Welikada Police Sathsara Nimesh

වැලිකඩ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු එම පොලිස් බාරයේම සිටියදී මරණයට පත්වූ තරුණයාගේ මෘත දේහය යළි ගොඩ ගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (09) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීට නියෝග කළේය.

එසේම එම දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ‍

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ මෙම මරණය සැක සහිත බව සඳහන් කරමින් මෝසමක් මගින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ සේනක පෙරේරා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කරන ලද ඉල්ලිමක් සලකා බලමිනි. මිය ගිය තරුණයාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මෙම නීතිඥවරු අද අධිකරණයේ කරුණු දැක්වූහ.

මෙවැනි සැක සහිත මරණයක් සම්බන්ධයෙන් නැවත මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව මහේස්ත්‍රාත්වරයකුට පුළුල් බලතල හිමිවන බව නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අදාල නීති උපුටා දක්වමින් පෙන්වා දුන්නේය. එසේම තම පුතුගේ මරණය සැකසහිත බවට ඔහුගේ මව දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඇති බව ද නීතිඥවරු දැනුම් දුන්හ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙම මරණය සම්බන්ධ විමර්ශන අප්‍රේල් මස 04 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවයි. ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.  විමර්ශනයේදී මිය ගිය තරුණයාගේ මවගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, වැලිකඩ පොලිසියට ඇය යන විට තම පුතාගේ ඇඳුම් කුණු බක්කියක දමා තිබෙනු තමා දුටු බවට ඇය ප්‍රකාශ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මිය ගිය තරුණයාගේ මෘත ශරීරය මිහිදන් කර ඇති තැනින් ගොඩ ගෙන අලුතෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළේය.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඊට සමගාමීව අධිකරණය අසල නිහඬ විරෝධතාවක්ද පැවැත්විණි.

පසුගිය අප්‍රේල් පළමු වැනිදා රාත්‍රියේදී වැලිකඩ පොලිසිය විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අත්අඩංගුවට ගත් තරුණයා පොලිස් සිරමැදිරියට දැමූ පසු නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා ඔහු රෝහල් ගත කළ බවයි.

මෙම මරණය වාර්තාවීමෙන් පසු සමාජයේ සහ සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිවුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස වැලිකඩ පොලිසිය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ද පැවැත්විණි.

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here