Home අධිකරණය හා නීතිය ගෝඨාභය, රවී, කරන්නාගොඩ, දෙවැනි වරටත් රිෂාඩ් – අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන... අධිකරණය හා නීතිය ගෝඨාභය, රවී, කරන්නාගොඩ, දෙවැනි වරටත් රිෂාඩ් – අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන අයිතියක් ද ? By MediaLK.com - October 17, 2020 FacebookTwitterPinterestWhatsApp (ශාලික විමලසේන) අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑම සම්බන්ධයෙන් යළිත් කතාබහක් ඇති වී තිබෙන්නේ හිටපු ඇමැති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙවැනි වරටත් තම නීතිඥයන් හරහා එම ඉල්ලීම කර ඇති නිසා ය. පසුගිය 15 දා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් රිෂාඩ් බදියුදීන් පවසා තිබුණේ පසුගිය ජනාධිපතිවරණය දිනයේ දී අවතැන්වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. අධිකරණය ප්‍රතික්ෂේප කළත් රිෂාඩ් නිදහස් මීට පෙර ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හෝ වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින්, එය වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමක් ද සිදු නොවීය. නීතියේ වෙනස් සැලකිල්ලක් ද ? ගෝඨාභය රාජපක්ෂ, රවී කරුණානායක, ටිරාන් අලස්, රවීන්ද්‍ර විජේගුණරත්න, වසන්ත කරන්නාගොඩ වැනි ආණ්ඩුවේ සහ රජයේ ප්‍රධාන තනතුරු දැරූවන් සහ මාකඳුරේ මධුෂ් වැනි පිරිස් මෙසේ පසුගිය කාලයේදී තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලදි. යම් චෝදනාවක් සම්බන්ධයෙන් සැකයක් ඇති වූ වහාම සාමාන්‍ය පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමත්, මෙසේ ඇතැම් පාර්ශ්වවලට වෙනස් සැලකිල්ලක් ලැබීමත් නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති ආකල්පයට දැඩි බලපෑමක් ඇති කරයි. මේ, ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ දශක ගණනාවක අත්දැකීම් ඇති ක්‍රියාකාරිකයකු වන, තොරතුරු කොමිසමේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා සමග කරන ලද සංවාදයක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි. හැමෝටම පුළුවන් ද ? තමන්ගේ මූලික අයිතිවාසිකමක් කඩවන බව හැඟේ නම්, ඊට එරෙහිව ඕනෑම පුරවැසියෙකුට අධිකරණයට යෑමේ අයිතියක් තිබේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12, 13, 14 යන වගන්ති පහ යටතේ ඇති මූලික අයිතිවාසිකම් පහළොවෙන් එකක් කඩවන බව ඔප්පු කළ යුතුය. මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ වන්නේ 11 වැනි වගන්තියයි. වධහිංසාවලට එරෙහිව මෙන්ම තමන්ට සිදුවන අසාධාරණයක් සම්බන්ධයෙන් මෙම හිමිකම පුරවැසියන් සතු ය. එහෙත් වැදගත් වන්නේ එය ඔප්පු කිරීමට ඇති හැකියාවයි. නඩුවක් පැවරෙන්නේ ඇයි ? තමන්ට නඩුවක් පවරා තිබියදී, එමගින් මූලික අයිතිවාසිකම් කඩවන බව පවසමින් කිසිම පුරවැසියෙකුට අධිකරණය ඉදිරියට යෑමේ සදාචාරමය අයිතියක් නැත. අනෙක් පුරවැසියන්ගේ අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීම හෝ කඩකිරීම නිසා ය, කිසිවකුට නඩුවක් පැවරී ඇත්තේ. නීති සකස් කර ඇත්තේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ය. එහිදී කිසිවකුට විශේෂත්වයක් දැක්විය නොහැකිය. සියල්ලන් නීතිය ඉදිරියේ සමාන ය. එම නිසා තමන්ගේ අයිතිවාසිකම කඩවන බැවින්, තවත් අයෙකුගේ හෝ කණ්ඩායමකගේ හෝ අයිතිවාසිකම් කඩවීම නොසලකා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය නොහැකිය. නීතියේ සිදුරක් ! කෙසේ වෙතත් මෙසේ චෝදනා එල්ල වූ විට අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාගැනීම සඳහා පෙත්සම් ඉදිරිපත් කිරීමේ සදාචාර විරෝධී තත්ත්වයක් පෙනෙන්නට තිබේ. එය නීතියේ ඇති සිදුරක් ලෙස ද ඇතැමෙකුට හැඳින්විය හැකිය. නීතිමය පැත්තෙන් මෙහි ගැටළුවක් තිබේ. මෙරට නීති පොත්වල කිසිදු තැනක මේ කාරණය සම්බන්ධයෙන් කිසිදු විධිමත් සඳහනක් නැත. එය නීතිය අර්ථනිරූපණය කිරීමේ ප්රශ්නයකි. එවිට අදාළ විනිශ්චයකාරවරුන්ට අවශ්‍ය ආකාරයට නීතිය අර්ථනිරූපණය කොට තීන්දුවක් ලබාදීමේ අවස්ථාව තිබේ. තීන්දුව ප්‍රශ්න කිරීමේ හැකියාව මෙහිදී එක් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බහුතරයකගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නීතියෙන් ඉඩක් හදා ඇතැයි කිසිවෙකුට තර්ක කළ හැකිය. විනිශ්චයකාරවරුන්ගේ තීන්දු පිළිනොගැනීමට නීතියෙන්ම හදා දී ඇති ඉඩ පෙන්වා දිය හැකිය. පහළ අධිකරණවල තීන්දු සම්බන්ධයෙන් ගැටළුවක් තිබේ නම්, ඉහළ උසාවිවලට යෑමේ අවස්ථාව ඔ්නෑම පුරවැසියකුට හිමි ය. එහෙත් මෙහිදී යෑමට ඇත්තේ ඉහළ ම අධිකරණයට ය. එතැනින් එහාට යෑමට තැනක් නැත. මේ ආකාරයේ පෙත්සමක තීන්දුවක් ලබාදුන් පසු, එම තීන්දුවෙන් තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් පුරවැසියකුට යෑමට තැනක් නීතියේ නැත. බහුතරය වෙනුවෙන් අධිකරණයට බහුතරයේ අයිතිවාසිකම් කඩකරමින් තනි පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිය නොහැකිය. දේශපාලන පළිගැනීමක් වුවද, නොවූවද නීතියේ පවතින ආකාරයට නිවැරදිව චෝදනා පත්‍ර ගොනුකොට අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම්, ඊට අවනත වීමට පුරවැසියන්ට සිදු වේ. ඔ්නෑම පුද්ගලයෙකුට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අධිකරණයේ අවස්ථාව තිබේ. ඒ සඳහා මුදල් විශාල වශයෙන් වියදම් වීම වෙනම කතාවකි. එම නිසා අධිකරණය ඉදිරියේ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු නොකොට, අයිතිවාසිකම් කඩවන බව පැවසීමට කිසිවෙකුට හැකියාවක් නැත. එසේ පැවසුවද, එහිදී බහුතරයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සලකාබැලීම විනිශ්චයකාරවරුන් විසින් සිදු කරයි. දේශපාලන පළිගැනීම් දේශපාලන පළිගැනීමක් සඳහා ම තමන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇතැයි කිසිවෙකුට තර්ක කළ හැකිය. එහෙත් එහිදීද වඩා වැදගත් වන්නේ මෙහි පළිගැනීමක් ඇති බව ඊළඟ නඩු වාරයේදී ඔප්පු කිරීමයි. සාක්ෂිසහිතව එය සිදුකිරීමට අධිකරණයේ ඉඩ ඇත. ඇතැම් අවස්ථාවලදී අපට මතුවන ගැටළුවක් වන්නේ එසේ නිවැරදිභාවය ඔප්පු කිරීමේ අවස්ථාව තිබියදී, වෙනත් මාර්ගවලින් ගොස් මූලික අයිතිවාසිකම් කඩවීමේ කාරණය ඉදිරිපත් කරන්නේ ඇයි ද යන්න ය. අධිකරණයේ වරදක් ? කෙසේ වෙතත් අධිකරණය මෙහිදී යම් වරදක් කරන බවට ද ඇතැමෙකුට තර්ක කළ හැකිය. එහෙත් අධිකරණය පාර්ශ්වයෙන් යම් නීතියක් මෙහිදී කඩකර ඇතැයි පැවසිය නොහැකිය. මුලදී සඳහන් කළ ආකාරයට එය නීතිය අර්ථනිරූපණය කිරීමේදී සිදු වූ අඩුවකි. එය සදාචාරය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. කෙසේ වෙතත් අධිකරණය පාර්ශවයෙන් මෙවැනි තීනුද ගැනීමේදී රටේ පවතින තත්ත්වය ද සලකාබැලිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියේ පැහැදිලිව සඳහන් වන්නේ පවතින තත්ත්වයන් සලකා බලා මූලික අයිතිවාසිකම් නඩු තීන්දු ලබාදෙන ලෙසයි. රටේ තත්ත්වය නැත්නම් නඩුවේ කරුණුවල ස්වභාවය ගැඹුරින් බැලිය යුතුය. එනම් ඔහුට එරෙහි චෝදනා අසත්‍ය බව පැහැදිලිව, ප්‍රමාණවත් කරුණු සහිතව ඔප්පු කර තිබිය යුතුය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before SC අධිකරණය හා නීතිය දේශබන්දු අධිකරණයට – සම්පූර්ණ කතාව අධිකරණය හා නීතිය ලලිත් – කුගන් නඩුවේ සාක්කි දෙන්න ගෝඨා හා කියයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.