(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි ව්‍යවස්ථාවේ සඳහන් පරමාධිපත්‍ය යන්නට අල්ලස් හෝ දූෂණයෙන් තොර ආණ්ඩුවකට ඇති අයිතිය ද ඇතුළත් බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (4) සඳහන් කළේය.  ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස සඳහන් කර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ තිදෙනකු ගොනු කළ රිට් පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් ලබා දෙමිනි.
දූෂණ විරෝධී පනත අර්ථ නිරූපනය කළ යුත්තේ එම අයිතිය හුදෙක් ළඟා කර ගත නොහැකි මායාවක් ලෙසට නොව එම අයිතිය ළඟකරගත හැකි ආකාරයට බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වේහන, දියණිය චන්දුලා රමාලි රඹුක්වැල්ල සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන තිදෙනා ගොනු කළ රිට් පෙත්සම් තුනක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරමින් කේ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් බී අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාගේ එකඟත්වයෙන් විනිසුරු  ජනක් ද සිල්වා මහතා ලබා දුන් පිටු 24කින් යුත් නියෝගයේ මේ බව සඳහන්වේ.
මෙම පෙත්සම් සම්බන්ධ නියෝගය ආරම්භ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමට ඉදිරිපත් වන පළමු අවස්ථාවලින් එකක් මෙය වන බැවින් මුලින්ම පනතේ ඓතිහාසික සංදර්භය සොයා බලන බවයි. ඕනෑම නීතියක් අර්ථ නිරීපනය කරද්දී එහි ඓතිහාසික සංදර්භය සලකා බැලීම අර්ථ නිරූපනයේදී කවුරුත් දන්නා රීතියක් බව ද අධිකරණය සඳහන් කරයි. ඒ අනුව කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ දූෂණය යනු අලුත් වසංගතයක් නොවන බවයි. එය මුල් ශිෂ්ඨාචාරවල සිට රජයේ සෑම තරාතිරමකම පැවති බව රෝම අධිරාජ්‍යයේ උදාහරණ මෙන්ම ශ්‍රී ලංකාවේ රජ කාලයේ උදාහරණ ද සහිතව ජනක් ද සිල්වා විනිසුරුවරයා පැහැදිලි කර තිබේ. දූෂණයට එරෙහිවීම ද ඓතිහාසිකව සිදුවූවක් බව එල්.එස්.ටී ආයතනය (නීතිය හා සමාජය බාරය) හා සර්වෝදය විශ්ව ලේඛ ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද ඒ ආර් බී අමරසිංහ විසින් රචිත The Legal Heritage of Sri Lanka නම් කෘතියෙන් උපුටා ගැනීම් ද සඳහන් කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා කරුණු දක්වා තිබේ.
එසේම බෞද්ධ, කතෝලික, ඉස්ලාම් සහ හින්දු යන ආගම් ත්‍රිත්වයේම දූෂණයට එරෙහිව කරුණු ඇතුළත් බව උදාහරණ සහිතව සහ උපුටාගැනීම් සහිතව පැහැදිලි කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය දූෂණයට එරෙහිව එන්තර්ජාතික වශයෙන් ඇති පිළිගැනීම් සහ එකඟතා ගැන ද සඳහන් කර තිබේ. අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රය උපුටා දක්වමින් අධිකරණය සඳහන් කර ඇත්තේ දූෂිත නායකත්වය සමස්ත සමාජ ක්‍රමයට පමණක් නොවන භෞතික පරිසරයට ද අහිතකර ප්‍රතිවිපාක ඇති කරන බවයි.
දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) යනු සමස්තයක් වශයෙන් සමාජයට දූෂණයේ  අහිතකර බලපෑම ආමන්ත්‍රණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ උත්සාහයක් බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරාත්මක වටිනාකම් සහ යුක්තිය පිළිබඳ ආයතන සහ වටිනාකම් අඩපණ කරමින් සහ තිරසාර සංවර්ධනය සහ නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙළමින්, සමාජවල ස්ථාවරත්වය සහ ආරක්ෂාව කෙරෙහි දූෂණයෙන් එල්ල වන තර්ජනවල බරපතලකම පිළිබඳ ගැටළුවට  ජාත්‍යන්තර ප්‍රතිචාරයක් බවත් අධිකරණය සඳහන් කරයි.  දූෂණය සහ අනෙකුත් ආකාරයේ අපරාධ, විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු ආර්ථික අපරාධ අතර සම්බන්ධතා මෙම සම්මුතිය මගින් පිළිගන්නා බව ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වේ.
පිටු 24කින් යුත්  සම්පූර්ණ  නියෝගය පහත දැක්වේ.
sc_writ_3_2025
මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු පත වීඩියෝවේ ඇත.
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here