(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා)
පාස්කු ප්‍රහාරය ගැන විදෙස් බුද්ධි තොරතුරු මෙරටට ලැබුණු අප්‍රේල් 4 සිට 21 වැනිදා දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර දුරකථන ඇමතුම් 20ක් පමණ සිදුව තිබෙන බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේදී චෝදනා එල්ල විය.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කොමිෂන් සභාවේදී සිරිසේන මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසූ අතර ජයවර්ධන මහතා සහ හිටපු ජනාධිපතිවරයා නිරන්තරයෙන් දුරකථනය හරහා සම්බන්ධ වූයේ ද යන්න හෙතෙම සාක්ෂිකරුගෙන් විමසුවේය. ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ එසේ නිරන්තරයෙන් දුරකථන ඇමතුම් හුවමාරු නොවූ බවයි.
2019 ජනවාරි 1 වැනිදා සිට මාර්තු 31 දක්වා ජයවර්ධන මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර සිදු වූ දුරකථන සංවාදයන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනයක් ද ජනාධිපති නීතිඥවරයා විසින් සාක්ෂිකරුට පෙන්වා දෙනු ලැබූ අතර එය පරීක්ෂා කර බැලූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එහි සඳහන් දුරකථන අංක පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවයි.” මම ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා මේ ලේඛනය පරීක්ෂා කර බැලිය යුතුයි,” යැයි ඔහු පැවැසීය.
එම ලේඛනයේ හිටපු ජනාධිපතිවරයාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසට අයත් දුරකථන අංක හයක් සඳහන් වනවා නේදැයි විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයි පැවසුවේ තමන් ඒ බව පිළිගන්නා බවයි.
අදාළ ලේඛනයෙහි සඳහන් දත්ත අනුව 2019 ජනවාරි සිට අප්‍රේල් දක්වා පමණක් ඔවුන් දෙදෙනා අතර දුරකථන ඇමතුම් 221ක් පමණ හුවමාරු වී ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය. කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ එම දුරකථන ඇමතුම් සියල්ලම තමන්ට ලැබුන බවට පිළිගත නොහැකි බවයි. “නිල නිවසට හරි දුරකථන ඇමතුම් එන්න ඇති. නමුත් ඒ සියල්ල මට ලැබුනා කියලා කියන්න අමාරුයි” යැයි ඔහු කීවේය .
2019 අප්‍රේල් 20 දින සවස 6.16ට පමණ ජයවර්ධන මහතා දුරකථන ඇමතුමක් ලබා දුන්නේදැයි විමසූ අවස්ථාවේ ඔහු පැවැසුවේ එදින තමන් සිංගප්පූරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි. එදින ආරක්ෂක නිලධාරියෙකුට හෝ තමන් ලඟට ඒමට හැකියාවක් නොතිබූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන 7.59ට පමණ ඔහු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව දුරකථන ඇමතුම් දත්ත වාර්තාවල සඳහන් වන බව ජනාධිපති නීතිඥවරයා සිරිසේන මහතාට පෙන්වා දුන්නේය. එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, තමන් මුලින්ම ජයවර්ධන මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයේ බෝම්බ ප්‍රහාර සිදුවීමෙන් පසුව බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරයා කොමිෂන් සභාව හමුවේ කියාසිටියේ අදාළ වාර්තාවට අනුව 21 දින උදෑසන කාලයේදී හිටපු ජනාධිපතිවරයා දුරකථන ඇමතුම් රාශියක් ලබාගෙන ඇති බවයි. “වාර්තාවේ කොහොම සඳහන් වුණත් බෝම්බ ප්‍රහාරය සිදුවෙනකල්ම මම හිටියේ රෝහල්ගතව. ඒ වෙලාවේ දුරකථන ඇමතුම් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. සිදුවීම ආරංචි උනාට පසුව තමයි මාව හෝටලයට ගෙනාවේ” යැයි සිරිසේන මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් දුරකථන ඇමතුම් දත්ත වාර්තාවලට අනුව අප්‍රේල් 20 දින සහ 21 දින බෝම්බ ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපතිවරයා සහ ජයවර්ධන මහතා අතර දුරකථන සංවාදයන් සිදුව තිබෙන බව තහවුරු වන බව ජනාධිපති නීතිඥවරයා පැවසු අතර සිරිසේන මහතා පැවසුවේ තමන් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම අදාළ වාර්තාවට අනුව බෝම්බ ප්‍රහාරයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා අතර දුරකථන ඇමතුම් හතක් පමණ හුවමාරු වී ඇති බවද හෙතෙම කොමිෂන් සභාවට දැනුම්දුන්නේය.
බෝම්බ ප්‍රහාරය සිදුවීමට පෙර දුරකථන ඇමතුමක් හෝ ලබාගැනීමට නොහැකි දුර්වල තත්ත්වයක සිටියේ නම් බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඒ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබාගත්තේ කෙසේ ද යන්න ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය .
ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ, “ඒ වෙද්දිත් මම දැඩි අපහසුතාවයකින් හිටියේ. ඒ වුණත් සිදුවෙලා තිබුණු සිදුවීම බරපතල ඛේදවාචකයක් නිසා මම අග්‍රාමාත්‍යවරයා, පොලිස්පතිවරයා, හමුදාපතිවරුන් ඇතුළු සියළුම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා ගත යුතු පියවර සම්බන්ධයෙන්,”යැයි හිටපු ජනාධිපතිවරයා කීවේය. එතරම් බරපතල ලෙස රෝගීව සිටියේ නම් එදිනම රාත්‍රියේ ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ කෙසේ ද යන්න පෙරේරා මහතා සිරිසේන මහතාගෙන් විමසීය. ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ ඊට අදාළ වෛද්‍ය වාර්තා රහසිගතව කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කළ හැකි බවයි.
අප්‍රේල් 21 වැනිදා උදෑසන 8.58ට පමණ තත්පර 133ක දුරකථන ඇමතුමකුත්, උදෑසන 9.13ට පමණ තත්පර 184ක දුරකථන ඇමතුමකුත්, එදිනම දහවල් 1.10ට පමණ තත්පර 688ක දුරකථන ඇමතුමකුත් හිටපු ජනාධිපතිවරයා සහ ජයවර්ධන මහතා අතර සිදුව තිබෙන බවද කොමිසමේදී අනාවරණය විය. ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා යම්කිසි විරෝධයක් දැක්වීය.
ජනාධිපති නීතිඥවරයා- මම ඔබට යෝජනා කරනවා කොමිෂන් සභාව ඉදිරියේ මේ වන විට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව ඔබ ජයවර්ධන මහතාගෙන් නිරන්තරයෙන් ආරක්ෂාව සම්බන්ධ උපදෙස් ලබාගෙන තියෙනවා කියලා?
හිටපු ජනාධිපතිවරයා – මම එය පිළිගන්නේ නැහැ. බොහෝ විට ආරක්ෂාව පිළිබඳව උපදෙස් ලබාගත්තේ හමුදාපතිවරුන්ගෙන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගෙන්.
ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුර පිළිබඳව අවම වශයෙන් පුද්ගලයින් 15,000ක් පමණ දැන සිටින්නට ඇති බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා කොමිෂන් සභාව හමුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ජනාධිපති නීතිඥවරයා සිරිසේන මහතාගෙන් විමසා සිටියේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එතරම් ප්‍රමාණයක් ඒ පිළිබඳව දැන සිටියත් ඔහු 2019 අප්‍රේල් 16 දින විදේශගත වන අවස්ථාවේ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා හෝ ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි.
ජනාධිපති නීතිඥවරයා- ඒ කියන්නේ ජනාධිපති සහ ආරක්ෂක ඇමති ලෙස අර 15,000න් එක්කෙනෙක්වත් ඔබව මේ පිළිබඳව දැනුවත් කළේ නැද්ද?
හිටපු ජනාධිපතිවරයා – කිසිම කෙනෙක් මාව දැනුවත් කළේ නැහැ.
ජනාධිපති නීතිඥවරයා- එය පිළිගන්න පුළුවන් කතාවක් ද?
හිටපු ජනාධිපතිවරයා – ඒ 15,000 හැදුනේ කොහොමද කියලා මටත් හිතාගන්න අපහසුයි. 15,000ක් ඒ තොරතුර පිළිබඳව දැනගත්තා කියලා විශ්වාස කරන්න අපහසුයි.
මේ අතර ආරක්ෂක අමාත්‍ය ධූරය බාරගැනීමේදී රටේ ජනතාවට ආරක්ෂාව ලබාදිය හැකි බවට ඔහු නිගමනය කළේ ද යන්න විමසූ අවස්ථාවේ සිරිසේන මහතා පැවැසුවේ ආරක්ෂක ලබාදිය හැකි බවට තමන් නිගමනය කළ බවයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂාව සම්බන්ධයෙන් යම්කිසි සිදුවීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවට වගකිව යුතුයි නේදැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සාක්ෂිකරුගෙන් විමසීය. එවැනි දෙයක් සිදු වුවහොත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති නීතිඥවරයා-
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සිදුවීම තුළින් පැහැදිළි වන්නේ ඔබ ඔබේ වගකීම නිසි පරිදි ඉටු කරලා නැහැ කියලා මම යෝජනා කරනවා.
හිටපු ජනාධිපතිවරයා –
මම එය පිලිගන්නේ නැහැ. මට පෙර ජනාධිපති ධූරය දැරූ සියළුම අයගේ පාලන කාලයේ මෙවැනි සිදුවීම් සිදු වුණා. එහෙනම් ඔවුන් කිසිවෙකුත් ඔවුන්ගේ වගකීම් ඉටු කරලා නැහැ. මෙවැනි සිදුවීමක් සිදුවීම වළක්වාගන්න මම හැකි සෑම පියවරක්ම ගත්තා.
ජනාධිපති නීතිඥවරයා- මම ඔබට යෝජනා කරනවා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වීම තුළින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔබ සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බව?
සාක්ෂිකරු – මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
ජනාධිපති නීතිඥවරයා-
මම ඔබට තවදුරටත් යෝජනා කරනවා මෙම ප්‍රහාරය සිදුවීම තුළින් ඔබ ආරක්ෂක සහ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ඔබේ රාජකාරිය සම්පූර්ණයෙන්ම පැහැරහැර ඇති බව.
සාක්ෂිකරු-එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුගේ වගකීම් පැහැර හැර ඔහු යටතේ සේවය කරන වෙනත් නිලධාරීන්ට සෘජුව චෝදනා කිරීම හරහා කතෝලික ජනතාවට විශාල අගතියක් සිදුව තිබෙන බව ඔහු පිළිගන්නේ ද යන්න විමසූ අවස්ථාවේ සාක්ෂිකරු පැවසුවේ තමන් එය පිළිනොගන්නා බවයි.
” මම ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී සිදු වූ මේ සිදුවීම නිසා විශාල පිරිසක් මියගියා. ඒ අතර කතෝලික ජනතාව විශාල පිරිසක් හිටියා. ඒ ගැන මම දැඩි ලෙස කම්පාවට පත් වෙනවා” යැයි ඔහු පැවැසීය.
එමෙන්ම කතෝලික බැතිමතුන් ඇතුළු 300කට ආසන්න පිරිසකගේ මරණවලට හිටපු ජනාධිපතිවරයා මූලික වශයෙන් වගකිව යුතු බව ජනාධිපති නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළේය .
පාස්කු ප්‍රහාරය සාමුහික ප්‍රයත්නයේ අසමත් වීමක් – පූජිත
MediaLK.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here