Home පුවත් අම්බුළුවාව වෙනම රාජධානියක්ද? පුවත්හෙළිදරව්ව අම්බුළුවාව වෙනම රාජධානියක්ද? By www.medialk.com - November 20, 2025 Facebook Twitter Pinterest WhatsApp (තරිඳු ජයවර්ධන) “ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම මෙහි භාරකාර මණ්ඩලය දි.මු.ජයරත්න මැතිතුමාගෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුතාටත්, ඉන් අනතුරුව දිගින් දිගටම එම පරම්පරාවත් එක්ක ගැට ගැහී යන නිසාත්, එය මේ රටේ මහජන දේපොළ අනියම් ආකාරයකින් තමන්ගේ පරම්පරාවට ලියා ගැනීමක් ලෙස අපි දකින නිසාත් මෙම පනත් කෙටුම්පතට අපි විරුද්ධයි. එම නිසා මෙම පනත් කෙටුම්පතට අපේ විරුද්ධත්වය සටහන් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා.” ඒ අපේ රටේ ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා මීට වසර 16කට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකි. අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රකාශය කළේ 2009 ජූලි මස 22 වැනිදා ‘2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල් පනත’ සම්මත කරගන්නා අවස්ථාවේදීය. අම්බුළුවාව ගැන ඉහත සඳහන් කළ නීතිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට ඉදිරිපත් කරද්දී එවකට වැවිලි කර්මාන්ත අමාත්‍ය දි. මු. ජයරත්න මහතා අම්බුළුවාව ගැන පාර්ලිමේන්තුවේ දී කීවේ මෙසේය. “අම්බුළුවාව මුහුදු මට්ටමේ සිට අඩි 3,567ක උසින් යුක්තය. අම්බුළුවාව චෛත්‍ය මුදුනේ සිට මහා සයුර නිරීක්ෂණය කළ හැක. අම්බුළුවාව ගම්පොළ නගරයට බටහිරින් පිහිටා ඇත. එය මහනුවර දිස්ත්‍රික්කයත්, කෑගල්ල දිස්ත්‍රික්කයත් බෙදා වෙන් කරන මහ පවුරක් වැන්න. පුරාණ කාලයේදී අම්බුළුවාව කඩවතක් සේ භාවිත කර ඇති බව පිළිගත් කරුණකි. ඉන්සෙල්බර්ග් වර්ගයේ පර්වතයකින් සැදුම් ලත් අම්බුළුවාව ඒ හේතුවෙන් ඛානදනය අවම ස්ථායී කන්දකි. අම්බුළුවාව ක්ෂණික වෙනස් වන කාලගුණ තත්ත්වයකින් යුක්තය. විටෙක මීදුම් වලාවකින් වැසී යන කඳු මුදුන ස්වල්ප මොහොතකින් රන්වන් හිරු රැසින් නැහැවෙයි. වර්ණවත් දේදුන්නෙන් අවට පරිසරය ඔපවත් කරන අම්බුළුවාවේ උෂ්ණත්වයේ සාමාන්‍යය සෙල්සියස් අංශක 21කි. ඉතා සුවදායක පරිසර තත්ත්වයකින් හෙබි අම්බුළුවාවේ රාත්‍රී සිසිල් බව තරමක් වැඩි වන අතර, එහි අගය සෙල්සියස් අංශක 18-20 අතර වේ. අම්බුළුවාව සිසිල් සුළඟින් යුතු වන අතර, සුළඟේ වේගය අල්පය. කඳු මුදුනක පමණක් වේගවත් සුළං ධාරා වරින් වර ඇතිවේ. මධ්‍යම පළාතට උරුම සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයකින් හෙබි අම්බුළුවාවේ දේශගුණ තත්ත්වය තුළ පැළෑටි හා මල් අතිදීප්තිමත් ස්වභාවයක් උසුලයි. අම්බුළුවාවේ පස් වර්ග 11ක් දැකිය හැකි අතර, ආවේණික සත්ත්ව හා ශාක වර්ග රැසකින් සමන්විතය. ඉර පෑයීම හා බැසීම අම්බුළුවාව තුළ අයස්කාන්ත දර්ශනයකි.” අම්බුළුවාව ගැන අපි සොයා ගියේ දි. මු. ජයරත්න මහතා මීට වසර 16කට පෙර පාර්ලිමේන්තුවේ දී කී එම අයස්කාන්ත හෝ මනස්කාන්ත දසුන් සොයාගෙන නොවේ. අපි අම්බුළුවාව සොයා ගියේ අම්බුළුවාවේ ආරක්ෂාව සඳහා සහ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් කාලයක් තිස්සේ සටන් කරන ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියට නීතිපති දෙපාර්තමේන්තුව කළැයි කියන දැඩි අසාධාරණයක් ගැන කරුණු සොයනා ගමනේ කොටසක් ලෙසය. ඒ අම්බුළුවාවටම අදාළ සිද්ධියකට ප්‍රාදේශීය ලේකම්ට පැවරූ නඩුවක දී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු හෝ ලේඛන අධිකරණයට ඉදිරිපත් නොකර ප්‍රාදේශීය ලේකම්වරිය නඩුවෙන් පරාද වෙන තැනට පත් කිරීම ගැනය. අම්බුළුවාවට ගිය අපට දැක ගැනීමට හැකිවූ මනස්කාන්ත දර්ශනය පිටුපස සැඟවුණු බරපතල කතා ගණනාවක් තිබේ. මේ ඉන් එක් කතාවක් පමණි. අම්බුළුවාව කඳු මුදුනේ ඉදිකිරීමක් සම්බන්ධයෙන් වන ඉතිහාසය දි. මු. ජයරත්න මහතාගේ 2009 ජූලි 22 දිනැති පාර්ලිමේන්තු කතාව අනුව මෙසේය. මෙම උපුටා ගැනීම හැන්සාඩ් වාර්තාවේ 227 තීරුවෙනි. “වර්ෂ 1997 මාර්තු මස 21 වන දිනට යෙදී තිබුණු පළාත් පාලන මැතිවරණයක් ප්‍රචාරක රැස්වීමක් වෙනුවෙන් එමස 17 වැනි දින අම්බුළුවාව ගම්මානය වෙත පැමිණි දිනය මාගේ මතකයේ සදා තැන්පත් වී ඇත. කථිකයන් රැසක් රැස්වීම් සභාව අමතමින් සිටිය ද මගේ අවධානය යොමු වී තිබුණේ ඉහළින් දිස්වන අම්බුළුවාව ගිරි ශිඛරය වෙතය. කිහිප දෙනෙක් පැමිණ දැන් සර්ගේ කථාව තියෙන්නේ යැයි මා වෙත සිහිපත් කරන තුරුම මා සිත අම්බුළුවාව වෙත සමවැද තිබිණි. ‘වැඩිය කථා කරන්න අවශ්‍ය නැහැ. මේ අවට ඉඩම් ඔක්කොම වගේ මම ඔබලාට බෙදා දුන් ඒවායි. ඉතින් මේ පාර, ප්‍රාදේශීය සභාව ඉහළින් දිනවන්න කටයුතු කරොත් මම තමුන්නාන්සේලාට ප්‍රයෝජනවත් වන විදිහට මේ අම්බුළුවාව කන්ද දියුණු කරනවා’ මගේ කථාව එපමණකට සීමා කළේ අනාගත අම්බුළුවාව ගැන ඇඳුණු පළමු සිහිනය අතරය.” දි.මු. ජයරත්න මහතා එදා ඒ කී අම්බුළුවාව අද පාලනය වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 2009 ජූලි 22 දින සම්මත කරන ලද 2009 අංක 44 අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත මගිනි. එදා එම පනතට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වූයේ මෙය මහජන දේපොළ අනියම් ආකාරයකින් තමන්ගේ පරම්පාරවට ලියා ගන්නා නීතියක් ලෙස කියමිනි. මෙම පනත සම්මත කරන දිනයේ දී ඊට එරෙහිව දීර්ඝතම කරුණු දැක්වීම කළේ එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ය. ඔහුගේ කරුණු අතර එක් ප්‍රධාන තර්කයක් වූයේ අම්බුළුවාව නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය මුදල් භාවිත කර ඇති බවත්, එලෙස රාජ්‍ය මුදල් භාවිත කර හැදූ අම්බුළුවාව දි. මු. ජයරත්න මහතාගේ පවුලේ දේපොළක් බවට මෙම පනත මගින් පත් කරන බවයි. මෙම පනත අනුව අම්බුළුවාව යනු රාජ්‍ය ආයතනයකි. පනතේ 14 වැනි වගන්තිය අනුව අම්බුළුවාවේ නිලධරයන් සහ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව රජයේ සේවකයන් වේ. එසේම පනතේ 15 වගන්තිය අනුව අරමුදල අල්ලස් පනතට අදාළ වේ. කෙසේ වෙතත් මෙම පනත අනුව අම්බුළුවාවේ (අරමුදලේ) නිර්මාතෘවරයා දි. මු. ජයරන්ත මහතා වන අතර ඔහුගේ ඇවෑමෙන් එම තැනට පත්විය යුත්තේ ඔහුගේ පුතා ය. පුතාගෙන් පසු එම තනතුරට පත්විය යුත්තේ පරම්පරාවෙන් පැවත එන වැඩිමහල් පිරිමි තැනැත්තකු බව එහි සඳහන් ය. මෙම අරමුදලේ පරිපාලනය, කළමනාකරණය සහ පාලනය සඳහා පනත මගින් භාරකාර මණ්ඩලයක් සකස් කර ඇති අතර එම මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ අරමුදලේ නිර්මාතෘවරයා (දි. මු. ජයරත්න සහ ඉන් පසු ඔහුගේ පුතා සහ පසුව වැඩිමල් පිරිමි දරුවන්), නිර්මාතෘවරයා විසින් පත් කරන තවත් හත් දෙනෙක්, පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බුද්ධ ශාසන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා ය. එනම් 10 දෙනකුගෙන් යුත් මණ්ඩලයේ 08 දෙනෙකු අති බහුතරයක් ඇත්තේ එකම පාර්ශ්වයකටය. අම්බුළුවාව ඉදිකිරීම සඳහා ද රාජ්‍ය මුදල් කෝටි ගණනින් භාවිත කර ඇතත් මේ ලිපිය මගින් ඒ ගැන කරුණු ඉදිරිපත් නොකෙරේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පිහිටු වූ අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල සම්බන්ධයෙන් 2010 සිට මේ වන තෙක් බරපතල කරුණු ගණනාවක් විගණකාධිපතිවරයා විසින් හෙළිදරව් කරනු ලැබ ඇත. එහෙත් ඊට අදාළව අල්ලස් පනත හෝ පොදු දේපොළ පනත හෝ යටතේ නීතිමය පියවරක් මෙතෙක් ගෙන නැත. විගණකාධිපති හෙළිදරව් කරන කරුණුවලින් කිහිපයක් මෙසේය. පනත මගින් මෙම අරමුදල පිහිටු වූයේ 2009 වසරේ දී වන අතර ඉන් පසු එළඹි පළමු වසර වන 2010 වසරේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණනයෙන් පසු විගණකාධිපතිවරයාගේ මතය ලෙස දක්වා ඇත්තේ එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ” යනුවෙනි. විගණකාධිපතිවරයා දක්වා ඇති 2010 වසරට අදාළ ගිණුම්කරණ අඩුපාඩු කිහිපයක් මෙසේය. “විගණනයට ඉදිරිපත් වූ ගිවිසුම් ප්‍රකාරව ලැබිය යුතු රුපියල් 993,000ක දුරකථන කුලුනු බිම්කුලී ගිණුම්ගත කර නොතිබීම, අම්බුළුවාව අරමුදල වෙනුවෙන් මහා භාරකරවරයා විසින් 2009 ඔක්තෝබර් 25 දින ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ඇති රුපියල් 15,000,000ක ස්ථාවර තැන්පතුව වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා උපචිත රුපියල් 875,000ක පොලී ගිණුම්ගත කර නොතිබීම, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවැති අරමුදලට අයත් එකතුව රුපියල් 4,670,000ක් වූ ගොඩනැගිලි 02ක වටිනාකම ස්ථාවර වත්කම්වලින් අත්හැරී තිබීම, ඉන් කිහිපයක් පමණි. තවදුරටත් විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ එම වසරේ ගොවිජන චෛත්‍ය ඉදිකිරීම සඳහා මිලදී ගත් රුපියල් 17,000ක් වටිනා භාණ්ඩ වෙනුවෙන් රුපියල් 34,725ක් මෙම අරමුදලින් ගෙවා ඇතත් එලෙස ගෙවන ලද්දේ කුමන ආයතනයකට හෝ කුමන පුද්ගලයකුට ද යන්න විගණනයේදී තහවුරු නොවූ බවයි. එසේම පාලක මණ්ඩලය වර්ෂය සඳහා රැස්වීම් 12ක් පැවැත්විය යුතු වුවද 2010 වර්ෂයේ පවත්වා ඇත්තේ රැස්වීම් 02ක් පමණක් බවත්, මුදල් රෙගුලාසි අනුව වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයක් සිදු කර නැති බවත්, ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් පවත්වා නැති බවත්, 2010 වසරේ අම්බුළුවාවේ ශුද්ධ ආදායම රුපියල් 1,330,750ක් බවත්, රජයේ ප්‍රදාන රුපියල් 1,800,000ක් යොදා ඉදි කළ කැපටේරියා අවන්හල ඊට ලබාගත් ගෘහ භාණ්ඩද සමග බාහිර පාර්ශ්වයන් වෙත ව්‍යාපාරික කටයුතු කරගෙන යෑම සඳහා ලබාදී තිබුණ නමුත් එයින් කිසිදු ආදායමක් අරමුදලට ලැබී නොමැති බවත්, අම්බුළුවාව ශිෂ්‍ය විවේකාගාරයේ කුලුනු සඳහා කලාත්මක අංග එකතුකිරීම් සිදු කළ කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කළ බිල්පත අනුව රුපියල් 107,745ක මුදලක් ගෙවිය යුතුව තිබුණ ද ඒ සඳහා අරමුදලෙන් රුපියල් 130,785ක්ම මුදලක් ගෙවා තිබුණු බවත්, අම්බුළුවාව පොත් ඇගයීම් සහ නිර්මාතෘ ඇගයීමේ උළෙලට අදාළව රුපියල් 54,250ක සංග්‍රහ වියදමේ බිල්පත් සඳහා වැඩිපුර රුපියල් 12,000ක් ගෙවා තිබුණු බවත් විගණකාධිපතිවරයා තම 2010 වසරේ වාර්තාවේ සඳහන් කර තිබේ. ඉහත සඳහන් කළ 2010 වසරේ විගණකාධිපතිගේ වාර්තාවේ සඳහන් පරිදිම 2012 වසරේ විගණකාධිපතිගේ වාර්තාවේ ද සඳහන් කර ඇත්තේ එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බවයි. 2009 වසරේ සිට 2012 වර්ෂය දක්වා කාලය තුළ මහා භාරකාර අරමුදලින් චෙක්පත් මගින් අම්බුළුවාව අරමුදල වෙත ලබා දී තිබූ රුපියල් 13,619,222ක මුදල් ගිණුම්වලින් අත්හැරීම හා එම මුදල් වියදම් කළ ආකාරය පෙන්නුම් නොකිරීම ද විගණකාධිපතිවරයා සඳහන් කර ඇති අතර රජයේ මුදල් රුපියල් කෝටි ගණනක් ගැන ගැටලු ඇති බව පෙන්වීමට එයම කදිම නිදසුනකි. දුරකථන කුලුනු ඉදිකිරීම සඳහා පරිශ්‍රයේ පහසුකම් සැපයීම වෙනුවෙන් පෞද්ගලික දුරකතන සමාගමකින් 2010 සිට වසර පහක් දක්වා වන පරිදි රුපියල් 3,240,000ක මුදලක් ගෙවා තිබුණ ද ඒවා ගිණුම්වලට ඇතුළත් කර ඇති බවත් විගණකාධිපතිට අනාවරණය වී තිබුණේ නැත. එසේම තවත් දුරකථන සමාගමක් වෙත එවැනිම පහසුකම් සපයා තිබුණ ද ඊට අදාළ ගිවිසුමක් හෝ එම මුදල් ගිණුම්ගත වීමක් හෝ විගණනයට ඉදිරිපත් නොවී ඇති අතර අදාළ මුදල් අවභාවිතයට යෙදුණේ ද යන්න නිශ්චය කළ නොහැකි බව විගණකාධිපතිවරයා 2012 වසරේ වාර්තාවේ සඳහන් කළේය. එසේම මහා භාරකාර අරමුදලින් අරමුදල වෙත ලබාදී තිබූ මුදල් අරමුදලට ලබාදීම වෙනුවට අරමුදලේ සභාපතිවරයාගේ එනම් දි. මු. ජයරත්න මහතාගේ වෛද්‍ය පහසුකම්, ගුවන් ටිකට්පත්, නවාතැන් ගාස්තු සඳහා රුපියල් 4,251,044ක් හා සිංගප්පූරු ඩොලර් 13,112ක් ගෙවා ඇතත් ඒවා මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නැති බව ද විගණකාධිපතිවරයා 2012 වසරේ දී අනාවරණය කර තිබේ. විගණකාධිපතිගේ තවත් බරපතල අනාවරණයක් වූයේ මහා භාරකාරවරයා විසින් 2012 වසරේ දී රුපියල් 4,000,000කට මෝටර් රථයක් මිලදී ගෙන අම්බුළුවාව අරමුදල වෙත ලබාදී ඇතත් එය ගිණුම්ගත කර නැති බවයි. එසේම එවැනි වාහනයක් නිරීක්ෂණය නොවූ බව ද විගණකාධිපති සඳහන් කර තිබේ. එසේම ස්ථාවර තැන්පතු පොලිය රුපියල් 2,375,000ක් ද ගිණුම් ගත කර නොතිබූ බවත්, 2012 වසරේ දී පාලක මණ්ඩලය රැස්වී තිබුණේ එක් වතාවක් පමණක් බවත්, වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයක් සිදු කර නොතිබුණු බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. මේ 2012 වසරේ විගණකාධිපතිවරයා විසින් හෙළිදරව් කළ බොහෝ කරුණුවලින් කිහිපයක් පමණක් වේ. එසේම ඇතැම් වසරවල භාරකාරීත්ව මණ්ඩලය සාමාජිකයන් පවා පත් කර නැති බව විගණකාධිපතිවරයා අවස්ථා කිහිපයකදී හෙළිදරව් කර ඇත. පනත සම්මත කිරීමෙන් පසු මුල් වසර කිහිපයේ පමණක් නොව මෑතකදී පවා අම්බුළුවාවේ ගැටලු සහගත තැන් කිහිපයක්ම විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබේ. විගණකාධිපතිවරයා ප්‍රසිද්ධියට පත් කළ අවසන් විගණන වාර්තාව වන 2023 වසරට අදාළ විගණන වාර්තාවේ සඳහන් කර ඇත්තේ එම වසරේ ප්‍රවේශපත්‍ර ආදායම 111,891,649ක් ලෙස සඳහන් කළ ද එම ආදායම තහවුරු කර ගැනීම සඳහා සාක්කි විගණනය වෙත ඉදිරිපත් කර නොමැති බවයි. එසේම එම වසරේ විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත්තේ අම්බුළුවාව පරිශ්‍රයේ ඉදිකර ඇති කාර්යාල, සංචාරක බංගලා, ආපනශාලා, ආගමික ස්ථාන, වැඩිහිටි නිවාස, පිවිසුම් තොරණ, වැසිකිළි, කුලුනු හා වෙනත් ඉදිකිරීම් වෙනුවෙන් ගම්පොළ නගර සභාවේ අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත්, එය නගර සභා ආඥා පනතේ සඳහන් ප්‍රතිපාදනවලට පටහැනි බවයි. කෙසේ වෙතත් අම්බුළුවාව අරමුදලින් දැනුම්දී ඇත්තේ ගොඩනැගිලි ඉදිකරන කාල සීමාව තුළදී නගර සභා ආඥාපනත ක්‍රියාත්මක නොවූ බවයි. කෙසේ වෙතත් අදාළ ඉදිකිරීම් සඳහා නගර සභා සැලසුම් කමිටු අනුමැතිය ලබාගත යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී තිබේ. අම්බුළුවාව සංකීර්ණයේ කුඩා වැවක් ඉදිකිරීම සඳහා රුපියල් 744,000ක් ගෙවා තිබූ අතර, ඉන් පස් පරීක්ෂා කිරීම සඳහා පස් කැපීමට යන්ත්‍රය පැය 118.7ක් පැයකට 2,900ක් බැගින් රුපියල් 433,000ක් ගෙවා තිබිණි. කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන ලියවිලි සහ පස් පරීක්ෂණ වාර්තා විගණනයට ඉදිරිපත් කර නැති අතර විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ නියමයන්ට අනුව කටයුතු කළ යුතු බවයි. එසේම ශෛලමය පිළිමයක් ඉදිකිරීම සඳහා කළුගල් කඩා තිබූ නමුත් එම කළුගල් කිසිදු කටයුත්තකට යොදාගෙන නොමැති බවත්, ඒවා අලෙවිකර හෝ නොමැති බවත්, එසේ තිබියදී කළුගල් කියුබ් 16ක් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවා ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි. එසේම විගණකාධිපතිවරයා අනාවරණය කර තිබූ තවත් බරපතලම කාරණයක් වන්නේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය තුළ වැඩ ආරම්භ කර ඇති කේබල් කාර් ව්‍යාපෘතියක් ගැනයි. විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ එම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා මෙම අරමුදලේ ආරක්ෂක භාරකරු වන මහා භාරකාරතැනගේ එකඟතාවය ලබාගෙන නොමැති බවයි. එසේම මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් 4,395,500ක් වැය කර තිබුණු අතර එය කුමන කාර්යයකට ද යන්න සනාථ කර ගැනීමට ගෙවීම් වවුචරය සමග උපලේඛන විගණනයට ඉදිරිපත් කර නැති බවයි. කෙසේ වෙතත් පසුව මහා භාරකාර අනුමැතිය ලබාගෙන ඇති බව කළමනාකාරිත්වය විගණකාධිපතිට දැනුම්දී ඇති අතර වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ මෙම වියදම් ආයෝජනයක් බවයි. අම්බුළුවාවේ ඉඩම් පවරා ගැනීම, මෙම අරමුදල පිහිටුවීම, පාරිසරික අනුමැතිය සහ වෙනත් අනුමැතීන් ලබාගැනීම, කේබල් කාර් ව්‍යාපෘතිය ඇතුළු මේ සියල්ල පිටු ගණන් ලිවිය හැකි ලිපිවලට අදාළ මාතෘකා වුවද මෙම ලිපිය මගින් මෙම රාජ්‍ය ආයතනයේ ඇති බරපතල ගැටලු සහ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වවල නිහැඬියාව ගැන පමණක් අවධානය යොමු කර තිබේ. කේබල් කාර් ව්‍යාපෘතිය ලබා දුන් සමාගම, එම සමාගමට ව්‍යාපෘතිය ලබා දුන් ආකාරය, ව්‍යාපෘතියක් ලබා දුන් සමාගම් අධ්‍යක්ෂවරයකු සහ මෙම අරමුදලේ භාරකාර මණ්ඩල සම්බන්ධය, ඊට අදාළව ප්‍රාදේශීය ලේකම් අවසර නොදීමට එරෙහිව පැවරූ නඩුවට නීතිපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයා වෙනුවෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකිරීම ගැන බොහෝ ජනමාධ්‍ය වාර්තා කරන්නේ නැත. අය වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ නිර්භීතව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි. අනුර කුමාර දිසානායක මහතා එසේ සඳහන් කළ ද නීතිපතිවරයා උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි මහත්මිය ගැන ප්‍රමාණවත් ලෙස කටයුතු කර නැති බවට බරපතල චෝදනාවක් නීතිපතිට එල්ල වේ. අවංකව සහ නිර්භීතව රාජකාරි කළැයි බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරියට අවසානයේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීමට සිදුවන තීන්දුවක් ලැබුණේ නීතිපතිවරයාගේ බරපතල පැහැර හැරීම නිසා බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ද කරුණු අනාවරණය කර තිබිණි. අප අම්බුළුවාවට ගිය ගමනේ දී නිරීක්ෂණය කළේ එම ප්‍රදේශයේ තැන් කිහිපයක පැළුම් සලකුණු ඇති බවයි. ඒ අනුව ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට ඇතිවී තිබෙන වෙනස්කම් ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුව ඇත. ඊට දි. මු. ජයරත්න මහතාම සාක්කි සපයයි. 2009 ජූලි 22 වැනිදා පාර්ලිමේන්තුවේ දී දි.මු. ජයරත්න මහතා මෙසේ කීවේය. “අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණය නිර්මාණ්‍ය කිරීමේදී ප්‍රධාන සැලැස්මක් හෝ පූර්ව ඇස්තමේන්තු, දළ සැලසුම්, මූලික සැලසුම් කිසිවක් නොමැත. මෙහි ඇති නිර්මාණ සියල්ල ඒ ඒ අවස්ථාව අනුව මසිතේ ඇති වූ සංකල්පයන්ය. අම්බුළුවාවේ ව්‍යාපෘතිය තුළ සැලසුම් නැත. වෘත්තීය ඉංජිනේරුවන් නැත. විශේෂඥ නිර්මාණ ශිල්පීන් නැත. වැඩ අධීක්ෂක/ පරීක්ෂකවරුන් නැත… සියලු කටයුතු නිර්මාතෘවරයාම අධීක්ෂණය කොට ඇත.” දි.මු. ජයරන්ත මහතා පාර්ලිමේන්තුවේ දී කළ එම ප්‍රකාශය සත්‍යයක් නම් අම්බුළුවාවේ ඇත්තේ ඉතාම බරපතල තත්ත්වයකි. මෙතරම් උස කුලුනක් සහ උස් භූමියක පිහිටි තවත් ඉදිකිරීම් රැසක් එලෙස සැලසුමක් නැතුව, ඉංජිනේරු සහාය නැතිව, විශේෂ ශිල්පීන් නැතිව සිදු කළේ නම් එය ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් වන අතර ඊටත් එහා එය ප්‍රමිතිය ගැන බරපතල සැක ඇතිකරවන්නකි. අම්බුළුවාව නිසා මහා හානියක් වීමට පෙර වහාම ආණ්ඩුව මැදිහත්වී මුලින්ම මෙම අරමුදල ගැන සමස්ත පූර්ණ විගණනයක් කළ යුතුය. එසේම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාළ සියලු ආයතන වහාම පාරිසරික තත්ත්වය හා භෞතික තත්ත්වය පරීක්ෂා කළ යුතුය. එසේම මෙම පනත වහාම සංශෝධනය කර වගකීමක් සහිත කටයුත්තක් බවට මෙය පත් කිරීම මෙන්ම, අරමුදලේ භාරකාර මණ්ඩලය පරම්පරාවෙන් පරම්පරාවට යන සභාපතිවරයෙක් යටතේ පාලනය කරනවා වෙනුවට සුදුසුකම් සහිත රාජ්‍ය නිලධාරියකු පත් කිරීමට හැකිවන ආකාරයට පත් කිරීම ආණ්ඩුවේ වගකීමකි. එසේ නොවුණහොත් මෙය බරපතල වැරදි පූර්වාදර්ශයක් මෙන්ම වැඩවසම් ලක්ෂණ දිගින් දිගටම පවත්වාගෙන යෑමට ලබාදෙන තල්ලුවක් ද විය හැකිය. මෙම භාරකාර අරමුදලේ රාජ්‍ය පාර්ශ්වයේ නිත්‍ය සාමාජිකයන් විය යුතු බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්ගෙන් සහ පරිසර අමාත්‍යාංශ ලේකම්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට දුරකතන ඇමතුම් ගත්ත ද ප්‍රතිචාරයක් නොලැබිණි. මේ ගැන විමසීමට අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. වගකිව යුතු රාජ්‍ය ආයතනවල නොතකා හැරීම් මෙන්ම, අම්බුළුවාවේ ඉඩම් පවරා ගැනීම, ඒවා මහා භාරකරුට පැවරීමෙන් ආරම්භ වී මෙම අරමුදල යටතේ කළ වියදම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය නොකළ මිලදී ගැනීම් සහ කොන්ත්‍රාත් ලබාදීම් මෙන්ම ලබැඳියාවන් අතර ගැටුම් සහ එම ගැටුම් හෙළිදරව් නොකිරීම පවා දූෂණ විරෝධී පනත යටතේ වන වැරදි වේ. ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේත්, එහි අධ්‍යක්ෂවරයාගේත් වගකීමකි. 14 RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් සේවය කළ පාසලේ පිට්ටනියම සොහාන් පිට්ටනිය වූ ගුරුවරියගේ කතාව – අම්බුළුවාවේ තවත් ඛේදවාචකයක් ! හෙළිදරව්ව How the school playground became the teacher’s graveyard – The tragedy of Ambuluwa පුවත් අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ තවත් අධ්යක්ෂවරයකුගේ තොරතුරු හෙළිවෙයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.