(තරිඳු ජයවර්ධන)
ඒ 2018 වසරේ නොවැම්බර් මස 30 වැනිදා ය. ඔක්තෝබර් 26 වැනිදා හදිසි ආණ්ඩු මාරුවෙන් දින 34කට පසු එළඹි දිනය විය. හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉවත් කර හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කර හරියටම මාසයක් පිරෙන දිනය විය. පාර්ලිමේන්තුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් සම්මත කිරීමෙන් පසු එළැඹි 15 වැනි දිනය විය.  ඒ වන විට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් පසු ආණ්ඩුවට එකතු වෙතියි සිතූ එජාප මන්ත්‍රීන් නොසිතූ ලෙස මගහැරීම නිසා සිරිසේන ජනාධිපතිවරයාගේ මෙන්ම ආණ්ඩු බලය ලබා ගත් පිරිසේද සිහින බොඳ වෙමින් තිබිණි.
දේශපාලන උණුසුම මධ්‍යයේ 2018 නොවැම්බර් මස 30 වැනිදා එළි වූයේ මඩලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් පොලිස් බල ප්‍රදේශයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ඝාතන නිසා සමාජයම සලිත කරමිනි. ඔවුන් ඝාතනය කෙරුණේ පොලිස් මුරපොළකදීය.
සිද්ධිය වාර්තාවීමත් සමඟ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශේෂ හෙලිකොප්ටරයකින් මඩකලපුව බලා පිටත් විය. එම ගමනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ද සම්බන්ධ විය. සිද්ධිය වූ ස්ථානය දැකබලාගත් ජයසුන්දර මහතා එම අවස්ථාවේ විමර්ශන බාර ගන්නා ලෙස රවී සෙනවිරත්න මහතාට උපදෙස් දුන්නේය. වාචිත උපදෙස් මත රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර පසුව පොලිස්පතිවරයාගෙන් ලිඛිත උපදෙස් ද ලැබිණි.
විමර්ශන සඳහා රහස් පොලිසියෙන් පොලිස් අධිකාරී ජයසිංහ මහතා සහ විශේෂ විමර්ශන ඒ්කකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් වව්නතිව් බලා පිටත් වූහ. ඔවුන් එහි යන විටත් වව්නතිව් ඝාතනවලට සැකපිට අජන්තන් නමින් හැඳින්වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චි පොලිසියට දැනුම් දී තිබිණි.
එදා මිය ගිය එක් පොලිස් නිලධාරියකු වූයේ ප්‍රසන්නය. ගාල්ල උඩුගම පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 82162 ඩබ්ලිව් ජී එන් අයි ප්‍රසන්න 35 හැවිරිදි වියේ පසු විය. පෙරපාසල් වියේ පසුවන දරුවෙක් ඒ වන විට ඔහුට සිටියේය. ත්‍රස්ත විමර්ශන අංශයේ රාජකාරි කර වව්නතිව් පොලිසියට පැමිණි ඔහු 2019 ජනවාරි මාසයේ ස්ථාන මාරු ලැබීමට නියමිතව සිටියේය. අම්පාර කල්මුණේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 8624 ජී දිනේෂ් මිය යන විට 28 වැනි වියේ පසු විය. ත්‍රිකුණාමලයේ රාජකාරි කරමින් සිටි ඔහු වව්නතිව් පොලිසියට පැමිණ වැඩි කාලයක් ගතවී තිබුණේ නැත.
2018 නොවැම්බර් 29 වැනි දා වව්නතිව් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත රාජකාරි නිවාඩු ගොස් සිටියේය. ඒ ඔහු ඊට පෙර රාජකාරි කළ පොලිසියට යෑම සඳහාය. ස්ථානාධිපතිගේ රාජකාරි ආවරණය කළේ එම පොලිසියේ සිටි උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාගෙන් එක් අයකු වන කේ එම් ආරියසේන මහතාය. 29 වැනි දා රාත්‍රී 10 සිට පසුදින අලුයම 01 දක්වා මඩකලපුවේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙස ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් නියෝග ලැබුණෙන් වව්නතිව් පොලිසිය ද එය ක්‍රියාත්මක කළේය. මඩකලපුව දිස්ත්‍රික්කයේම එම විෂේෂ මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම අවසන් වූයේ අලුයම 01ට පමණය.
සිදුවීම වූ පොලිස් මුරපොල පිහිටියේ වව්නතිව් පොලිසියේ සිට කිලෝමීටර එක හමාරක පමණ දුරිනි.  පොලිස් මුරපොළට  කිලෝමීටරයක් දුරින් (මහාමාර්ගයේ දුර අනුව) ගුවන් හමුදා  කඳවුරක් ද පිහිටියේය. හිටපු නාවික හමුදාපති මෙන්ම එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කරමින් සිටි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් කරනු ලැබුවේ නොවැම්බර් 28 වැනිදා එනම් මෙම සිද්ධිය වූ 30 වැනිදාට දෙදිනකට පෙරදීය. කප්පම් ගැනීම සඳහා තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහු රිමාන්ඩ් කරනු ලැබිණි. ඒ අතුරු කතාවකි.
මෙම සිද්ධිය වූ නොවැම්බර් 29 වැනි දා මුරපොළේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සටහන් යොදා දානමය කටුත්තකට පිටව ගොස් තිබිණි. විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වූ බැවින් එදින පොලිස් මුරපොළේ තිදෙනෙක් රාජකාරි කළහ. මෙහෙයුම අවසන් වීමෙන් පසු අලුයම 1ට එක පොලිස් නිලධාරියකු යළි පොලිසියට ගොස් සිටි අතර ඉන් අනතුරුව පොලිස් මුරපොළේ සිටියේ ප්‍රසන්න සහ දිනේෂ් පමණි.
උදෑසනම  එම ස්ථානයට ගිය තවත් පොලිස් කොස්තාපල්වරයකු දැක ඇත්තේ පෙරදින රාත්‍රී රාජකාරි කරමින් සිටි කොත්සාපල්වරුන් දෙදෙනාගේ මළ සිරුරුය. ඔහු දුරකතනයෙන් ඒ බව පොලිසියට දැනුම් දී ඇති අතර ඒ සමඟම වව්නතිව් පොලිසියේ පිරිස එම ස්ථානයට ගොස් තිබේ.  කොස්තාපල්වරුන් දෙදෙනාගේ රිවෝල්වර වර්ගයේ ගිනි අවි දෙක සහ උණ්ඩ 10ක් ද අතුරුදන්වී තිබිණි.
දිනේෂ් නම් පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර වැටී තිබී ඇත්තේ මුරපොල අසල එළියේය. ඔහුගේ අත් දෙක ඉදිරිපසට කර ගැට ගසා තිබුණු අතර පිටුපසින් හිසට වෙඩි තබා තිබිණැයි පොලිසිය කියයි. ප්‍රසන්න නම් කොස්තාපල්වරයා ඒ අවස්ථාවේ සිට ඇත්තේ මුරපොළ ඇතුලේ  තිබුණු ඇඳක් මතය. ඔහුගේ අත් දෙකේ කැපුම් තුවාල රැසක් තිබූ ඇති අතර බෙල්ලේ ද දරුණු කැපුම් තුවාලයක් තිබුනු බව පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබිණි.
වව්නතිව් 

 

වව්නතිව් යනු යුද සමයේ එල්ටීටීඊයේ නායකයකු වූ කර්නල් කරුණා අම්මාන්ගේ අණසකට යටත්ව තිබූ ප්‍රදේශයකි. කරුණාගේ හොඳම ගෝලයා වූ පිල්ලෙයාන්ගේ අනසකද මෙමෙ ප්‍රදේශයේ නොඅඩුව තිබිණි. යුද්ධයෙන් පසු අදාල ප්‍රදේශයේ වැඩිපුර අණසක පතුරාගෙන සිටියේ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ය.  නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසු වව්නතිව් පොලිසිය ආරම්භ කර ඇත්තේ 2007 වසරේ ජූලි මස 26 වැනි දා ය. වව්නතිව් මුල්ම පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක සමින්ත කුමාර මහතාය.
යුද්ධයෙන් පසු මෙම ප්‍රදේශයෙන් ප්‍රචණ්ඩක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, මහවිරු සමරුව සෑම වසරකම ඉතා සුළුවෙන් සැමරුවත් කළහකාරී සිද්ධි කිසිවක් වාර්තා නොවූ බවත් පොලිසිය කීවේය.
 මහවිරු සමරුව
යුද්ධයේ දී මිය ගිය ඥාතී පිරිස් සමරමින් මහවිරු සැමරුම වාර්ෂිකව පැවැත්වෙයි. ප්‍රභාකරන් සමයේ සිට මහවිරු සමරු පැවැති අතර 2009න් පසු මහවිරු සමරු තිබුණේ ඉතාම අල්ප සංඛ්‍යාවකි. යම් තරමකට මහවිරු සමරු පැවැතියේ 2013 දී පමණය. යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් වළ දමා ඇති සුසාන සුද්ධ පවිත්‍ර කර පහන් දල්වා මළවුන් සැමරීම සිදු කෙරෙයි.
අනිකුත් ප්‍රදේශවල මෙන්ම  වව්නතිව්හිදී ද මහවිරු සමරුවක් පැවැත්වීමට සූදානම් කර තිබී ඇත්තේ 2018 නොවැම්බර් 27 වැනි දාය. හට් ගසා තරමක් හොඳින් එය පැවැත්වීමට සූදානම් කර තිබී ඇත්තේ වවුනතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට තරමක් ආසන්නයේය. ඊට හේතු වී ඇත්තේ මිය ගිය අය වැඩිපුර මිහිදන් කළ සුසාන භූමිය පිහිටා ඇත්තේ ද ඒ ළඟම නිසා බව පොලිසිය කියයි. මහවිරු සමරුව ගැන ලැබුණු තොරතුරු අනුව නොවැම්බර් 26 වැනි දා වව්නතිව් පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ ස්ථානයට ගොස් හට් ගසා මහා පරිමාණයෙන් මහවිරු සැමරුම සිදු නොකර ලෙස සංවිධායකයන්ට දැනුම් දී තිබේ. වව්නතිව්හි කන්නන්කුඩා කරනයාකාන්තිවු පදිංචි කදිරමාතම්බි ඉරාජකුමාරන් ද මහවිරු සමරුවට සහභාගී වී සිටියහ.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මරා දැමුණු පසු ප්‍රදේශයේ විවිධ කතා පැතිරෙන්නට හෝ පතුරුවන්නට විය. ඉන් එකක් වූයේ මහවිරු සමරුව නතර කරන ලෙස දැනුම් දුන්නේ මිය ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා බවයි. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා එවැනි දැනුම් දීමක් කර තිබුණේ නැත.  ස්ථානාධිපතිගේ දැනුම්දීම මත මහා පරිමාණයෙන් මහවිරු සමරු පවත්වන්නේ නැතිව පහන් පත්තු කර සාමාන්‍ය පරිදි මහවිරු සමරුව පවත්වා තිබිණි. එමෙන්ම මහා හයියෙන් ශබ්ද විකාශන යන්ත්‍ර දමා තිබිය දී පොලිස් කොස්තාපල් දිනේෂ් ගොස් එය නතර කරන ලෙස දැනුම් දුන්නේයැයි කතාවක් පැතිරවූ අතර එයද සම්පූර්ණයෙන්ම අසත්‍යකි. මහවිරු සමරුව දා හෝ ඊට පසු දින කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තාවූයේ ද නැත.
පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය වාර්තා වූයේ මහවිරු දිනයට දින තුනකට පසු 30 වැනි දා අලුයමය. දිගනදී ප්‍රචණ්ඩක්‍රියාවලට ඊට දින ගණනාවකට පෙර පහරකෑමට ලක්වූ පුද්ගලයකුගේ සිද්ධියක් ඈඳීමට උත්සාහ කළාක් මෙන් වව්නතිව් ඝාතනවලට ද ඊට දින කිහිපයකට පෙර පැවැති මහවිරු දිනය සම්බන්ධ කිරීමේ උත්සාහයක් තිබිණි.
සැකකරුවන් දෙදෙනා
සිද්ධියෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කෙරෙහි අදාල කර ගත්තේ කිසිම ගැටලුවක් නැතිව පැවැත්වූ මහවිරුසමරුවයි. වව්නතිව්හි කන්නන්කුඩා කරනයාකාන්තිවු පදිංචි 40 හැවිරිදි  කදිරමාතම්බි ඉරාජකුමාරන් ( අජන්තන් නොහොත් ‘ඇල්ෆා නයින්’)   මුලින්ම අත්අඩංගුවට පත් විය. ඔහු හමුවීමට පැමිණි බව කියන කිලිනොච්චියේ පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චි පොලිසියටද දැනුම් දී තිබිණි.
කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ කට්සන් පාරේ පදිංචිව සිටි ඔහු ආර් සර්වනාඳන් නම් විය. 48 වැනි වියේ පසුවූ හෙතෙම බට්ටා ලොරියකින් එළවලු ප්‍රවාහනය කරමින් ජීවිකාව කරගෙන ගිය බව පොලිසිය කියයි. වවුනතිව් පොලිසියේ දැනුම් දීම මත ඔහු අත්අඩංගුවට ගැනීමට ගියත් නිවසේ සිට නැත.   තමන් සොයන්නට පොලිසියෙන් ගියේ ඇයිදැයි විමසීමට කිලිනොච්චි පොලිසියට පැමිණි ගිය ඔහු අත්අඩංගුවට ගෙන වව්නතිව් බෙත බාර කෙරිණි.
අජන්තන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට නිදහස්වී පැමිණ දින කිහිපයකින් (ඡායාරූපය තරිඳු ජයවර්ධන)
අජන්තන්ගේ ජැකට්ටුව
පොලිස් නිලධාරීන් ඝාතනය සිදු වූයේ නොවැම්බර් 30 වැනිදා අලුයම වන අතර ඒ දිනවල වව්නතිව් ප්‍රදේශයට වර්ෂාවද වරින්වර ඇද හැලෙමින් තිබී ඇත. සිද්ධියෙන් දිනක් ඇතුළත දී අජන්තන් පොලිස් බාරයට ගෙන තිබුණු අතර ඔහු සටහන් නොදා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියේය. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත ඇතුළු පිරිසකි.
ඔහු එසේ සිටිනා අතරතුර එනම් දෙසැම්බර් මස 03 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරක් ලබා දෙමින් නාඳුනන පුද්ගලයකුගේ ජැකට්ටුවක් අදල බෝක්කුවක් ළඟ තිබෙන බවට දැනුම්දී තිබේ. ඒ අනුව පොලිස් නිලසුනඛයන් එම ස්ථානයට ගෙන ගොස් එම ජැකට්ටුව ඉව කිරීමට සලස්වා තිබුණු අතර එය ඉව කිරීමෙන් පසු පොලිස් නිල සුනඛයා කෙලින්ම ගියේ අජන්තන්ගේ නිවසටය. ඒ අනුව ඒ අනුව අජන්තන් කෙරෙහි සැකය වඩ වඩාත් තහවුරු කරන්නට විය.
සාමාන්‍යයෙන් පොලිස් නිලසුනඛයන්ට ඉව ඇත්තේ පැය 24ක් දක්වා බව කියැවේ. එමෙන්ම වැස්සකින් පසු ඉව නැතිව යන බව ද කියැවේ. සිද්ධියෙන් දින තුනකට හතරකට පසු වර්ෂාව පවා පතිත වූ පසුවත් සුනඛයා අජන්තන්ගේ නිවසට ගියේ කෙසේද? අජන්තන් පොලිස් බාරයට ගත් පසු ඔහු ඊට සම්බන්ධ බවට සැකය සනාථ කිරීමට කිසිවකු අජන්තන්ගේ නිවසේ තිබූ ඔහුගේ ජැකට්ටුවක් බෝක්කුවක් අසලින් තබා ඒ බව රහස් පොලිසියට දැනුම් දුන්නේද ආදී ප්‍රශ්න රැසක් ඒ දිනවල ඉතිරිවී තිබිණි.
ව්‍යාජ බුද්ධි වාර්තා 
මෙම සිදුවීමෙන් පසු 2018 දෙසැම්බර් මස 03 වැනි දා ආරක්ෂක කවුන්සිලයේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ලබා දුන් වාචික උපදෙස් මත බව කියමින් 2018 වසරේ දෙසැම්බර් මස 05 වැනිදාතමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අපරාධ රීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බුද්ධි වාර්තාවක් ලබා දී තිබේ.
2018 නොවැම්බර් මස 29 වැනි දින රාත්‍රී 10.00 සිට 2008 නොවැම්බර් 20 වන දින උදෑසන 6.00 දක්වා කාල පරාසය තුළ අදාල ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති දුරකථන සංඥා කුළුණු උපයෝගී කර ගනිමින් දුරකතන දත්ත පිළිබඳව සිදුකරන ලද තාක්ෂණික විශ්ලේෂණයේදී සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව එම බුද්ධි වාර්තාවේ සඳහන් කර ඇත. එම විශ්ලේෂණය අනුව ප්‍රධාන සැකකටයුතු අයකු ලෙස අනාවරණය වන පුද්ගලයකු ගැන තොරතුරු ලබාදී තිබෙන අතර ඔහු මඩකලපුව තිරුපෙරුන්තුරෙයි පාරේ පදිංචි පුද්ගලයෙකි. ඔහුට අදාලව දක්වා ඇති විස්තරය මෙසේය.
‘විෂයගත පුද්ගලයා වසර 02කට පෙර කටාර් රාජ්‍යයේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ ඇති අතර දැනට අයිත්මලේ ප්‍රදේශයේ වෙළඳසලක් පවත්වාගෙන යන බවත් මොහුගේ බිරිඳ තැපැල් කාර්යාලයක සේවය කරනු ලබන බවටත් අනාවරණය වී ඇත. මොහු පුනරුත්තාපනය නොවූ එල්ටීටීඊ සාමාජිකයකු බවට අනාවරණය වී ඇත. තවද මෙම පුද්ගලයා දේශීය හා විදේශීය හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සමඟ රහසිගතව සම්බන්ධකම් පවත්වනු ලබන බවත් මොහු සමාජයේ සාමාන්‍ය පුද්ගලයකු වශයෙන් පෙනී සිටියද ඉතා ක්‍රියාශීලීව හා රහසිගතව ක්‍රියාකාරකම්වල නිරතවන අයකු වන බවටත් තොරතුරු අනාවරණය වී ඇත.’
ඒ අනුව වව්නතිව් අපරාධය එල්ටීටීඊට සම්බන්ධ පුද්ගලයකු විසින් සිදු කරන්නට ඇතැයි යන සැකය ජනිතවන ආකාරයේ තොරතුරක් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ. ඉන් අනතුරුව දෙසැම්බර් මස 08 වැනිදා දෙවැනි තොරතුරු වාර්තාවද එවා ඇත. ‘ශීර්ෂගත සිදුවීම සබැඳිව මෙම අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් සිදුකරනු ලබන විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු යොමුව ‘ආ’ දරණ ලිපිය මගින් ඉදිරිපත් කර ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අනාවරණය වන ලද තොරතුරු ඔබගේ පරීක්ෂණ කටයුතු සඳහා උපයෝගී කර ගැනීම වෙනුවෙන් පහත සඳහන් පරිදි ඉදිරිපත් කරනු ලැබේ.’ යනුවෙන් තොරතුරු අංක 01 සිට 03 දක්වා අයිතම තුනක් යටතේ ඉදිරිපත් කර තිබේ.
එහි පළමු තොරතුර මිය ගිය ගනේෂ් දිනේෂ් නමැතැ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියා ගැනයි.
‘අදාල සිදුවීමේදී මිය ගිය ගනේෂ් දිනේෂ් නැමැති කල්මුණේ ප්‍රදේශයේ පදිංචි දමිළ ජාතික පොලිස් නිලධාරියා ඔහුගේ නිවසේ සිට කිලෝමීටර 03ක් පමණ දුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එම කාන්තාවගේ සැමියා විදේශගතව සිටින බවත්, ඔහු විසින් මෙම කාන්තාව වෙන එවනු ලබන මුදල්ද මෙම පොලිස් නිලධාරියා විසින් ලබා ගැනීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා විය. එම කාන්තාවගේ සැමියා උක්ත සිදුවීම සිදුවීමට සති කිහිපයකට පමණ (නිශ්චිත දිනයක් අනාවරණය වී නොමැත) පෙර මෙරටට පැමිණ ඇති අතර පසුව ඔහු හට බිරිඳ හා ගනේෂ් නැමැති පොලිස් නිලධාරියා අතර පවත්නා අනියම් සම්බන්ධතාවය හා ඇය මාර්ගයෙන් මෙම පොලිස් නිලධාරියා මුදල් ලබා ගැනීම සම්බන්ධව ප්‍රදේශවාසීන් මාර්ගයෙන් ඔහු හට දැනගැනීමට ලැබී ඇති බවට තොරතුරු වාර්තා විය. මෙම අනියම් සම්බන්ධතාවය හේතුකොට ගෙන ඇගේ සැමියා විසින් දෙනු ලැබූ කොන්ත්‍රාත්තුවක් මත හෝ ඇගේ සැමියාගේ මැදිහත්වීමකින් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇත.’
එම වාර්තාවේ තොරතුරු අංක තුන යටතේ ද සඳහන් කර ඇත්තේ එල්ටීටීඊයේ බුද්ධි අංශයේ හිටපු සාමාජිකයන් දෙදෙනකු සම්බන්ධයෙනි. මෙම බුද්ධි තොරතුරෙන්ද මෙම ඝාතන සිදු කළේ සහරාන්ගේ කල්ලිය බවට සඳහන් කර නැති ඇතර අවධානය එල්ටීටීය වෙතම යොමු කර ඇත. 2018 දෙසැම්බර් 14 වැනිදාද බුද්ධි වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
එහි මුලින්ම සඳහන් කර ඇත්තේ 2018 නොවැම්බර් මස 28 වැනිදා මඩකලපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා පැමිණි සිමාජිකයින් කාන්තාවකගේ නිවසකට පැමිණ ගිය බවට තොරතුරු අනාවරණය වූ බවයි. කරයකන්තිව් කන්නන්කුඩාහි පදිංචි එම කාන්තාව එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකාවක්ව සිට තුවාල ලැබූ අයකු බවත්, විදේශගත එල්ටීටීඊ දස්බන්ධව සිටි සාමාජිකයින් සමග සමීපව ඇසුරු/කටයුතු කරන මෙම කාන්තාව සියලු පහසුකම් සැලසූ බවටත් තොරතුරු මගින් අනාවරණය වූ බවයි.  එනම් එමගින් මෙම ඝාතනවල සැකය තවදුරටත් එල්ටීටීඊය වෙත තල්ලු කිරීමට පිටිවහලක් ලබා දී තිබේ.
යුද හමුදා බුද්ධි මණ්ඩලයේ ඊළඟ වාර්තාව ලබා දෙන්නේ 2019 ජනවාරි මස 03 වැනිදාතමිනි. එහි සඳහන් වූයේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායකයකුගේ අවශ්‍යතාවය මත වැලිකන්ද වඩුමුනෙයි මිතන්ඩමිල් ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඔහුට චෙන්කලඩි පිල්ලුමලෙයි පදිංචි හිටපු එල්ටීටීඊ සාමාජිකයකු සහාය දක්වා ඇති බවට අනුමාන කරන බව ද එහි සඳහන්වේ.  එම බුද්ධි තොරතුර පරීක්ෂා කිරීමෙන්ද පෙනී යන්නේ වව්නතිව් ඝාතන සිදු කර ඇත්තේ එල්ටීටීඊය හෝ ඊට සම්බන්ධ පුද්ගලයකු විසින් බවයි.
පුණරුත්තාපනය වූ එල්ටීටීඊ සාමාජිකයාගේ තොරතුර
කෙසේ වෙතත් ඊට යම් තරමකට හෝ වෙනත් අදහසක් පුණරුත්තාපනය වූ එල්ටීටීඊ සාමාජිකයකු බව කියන කන්දසාමි ඉන්බරාසා නම් පුද්ගලයා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි.    ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ නැගනහිර පළාතේ කරුණා කණ්ඩායම, පිල්ලෙයාන් කණ්ඩායම, ප්ලොට්, ටෙලෝ, ජිහාත් මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම ඇතුළු සියලුදෙනා නිරායුධ කල යුතු බවත්, ඔවුන්ගේ ආයුධ වව්නතිව් සිදුවීම සඳහා කරුණක් වී ඇති බවත්ය. ඔහු මෙම ප්‍රකාශය කළ බව 2019 පෙබරවාරි මාසයේදී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයද සහතික කර තිබේ.
පාස්කු ප්‍රහාරයට දින 09කට පෙර තවත් බුද්ධි තොරතුරක්
පොලිස් දෙදෙනා ඝාතනය කිරීම එල්ටීටීඊයෙන් හෝ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසින් හෝ සිදු කළ බව ඇඟවෙන බුද්ධි වාර්තා හතරක් එවන ලද යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අප්‍රේල් මස 12 වැනිදා එනම් පාස්කු ප්‍රහාරයට දින 09කට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යුහමු/බුඅම/බුද්ධි/200ඒ්/1/එන්සී/7(වෙළුම 55-170) අංකයෙන් පස් වැනි බුද්ධි වාර්තාවත් යොමු කළේය.  මීට පෙර බුද්ධි වාර්තා හතරටම වඩා එය තරමක් වෙනස් සහ විශේෂ වූ බුද්ධි වාර්තාවකි.
එහි තොරතුරු අංක 01 යටතේ සඳහන් කර ඇත්තේ වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා 2018 වසරේ නොවැම්බර් මස 30 වැනිදා ඝාතනය කරනු ලැබුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ජාතික තවුහිද් ජමාත් හිටපු ප්‍රධානී ඒ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සිටි එම්.සී.එම් සහරාන් මවුලවි හට සම්බන්ධ දැඩි මතධාරී මුස්ලිම් සාමාජිකයන් කිහිප දෙනකු විසින් බවයි. ඊට සහරාන්ගේ සහෝදරයකු වන එම්සීඑම් රිල්වාන් නැමැත්තා හා ආමි මොහිදීන් නැමැත්තා ඊට සම්බන්ධ බවත් එහි සඳහන් කර තිබේ.
ගිනි අවි සොයාගනී
පාස්කු ප්‍රහාරයෙන් පසු සියෝන් දේවස්ථානයේ විමර්ශන සඳහා ගියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතාය. ඔහු මඩකලපුවේ සිටියදී 2019 අප්‍රේල් 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දුරකතන ඇමතුමක්දී කාත්තන්තුඩි පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකු එම පොලිසියට ගොස් රහස් පොලිස් බාරයට ගන්නා ලෙස උපදෙස් දුන්නේය. ඔහු කාත්න්කුඩි පොලිසියට යන විට ස්ථානාධිපතිවරයා නොසිටි අතර උසස් පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡාවකට ගිය බවට දැනගන්නට ලැබී තිබේ. ස්ථානාධිපතිවරයා එන තෙක් රැඳී සිටියදී යම් සැකකරුවකුගෙන් බුද්ධි අංශ පැමිණ ප්‍රශ්න කරනු දක්නට ලැබී ඇත.
ඔහු නමින් මොහොමඩ් ෆරීර් මොහොමඩ් ලෙබ්බෙ ය. සවස 6.45ට පමණ කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණි අතර ඔහු උසස් පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන සැකකරු සමන් වීරසිංහ මහතාට බාර දුන්නේය.
රහස් පොලිස් බාරයට ගත් සැකකරු මඩකලපුවේ සීඅයිඩී කාර්යාලයට රැගෙන ගොස් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර එහිදී සැකකරු ආයුධ ඇතැයි කියන නින්දවූර් නිවසක් ගැන කරුණු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවද මධ්‍යයේ සැකකරු රැගෙන නින්දවූර් නිවසකට ගොස් ඇති අතර එය පරීක්ෂා කරද්දී නිවසේ සඟවා තිබූ රිවෝල්වරයක් සොයාගෙන ඇති අතර ඒ තුල උණ්ඩ 04ක් ඉතිරිව තිබී ඇත. ගිනි අවියේ අංක දෙකෙන් එකක් මකා දමා තිබුණු අතර එක් අක්කයක් ලෙස ඒඑස් 3887 යන්න සටහන් කර තිබිණි. ඔහුගෙන් ලද තොරතුරු අනුව කාත්තන්කුඩි ප්‍රදේශයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැණිනි. තිදෙනාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්තේ තවත් ආයුධ තොගයක් වල දමා ඇති බවට වූ තොරතුරු අනුව සැකකරුවකු රැගෙන ආයුධ වල දමා ඇති ස්ථානය සොයාගොස් තිබේ. ලැක්ටොවත්ත ඉඩමේ ස්ථානයක් සැකකරු විසින් පෙන්වනු ලැබීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය එම ස්ථානය කැනීම් කළේය.
එහි බැරලයක සඟවා වල දමා තිබූ අංක මකා දැමූ ටී56 ගිනි අවියක්, ඊට යොදන මැගසීනයක්, රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ 05ක්, හංගේරියාවේ නිෂ්පාදිත මිලි මීටර 9 වර්ගයේ පිස්තෝලයක්, ඊට යොදන මැගසිනයක් සහ උණ්ඩ තුනක්, ටී 56 උණ්ඩ 24ක්, භාවිත කළ හිස් උණ්ඩ 08ක් ඇතුළු ආයුධ තොගයක් සොයා ගැණිනි.
නින්දවූර්වලින් හමුවූ ගිනි අවිය සහ ලැක්ටොවත්තේ තිබී හමුවූ ගිනි අවිවලින් ගිනි අවියක් වව්නතිව්හිදී 2018 නොවැම්බර් 30 වැනිදා මරා දැමූ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් පැහැරගත් ගිනි අවි දෙක බව පොලිසිය අනාවරණය කර ගත්තේය.
2019 අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදුවල සිදුවීමෙන් පසු හමුවූ කාත්තන්කුඩි නියාස්ගේ සිරුර අසල වැටී තිබුණු ගිනි අවිය වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමට යොදා ගත් ගිනි අවිය බව පසුව හෙළි විය.  එම ගිනි අවිය එරාවුර් පොලිසියේ සේවය කළ ග්‍රාමාරක්ෂකයකුට නිකුත් කළ ගිනිඅවියකි. ග්‍රාමාරක්ෂකයා ගිනි අවිය සමඟ අතුරුදන්වී ඇති අතර පසුව සොයද්දී ඔහු යළි පැමිණ එය බාර දී තිබේ. බාර දුන් ගිනි අවියේ අංකය මකා යළි කොටා තිබී ඇත. පසුව තහවුරු වී ඇත්තේ එලෙස බාර දී ඇත්තේ නියම ගිනිඅවිය නොවන බවයි.  එම ගිනි අවිය යුද හමුදා බුද්ධි අංශ සමඟ කටයුතු කරන මුස්ලිම් කල්ලියකට ලබා දුන් බව ඔහු පසුව පොලිස් විශේෂ විමර්ශන ඒකකට කී බවට තොරතුරු වාර්තාවිය.
ජැකට්ටුවේ සුලමුල
චැනල් ෆෝ නාලිකාවෙන් අසාත් මවුලා නම් පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයා කළ චෝදනා ගැන ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මුල සිට කරුණු සොයා බැලීම සිදු කළේය. එම විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ අජන්තන් නම් පුද්ගලයා වව්නතිව් සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධිය වූ 2018 දෙසැම්බර් 30 වැනිදා දින බවයි. ඒ මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකය විසිනි. එම ඒකකයෙන් අජන්තන් අත්අඩංගුවට ගනිද්දී ඇඳ සිටි ජැකට්ටුව ඊට දින දෙකකට පසු අජන්තට බැලීමට ගිය ඔහුගේ බිරිඳට බාරදී ඇති අතර බිරිඳ එය ගෙනැවිත් නිවසේ තබා තිබේ.
2018 දෙසැම්බර් 03 වැනිදා අජන්තන්ගේ බිරිඳ නිවසෙන් පිටතට ගිය අවස්ථාවක සිවිල් ඇඳුම් ඇඳගත් පොලිසියේයැයි කියනු ලබන පිරිසක් නිවසට ගොස් ඇති බවට කරුණු අනාවරණය වූ අතර බිරිඳ රාත්‍රී රූපවාහිනිය නරඹමින් සිටියදී පොලිසිය නිවසට පැමිණ තිබේ. නිවසේ තිබූ ජැකට්ටුව අතුරුදන්වී ඇති බව ඇය දැනගෙන ඇත්තේ එම අවස්ථාවේදීය.
එම ජැකට්ටුව බෝක්කුවක් යට ඇති බවට තොරතුරු ලැබුණු රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයාගෙන් සහ ඔහු සමග ගිය උප පොලිස් පරීක්ෂකගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ ප්‍රකාශ පරස්පරවීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල තොරතුර ලැබුණු බව කියන කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත්තේය.
වැඩිදුර විමර්ශන කරගෙන යද්දී අනාවරණය වී ඇත්තේ අජන්තන් නම් සැකකරු කොට්ඨාස බුද්ධි ඒකකයෙන් අත්අඩංගුවට රඳවා තබාගෙන පසුව වව්නතිව් පොලිසියට බාර දී ඇති බවයි. ඔහුට එරෙහිව සාක්කි නැති නිසා ඔහු අත්අඩංගුවට ගත නොහැකි බව වව්නතිව් පොලිස් ස්ථානාධිපතිවරයා කියා ඇති බවත්, පසුව අජන්තන් අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන එද්දී ඇඳ සිටි ජැකට්ටුව බෑගයක බදා බෝක්කුවක් යටින් තබා ඇති බවත්, එය ඉව කළ නිල සුනඛයා අජන්තන්ගේ නිවසට ගිය පසු අජන්තන් ගැන සැකයක් ඇති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට වව්නතිව් පොලිස් ස්ථානාධිපතිට සිදුවී ඇති බවත් අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව පසුගිය දා මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම්නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.
එසේම වව්නතිව් සිද්ධිය සහරාන්ගේ කණ්ඩායමේ වැඩක් බවට යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලබාදී ඇති බවත්, එම තොරතුර සඟවමින් මෙය එල්ටීටීඊය සම්බන්ධ සිද්ධියක්යැයි පෙන්වීමට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය උත්සාහ කර ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මීට අදාල කාරණා ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය සතියේ වාර්තා කළේය.
පාස්කු ප්‍රහාරයට අදාලව තවත් බොහෝ තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ. ඒ ගැන පසුව වාර්තා කරමු.

(ඉරිදා දිවයින පුවත්පතේ පළවූ ලිපිය)

(ඡායාරූප තරිඳු ජයවර්ධන)

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here