(තරිඳු ජයවර්ධන)
රන්මුණි යුවේන් ඇන්සලම් ද සිල්වා වැඩතහනමට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු වැඩතහනමට ලක්වූයේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමකට අදාලවය. ඒ මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට අනීතිකව වෙඩි තැබීම සහ එම වෙඩි තැබීමේදී තුවාල ලැබූ නිලධාරියකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙනි. ඔහු වැඩ තහනමට ලක්වන විට වසර 33ක පමණ සේවා කාලයක් ඔහුට තිබිණු අතර විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ තවත් වසරකින් පමණය.
වසරකින් පමණ විශ්‍රාම යෑමට නියමිතව සිටි ඇන්සලම් ද සිල්වාට අවසානයේ අපරාධනඩුවක සැකකරුවකු ලෙස අධිකරණයේ කූඩුවට නගින තැනට පතවූ අතර තමන්ගේ ආයතන ප්‍රධානියාට එරෙහිව යන විමර්ශනයක සාක්කිකරුවකු වීමට ද ඔහුට සිදුවිය. තම ආයතන ප්‍රධානියාට එරෙහි සාක්කිකරුවකු වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඉහළින් ලැබෙන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක නොකර සිටියේ නම් මෙවන් තත්ත්වයක් උදා නොවන බවයි.
ඇන්සලම් ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ බලතල අයුතු ලෙස යොදාගෙන ඇත්දැයි සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් අනුව පත් කළ කමිටුව ඉදිරියේදීය. ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයකු හෝ නීතිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා 2002 වසරේ දී ක්‍රමවේදයක් සකස් කෙරිණි. ඒ 2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතයි. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2002 මාර්තු 26 වැනිදා ය. කෙසේ වෙතත් පනත මගින් නිලධාරියකු ඉවත් කිරීමක් කිසිම දිනක සිදුවී නැත. නිලධාරීන් ඉවත් කිරීමේ පනත ලෙස නම සඳහන් වුවද මේ පනත යටතේ ඉවත් කළ හැක්කේ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පමණි.
ඉතිහාසයේ මුල් වරට මෙම පනත අනුව නිලධාරියකු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වූයේ පසුගිය මාර්තු 25 වැනිදාය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් සහිතව කතානායකවරයාට යෝජනාවක් බාරදීමෙන් පසුවය. එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු 2002 අංක 05 දරණ පනත අනුව චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා කමිටුව පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
අග්‍රවිනිශ්චකාරවරයා විසින් නම් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරයෙක්, අගමැති සහ විපක්ෂනායකගේ එකගත්වය අනුව යෝජනා කරන පුද්ගලයෙක් සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අදාල විෂමාචාර ක්‍රියා සොයා බලන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ යුතුය. අග්‍රවිනිශ්චයකාර මෘදු ප්‍රනාන්දු මහත්මිය විසින් අදාල කමිටුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පත්මන් සූරසේන මහතා නම් කළ අතර අගමැති සහ විපක්ෂ නායකගේ එකගත්වයෙන් පත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල මහතාය. නිල බලයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතා කමිටුවට පත්විය.
මෙම කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ඔවුන් වෙත සහයෝගය ලබා දීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා මහතා පත් කරනු ලැබූහ. ඒ අනුව කමිටුවේ කටයුතු ආරම්භ වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාවෙත චෝදනාපත්‍ර බාරදීම සිදුවිය. චෝදනාපත්‍ර බාරදීමෙන් පසු සාක්කිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයට බාර දුන් අතර පසුගිය සතියේ සිට ඊට අදාලව සාක්කිකරුවන්ගේ සාක්කි ලබා ගැනීම ආම්භ විය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා කමිටුව ඉදිරියේ සාක්කි ලබා දුන්නේ ඒ අනුවය. ඇන්සලම් ද සිල්වා සාක්කි ලබා දුන්නේ ඔහු මෙන්ම දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු වන මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාසන මහතා ඉදිරියේ කැදවන නඩුවකට අදාලවය. ඒ මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියයි. මේ වෙඩි තැබීමේ සිද්ධියේ දී පොලිසියෙන් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයකින් ඇන්සලම්ගේ කණ්ඩායමේ පොලිස් නිලධාරියෙක් මිය ගියේය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම මත ඇන්සලම් ද සිල්වා දීර්ඝ ලෙස සාක්කි ලබා දුන් අතර පසුව දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතාගේ හරස් ප්‍රශ්නවලට ඔහු පිළිතුරු ලබා දුන්නේය.
ඇන්සලම් ද සිල්වා ලබා දුන් දීර්ඝ සාක්කියේ වැදගත්ම කොටස්වල සාරාංශයක් මෙසේය.
‘මම කොළඹ අපරාධ කොට්ඨාසයට ආවේ 2013 වසරේ ඔක්තෝ­බර් මාසයේ දී. මගේ වැඩ තහනම් වුණේ  2025.03.06. සේවය අත්හිටුවද්දී පානදුර දකුණ කොට්ඨාසයේ සේවය කරමින් හිටියා.   2023.12.30 දින වන විට මම කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානා­ධි­පති ලෙස සේවය කරමින් හිටියේ. මා යටතේ අංශ 10ක් පමණ තිබුණා. මට ඉහළින් හිටියේ වැඩ බලන අධ්‍යක්ෂ. ඉන් පසු නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හිටියා. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස වැදගත් වැටලීම්වලට සහභාගී වෙනවා.
වැලිගම සිදුවීමට පෙර ජයතිලක මහතා සමග කණ්ඩායමක් වැලිගමට පිටවෙලා ගියා. 30 වැනිදා අපිට යන්න ලෑස්තිවෙන්න කිව්වා.  හරක් කටාලා පාතාල කට­යු­තු­ව­ලට ලෑස්ති වෙනවා, එම නිසා වැලි­ගම ඩබ්ලිව්15 හෝට­ල­යට ගිහින් එහි තාප්පය­ටයි බෝඩ් එක­ටයි වෙඩි තබන්න කිව්වා. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ කාර්යාලයේ තිබ්බ සාකච්ඡාවකදියි කිව්වේ. නෙවිල් සිල්වා මහත්මයා එලෙස උපදෙස් දුන්නේ දෙසැම්බර් 30 වැනිදා උදේ 9.30ට විතර. 
මේක නීත්‍යනුකූල රාජකාරියක් නෙමෙයි. මේකට තෝරාග්තු කණ්ඩායමේ මම, පොලිස් පරී­ක්ෂක ජගත් නිශාන්ත, පොලිස් පරී­ක්ෂක ගුණ­සිංහ, උප පොලිස් පරී­ක්ෂක මධු­රංග, සාජන් කුමාර සහ සැර­යන් ප්‍රිශාන් හිටියා. ගමන යන්න යොදා ගත්තේ සුදුපාට වෑන් එකක්.   ගමන යන්න කලින් මේක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා නිශා­න්තට කිව්වා. ඒ අනුව ස්ටිකර් වග­යක් ඇලෙව්වා. සුදුපාට වෑන් එක නිල්පාට වගේ වෙන්න සිටිකර් ඇලෙව්වා.  රෑ 8.00ට විතර තමයි කොළඹින් ගියේ.  වාහනයේ අට දෙනෙක් ගියා. මම හිටියේ වාහනයේ පිටුපස ආසනයේ. පිටුපම ආසනයේ මා සමග තවත් සාජන් කෙනෙක් සහ මේකෙදි මිය ගිය නිලධාරියා (උපුල්) ගියා.  උප පොලිස් පරී­ක්ෂක මධු­රංග ළඟ ටී56ක් තිබුණා. තවත් අයෙක් ළඟ ටී56 ක් තිබුණා. මම රාජ­කාරි පිස්තෝ­ලය අර­ගෙන ගියා. පොලිස් පරී­ක්ෂක නිශාන්ත ළඟත් පිස්තෝ­ල­යක් තිබුණා.
වාහනය දෙමටගොට සිට මුලින්ම මගේ ගෙදර ගියා. පියාට කෑම එකක් දෙන්න ඔ්න නිසා මම ගෙදර ගියා. වාහනයේ අංක මාරු කරන්න තීරණය කළා. ඒ අනුව අංක දෙකක් දෙපැත්තෙන් ගැහුවා. අපි ගියේ සිවිල් ඇදුමෙන්. හෙල්මට් දෙකකුත්, ජැකට් දෙකකුත් වෑන් එකේ තිබුණා. මම හිතුවේ ඒවා පෞද්ගලික ඒවා කියලා. පස්සේ දැනගත්තේ වෙඩිතියද්දි අදුරගන්න බැරිවෙන්න දාන්නයි ඒවා ගෙනිහින් තිබ්බේ කියලා.  අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙව්වේ පොලිස් පරීක්ෂක නිශාන්ත. මේ ගමනට කෑමබීමවලට වියදම් කළේ නිශාන්ත.  අධිවේගී මාර්ගයෙන් එළියට ආවේ රෑ 11ට විතර. කොක්මා­දුව පිවි­සු­මෙන් එළි­යට ඇවිත් අපි ස්ථානය සොයා­ගෙන ගියා.  W15 හෝට­ලයේ අයි­ති­කරු මුස­ම්මිල් කියලා මන්ත්‍රී­ව­ර­ය­කුගේ පුතෙක්.   අපි ටිකක් රෑ වෙන­කල් ඉඳලා අලු­යම 2.20ට පමණ ගියා හෝටලය තිබෙන තැනට. මදුරංග කියන නිලධාරියා හෝටලය පැත්තට වෙඩි තිබ්බා. වෑන් එකේ තිබ්බේ ඔටෝ දොරක්. දොර ඇරුණම ටී 56 එලියට දාලා වෙඩි තිබ්බේ හෝටලයේ තාප්පයටයි බෝඩ් එකටයි.
නෙවිල් සිල්වා සමග තිබ්බ සාකච්ඡාවෙදි මදුරංග කිව්වා මම වෙඩි තියන්නම් කියලා. වෙඩි 8ක් 10ක් විතර තිබ්බා. ඒ වෙලාවේ අනිත් ටී 56 තිබ්බේ උපුල් ගාව. වෙඩි තියද්දි අධික ශබ්දයක් ආවා. මම කන්දෙක වහගෙන ඔළුව නමාගත්තා. ඊට පස්සේ මම යමු යමු කිව්වා. ඒ ඒක්කම නැවත වෙඩි සද්ධයක් ආවා.  ඒ අව­ස්ථාවේ උපුල්ට වෙඩි වැදිලා මගේ පැත්තට වැටුණා. අපි කඩා­ගෙන ගියා. මධු­රං­ග­ටත් වෙඩි වැදිලා තිබුණා. අපිට වෙඩි තැබූ කට්ටිය දැක්කේ නැහැ. අපි බිම දිගා වුණා. මම බැලුවා තුවාල වෙලාද කියලා. මමත් අවුට් කියලා තවත් කෙනෙක් කිය­නවා මට ඇහුණා. 
අපි මුලින්ම ඉහළ නිල­ධා­රීන් දැනු­ම්වත් කරන්න කට­යුතු කළා. නමුත් අධ්‍ය­ක්ෂ­ව­රයා අපි වැලි­ගම එනවා කියා දැනු­ම්වත් කර තිබුණේ නැහැ. අපිට තවත් වෙඩි තියයි කියන බයට දුනු­සිංහ නිල­ධා­රියා ඉක්ම­නින්ම අධි­වේගී මාර්ග­යට යන්න පාර බැලුවා. ඊට පස්සේ එක් අයෙක් බැහැලා වාහ­නයේ අංක තහඩු වෙනස් කළා.  පොලිස් පරී­ක්ෂක දුනු­සිංහ ජංගම දුර­ක­ත­න­යෙන් ගූගල් මැප් බලලා පාර­වල් සොයා ගත්තා.  
එතන පොලිස් විශේෂ කාර්ය බළ­කායේ 20ක් විතර හිටපු බස් එකක් තිබිලා තියනවා. ඒ වෙලාවේ බස් එක ස්ටාර්ට් වෙලා නෑ. ඒක ස්ටාර්ට් වුණා නම් සම­හර අද අපිට සාක්ෂි දෙන්න ඉතුරු වෙන්නේ නැතිවෙයි.
පහුවදා නෙවිල් සිල්වා ඇතුළු කණ්ඩායමක් ඇවිත්  කිව්වා වෙන කට්ටියක් වෙඩි තිබ්බේ කියලා කියන්න කියලා. හැමෝම එකම විදිහට කියමු කියලා කිව්වා. ඒ අනුව වැලිගම පොලිසියට සහ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඒකම කිව්වා. මම මහේස්ත්‍රාත් උසාවියටයි, මුලින්ම සීඅයිඩියට ගිය අවස්ථාවෙදියි බොරු තොරතුරු කිව්වේ. පසුව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් ඇත්තම කිව්වා.
මාගේ වසර 35ක සේවා කාලයේ වසර 32ක කාල­යක් කිසිඳු වර­ද­කට සම්බන්ධ නොවී රාජකාරි කට­යුතු කර තිබෙ­නවා. තෙව­රක් එක්සත් ජාතීන්ගේ සාම­සා­ධක රාජ­කාරි කට­යුතු සඳහා ගොස් තිබෙ­නවා. නමුත් මේ අව­ස්ථාවේ මම කන­ගාටු වෙනවා. නිල­ධා­රීන් දෙන අයහ­පත් නියෝග නිසා අද වැඩ තහ­නම් කරලා තිබෙනවා. මට තවම විශ්‍රාම යන්න වසරක කාලයක් තියෙන්නේ. විශ්‍රාම වැටු­පත් නොමැති තත්ත්ව­යට පත්ව තිබෙ­නවා. මේක අනිත් අයටත් හොඳ ආදර්ශයක්. ඉහළ නිලධාරීන්ගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න බැරි නම් ස්ථාන මාරුවක් අරං ගියාන් හොදයි කියලා දැන් තමයි හිතන්නේ.’
දිලීප පීරිස් මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවත් බරපතල කාරණා කිහිපයක් ඇන්සලම්ද සිල්වා අනාවරණය කළේය. එනම් මිය ගිය උපුල් නම් නිලධාරියාට පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් ලක්ෂ 15ක් ලබා දෙන ලෙස ඉල්ලමින් තමා ලියන ආකාරයට ලිපිය සකස් කළේ සහ වව්චරය සකස් කළේ තමන් නොවන බවයි. සිද්ධියෙන් පසු කොළඹ එද්දී දෙසැම්බර් 31 රාත්‍රී 8.20 පමණ වූ බවත් ඒ එන විට අදාල ලිපි සකස් කර තමාගේ අත්සනට තබා තිබූ බවත්, ඒවායේ ඇති අත්අකුරු කවුරුන්ගේදැයි නොදන්නා බවත් ඔහු කීවේය. එසේම මෙම ගමන ගියේ නිසි අවසරයන් නොගෙන බවත්, පසුව පෙරදාතම කර ඉහළින් අවසර දුන් බවත්, ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ දේශබන්දු තෙන්නකෝනගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පොත්පත් නැවත සකස් කළ බවත් ඇන්සලම් ද සිල්වා කීවේය. මෙම සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීම සදහා පැවරූ රිට් පෙත්සමේ නීතිඥ ගාස්තු ලෙස ලක්ෂ 25ක් ලබා දුන්නේ නෙවිල් සිල්වා බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් තමන් සමග ගිය සගයකු මරණයට පත්වීමත්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් සමග ගිය සගයා මරණයට පත්වීම ගැනත් තමන් පසුතැවෙන බව කිසිම අවස්ථාවක ඇන්සලම් සිල්වා කමිටුව හමුවේ ප්‍රකාශ කළේ නැත. ඔහු පසු තැවුණේ ඔහු වැඩතහනම් වීම සහ විශ්‍රාම වැටුම අහිමිවීමේ අවධානම ගැන පමණි.  ඇන්සලම් ද සිල්වා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට (දේශබන්දු සහ ජගත් නිශාන්ත නම් නිලධාරියා හැර) ඇප ලබා දෙන අවස්ථාවේදී මාතර මහේස්ත්‍රාත් බී ඒ  අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙම සිදුවීමේදී නිලධාරීන්ගේ හැසිරීම ගැනත්, හෘද්ද සාක්කිය ගැනත් වැදගත් ප්‍රකාශයක් කළේය.  එය මෙසේය.
‘‘මෙම ඇප අයදීමට අදාලව පැමිණිල්ල විසින් අධිකරණයේ අවධානයට යොමු කරන ලද එක් සුවිශේෂී කරුණකට අදාලව අද දින ඇප මත මුදා හරින ලද සැකකරුවන්ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පැමිණිල්ල එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකරුවන් කිසිවකුත් සිදුවීමේදී තුවාල ලද පසුව එම තුවාල හේතුවෙන්ම මිය ගිය පොලිස් සැරයන් මානින්ගමුව ගෙදර උපුල් චාමින්ද කුමාර යන පොලිස් නිලධාරියාගේ මරණය වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවයි. එමෙන්ම, වැලිගම පොලිස් ස්ථානයේ ජංගම රථයට තම අනන්‍යතාව නිරාවරණය කිරීමෙන් හෝ පළා යාමේ අරමුණින් ඉමදූව අධිවේගී පිවිසුම දක්වා දීර්ඝ වේලාවක් ලේ ගලන තුවාල සහිතව සිටි තුවාලකරුව රැගෙන ගමන් නොකොට නිසි ප්‍රතිකාරයක් සඳහා එම තැනැත්තා ඉදිරිපත් කිරීමට ද මෙම වෑන් රථයේ සිටි සැකකරුවන් කිසිවකුත් ක්‍රියාත්මක වී නොමැති බවයි.
අධිකරණයේ නිරීක්ෂණය වන්නේ ද, මෙම ක්‍රියාවලිය තුලදී තමන් සමග දීර්ඝ කලක් එක්ව සේවය කළ සහෝදර නිලධාරියකුගේ ද පොදු අදහසකින් ගත් කළ මනුෂ්‍යකුගේ ද ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් මෙම එකදු හෝ සැකකරුවකු තම අවම මනුෂ්‍ය වටිනාකම් අවදි කිරීමට කටයුතු කර නොමැති බවයි. වෘත්තීමය වශයෙන් පොදු මහජනයාගේ යහපත අපේක්ෂා කරනු ලබන වැටුපකට වුවද, තම ජීවිතය එම යහපත් අරමුණ වෙනුවෙන් කැප කළ යුතු පොලිස් නිලධාරියකුව සිටිමින් තම සහෝදර නිලධාරියා බේරා ගැනීම වෙනුවෙන් මෙම එකදු හෝ සැකකරුවකු පෙරට විත් නොතිබීම අතිෂය අමානුෂික සහ අපේක්ෂා කළ නොහැකි මට්ටමේ බරපතල වගවීමේ අසමාර්ථාවයක් ලෙස නිරීක්ෂණය කරමි. යම් දුෂ් අරමුණක් දරණ ඉහළ මට්ටමේ බලවන්තයකුගේ අනීතක අපේක්ෂාවන් සිය ස්වාධීන මනුෂ්‍ය වටිනාකම් මත අගය නොකොට එම අනීතික අපේක්ෂාව අනෙකකු වෙනුවෙන් මුදුන්පත් කරවාදීම සඳහා හැගීම් විරහිත යාන්ත්‍රික ස්වරූපයකින් ගිනිඅවි ද අත දරමින් කරනු ලැබූ මැදිහත්වීමේ ඛේදදනීය අවසානය වනුයේ, මනුෂ්‍ය ජීවිතයක් අහිමි වීමයි. එය හුදු මනුෂ්‍ය ජීවිතයක් අහිමි වීමක් පමණක් නොවනුයේ එම ජීවිතය පිටුපස සිටි එම ජීවිතය විසින් රැක බලා ගනු ලැබූ ආදරණීයයන් පිරිසකට මෙම මරණය විසින් යලි කවර මිලක් ගෙවා හෝ ප්‍රතිපූර්ණය කළ නොහැකි අහිමි වීමක්ද, තනි වීමක් ද නිර්මණ්‍ය කරන නිසාවෙනි.
මිය ගිය නිලධාරියා සමග ගිය අද ඇප ලබා තම ප්‍රියයන් වෙත, දරුවන් වෙත නික්ම යන මෙම සැකකරුවන් අතරින් කවරෙකු හෝ තම හෘද සාක්ෂිය අවදි කොට දුස් අරමුණ වෙනුවෙන් තමන් මෙහෙයවන ලද නීති විරෝධී නියෝගය ඉටු කිරීම ප්‍රතික්ෂේප කරන ලද්දේ නම්, එම අවාසනාවන්ත මරණය වළක්වා ගැනීමට ඉඩ තිබිණි.
ධනය, බලය හෝ අන් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා දුෂ් අරමුණක් සහිතව නියෝග නිකුත් කරන කවර තරාතිරමක හෝ තැනැත්තකුගේ කවර මට්ටමක අනීතික නියෝගයකට හෝ එරෙහි වීමට තරම් ශක්තියක් සාමාන්‍ය පුරවැසියන් නිර්මාණය කර ගනු ලැබුවහොත්, ඉතිහාසයේ සිදු වූ සහ අනාගතයේ සිදුවිය හැකි මෙවැනි අවාසනාවන්ත මනුෂ්‍ය ජීවිත අහිමි කිරීම් සහ අහිමිවීම් වළක්වා ගත් හැකි බව අධිකරණය් නිරීක්ෂණයයි. මන්ද, අනීතික නියෝග කොන්දේසි විරහිතව, හැඟීම් විරහිතව සහ සියලු මනුෂ්‍ය වටිනාකම් පසෙකලා ඉටු කිරීමට කාට හෝ පානිච්චි වන මිනිසුන් අවසන් වූ පසු අනීතික අරමුණෙහි අනීතික ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීමට දුෂ් අරමුණු දරන්නෝ අපහොසත් වන හෙයිනි. මෙම සැකකරුවන් කවරෙකුට හෝ එවැනි නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමටත්, තීරණය කිරීමටත් මනුෂයත්වය වෙනුවෙන් සිය හඬ අවදි කරන්නට දක්වනු ලැබූ අපහොසත්භාවයේත් අවාසනාවන්ත ප්‍රතිඵලය වී ඇත්තේ වටිනා මනුෂ්‍ය ජීවිතයක අහිමි වීම බව සියලුම සැකකරුවන් අවධාරණය කර ගත යුතුය.
එවන් ශක්තිම් භාවයක් එම සැකකරුවන්ට තිබුණේ නම් මියගිය නිලධාරියාගේ දරුවන්ද, ප්‍රියයන්ද මෙම සැකකරුවන්ගේ ප්‍රියයන් සහ දරුවන් මෙන්ම සතුටින් සිටින බව නොඅනුමානය. එම සතුට එම දරුවන්ටද, එම ‍ප්‍රියයන්ටද අහිමි කරනු ලැබුයේ වරදට එරෙහිව මනුෂත්වයේ නාමයෙන් මිනිසකු සේ සිතන්නට ද, තීරණ ගන්නට ද, හඬ නගන්නට ද මෙම සැකකරුවන් දක්වන ලද අපොහොසත්භාවය විසින්ය යන පශ්චාත්තාපය  සහ සමනය කළ නොහැකි හෘද සාක්ෂියේ වේදනාව මෙම නීති කෘත්‍යයෙන් ඔබ්බට වුවද, එම සැකකරුවන්ගේ ජීවිකය පුරා පවතිනු ඇතැයි සාමාන්‍ය පුරවැසියකු ලෙස මම සිතමි. එසේ හෙයින් මෙවැනි වරදක් තමන් අතින් හෝ තම පාලනයේ ඇති කවර තරාතිරමකදී හෝ සිදු නොවීමට වගවලා ගත හැකි නම් සහ කවර තත්ත්වයේ හෝ මනුෂ්‍ය ජීවිතවල වටිනාකම සම්බන්ධව මෙම සිදුවීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නොව, වඩා යහපත් මනුෂ්‍ය ප්‍රවේශයකින් කටයුතු කළ හැක්කේ නම්, මෙම වරදේදී එම සැකකරුවන් පෙළෙන එම හෘද සාක්ෂියේ වේදනාව මදදක් හෝ සමනය කර ගැනීමට ඔවුනට   ඔවුනට හැකියාවක් ලැබෙනු ඇතැයි සැලකිල්ලට ගනිමි.’’
මාතර මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන් එම මනුෂ්‍යත්වයේ හෘද්ද සාක්ෂිය තවමත් මෙම සිද්ධියේ සැකකරුවන්ට අවදිවී නැති බව නම් හොඳින් පෙනේ. මාතර මහේස්ත්‍රාත් අරුණළු ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ ඉහත සඳහන පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කිරීම වටී. ඒ තවමත් ඇතැම් පොලිස්වලදී නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සහ මනුශ්‍යත්වය නොසලකා කටයුතු කිරීම සිදුවන බැවිනි.
MediaLK විසින් පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
news@medialk.com
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here