Home අධිකරණය හා නීතිය හිරු වෙනුවෙන් උසාවි ගිය විද්‍යුත් විකාශකයන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි අධිකරණය හා නීතියපුවත් හිරු වෙනුවෙන් උසාවි ගිය විද්‍යුත් විකාශකයන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි By www.medialk.com - July 24, 2025 FacebookTwitterPinterestWhatsApp හිරු රූපවාහිනිය අයත් ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ප්‍රයිවෙට් ලිමිටට් ආයතනය තොරතුරු පනතට අදාල පොදු අධිකාරියක් බවට තොරතුරු කොමිසම දුන් තීන්දුවට එරෙහිව එම ආයතනය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමට ඇතුළත්වීම සඳහා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. හිරු රූපවාහිනිය ද සාමාජිකත්වය දරණ විද්‍යුත් විකාශකයන්ගේ සංසදය මෙම අභියාචනයට අදාලව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කරමින්, මෙය තම සංගමයේ සාමාජික ආයතනවලට ද අදාලවන බවත්, එසේ හෙයින් මෙම අභියාචනයේ අතරමැදි පෙත්සම්කරුවකු වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එම සංසදයට මෙම පෙත්සමේ අතරමැදියකු වීමට කිසිම නෛතික හැකියාවක් නැතැයි අභියාචනාධිකරණය තීන්දු කළේය. පුරවැසියකු විසින් හිරු ආයතනයට තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබුණු අතර ඊට අදාලව තොරතුරු නොලැබීම මත අදාල පුරවැසියා තොරතුරු කොමිසමට අභියාචයක් ඉදිරිපත් කර තිබිණි. එම අභියාචනා විභාගයේදී හිරු රූපවාහිනිය අයත් ඒසියා බ්‍රෝඩ්කාස්ටිං ආයතනය පොදු අධිකාරියක් බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම තීන්දු කළේය. එම පුරවැසියා ඉල්ලා තිබූ තොරතුරුවලින් ආයතනයට ප්‍රවෘත්තියක් ලැබුණු ආකාර ලබාදීම අවශ්‍ය නොවන බවටත්, අදාල ප්‍රවෘත්තියේ සංස්කාරකගේ නම ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හෙළිදරව් කළ යුතු බවටත් කොමිසම තීන්දු කළේය. එම තීන්දුවට එරෙහිව අදාල ආයතනය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අර ඉන් පසු හිරු රුපවාහිනියද සාමාජිකත්වය දරණ විද්‍යුත් විකාශකයන්ගේ සංසදය ද පෙත්සමක් ඉදිරිපත් කරමින් මෙම අභියාචනය සඳහා මැදිහත් වීමට අවසර ඉල්ලා සිටියේය. විද්‍යුත් විකාශකයන්ගේ අධිකාරියට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස සම්බන්ධ වීම ගැන තමන්ගේ විරෝධතාවක් නැතැයි ඒසියා බෝඩ්කාස්ටිං කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අධිකරණයට දැනුම් දුන් අතර තොරතුරු ඉල්ලුම් කළ පුරවැසියා දැනුම් දුන්නේ අදාල සංසදය මෙම පෙත්සමේ අතරමැදියකු වනවාට තමන් විරුද්ධ බවයි. ඒ අනුව අදාල අතරමැදි පෙත්සමට ඉඩ දෙන්නේද නැද්ද යන්න තීන්දු කිරීම සඳහා ආර් ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසිරුවරුන් ඉදිරියේදී විභාගයක් පැවැතිණි. විද්‍යුත් විකාශකයන්ගේ සංසදය යනු හිරු ටීවී, දෙරණ ටීවී, වී එෆ්එම්, නෙත් එෆ්එම්, බෞද්ධයා, රංගිරි, සියත, සද්ධා සහ සුප්‍රීම් ටීවී ඇතුළු ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන බලපත්‍රලාභීන්ගෙන් සමන්විත ස්වේච්ඡා සංවිධානයක් බවත්, ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් පුද්ගලික සමාගම, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 43 වගන්තියේ අර්ථය තුළ “පොදු කාර්යයක් හෝ සේවාවක්” ඉටු කරන පොදු අධිකාරියක් බවට තොරතුරු කොමිසම ගත් තීරණය මෙම සංසදයේ සියලුම සාමාජිකයින්ට සෘජුවම බලපාන තීරණයක් බවත් එම සංසදය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය. කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටට් ආයතනය 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 28 වන වගන්තිය අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රය යටතේ සහ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 22 වන වගන්තිය යටතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාත බලපත්‍රය යටතේ ක්‍රියාත්මක වන නිසා පමණක් බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය. ගුවන් තරංග පොදු දේපළක් වුවද, වාණිජ විකාශන අරමුණු සඳහා පුද්ගලික ආයතනයක් විසින් සංඛ්‍යාතයක් බලපත්‍රලාභී ලෙස භාවිතා කිරීම පමණක්, තොරතුරු පනත මගින් සලකා බලන පරිදි ආයතනය පොදු කාර්යයක් හෝ සේවාවක් ඉටු කරන ආයතනයක් බවට පරිවර්තනය නොකරන බව නීතිඥවරයා සඳහන් කළේය. තොරතුරු කොමිසමේ මෙම තීන්දුව තම සංසදයේ සියලුම සාමාජිකයින්ය අදාල වන බවත්, එමගින් සියලු සාමාජිකයන්ට සෘජු බලපෑමක් වන බවත්, මෙම ආයතන තොරතුරු පනත යටතේ පොදු අධිකාරිය යන අර්ථ නිරූපනයට අයත් නොවන බව තම ස්ථාවරය බවත් විද්‍යුත් විකාශකයන්ගේ සංසදය අධිකරණයට දැනුම් දුන්නේය. එම නිසා මෙම අභියාචනයට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඇතුළත් වීමට විද්‍යුත් විකාශකයන්ගේ සංසදයට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ වික්‍රමනායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. තොරතුරු ඉල්ලුම් කළ පුරවැසියා වෙනුවෙන් අභියාචනාධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා සඳහන් කළේ මෙම අභියාචනා විභාගයට මැදිහත්වීමට විද්‍යුත් විකාශකයන්ගේ සංසදයට අවස්ථාව ලබා නොදිය යුතු බවයි. හේතු හතරක් ඔස්සේ නිතිඥ පෙරේරා මහතා අධිකරණයට කරුණු දැක්වීය. 1990 අභියාචනාධිකරණ (අභියාචනා කාර්ය පටිපාටිය) රීති මගින් තෙවන පාර්ශවීය මැදිහත්වීමකට අදාළ විධිවිධානයක් සපයා නොමැති බවත්, මෙම අභියාචනය නිශ්චිත ආයතනයක් සම්බන්ධ අභියාචනයක් බැවින් විද්‍යුත් විකාශකයන්ගේ සංසදයට එය අදාල නොවන බවත්, විද්‍යුත් විකාශකයන්ගේ සංසදය තොරතුරු කොමිසමේ අභියාචනයේ පාර්ශ්වයක් නොවන බැවින් මෙම අභියාචනයේ පාර්ශ්වකරුවකු වීමට නෛතික හැකියාවක් නොමැති බවත්, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ රූපවාහනී නාලිකා මහජන සේවයක් ඉටු කරන ආයතන වන බවත් නීතිඥවරයා අවධාරණය කළේය. ඒ අනුව දීර්ඝ කරුණු දැක්වීමක් කළ නීතිඥවරයා සඳහන් කළේ විද්‍යුත් විකාශකයන්ගේ සංසදයට මෙම පෙත්සමේ අතරමැදි පෙත්සම්කරුවකු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි. ඒ අනුව විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ අතරමැදි පෙත්සමට අවස්ථාව දෙන්නේද යන්න ගැන තීන්දුව ජූලි 23 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර විද්‍යුත් විකාශකයන්ගේ සංසදය ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. හිරු රූපවාහිනිය අයත් ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ආයතනයේ මුල් අභියාචනය යළි සැප්තැම්බර් 17 වැනිදා කැඳවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය. සුදත් පෙරේරා ඇසෝසියේට්ස්හි උපදෙස් මත ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් ටී හේරත් සහ තමාලි විජේකෝන් යන නීතිඥවරුන් සමග නීතිඥ මනෝජ් බන්ඩාර මහතා පෙනී සිටියේය. නිලූකා දිසානාය මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය වෙනුවෙන් පෙනී සිටියේය. තොරතුරු කොමිසම වෙනුවෙන් නීතිඥ අරුණි සේනාරත්න මහත්මිය පෙනී සිටි අතර තොරතුරු ඉල්ලුම් කළ පුරවැසියා වෙනුවෙන් හියුමට් රයිට්ස් ලෝ චේම්බර්ස්හි උපදෙස් මත නීතිඥ මනුෂිකා කුරේ, නීතිඥ නුරේකා රොද්‍රිගෝ සහ නීතිඥ හිරුණි පෙරේරා සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා පෙනී සිටියේය. RELATED ARTICLESMORE FROM AUTHOR පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ අධිකරණය හා නීතිය Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before SC පුවත් බලහත්කාරයෙන් අතුරුදන්වූවන් ගැන ඇත්ත දැනගැනීම අයිතියක් – නඩු අහන ස්වාධීන කාර්යාලය කෝ? – මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.