Home අධිකරණය හා නීතිය ප්රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් ! අධිකරණය හා නීතිය ප්රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් ! By MediaLK.com - November 7, 2020 FacebookTwitterPinterestWhatsApp (ශාලික විමලසේන) 2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. ඒ ජනවාරි 24 වැනිදා පස්වරුවේය. මේ 2020 අවුරුද්දේ අවසානයයි. ඒ කියන්නේ යුක්තිය නැතිව වසර දහයකි, දවස් 4,000 කි. ඔහු කවුද ? ඇතැමෙක් ඔහු එල්ටීටීඊකාරයෙක් කරති. ඇතැම් මාධ්‍යවේදීන්ට අනුව ඔහුට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ හැඳුනුම්පතක් නැත. ඒ නිසා ඔහු මාධ්‍යවේදියෙක් නොවේ. ඇතැමෙකුට අනුව ඔහු දේශපාලන ක‍්‍රියාකාරිකයෙකි. අන්තර්ජාතික වශයෙන් පවා ගෞරවයට ලක් වූ කාටූන් ශිල්පියෙකි. අපට ඔහු මේ මහ පොළොවට අත්‍යවශ්‍ය මිනිසෙකි. එයින් අදහස් වන්නේ අනවශ්‍ය මිනිසුන් සිටින බව නොවේ. ප‍්‍රගීත් භාවිතාවෙන් ඔහුගේ වටිනාකම් මහ පොළොව මත තහවුරු කළ නිසා ය. සන්ධ්‍යා එක්නැලිගොඩ නම් ඇයගේ ස්වාමි පුරුෂයා ඔහු ය. සංජය එක්නැලිගොඩගේත්, ඔහුගේ සහෝදරයාගේත් තාත්තා ඔහු ය. අවුරුද්දට ගෙදර ළිපේ කිරිබතක් උයන්නේ නැතිව අවුරුදු දහයක්ම ඔවුහු මගබලා සිටිති. ඝාතනය කරනවාට වඩා අතුරුදන් කරවීම වඩාත් කෲර වන්නේ ඒ නිසා ය. පහසු ක්‍රමය මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැරගැනීම සාධාරණීකරණය කරන්නට හමුදා බුද්ධි අංශය නොයෙක් උත්සාහ දැරීය. එහෙත් අවසානයේදී ඒ සියල්ල අසාර්ථක විය. මිනිසුන් පහසුවෙන් සහ ඉක්මනින් අල්ලාගැනීමේ මාර්ගය ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීමයි. අසූ තුනේ කළු ජූලිය වෙලාවේ කළේද එයමය. මේ කුමන්ත‍්‍රණවල කොනකට ප‍්‍රගීත්වද පටළවාගෙන ඇත. ඒ අපරාධකරුවන්ට සුදු හුණු ගා ගන්නටය. ඒ වෙනුවෙන් මාධ්‍යවේදීහු පිරිසක්ද සැදී පැහැදී සිටිති. යහපාලන මෙහෙයුම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ද මුල් පෙළේ සිටි, මේ ආණ්ඩුවේත් මුල් පෙළේ සිටින පිරිස් අපරාධකරුවන් බේරීමේ මෙහෙයුම්වල සිටී. මොවුන් මේ කරන්නේ අධිකරණයට අපහාස කිරීමකි. අධිකරණය ද ඊට ඉඩ දී බලා සිටී. බලය වෙනුවෙන් ගේම් ගහන දේශපාලන තලයේදී එකදු දේශපාලන පක්ෂයක් හෝ ප‍්‍රගීත් වෙනුවෙන් නිල නිවේදනයක් නිකුත් කළේ නැත. ප‍්‍රගීත්ට අපහාස කිරීමට, ඒ හරහා පූර්ව මැතිවරණ කාලවලදී ජනතාව ඇන්දවීමට එරෙහිව ප‍්‍රබල හඬක් නැගුවේ නැත. තැනින්-තැන හඬ නැගුණද, ඒවා අදටත් ප‍්‍රමාණවත් වී නැත. ජනතාව බලන්නේ බහුතරය දරන අදහස දෙස ය.අධිකරණයට අපහාස කිරීමක් කියා ලිව්වේ මේ නිසා ය. අධිකරණය ‘රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනවලට අනුව මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් කර හෝ නැති බවත්, ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිල වශයෙන්ම හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.’ ඒ කියන්නේ තවදුරටත් මේ කාරණය හගිස්සවන්නට හදන සියල්ලන් පෝලිමේ අධිකරණය වෙත කැඳවිය යුතුය. ‘කෝ සාක්ෂි?’ කියා විමසිය යුතුය. ප‍්‍රගීත් එල්ටීටීඊයෙන් මුදල් ගත් බවටත්, ඔහු මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සඟවන්නට උදව් කළ බවටත් මතයක් සමාජගත කළ යුද හමුදා බුද්ධි අංශයේ අපරාධකරුවන්ට සහාය දෙන්නන්ට, චීවරධාරීන්ට සහ ඒවා ඒ ආකාරයෙන්ම වාර්තා කළ මාධ්‍යවේදීන්ට එරෙහිවද මෙතෙක් ගත් පියවරක් නැත. යුද හමුදාව දිගින් දිගටම මේ සිද්ධියට අදාළ ලිපි ලේඛන අධිකරණයට භාරදීම මගහරිමින් සිටියේය. ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුර හරහා සිදු වූ බවට සාක්ෂි හෙළිදරව් වෙමින් තිබූ මේ අපරාධය වසන් කිරීම දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව අපරාධමය වරදකි. ප්‍රගීත් වැරදි නම්, ඔහුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොකරන්නේ ඇයි? පසුගිය ආණ්ඩුව පැවැති කාලයේදී ප‍්‍රගීත් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන ස්ථිර තැනකට එමින් තිබිණි. එහෙත් ඊට ඒ ආණ්ඩුවේ ම ඩීල්කාර මහත්තුරුන් ඉඩදුන්නේ නැත. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල කළ බවට ද මාධ්‍ය වාර්තා කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල කළ බවට ද මාධ්‍ය වාර්තා කළේය. මාධ්‍ය වාර්තා කළ ආකාරයට වරක් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කැඳවූ එවකට ජනාධිපතිවරයා පවසා තිබුණේ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන ලෙසයි.සියලුම වෘත්තීන්ට ගරු කළ යුතුය. ඒ අතර හමුදා වෘත්තිය සම්බන්ධයෙන් යුද්ධයත් සමග සමාජයේ ඇති වූ වෙනම විශේෂ කොට සැලකීමක් ඇත. එය ඡන්ද පදනමට සෘජුව බලපාන්නක් බව කොයි ආණ්ඩුවත් දන්නේය. එහෙත් එසේ කියා හමුදා වෘත්තියේ ගරුත්වය කෙළෙසමින් අපරාධ කළ අයට මුක්තියක් හිමිවිය යුතුද? එසේ මුක්තියක් ලබාදීමට රටේ ඉහළම බලධාරීන් කටයුතු කරන්නේ නම් ඔවුන් කරන්නේද ඒ තරම්ම බරපතළ අපරාධයකි. අපරාධකරුවන්ට මුක්තිය සන්ධ්‍යා එක්නැලිගොඩ නම් යකඩ ගැහැනිය තවදුරටත් සිය ස්වාමියා අතුරුදන් කළ අපරාධයට එරෙහිව යුක්තිය ඉල්ලන්නේය. ඇයට යුක්තිය හිමිවිය යුතුය. යුක්තිය ඉටු නොවීම තුළින් අපරාධකරුවන්ට මුක්තිය හිමිවීම වැළැක්විය යුතුය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි අධිකරණය හා නීතිය Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before SC අධිකරණය හා නීතිය දේශබන්දු අධිකරණයට – සම්පූර්ණ කතාව LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.