාසයේ දී ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේය. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙස ඒ ගැන සෙවූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කර තිබිණි.
පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස 2023 නොවැම්බර් මාසයේදී පත් කරනු ලැබීය. ඉන් අනතුරුව 2024 පෙබරවාරි මාසයේ දී ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එවකට ජනාධිපතිවරයා කටයුතු කළේය. තෙන්නකෝන් මහතා එම තනතුරට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත්, ඔහු එවැනි තවතුරකට නුසුදුස්සකු බවත් කියමින් නීතිය පිළිබඳ මහාචාර්යවරියක වූ සාවිත්‍රි ගුණසේකර මහත්මිය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 08ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ. එම පෙත්සම් මූලික ඇගයීමට ලක් කළ අධිකරණය තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කාර්ය කර්තව්‍ය ඉටු කිරීම සහ බලතල භාවිත කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.
ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමෙන් පසු 2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ පනත අනුව තෙන්නකේන් මහතා ධුරයෙන් නෙරපා හැරිය යුතු බවට වන යෝජනාවක් 2025 මාර්තු මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අත්සන් සහිතව කතානායකවරයා වෙත බාර දුන් අතර එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු එම පනත අනුව තෙන්නකෝන් මහතා කළැයි කියන විෂමාචාර සහ බලය අවභාවිත කිරීම් සොයා බැලීමට කමිටුවක් පත් කරනු ලැබිණි. දීර්ඝ විභාගයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන, ජාතික පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල යන මහත්වරුන් ඒකමතිකව තීන්දු කළේ චෝදනා 23කින් යුත් චෝදනා පත්‍රයේ චෝදනා 19කටම දේශබන්දු තෙන්නකෝන් මහතා වැරදිකරු බවයි.
ඉන් අනතුරුව 2025 අගෝස්තු මස 25 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී මෙම කමිටු වාර්තාව ගැන විවාදයක් පැවැත්වීමෙන් පසු පැවැති ඡන්ද විමසීමේදී තෙන්නකේන් මහතා ධුරයෙන් නෙරපීම සඳහා ඡන්ද 177ක් ලැබුණු අතර ඔහු නෙරපා හැරීමේ යෝජනාවට විරුද්ධව කිසිම ඡන්දයක් නොලැබීම විශේෂත්වයක් විය. ඒඅනුව ඔහු ධුරයෙන් නෙරපා හැරිණි.  ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයකු ධුරයෙන් නෙරපා හැරි ප්‍රථම අවස්ථාව ද එය විය.

ඔහු වන්දි නඩු සහ මූලික අයිතිවාසිකම් නඩු 30කට අධික සංඛ්‍යාවක වගඋත්තරකරුවකු වන අතර මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩු කිහිපයකම සැකකරුවෙකි.

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here