(තරිඳු ජයවර්ධන)
අවුරුදු ගණනක් කුලී වැඩ කරමින් දුක් මහන්සියෙන් හරි හම්බකරගත් මුදලින් කරුපයියා ශම්මුගනාදන් කළේ තම දරුවන් උස් මහත් කිරීම සහ පවුලට ජීවත්වීමට කුඩා නිවහනක් සෑදීමය. කුඩා කල සිටි මුදල් ඉපයූ කරුපයියාට මීට වසර කිහිපයකට පෙර තවදුරටත් මුදල් ඉපයීමට නොහැකි වූයේ රෝගාතුරවීම හේතුවෙනි. කරුපයියාගේ අසනීප තත්ත්වයත් සමග ඊට බෙහෙත් කිරීමට යන වියදම පමණක් නොව පවුලේම බර ද කරට ගැනීමට සිදුවූයේ කරුපයියාගේ  දරුවන් අතුරින් එකම පිරිමි දරුවා වූ කමලරාජ්ටය.
කලක සිටම කරුපයියාගේ නිවස හැඩ කරන්නට ඔවුන් සූදානමින් සිටියේ එකම පුතුගේ විවාහ මංගල්‍යය සඳහාය. කාලයකට පසු අද (27) කරුපයියාගේ නිවස හැඩ විය. ඒ එකම පුතු කමලරාජ්ගේ විවාහයට නොව, කරුපයියාටත් පෙර මෙළොව හැර දමා යන්නට සිදුවූ කමලරාජ්ගේ මරණයේ මසක් පිරීමේදී කරන ආගමික වතාවත් සඳහාය.
කමලරාජ්
පසුගියදා රටම ගිලගත් ආපදා තත්ත්වයෙන් මරු වැළඳගත් 643 දෙනාගේ ලැයිස්තුවට කමලරාජ් ඇතුළත් වූයේ එම ගම්මානයේ නාය යෑමෙන් මිය ගිය 26 දෙනාගේ ලැයිස්තුවට ද එක්වෙමිනි.
ඒ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ඔය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි හදබිම ජනදයයි. පේරාදෙණිය-ගලහා පාරේ මහකන්දෙන් සරසවිගමට ගොස්, සරසවි ගම පාලමෙන් එගොඩවී හදබිම ජනපදය වෙත පිවිසිය හැකිය. හදබිමේ බහුතරයක් ජීවත් වන්නේ දෛනික වැටුප් ලබන්නෝ වෙති. ඊට අමතරව ඇතැමෙක් ගමෙන් පිටට ගොස් රැකියා කරති.

 

අලංකාර පරිසරයකින් සමන්විත හදබිම ජනපදයේ තීරණාත්මක දිනය උදාවූයේ 2025 නොවැම්බර් මස 27 වැනි දා රාත්‍රියේය. ගම්වාසියකු වන 49 හැවිරිදි තේවරාජා සිද්ධිය විස්තර කළේ මෙසේය.
’27 වැනිදා රෑ අපේ එක්කෙනෙක් ඇවිත් කිව්වා කන්ද පල්ලෙහාම මොහොමඩ්ලාගේ ගෙදරට පස්කන්දක් වැටිලා යට වෙලා, එක්කෙනයි එළියේ ඉන්නේ බේරන්න එන්න කියලා. ඒ වෙනකොටත් තද වැස්ස. අපේ අයියාගේ පුතා ඇතුළු පිරිසක් ඒ අයව බේරගන්න ගියා. ගෙදර හිටපු දෙන්නෙක් විතර බේරගෙන ටික වෙලාවකින් ලොකු සද්ධයක් ආවා. ඒකත් එක්ක ආරංචි වුණා ආයෙත් පස්කන්දක් ආවා කියලා. බේරන්න ගිය අයත් ඒ පස්කන්දට යට වුණා. 26 දෙනෙක් විතර පස්කන්දට යට වෙලා හිටියා. එයින් 19 දෙනකුගේ පමණ සිරුරු ගමේ අය මහන්සි වෙලා හොයා ගත්තා. ආරක්ෂක අංශවලින් එක් සිරුරක් පමණක් හොයලා දුන්නා.‘ තේවරාජා ප්‍රකාශ කළේය.
මහ වැසි මැද හදබිම ජනපදයේ සිදුවූ නායට හසුවීමෙන් ගම්වාසීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව 65 හැවිරිදි සුප්පයියා ගෝවින්දස්වාමි, 30 හැවිරිදි මුත්තුසිංහම් සිවකුමාර්, 30 හැවිරිදි ශම්මුගනාදන් කමලරාජ්, 42 හැවිරිදි සන්මුගම් සුරේෂ්, 43 හැවිරිදි කුමාරයියා තිරුචෙල්වම්, 39 හැවිරිදි සෙල්වමුත්තු කමලේෂ්වරී, 40 හැවිරිදි විජයේන්ද්‍රන්, 23 හැවිරිදි විජයකුමාර් අෂෝක්කුමාර්, 39 හැවිරිදි සිවගුරුනාදන් සිවකුමාර්, 27 හැවිරිදි යෝගරාජා සින්දුජා, හත් හැවිරිදි යෝගරාජා ක්‍රිස්ටිනා, හත් හැවිරිදි යෝගරාජා සබ්රිනා, 48 හැවිරිදි මනෝහරන් විජයකුමාර්, 16 හැවිරිදි මනෝහරන් මලර්මදී, 65 හැවිරිදි මාදස්වාමි මානිඅම්මා සහ මොහොමඩ්ගේ පවුලේ පිරිසක් ඇතුළු 26 දෙනෙක් මරණයට පත්වූහ. මේ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ග්‍රාමනිලධාරී සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද අසාර්ථක විය.
කරුපයියා
වයස අවුරුදු 57ක් වූ කරුපයියා ශම්මුගනාදන්ගේ සහ වයස අවුරුදු 53 හැවිරිදි වීරමුත්තු සෙල්වරානිගේ පුතුවූ ශම්මුගනාදන් කමලරාජ්ගේ මරණයෙන් මසක් සපිරෙන අද දිනට යෙදුණු ආගමික වතාවත් සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් කරුපයියා පේරාදෙණියේ පිහිටි බැංකුවකට ගොස් රුපියල් 50,000ක මුදලක් ලබා ගත්තේ, පුතාගේ මරණය යෙනුවෙන් රජයෙන් ලැබුණු රුපියල් ලක්ෂයක චෙක්පත බැංකුවේ තැම්පත් කිරීමෙන් අනතුරුවය. එම චෙක්පත ලබා ගැනීම සදහා අසනීප තත්ත්වයේ පසුවූ කරුපයියාට දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යෑමට සිදුවූයේ ත්‍රීරෝද රථයකිනි. චෙක්පත දොළුවෙන් ලබාගෙන එය ගිනුමට බැර කිරීම සඳහා එම ත්‍රීරෝද රියෙන්ම පේරාදෙණියට ගොස් නැවත නිවසට ඒම සඳහා කරුපයියාට ගිය ගමන් ගාස්තුව රුපියල් 3000කටත් වැඩිය. රුපියල් ලක්ෂයක චෙක්පතක් ලැබුණේ ඔවුනට හිමිවිය යුතු රුපියල් දස ලක්ෂයක වන්දියෙන් අත්තිකාරමක් වශයෙනි.
කරුපයියාගේ නිවසේ අද පැවැති ආගමික වතාවත් සඳහා ඔහුගේ නෑහිතවතුන් පිරිසක් එක්ව සිටියහ. සිද්ධියෙන් මාසයක් ගතවී ගියත් හදබිම ජනපදයේ ගැටලු තවම විසඳී නැත. මේ වන විට එම ජනපදයේ බහුතරයක් මුහුණ දෙන ගැටලු අතර ඉදිරියෙන්ම ඇත්තේ බොහෝ පිරිසකගේ නිවාස හෝ ඉඩම හෝ අනාරක්ෂිත බවට පත්වීමය. ප්‍රදේශයේ ඇති බොහෝ නිවාස වසර ගණනක් සමාගම් වෙත කඹුරමින් තේවතුවල වැඩ කර ලබා ගත් සොච්චම් වැටුපේ සහ වසර 30ක් 40ක් පමණ වත්තේ වැඩකර විශ්‍රාම යෑමෙන් පසු ලැබුණු සේවක අර්ථසාධක අරමුදලේ එකම ප්‍රතිඵලයයි. එහෙත් දැන් ඒ ඇතැම් නිවාස ඉරිතලා තිබේ. ඇතැම් නිවාස පිහිටි වතු ඉරිතලා තිබේ.
මේ ප්‍රදේශයේ ඇතැම් බඩම් සඳහා ඔප්පු තිබේ. තවත් ඉඩම්වලට ඇත්තේ බලපත්‍රයන්ය. සෑම නිවාසයකටම පාහේ විදුලිය තිබේ. එහෙත් එම ප්‍රදේශයේ තත්ත්වය ගැන නිලවශයෙන් දැනුම්දීමක් තවමත් නැත. එනිසා බොහෝ පිරිසක් ජීවත් වන්නේ මර බිය මධ්‍යයේය. මීට සති දෙකකට පමණ පෙර එහි යන විට ආපදා සහන කිසිවක් ප්‍රදේශවාසීන්ට ලැබී නොතිබිණි.
ප්‍රදේශවාසීන්ගේ දහසකුත් ප්‍රශ්න මධ්‍යයේ කරුපයියා තම පුතාගේ මරණයෙන් මසක් පිරෙන තැන චාරිත්‍රාණුකූලව කරන වත්පිළිවෙත් චාම් ලෙස අද සිදුකළේය. පුතා නායට හසුවූ දිනයේ මෙන්ම අදත් කරුපයියා සහ සෙල්වරාණි කඳුළු සැලුව ද, ආපදා තත්ත්වය කාලයේ දී හදවත උණුවූ බොහෝ දෙනකුට දැන් හදබිම අමතකවී ගොසිනි.  කරුපයියාගේ පුතා මෙන්ම හදබිමේ නායට හසුවූ සෙසු පිරිස ද සිහිපත් කරමින් ගම්වාසීහු තවමත් වරින් වර හඬා වැටෙති. නිල ඇඳුම් ඇඳගත් වීරයන් සැමරීමට රට වටා විවිධ අවස්ථාවල විවිධ වැඩසටහන් පැවතිය ද, ගමේ නිවසක පිරිසකගේ ජීවිත බේරා ගැනීමට ගොස් දිවිපිදූ කමලරාජ් ඇතුළු හදබිමේ වීරයන් ගැන කිසිම අනුස්මරණයක් නිලවශයෙන් නැත. ඔවුන් මතක ඇත්තේ ගමටම පමණි. මේ වීරයන්ගේ පවුල්වලට රජයෙන් ලැබෙන රුපියල් දස ලක්ෂයක වන්දිය ලබා ගැනීම පවා එතරම් පහසු නැත. පවුල්වල සුවදුක් විමසීමට දේශපාලකයෝ නොයති. ජනමාධ්‍ය නොයයි.
ඒ කිසිවකුගේ සහභාගීත්වයක් නැතිව කරුපයියලා තම ඥාතියා අහිමිවූ වේදනාව විඳිමින් සිටිද්දී ප්‍රදේශයේ ඇතැම් නිවැසියෝ රෑ වෙද්දි තම තමන්ගේ නිවාසවලින් යති. අනතුරු සිදුවන්නේ රෑට පමණක් නොවන බවට ඔවුන් ඇතැමෙකුට වැටහීමක් නැත. ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරදීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ඇතැම් බලධාරීන්ට ද වුවමනාවක් නැත. ඇතැම් බලධාරීන්ට වුවමනාව තිබුණද වෙලාවක් නැත. හදබිම ජනපදය ලෙස හඳුන්වන එම ගම්මානය වැඩි දෙනකු හඳුන්වන්නේ ‘හදබිම කොලණිය‘ ලෙසය. බොහො දෙනකුගේ අවධානයක් නොලැබීමට එය ‘කොලණියක්‘ වීමද හේතුව වන්නට ඇත.
හදබිම ජනපදවාසීන් මුහුණදෙන ගැටලු ගැන සවිස්තරාත්මක ලිපියක් MediaLK ඔස්සේ බලාපොරොත්තුවන්න.  

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here