(භානුල ගිරිබාව)
ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් ඉදිකර පවත්වාගෙන යනු ලැබූ ඉන්ධන පිරවුම්හලක් සහිත හම්බන්තොට ඉඩමක් මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනමට ලබාදීමට රාජ්‍ය නිලධාරීන් ගත් තීරණයක් අත්තනෝමතික බවට තීන්දු කළ අභියාචනාධිකරණය තීන්දුව අත්හිටුවන ලෙස නියෝග කළේය.
මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම නම් සංවිධානය ඊට පෙර චමල් රාජපක්ෂ ප්‍රජා සංවර්ධන පදනම නමින් පවත්වාගෙන ගොස් පසුව මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම ලෙස වෙනස් කර ඇතැයි ද නඩු තීන්දුවේ සඳහන් වේ.
මෙම තීන්දුව ඊයේ (28) ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාය.
මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, එහි සභාපති ජගත් අබේසිංහ, එහි ජාතික ලේකම් එස්.එච්. නිමල් කුමාර් සහ රතු කුරුස යන්ත්‍රෝපකරණ සංවිධානය විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරිය, මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනමේ සභාපති සහ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
විනිසුරු පටබැඳිගේ මහතා ලබා දුන් නඩු තීන්දුවේ සඳහන් පරිදි සිද්ධිය මෙසේය.
රතු කුරුස සංගමය සිය පුණ්‍ය කටයුතු සඳහා අරමුදල් රැස් කිරීමට 2007 වසරේදී හම්බන්තොට ඉන්ධන පිරවුම්හලක්  ඉදිකර පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලික පියවර ලෙස 2007 අප්‍රේල් 19 දින එම සංගමයේ සභාපතිවරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය අභිලාෂය දැනුම් දී තිබුණි. 2007 ජූනි මාසය වන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම කාර්යය සඳහා ඉඩම වෙන් කර තිබූ අතර, එවකට රතු කුරුස සංගමයේ හම්බන්තොට ශාඛාවේ ලේකම්වරයා ලෙස පෙනී සිටි 7 වන වගඋත්තරකරු කේ. එච්. ප්‍රේමතිලක ට ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීමට එකඟතාවය පළ කර තිබුණි .
ඒ අනුව,එවක අමාත්‍යවරයෙකු වූ චමල් රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත මූලික වශයෙන් පර්චස් 40ක ඉඩමක් වෙන් කර ඇති අතර, පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  මූලික කොන්දේසි පරිදි එය පර්චස් 65 දක්වා වැඩි කර ඇත. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ඉඩම මිනුම් කිරීමට යන වියදම ශ්‍රී ලංකා රතු කුරුස සංගමයෙන්  සභාපති ගෙන් අය කර ගන්නා ලෙස මිනුම් අධිකාරීට උපදෙස් දී තිබුණි.
පසුව 2008 වසරේදී හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් රතු කුරුස සංගමය වෙත දන්වා තිබුණේ එම ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට පියවර ගන්නා බවයි. ඒ අනුව,ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා එම වසරේදී  රතු කුරුස යන්ත්‍රෝපකරණ සංවිධානය නමින් සමාගමක් පිහිටුව එය සමාගම් පනත යටතේ සංස්ථාපනය කර ඇත. පෙර කී එකඟතාව මත පදනම්ව රතු කුරුස සංගමය විශාල මුදලක් ආයෝජනය කර ඉන්ධන පිරවුම්හල ඉදිකර තිබූ අතර, 2010 සැප්තැම්බර් මාසය වන විට ඉදිකිරීම් නිම කර ඇති අතර එම පිරවුම්හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රමිතීන්ට අනුකූල බව 2010 සැප්තැම්බර් 28 දින ලිපියක් මඟින් තහවුරු කර තිබිණි. ඉන් අනතුරුව මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් 2013 වසරේ අගභාගය වන විට තත්වය වෙනස් වෙමින් තිබී ඇති අතර ඒ වන විට රතු කුරුස සංගමය විසින් පවත්වාගෙන ගිය ඉන්ධන පිරවුම්හලේ මූල්‍ය අක්‍රමිකතා පවතින බවට එම සංගමයට තොරතුරු අනාවරණය වී ඇත. විගණනයක් මගින් ද එය තහවුරු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ එම සංගමය හම්බන්තොට ශාකා කමිටුව අත්හිටුවා අතුරු කමිටුවක් පත් කොට ඇත.
මුලින් එකඟතාවය පල කළ පරිදි රතුකුරුස සමාජයට ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත දෙනවා වෙනුවට එම ඉඩම  මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම නම් සංවිධානයකට ලබාදීමට රාජ්‍ය නිලධාරීන් තීරණය කර තිබිණි. අධිකරණයේදී අනාවරණය වූයේ මුලින්ම චමල් රාජපක්ෂ මහතාගේද මැදිහත්වීමෙන් පිහිටවා තිබූ ‘චමල් රාජපක්ෂ ප්‍රජා සංවර්ධන පදනම’ නම් සංවිධානය  2014 ජූලි 20 දින පැවති රැස්වීමකදී ‘මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම’ ලෙස නම වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි. එවකට අමාත්‍යවරයෙකු වූ චමල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික නම පුණ්‍ය ආයතනයක් සඳහා භාවිතා කිරීම නුසුදුසු බවට වූ නිර්දේශය මත මෙම වෙනස සිදුවූ කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ රතු කුරුස සංගමයේ හම්බන්තොට ශාඛා සභාපති ලෙස කටයුතු කර තිබූ 7 වන වගඋත්තරකරු ද මෙම ‘මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනමේ’ තනතුරක් දැරීමයි.
හම්බන්තොට දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටු රැස්වීම 2014 ඔක්තෝබර් 14 වැනි දින පැවති අතර, රතු කුරුස සංගමය වෙත අදාළ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.  මෙම තීරණයට පදනම් වී ඇත්තේ එවකට රතු කුරුස හම්බන්තොට ශාඛාවේ නිලධාරීන් සහ මධ්‍යම පාලක මණ්ඩලය අතර පැවති ආරවුල් සහ මූල්‍ය ගැටලු බව වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය විය.
දිස්ත්‍රික් ඉඩම් කමිටු තීරණයෙන් දින කිහිපයකට පසු, එනම් 2014 ඔක්තෝබර් 20 දින, 7 වන වගඋත්තරකරු වන රතුකුරුස සංවිධානයේ හම්බන්තොට ශාඛාවේ හිටපු සම්බන්ධීකාරකවරයා (මූල්‍ය අක්‍රමිකතා මත පසුව විසිරවූ) විසින් හම්බන්තොට දිසිත්‍රික් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඔහු රතු කුරුස සංගමයේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින්, ඉන්ධන පිරවුම්හල පවතින ඉඩම මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම වෙත පැවරීමට සිය එකඟතාවය පළ කර තිබිණි.
ඒ අනුව 2014 ඔක්තෝබර් 27 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් 3 වන වගඋත්තරකරු වෙත යොමු කළ ලිපියක් මඟින් දන්වා සිට ඇත්තේ අදාළ ඉඩමේ කිසිදු ගොඩනැගිල්ලක් හෝ අනවසර පදිංචියක් නොමැති බවයි . කෙසේ වෙතත්, එම ලිපියටම අමුණා තිබූ LC/HMB/2014/56 නම් මිනුම් සැලැස්මේ රතු කුරුස සංගමය විසින් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල ඉතා පැහැදිලිව සටහන් කර තිබීම මඟින් බලධාරීන් ඉදිරිපත් කළ තොරතුරුවල බරපතල පරස්පරතාවයක් පවතින බව අධිකරණය නිරීක්ෂණය කළේය.
පිරවුම්හලේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ රතු කුරුස අභ්‍යන්තර විගණන වාර්තාව 2015 පෙබරවාරි 09 වැනි දින නිකුත් වී ඇති අතර, ඒ අනුව පෙබරවාරි 14 වැනි දින රතු කුරුස මධ්‍යම පාලක මණ්ඩලය විසින් හම්බන්තොට ශාඛා කමිටුව අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.
දකුණු පළාත් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (නඩුවේ තෙවැනි වගඋත්තරකරු) 2015 මාර්තු 26 දින යොමු කරන ලද ලිපියක් මඟින් දන්වා සිට ඇත්තේ අදාළ ඉඩම රතු කුරුස සංගමයට බදු දෙන බවයි. නමුත් ඊට දින කිහිපයකට පසුව, එනම් 2015 අප්‍රේල් 10 දින යොමු කරන ලද ලිපියකින් සහකාර ලේකම් (ඉඩම්) දන්වා ඇත්තේ රතු කුරුස සංගමය පුණ්‍ය ආයතනයක් බැවින් ඔවුන්ට වාණිජ කටයුතු කළ නොහැකි නිසා එම ඉඩම ‘මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම’  වෙත බදු දීමට තීරණය කර ඇති බවයි .
අවසානයේදී රතු කුරුස සංගමයේ නියෝජිතයන් සහ ඔවුන්ගේ නීතිඥවරිය විසින් මෙම අත්තනෝමතික පියවරයන්ට එරෙහිව විරෝධය පළ කරමින් පරීක්ෂණයක් ඉල්ලා සිට ඇති අතර, රජයේ බලධාරීන් සිය ස්ථාවරය වෙනස් නොකළ අතර රතු කුරුස සංගමය එම ඉඩමේ අනවසරයෙන් රැඳී සිටින බවට ඔවුන් තර්ක කර ඇත.
තමන් වෙත වෙන් කරන බවට පොරොන්දු වූ ඉඩම මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනමට ලබාදීමේ තීන්දුව අත්හිටුවන ලෙස රිට් පෙත්සමක් රතුකුරුස සංවිධානය ගොනු කන්නේ ඒ අනුවය.
කෙසේ වෙතත්, මෙම නඩු විභාගය ආරම්භයේදීම 7 වන සහ 8 වන වගඋත්තරකරුවන් විසින් මෙම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළ යුතු බව පවසමින් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් මෙහිදී ප්‍රධාන වශයෙන් තර්ක කර ඇත්තේ පෙත්සම්කරුවන් විසින් අධිකරණයෙන් වැදගත් කරුණු වසන් කර ඇති බවත්, නඩුව පැවරීමේදී අධික ප්‍රමාදයක් පවතින බවත්ය. මීට අමතරව, ඔවුන් ඉදිරිපත් කළ අනෙකුත් ප්‍රධාන මූලික විරෝධතා අතර දැනට අදාළ ඉඩමෙහි ඉන්ධන පිරවුම්හල පවත්වාගෙන යන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නඩුවේ පාර්ශවයක් ලෙස නම් කර නොමැති වීම මඟින් අවශ්‍ය පාර්ශවයන් එක් නොකිරීමේ දෝෂය පවතින බව සඳහන් කොට ඇත. එමෙන්ම, වගඋත්තරකාර රජයේ නිලධාරීන් ඔවුන්ගේ පෞද්ගලික නම් රහිතව නිල නාමයෙන් පමණක් නම් කර තිබීම ද වගඋත්තරකරුවන්ගේ විවේචනයට ලක් කොට ඇත.
තවද, ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ පවතින විකල්ප සහන ලබා නොගෙන සෘජුවම රීට් ආඥා ඉල්ලා සිටීම නීතියට පටහැනි බව වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය විය. රතු කුරුස සංගමය පුණ්‍ය ආයතනයක් බැවින් වාණිජ කටයුතු කිරීමට හෝ ලාභ ලබන ව්‍යාපාර පවත්වාගෙන යාමට ඔවුන්ට නීතිමය අයිතියක් නොමැති බවත්, ඒ අනුව ඔවුන්ට මෙම නඩුව පැවරීමට නීතිමය පදනමක් නොමැති බවත් වගඋත්තරකරුවන් වැඩිදුරටත් තර්ක කර තිබේ.
එම මූලික විරෝධතා සලකා බැලූ අධිකරණය,පාර්ශවයන් එක් නොකිරීම සම්බන්ධයෙන් තීන්දු කළේ මෙම නඩුවේ මූලික අභියෝගය එල්ල වන්නේ රජයේ ඉඩම් වෙන් කිරීමේ පරිපාලනමය තීරණවලට එරෙහිව බැවින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙහි අත්‍යවශ්‍ය පාර්ශවයක් නොවන බවයි.
ඒ අනුව, නිලධාරීන් නම් කිරීම සම්බන්ධයෙන් 1990 අභියාචනාධිකරණ (අභියාචනා ක්‍රියාපටිපාටි) රීතිවල 5 වන රීතියට අනුව, රජයේ නිලධාරියෙකු ඔහුගේ නිල නාමයෙන් පමණක් නම් කිරීම ප්‍රමාණවත් බව අධිකරණය අවධාරණය කළේය. ඒ අනුව,පෞද්ගලිකව ද්වේෂසහගත ලෙස ක්‍රියා කළ බවට චෝදනා නොමැති විට නිල නාමයෙන් පමණක් නම් කිරීම සෑහෙන බව අධිකරණය අවධාරනය කළේය.
ප්‍රමාදය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් පෙන්වා දුන් පරිදි 2010 වසරේදී මූලික තීරණ ගෙන තිබුණ ද,පෙත්සම්කරුවන්ට සැබවින්ම අගතියක් සිදුවන පරස්පර සහ අවසන් තීරණ ගෙන ඇත්තේ 2014 සහ 2015 වසරවලදී බව අධිකරණය නිරීක්ෂණය කළේය. එබැවින් 2015 ජූනි මාසයේදී නඩුව පැවරීම සාධාරණ කාලයක් තුළ සිදුවී ඇති බව තීන්දු විය .
වාණිජ කටයුතු පිළිබඳ තර්කය සම්බන්ධයෙන් අධිකරණ නිගමනය වූයේ රතුකුරුස සංගමයේ ව්‍යවස්ථාවේ 30.6 වගන්තියට අනුව, සිය මානුෂීය අරමුණු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට වාණිජ කටයුතු කිරීමේ හැකියාව ඔවුන්ට පවතින බවයි. එමෙන්ම, රජයේ බලධාරීන් මීට පෙර මෙම ව්‍යාපෘතියට අඛණ්ඩව සහය දී පසුව එයට විරුද්ධ වීම පරස්පර බව ද අධිකරණය අවධාරණය කළේය.
ඒ අනුව වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා පදනම් විරහිත බව ප්‍රකාශ කළ අධිකරණය ඒවා ප්‍රතික්ෂේප කළේය.
යම් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම්වලට හෝ අවශ්‍යතාවලට අහිතකර ලෙස බලපාන තීරණයක් ගැනීමට පෙර ඔහුට කරුණු දැක්වීමට සාධාරණ අවස්ථාවක් ලබා දීමේ මූලධර්මය ස්වභාවික යුක්තියේ අංගයක් බව අධිකරණය මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම, පොදු අධිකාරියක් විසින් ලබා දී තිබූ පූර්ව අනුමැතියක් මත යම් පාර්ශවයක් සිය අරමුදල් ආයෝජනය කර ඇති අවස්ථාවක, එම අනුමැතිය අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට පෙර අදාළ පාර්ශ්වයට සිය කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ දීමේ පැහැදිලි වගකීමක් බලධාරීන් සතු බව අධිකරණය අවධාරණය කළේය. රතු කුරුස සංගමය විසින් රජයේ උපදෙස් මත ඉඩම් මිනුම් කටයුතු සිදු කර, විශාල මුදලක් වැය කර ඉන්ධන පිරවුම්හල ඉදිකර තිබියදී, කිසිදු පූර්ව දැනුම් දීමකින්, හේතු දැක්වීමකින් හෝ කරුණු විමසීමකින් තොරව එම අනුමැතිය අවලංගු කිරීම ක්‍රියාපටිපාටික අතින් බරපතල දෝෂයක් බව අධිකරණය නිගමනය කළේය.
කිසිවෙකු තමාගේම නඩුවක විනිසුරුවරයෙකු නොවිය යුතුය යන මූලධර්මය උල්ලංඝනය කරමින්, රතු කුරුස සංගමයට ලබා දී තිබූ අනුමැතිය ඉවත් කර මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම වෙත එම ප්‍රතිලාභය ලබා දීමට තීරණය කළ දිස්ත්‍රික් ඉඩම් කමිටු රැස්වීමට එම පදනමේ ලේකම්වරයා වන ඒ වීරරත්න මහතා සහභාගී වී තිබෙන බව අධිකරණය සඳහන් කළේය. මීට අමතරව, රතු කුරුස සංගමයේ හම්බන්තොට ශාඛාවේ සභාපතිවරයා මෙන්ම පසුව  මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනමේ ද තනතුරක් දැරූ 7 වන වගඋත්තරකරුගේ හැසිරීම් ද තීරණ ගැනීමේ පාරදෘශ්‍යභාවය පිළිබඳව සැක මතු කරන බව අධිකරණය නිරීක්ෂණය කළේය. මෙවැනි ක්‍රියාවන් මඟින් පරිපාලන ක්‍රියාවලියේ සාධාරණත්වය පිළිබඳ පොදු විශ්වාසය පළුදු වන බව ද අධිකරණය අවධාරණය කළේය.
රාජ්‍ය බලධාරීන් සිය තීරණ සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කළ ලේඛනවල පවතින බරපතල පරස්පරතා අධිකරණයේ විවේචනයට ලක් විය. දිස්ත්‍රික් ලේකම්වරයා විසින් 2014 ඔක්තෝබර් 27 දින යොමු කරන ලද ලිපිය මඟින් අදාළ ඉඩමේ කිසිදු ගොඩනැගිල්ලක් හෝ අනවසර පදිංචියක් නොමැති බව පවසා තිබුණ ද, එම ලේඛනයටම අමුණා තිබූ LC/HMB/2014/56 දරන මිනුම් සැලැස්මේ රතු කුරුස සංගමය විසින් ඉදිකළ පිරවුම්හල පැහැදිලිව දක්වා තිබුණි . මෙලෙස වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම පරිපාලන ක්‍රියාවලියේ අවකංබව  පළුදු කිරීමට හේතුවන බව අධිකරණය සඳහන් කළේය.
සියලු කරුණු සලකා බැලූ අධිකරණය සඳහන් කළේ වගඋත්තරකාර පොදු අධිකාරී තම බලතල ක්‍රියාත්මක කිරීමේදී අසාධාරණ සහ අතාර්කික ලෙස ක්‍රියා කර ඇති බවයි.
ඒ අනුව පෙත්සම්කාර රතු කුරුස සංගමයේ දීර්ඝකාලීන බදු අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හෝ අත්හිටුවීමට ගත් තීරණ මෙන්ම, මිනුම් සැලැස්මේ දැක්වෙන ඉඩම මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම වෙත බදු දීමට ගත් සියලුම පියවර අවලංගු කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් ලබා දුන්නේය.  එසේම  අදාළ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ අයදුම්පත,නීතියට අනුකූලව සහ පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීමට සාධාරණ අවස්ථාවක් ලබා දීමෙන් පසුව නැවත සලකා බලන ලෙස වගඋත්තරකරුවන්ට  නියෝග කළේය.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

අදාල නඩු තීන්දුව පහත දැක්වේ.
WRT-0247-15
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here