(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා ඉතිහාසයේ පොලිස්පති ධුරයේ රාජකාරි ඉටු කරමින් සිටි පුද්ගලයකුට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අදාල ධුරයේ කාර්ය, කර්තව්‍ය ඉටු කිරීමත් බලතල භාවිත කිරීමත් තහනම් වී පසුගිය සතියට (ජූලි 24) වසරක් ගත විය. එලෙස රටේ ඉහළම අධිකරණයේ අතුරු නියෝගයක් අනුව පොලිස්පති පුටුවෙන් නැගිට යන්නට සිදුවූයේ ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පති ලෙස ධුරය දරමින් සිටි තෙන්නකෝන් මුදියංසේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන්ට ය. ඔහු පුටුවෙන් තාවකාලිකව නැගිට ගොස් වසරක් යද්දීම ඔහු පුටුවේ වාඩිගෙන සිටි කාලයේ දී බලතල අයුතු ලෙස භාවිත කර ඇතැයි විශේෂ කමිටුවක් මගින් තීන්දු කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තු විවාදයක් ද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයකු හෝ නීතිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා 2002 වසරේ දී ක්‍රමවේදයක් සකස් කෙරිණි. ඒ 2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතයි. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2002 මාර්තු 26 වැනිදා ය. කෙසේ වෙතත් පනත මගින් නිලධාරියකු ඉවත් කිරීමක් කිසිම දිනක සිදුවී නැත. නිලධාරීන් ඉවත් කිරීමේ පනත ලෙස නම සඳහන් වුවද මේ පනත යටතේ ඉවත් කළ හැක්කේ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පමණි.
ඉතිහාසයේ මුල් වරට මෙම පනත අනුව නිලධාරියකු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වූයේ පසුගිය මාර්තු 25 වැනිදාය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් සහිතව කතානායකවරයාට යෝජනාවක් බාරදීමෙන් පසුවය. එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු 2002 අංක 05 දරණ පනත අනුව චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා කමිටුව පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
අග්‍රවිනිශ්චකාරවරයා විසින් නම් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරයෙක්, අගමැති සහ විපක්ෂනායකගේ එකගත්වය අනුව යෝජනා කරන පුද්ගලයෙක් සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අදාල විෂමාචාර ක්‍රියා සොයා බලන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ යුතුය. අග්‍රවිනිශ්චයකාර මෘදු ප්‍රනාන්දු මහත්මිය විසින් අදාල කමිටුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පත්මන් සූරසේන මහතා නම් කළ අතර අගමැති සහ විපක්ෂ නායකගේ එකගත්වයෙන් පත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල මහතාය. නිල බලයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතා කමිටුවට පත්විය.
මෙම කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ඔවුන් වෙත සහයෝගය ලබා දීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා මහතා පත් කරනු ලැබූහ. ඒ අනුව කමිටුවේ කටයුතු ආරම්භ වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාවෙත චෝදනාපත්‍ර බාරදීම සිදුවිය. චෝදනාපත්‍ර බාරදීමෙන් පසු සාක්කිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයට බාර දුන් අතර ඉන් පසු සාක්කිකරුවන් කැඳවා සාක්කි ලබා ගැනීම සිදුවිය. අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා ද කොමිසම හමුවේ සාක්කි ලබා දුන් අතර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ද සාක්කිකරුවන් කිහිප දෙනකු කැඳවා තිබිණි.
මෙම කමිටුවේ කටයුතු අවසන් වීමෙන් පසු එහි වාර්තාව කතා නායකට බාරදීමෙන් පසු කතානායකවරයා එය පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා විෂමාචාර ක්‍රියා හෝ බලය අවභාවිත කිරීම් සිදු කර ඇති බව එම කමිටුව ඒක මතිකව තීන්දු කර ඇති බව කතානායකවරයා දැනුම් දුන්නේය.
එහි ප්‍රධාන තීන්දුව පිටු 207කින් සමන්විත විය.
චෝදනාපත්‍රයේ පළමු චෝදනාවේ සිට 16 වැනි චෝදනාව දක්වා වූ චෝදනා කෙටුම්පත් කර තිබුණේ මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාලවය. ඒ අනුව එම පළමු චෝදනා 16න් චෝදනා 14කට දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු බව කමිටුව තීරණය කර තිබේ. 11 සහ 12 චෝදාවලට පමණක් දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු නොවන බව කමිටුව සඳහන් කරයි. චෝදනාපත්‍රයේ 17, 18 සහ 19 යන චෝදනා පදනම් වී තිබුණේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදී 2025 පෙබරවාරි මස 27 සිට 2025 මාර්තු මස 19 වැනිදා තෙක් සැඟවී සිටීමට අදාලවය. එම චෝදනා තුනටම දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු බව කමිටුව තීරණය කර ඇත. 20 සහ 21 චෝදනා ඉදිරිපත් වූයේ දේශබන්දු තෙන්නකොන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටියදී 2022 මැයි 09 වැනිදා ගෝඨාගෝගමට පහරදීම සම්බන්ධයෙනි. එම චෝදනා දෙක ගැන කමිටුව චෝදනා විභාගයක් සිදු කර නැත. 22වැනි චෝදනාව සහ 23 වැනි චෝදනාව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඉදිරිපත් කර ඇත්තේ පෙර කී චෝදනාවලට අදාල වැරදි සිදුකිරීම මත සමස්තයක් ලෙස ගනිමින් වන අතර ඒ අනුව මීට පෙර ඇතැම් චෝදනාවලට දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු බවට තීන්දු කර ඇති හෙයින් 22 සහ 23 චෝදනාවලට ද දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු බව කමිටුව තීන්දු කර තිබේ.
මෙම කමිටුව තම පිටු 207ක තීන්දුවේ අවසනායේ සඳහන කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති කපුගමරාලලාගේ ජගත් චන්ද්‍ර කුමාර සහ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මෙම කමිටුව හමුවේ අසත්‍ය සාක්කි ලබාදී ඇති බවයි. ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ලෙස ඔවුන් දෙදෙනාගේ හැසිරීම ප්‍රශ්න සහගත බවත් කමිටුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් විෂමාචාර කර ඇතැයි තහවුරු වී හමාරය. කමිටුව හමුවට පැමිණ බොරු සාක්කි ලබා දුන් නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර තවමත් පොලිස් සේවයේ සිටියි. එසේ හෙයින් ඔහුගේ හැසිරීම ඉතාම ප්‍රශ්නකාරීය. කමිටු වාර්තාවේ උපුටා දක්වා ඇති පරිදි ඔහුගේ සාක්කිවලින් කොටසක් මෙසේය. මෙම ප්‍රශ්න කිරීම කර ඇත්තේ වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන අතර කොළඹ අපරාධ කොට්ඨාසය අධීක්ෂණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ මෙම ජගත් චන්ද්‍ර කුමාරය.
ප්‍ර – ඔය සිද්ධියට පසුව කවදා වෙන කල් සීසීඩී එකේ සිටියාද?
උ – 2024.12.05 වැනිදා වෙනකල් කොළඹ දිශාව භාරව හිටියා ස්වාමිණී.
ප්‍ර – දැන් මහත්මයාගේ ස්ථාවරය සීසීඩී එකේ පොලිස් සැරයන් උපුල්ට වෙඩි වැදුණේ නාඳුනන තුවක්කුකරුවෙක් තියපු වෙඩි පහරකින් කියන එක?
උ – එහෙමයි ස්වාමීනි
ප්‍ර – මහත්මයා ඒක කියන්නෙත් එවකට සීසීඩී භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට?
උ – එහෙමයි ස්වාමීනි
ප්‍ර – මේ සිද්ධියට පස්සේ අවුරුද්දකට ආසන්න කාලයක් හිටියා?
උ – එහෙමයි ස්වාමීනි
ප්‍ර – මහත්මයා එවකට සීසීඩී එක භාර නියෝජ්‍ය පොලිස්පති විධිහට මහත්මයාගේ ස්ථාවරය සහ මහත්මයාගේ අවබෝධය සීසීඩී එකේ 2023.12.31 වැනිදා වෙඩි වැදිලා තුවාල වෙච්ච එස්අයි මධුසරංග තුවාල වුණේ නාඳුනන තුවක්කුකරුවෙකුගෙන් වෙඩිපහරින් කියලා?
උ – එහෙමයි
ප්‍ර – ඒක ස්ථිරයි?
උ – මා දැනට දන්නේ එහෙමයි ස්වාමීනි.
ප්‍ර – ඒක තමයි මහත්මයා සොයාගත්තේ?
උ – එහෙමයි ස්වාමිනි
ප්‍ර – මහත්මයාගේ සාක්ෂිය අනුව, මහත්මයා ඔය මතයට ආවේ මාතර ඔය විමර්ශනය භාරව ඉන්න නිලධාරීන්ගෙන් කරුණු විමසලා?
උ – ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී, මාතරින් ස්වාමීනි
ප්‍ර – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කවුද?
උ – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ.
ප්‍ර – මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මහත්මයට කිව්වේ ඔය විදිහට වුණා කියලද?
උ – එහෙමයි ස්වාමිනි.
….
ප්‍ර – තාමත් විශ්වාස කරන්නේ එහෙම?
උ – වෙන දෙයක් දැනගන්න ලැබුණේ නැහැ ස්වාමීනි, ඒ නිසා.
වැලිගමදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියාට වෙඩි වැදුණේ වැලිගම පොලිසියේ ජංගම රථයේ යුක්තිය මෙහෙයුමේ යෙදමින් සිටි හමුදා නිලධාරියකුගෙන් බව රටම දැනගෙන සිටියත්, වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා දිගින් දිගටම කීවේ තමා දන්නේ නාඳුනන තුවක්කුකරුවකුගෙන් වෙඩි තැබූ බවට යන්නය. මෙම කමිටුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම සාක්කි ලබාදීම දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ. ඔහු මෙම සාක්කි ලබා දුන්නේ කාවෙනුවෙන්ද යන්න ගැන කමිටුව ප්‍රශ්න කර ඇත.
කමිටුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නිලධාරියාගේ සාක්කි අනුව මීට වසර 20කට පමණ පෙර එනම් 2003දී ඔහු සහකාර පොලිස් අධිකාරී අවිස්සාවෙල්ල ලෙස කටයුතු කරද්දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියකු මරණයට පත්වීමේ සිද්ධිය හොඳින් මතක බව පෙනුනත්, තමාගේ අධීක්ෂණය යටතේ තිබුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සිදුවීම ගැන රටේම ප්‍රචාරය වී තිබියදීත් ඔහු නොදන්නා බව පෙන්වීම ප්‍රශ්න සහගත බවයි. දිගින් දිගටම බොරු සාක්කි දෙද්දි ඔහුගේ හැසිරීම ගැන කමිටුවේදී ප්‍රශ්න කළ අතර එම කොටස් ද කමිටු වාර්තාවට ඇතුළත් කර තිබේ.
ප්‍ර – චන්ද්‍ර කුමාර මහත්මයා, ඔබ නියෝජ්‍ය පොලිස්පතිවරයා නේ?
උ – එහෙමයි ස්වාමීනි
ප්‍ර – ඔබතුමා දිගටම ලංකාවේ හිටියද?
උ – එහෙමයි ස්වාමිනි
ප්‍ර – අසනීප තත්ත්වයක් මොනවා හරි තිබෙනවාද?
උ – නැහැ, ස්වාමීනි
ප්‍ර – දැනටත් නැහැ නේද?
උ – නැහැ
ප්‍ර – ඔබතුමා හරියට කකුල් ගස්සන නිසා ඇහුවේ මම. හොඳට ඉන්න, සන්සුන්ව.
උ – පළමුවැනි වතාවට ස්වාමිණි
පරීක්ෂණ කමිටුවෙන් –
ප්‍ර – මොකක්ද කිව්වේ?
උ – මේවගේ ප්‍රකාශයක් දෙන්නේ පළමුවැනි වතාවට ස්වාමීනි,
ප්‍ර – මොනවගේ ප්‍රකාශයක් ද?
උ- මේවගේ කොමිෂන් සභාවක් ඉදිරියේ.
ප්‍ර – සාක්ෂි දීලා නැද්ද කලින්?
උ – කොමිෂන් සභාවක් ඉදිරියේ දීලා නැහැ ස්වාමීණි.
ප්‍ර – උසාවිවල සාක්ෂි දීලා තිබෙනවද?
උ – එහෙමයි ස්වාමීනි
කමිටුවට අසත්‍ය කරුණු කී බව එක්තරා අවස්ථාව ඔහු පිළිගත්තේය.
ප්‍ර – මම දන්නෑ කිව්වේ අසත්‍යක්ද?
උ – එහෙමයි ස්වාමීනි
ප්‍ර – ඇයි අසත්‍ය ප්‍රකාශ කළේ?
උ – ඒක මට හරියටම නිශ්චිත නැති වුණ නිසා.
ප්‍ර – මම මුලදිත් කිව්වා ඔය වැඩේ කරන්න එන්න එපා.
උ – එහෙමයි ස්වාමිණී. සමාවෙන්න.
ප්‍ර – ප්‍රශ්නයක් ඇහුවම ඒක තේරුම් අරගෙන හරියට උත්තර දෙන්න. ඕන පොඩි ළමයකුටත් තේරෙන්නේ නැද්ද? නෙවිල් සිල්වා අතරමගදි කෝල් කළා නම්, මහත්මයාට කෝල් එක ආවේ 9.30ට නම්, 9.30 වෙනකම් නෙවිල් සිල්වා එතනට ගිහිල්ලා නැහැ. දන්නේ නැහැ කියන්නේ මොකක්? ඒකත් දන්නේ නැත්නම් මහත්මයා මම දන්නේ නැහැ කොහොම රජයේ සේවයේ ඉන්නවද කියලා.
මේ ආකාරයට පොලිස් සේවයට තබා රජයේ සේවයටවත් නොගැලපෙන ලෙස හැසුරුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා තවමත් සේවයේ සිටීම බරපතල තත්ත්වයකි. දේශබන්දු තෙන්නකෝන් දැන් ඉන්නේ ගෙදරය. බොහෝ විට ලබන 05 වැනිදා ඔහු පොලිස් සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිතය. එහෙත් දේශබන්දු බේරා ගැනීමට බරපතල අසත්‍ය කරුණු කී, කමිටුව ඉදිරිපිට පොඩි ළමයෙකු සේ හැසිරුණු නියේාජ්‍ය පොලිස්පති තවමත් තනතුරේ සිටීම මොන තරම් බරපතලද?
මෙම කමිටුවෙන් වැරදිකරු වීම නිසා පාර්ලිමේන්තුවෙන් ගෙදර යවන්නේ එක දේශබන්දු කෙනෙක් පමණි. තවත් දේශබන්දුලා ශ්‍රී ලංකා පොලිසියේ තව කොතෙකුත් සිටිති. ඔවුන් සම්බන්ධයෙන් ද නොපමාම අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් දේශබන්දුගෙන් පොලිසියට සිදුවූ අපකීර්තිය මෙන් දෙතුන් ගුණයක් වැඩි අපකීර්තියත් නැවත සිදුවීමට පිළිවෙන.

(2025 ජූලි 17 ඉරිදා දිවයින පුවත්පතේ පළවූ ලිපිය)

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here