(ආචිත ඩී නානායක්කාර)
පරිසර අමාත්‍යංශය විසින් වනස්පති නම් වැඩසටහන යටතේ පසුගිය ජූලි 15 වැනිදා වනාන්තර 21ක් රක්ෂිත බවට පත්කරන බව කීවද ඊට අදාල ගැසට් පත්‍ර මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව MediaLK කළ සොයා බැලීමකදී තහවුරු විය.
වනාන්තර 16ක් රක්ෂිත බවට පත් කිරීම පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 15 වැනිදා උත්සවාකාරයෙන් සිදුවූ බව පරිසර අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. කෙසේ වෙතත් අප කළ සොයා බැලීමකදී තහවුරු වූයේ එලෙස රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර, ඊට අදාල කටයුතු සඳහා වන සංරක්ෂක ජනරාල්වෙත යොමු කර ඇති වනාන්තර ගණන 21කි. එම නව රක්ෂිත ලැයිස්තුව මෙසේය.
  1. නිල්ගල රක්ෂිත වනාන්තරය
  2. තුල්හිරිකන්ද රක්ෂිත වනාන්තරය
  3. උඩලොයද්ද රක්ෂිතය
  4. මිල්ලකැලේ රක්ෂිතය
  5. වේරහැරකන්ද රක්ෂිත වනාන්තරය
  6. කොට්ටාව රක්ෂිත වනාන්තරය
  7. වෙහෙරගල රක්ෂිත වනාන්තරය
  8. ආගරේ රක්ෂිත වනාන්තරය
  9. වන්නිතිබ්බාගොඩ රක්ෂිත වනාන්තරය
  10. කුඩාගොඩකන්ද රක්ෂිත වනාන්තරය
  11. වැලිආර රක්ෂිත වනාන්තරය
  12. කන්දෙයාය රක්ෂිත වනාන්තරය
  13. පොරමැඬිල්ල රක්ෂිත වනාන්තරය
  14. පාලකුඩා කඩොලාන රක්ෂිත වනාන්තරය
  15. බදුලුගොඩ රක්ෂිත වනාන්තරය
  16. පානම – උතුර රක්ෂිත වනාන්තරය
  17. රජගල රක්ෂිත වනාන්තරය
  18. කරංගාව රක්ෂිත වනාන්තරය
  19. රිලාගල රක්ෂිත වනාන්තරය
  20. අඹඅත්තාහෙල රක්ෂිත
21.බණ්ඩාරවාඩිය රක්ෂිත වනාන්තරය
රක්ෂිතයක් නම් කිරීමෙන් පසු ඊට අදාල ක්‍රියාවලිය සම්පූර්ණවීමට නම් එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කළ යුතු වන අතර මෙම රක්ෂිතවලට අදාල ගැසට් පත්‍ර මෙතෙක් ප්‍රකාශයට පත් වී නැති බව MediaLK කළ සොයා බැලීමේදී තහවුරු විය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී  වන සංරක්ෂක ජනරාල් ඩබ්.ඩබ්.එම්.පී.එස්.සී පාලම්කුඹුර මහතා අපට  ප්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය අවසාන හෙයින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් අදාළ ගැසට් පත්‍ර ප්‍රසිද්ධ කිරීම ප්‍රමාද වීම පිළිබඳව විමසීමක් කරන ලෙසටයි.
මේ ගැන විමසීමට රජයේ මුද්‍රණාලයාධිපති සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද එය අසාර්ථක විය. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මේ හා සම්බන්ධ නිලධාරීන්ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මෙම ගැසට් පත්‍ර මුද්‍රණය කිරීමට සඳහා ජූලි මස 21 වෙනිදා යොමු කළ බවයි. ඒ අනුව ජූලි මස 21 දිනැතිව අංක  2445/ 05 සිට 2445 / 25  යන ගැසට් අංක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැසට් වෙනුවෙන් වෙන් කර තබා ඇති බවත්, අදාල ගැසට් පත්‍ර සකස් කර අනුමැතිය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ ද මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බවත් රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තහවුරු කළේය.
ඒ අනුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රක්ෂිත බවට නම් කළ අදාල රක්ෂිත දින 73ක්ගිය ද මේ දක්වා ගැසට් කර නොමැති බව තහවුරු විය. මේ සම්බන්ධයෙන් විමසීමට පරිසර අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද අසාර්ථක විය.
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here