(තරිඳු ජයවර්ධන)
‘‘සෑම දෙනාම මාර්ගයක් සැකසීමට ඇති නොහැකියාව ප්‍රකාශ කළ ද මා ඉන් අධෛර්යවත් නොවීමි. අම්බුළුවාව කඳු මුදුන දක්වා වාහනයකට ගමන් කළ හැකි පරිදි මාර්ගයක් සැකසීම මාගේ බලවත් ආශාවක් විය. තනිකරම ගලක් ලෙස වූ ඉදිරිය ඉතා අවදානම්කාරී බෑවුමකින් යුක්ත විය. මේ හරහා මාර්ගයක් සැකසීම කෙසේවත් කළ නොහැකි බව මිනින්දෝරු මහත්වරුන්ගේ මෙන්ම බොහෝ දෙනාගේ අදහස විය. කෙසේ වුවද ගල් ආශ්‍රිතව මාර්ග කැපීමේ දක්ෂයකු ලෙස නාරංවිට පුද්ගලයකු පිළිබඳ මට බොහෝ දෙනෙක් සිහිපත් කරන ලදුව ඔහුව එම කාර්යයේ යෙදවීම සඳහා ක්‍රියා කළෙමි. තනි පුද්ගලයකුට පමණක් ගමන් කළ හැකි සේ ඉතා වෙහෙසකරව කුඩා මාර්ගයක් සැකසිණි. පසුව එය මාගේ ඉල්ලීම පරිදි අඩි දෙක දක්වා ද තවදුරටත් අඩි තුන දක්වාද මහත් ආයාසයෙන් පුළුල් කෙරිණි. ගම්සභා පාරක් පවා අඩි හයක් පළල බැව් මම පවසා ඒ අනුව මෙම මාර්ගය කෙසේ හෝ අඩි හයක් දක්වා පුළුල් කර ගැනීමට ක්‍රියා කළෙමි. එසේ වුවද මගේ අභිප්‍රාය කිසිවිටෙක අත් නොහරිමින් වාහනයක් ගමන් කළ හැකි වනසේ මාර්ගය පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු තවදුරටත් කරගෙන යන ලෙස උපදෙස් දුනිමි. දිනක් මා පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගි වෙමින් සිටියදී හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුණු අතර එයින් කියවුණේ අම්බුළුවාව මාර්ගය සකස් කරන වාහන සියල්ලත් කන්දේ කොටසකුත් කඩාගෙන පහළට පෙරළුණු බවයි. මා වහා අම්බුළුවාවට පැමිණ තත්ත්වය පිරික්සීමේදී සත්‍ය වශයෙන්ම එබඳු අනතුරක් සිදුවී තිබුණු අතර කුමන හෝ වාසනාවකට කිසිවකුට හෝ කරදරයක් සිදුවී නොතිබිණි.”
ඒ ත්‍රාසජනක නවකතාවක කොටසක් නොව, අපේ රටේ කාලයක් අග්‍රාමාත්‍ය ධුරය ද දැරූ දි. මු. ජයරත්න මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී 2009 ජූලි 22 වැනිදා කළ කතාවක කොටසකි. දි.මු. ජයරත්න මහතාගේ එදින කතාවට අනුව මුහුදු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් යුත් අම්බුළුවාව ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ ශාක හා සතුන්
රැසකට පාරාදීසයක් වෙමින් පැවැති ස්වාභාවික වනපියසකි. එම ස්වාභාවික වනපියස මැදින් ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් මාර්ග කැපීමත් ඉදිකිරීම් සිදුකිරීමත් නිසා සිදුවිය හැකිය අනුමාන කරන මහා අනතුරක් ගැන 2024 ඔක්තෝබර් 03 වැනිදා සිංහපිටිය උතුර වැඩබලන ග්‍රාම නිලධාරී ප්‍රසන්න ජගත් ගොඩමුණ මහතා 2024 ඔක්තෝබර් 03 වැනිදා ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට වාර්තාවක් ලබා දුන්නේය. එම වාර්තාවට පාදක වී තිබුණේ අම්බුළුවාවේ අවිධිමත් හා අවදානම් ලෙස පස් සහ ගල් කැණීම් සිදුකර බැහැර කිරීම සම්බන්ධයෙන් නිර්ණාමිකව ලැබුණු පැමිණිල්ලකි. එම පැමිණිල්ලෙන් පසු ක්ෂේත්‍ර පරීක්ෂණයකට ගිය ග්‍රාමනිලධාරීගේ වාර්තාවේ මෙසේ සඳහන් විය.

“මෙම ව්‍යාපෘතියේ තුන් වන කුලුන ඉදිකරනු ලබන අම්බුළුවාව වත්ත සහ උඩසිංහපිටිය වත්ත ප්‍රදේශයේ විශාල අත්තිවාරමක් කපා පස් කියුබ් 1000කට ආසන්න ප්‍රමාණයක් අවිධිමත් හා අනාරක්ෂිතව කඳුගැට දෙකක් අතරට සහ දෙපස පිහිටි දැඩි බෑවුම දෙසට බැහැර කර ඇති ආකාරයක් නිරීක්ෂණය විය. මේ හේතුවෙන් අම්බුළුවාව වත්ත ගනේතැන්න පාර 2016 වර්ෂයේදී කුණුකන්ද නායයෑම සිදු වූ ප්‍රවේශය දෙසට සහ අම්බුළුවාව බෝවල ගල්වල පාර, රත්මල්කඩුව උඩසිංහපිටිය ප්‍රදේශය දෙසට දැඩි අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව නිරීක්ෂණය වේ. අනාරක්ෂිතව ගොඩකර ඇති මෙම පස්කන්ද අධික වර්ෂාවක් හමුවේ කන්ද දෙපසටම නායයෑමේ අවදානමක් ඇත. කන්ද දෙපස පදිංචිකරුවන්, මාර්ග භාවිතා කරන්නන් සහ වතුවල සේවය කරන කම්කරුවන් වෙත මේ හේතුවෙන් අවදානමක් පවතී. තවද කන්ද දෙපස පිහිටි ජල මූලාශ්‍රවලට ද බලපෑමක් ඇතිවිය හැක. මෙම ව්‍යාපෘතියේ 1 වැනි කුලුන ඉදිකරනු ලබන අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ නැරඹුම් මැදිරිය අසල අත්තිවාරම් කැණීමේදී ඉවත් කරන පස් සහ ගල් විශාල වශයෙන් කන්දේ ගල්තලාව ඔස්සේ දැඩි බෑවුම දෙසට බැහැර කර ඇති බව නිරීක්ෂණය විය. මේ හේතුවෙන් ගම්පොළ හෙම්මාතගම ප්‍රධාන මාර්ගයට සහ අම්බුළුවාව වත්ත කඩේ ප්‍රදේශයට අවදානම් තත්ත්වයක් පවතී. මෙහිදී පදිංචිකරුවන්, මාර්ග භාවිත කරන්නන් සහ වතුවල සේවය කරන කම්කරුවන් වෙත මේ හේතුවෙන් අවදානමක් පවතී.”
මීට වසරකුත් මාස දෙකකට පෙර ග්‍රාමනිලධාරී ගොඩමුණ මහතා ලබා දුන් වාර්තාවෙන් පසු උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන කිහිපයකට දැනුම්දී ඔවුන්ගේ ද සහභාගිත්වයෙන් 2024 දෙසැම්බර් 16 වැනිදා අම්බුළුවාව ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. එම ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසු ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළේ ඒ වන විට කපා ඇති පස් වර්ෂාව සමග සේදී යෑම, නිසි පාශු සංරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය නොකර ඇති බව සහ පස් සඳහා නිසි ආරක්ෂක වැස්මක් යොදා නොතිබූ බවට නිරීක්ෂණය වූ බවයි. එසේම නාගරික සංවර්ධන අධිකාරිය වාර්තා කළේ එම අධිකාරිය විසින් නිකුත් කර ඇති බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් ඉදිකිරීම් කටයුතු කරගෙන යන බවට නිරීක්ෂණය වූ බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ අදාළ සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර හානි ඇගයීමක් සිදු කරන්නැයි ඉල්ලීම් ලැබී නැති බවයි.
ඉන් පසු 2024 දෙසැම්බර් මාසයේ දී ඇතිවූ වර්ෂාපතනය සමග ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් අම්බුළුවාව කන්ද මුදුනට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසු එම ඉදිකිරීම් කටයුතු නිසා පහළ ගම්මානවල ගල් පෙරළීමේ සහ පස් සෝදාගෙන ගොස් තැන්පත්වීමේ අවදානමක් සහ නාය අවදානමක් ඇති බව ප්‍රකාශ කළේය. එය ජනමාධ්‍යවල ද වාර්තා කර තිබිණි.
අම්බුළුවාවෙ පිහිටි අම්බුළුවාව වත්ත ඉඩම අත්පත් කරගෙන තිබුණේ ගම් පුළුල් කිරීමේ කටයුත්තක් සඳහා බව කියමිනි. කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා ලෙස දි. මු. ජයරත්න මහතා 1998 ජනවාරි මස 09 වැනිදා ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38(අ) යටතේ වන ආඥාවක් නිකුත් කළ අතර එය අංක 1009/16 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළකෙරිණි. (තවත් කිහිපයක් ඇත) කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දි.මු. ජයරත්න මහතා 1998 ජුනි මස 29 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එමගින් කියවුණේ අම්බුළුවාව කඳු මුදුන විනෝද උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීම ගැනයි. ඊට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර 2000 සැප්තැම්බර් පළමු වැනිදා අම්බුළුවාව පරිසර සංවර්ධන සහ සංරක්ෂණ භාර අරමුදල පිහිටුවිණි. අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින්ම නැවත කැබිනට් පත්‍රිකාවක් 2001 ජූලි 03 දින ඉදිරිපත් කළ අතර එමගින් ඉල්ලීම් කර තිබුණේ අම්බුළුවාව පරිසර සංවර්ධන හා සංරක්ෂණ භාර අරමුදලට ඉඩම් පැවරීමක් ගැනයි. ඊට කැබිනට් අනුමැතිය ලැබිණි.

රජයේ ඉඩම් ආඥා පනතේ 23(2) යටතේ වන බලය මත බව කියමින් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය අම්බුළුවාව පරිසර සංවර්ධන හා සංරක්ෂණ භාරකාර අරමුදල් භාරය වෙනුවෙන් මහාභාරකරු වෙත ඉඩම් පවරාදීම සිදුවිය. ඒ 2001 සැප්තැම්බර් 24 වැනිදාය. එලෙස ලබා දුන් නිදහස් දීමනා පත්‍රයේ කොන්දේසි ද ඇතුළත් විය. 2009 වසරේදී මෙම අරමුදල ‘2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත’ මගින් සංස්ථාගත කෙරුණු අතර එම පනත ඉදිරිපත් කරනු ලැබුවේ ද දි.මු. ජයරත්න මහතා ය. පනතේ නමෙහි ඇති ‘දිසානායක මුදියන්සේලාගේ ජයරත්න’ යනු දි.මු. ජයරත්න මහතාගේ සම්පූර්ණ නම ය. පනත මගින් අරමුදලේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා දි.මු. ජයරත්න මහතාම නම් කර ගත් අතර සෙසු සාමාජිකයන් නව දෙනාගෙන් හත් දෙනකුම පත් කිරීමේ බලය ද ඔහුම තබා ගත්තේය. එසේම නිර්මාතෘ දි.මු. ජයරත්න මහතා මිය යෑමෙන් පසු ඔහුගේ පුතා එම තැනට පත්වීමටත්, පුතාගෙන් පසු පරම්පරාවෙන් පැවත එන වැඩිමහල් පිරිමි තැනැත්තකු එම තැනට පත්වීමටත් හැකි පරිදි පනතේ 16 වැනි වගන්තිය ඇතුළත් කළේය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මෙම නීතිය සම්මත කර දුන් අතර ඡන්ද විමසීමක් සඳහා බෙදීමක්වත් ඉල්ලා සිටියේ නැත. කෙසේ වෙතත් එවකට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම පනතට විරෝධය පළ කළේය.
මෙම ඉඩම් අත්පත් කර ගැනීමට අදාළව පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඉඩම් පවරා ගැනීමෙන් වසර 25කට පමණ පසු 2025 මාර්තු මස 28 වැනිදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්විණි. ඊට අමාත්‍යාංශයේ ඉඩම් අත්පත් කර ගැනීම් අධ්‍යක්ෂ සමීර ප්‍රසාද් මහතා, සහකාර අධ්‍යක්ෂ අශානි සෙනවිරත්න මෙනවිය සහ සංවර්ධන නිලධාරී ඉන්දිකා අබේතිලක මිය සහභාගි වූහ. ඊට අමතරව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්, උඩපළාත ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය මහා භාරකරු, සහකාර ඉඩම් කොමසාරිස්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, කෑගල්ල ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරී, දොළුව මිනින්දෝරු අධිකාරී, උඩ පළාත ඉඩම් නිලධාරී ඇතුළු ආයතන ගණනාවක නිලධාරීහු සහභාගි වූහ.
එහිදී සාකච්ඡා වූ වැදගත් කාරණයක් වූයේ අම්බුළුවාව අරමුදලට ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වූ කැබිනට් තීන්දුවේදීම වනජීවි දෙපාර්තමේන්තුවට ද ඉඩම් කොටසක් මුදා හැරීමට තීන්දු කර ඇතත් එම ඉඩම ද අම්බුළුවාව භාරය මගින් අනවසර ලෙස භුක්ති විඳින බවයි. එසේම අම්බුළුවාවට නිදහස් දීමනා පත්‍රයකිනුත් දුන් ඉඩම් අතර කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ඉඩමක් ද ඇති බවත්, ඒ ඉඩම් කොටස කෑගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කර නැති බවත් එම රැස්වීමේදී අනාවරණය විය. එසේම දීමනා පත්‍රය ලබා දී ඇති ඉඩම් කොටස තුළ ගල් පෙරළීම, පස් කැපීම වැනි ක්‍රියා සිදු කරන බවත්, ඒ හේතුවෙන් නිදහස් දීමනා පත්‍ර කොන්දේසි කඩ කර ඇති බවත්, 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී 2014 නොවැම්බර් 19 වැනිදා ගැසට් පත්‍රයක් මගින් දි.මු. ජයරත්න මහතා විසින්ම අම්බුළුවාව පූජා භූමියක් ලෙස ප්‍රසිද්ධියට පත් කර ඇති බවත්, ඒ සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියක් ලබාගෙන නැති බවත් මෙම රැස්වීමේදී හෙළිදරව් විය. ඒ අනුව මෙම දීමනා පත්‍රය විධිමත් ක්‍රමවේදයක් යටතේ නිකුත් කර ඇද්ද යන්න පරීක්ෂා කර බැලීමටත්, එසේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් යටතේ නිකුත් කර නැතිනම් හෝ දීමනා පත්‍ර කොන්දේසි කඩ කර තිබේ නම් අදාළ පනතේ නීතිරීති අනුව එය අවලංගු කිරීමට එම සාකච්ඡාවේදී තීන්දු විය. එසේම අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට ලබාදී ඇති අතර ඒ ගැන ද සාකච්ඡා විය.
අම්බුළුවාවේ අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ නාය යෑම් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙස උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය 2024 දෙසැම්බර් මස දෙවැනිදා ‘අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආශ්‍රිතව නායයෑම් අවදානම් සම්බන්ධවයි’ මැයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව එම ආයතනයේ පිරිසක් 2024 දෙසැම්බර් මස 18 වැනිදා ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කරනු ලැබ එහි මූලික වාර්තාව 2025 ජනවාරි 27 වැනිදා නිකුත් කළේය. කේබල් කාර් ව්‍යාපෘතියේ බී කුලුන ආශ්‍රිතව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කිරීක්ෂණය කර තිබුණේ අත්තිවාරමක් ඉදිකිරීමේදී සිදු කරනු ලබන ගැඹුරු කැණීම් නිසා නිර්මාණය වූ පස් මෙම කඳු මුදුනත මත තැන්පත් කර ඇති බවත් එහි ඝනකම නිගමනය කිරීම අපහසු බවත්ය. ඒවා ටාපොලින් පැදුරුවලින් ආවරණය කර ඇති බවත්, පැදුරු මගින් ගලා යන වැසි ජලය පස් තැන්පතුවට පහළින් පිහිටි කුස්තූර සහිත පාෂාණය පවතින ප්‍රදේශය දෙසට ගමන් කරන බවත්, මෙම ප්‍රදේශයේ පස් තැන්පතුවට පහළින් පිහිටි ගල් කුට්ටියක් පහළට චලනය වී ඇති අතර කුඩා ප්‍රමාණයේ ගල් කුට්ටි කිහිපයක් එලෙස පහලට චලනය වීමේ හැකියාව පවතින බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිරීක්ෂණය කළේය. ඉදිකිරීම් ආශ්‍රිතව හා ප්‍රවේශ මාර්ග ඔස්සේ හා පස් තැන්පත් කර ප්‍රදේශය ආශ්‍රිතව මතුපිට ජල කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බව ද ඔවුන් නිරීක්ෂණය කර තිබුණු අතර කුලුන සී සම්බන්ධයෙන් ද මෙවැනි නිරීක්ෂණ කිහිපයක් සිදු කර තිබිණි. මේ සියලු වාර්තා ගැන මධ්‍යම පරිසර අධිකාරියේ අවධානයත්, අනිකුත් අදාළ ආයතනවල අවධානයත් යොමු කළ ද ඒවාට නිසි අවධානයක් යොමු කර නොතිබිණි.
පසුගියදා ඇති වූ මහා වර්ෂාවත් සමග කන්දේ සිට පස් සහ ගල් බිමට පෙරළී ඇති බවක් අප එහි ගිය විට නිරීක්ෂණය වූ අතර ප්‍රදේශවාසීන් සඳහන් කළේ ඒවා පෙරළී නිවාසවලට ද වැටී ඇති බවයි. එම නායයෑම් නිසා ගුරුවරියකට දිවි අහිමි වූ බව ද ප්‍රදේශවාසීන් ග්‍රාමනිලධාරීට පැමිණිලි කළේය. ගම්පොළ ආපදා ගැනසොයා බැලීමට මාධ්‍යවේදීන් කණ්ඩායමක් ප්‍රදේශයට ගොස් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් නාගරික මන්ත්‍රීවරුන් පිරිසකට මේ ගැන පැමිණිලි කළ අතර නාගරික මන්ත්‍රීන් එම අවස්ථාවේදී අදාළ ග්‍රාමනිලධාරීට දැනුම් දුන් අතර ඒ සියලු දෙනා ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම අවස්ථාවේ දී අම්බුළුවාව ප්‍රදේශයේ ජීවත්වන ප්‍රදේශවාසීන් පිරිසක් පෙන්වා දුන්නේ කන්ද මත දැඩි පැළුම් ඇතිවී තිබෙන බවත්, ඒවා නාය ගියහොත් තම නිවාසවලට ද හානි සිදුවන බවයි.
අම්බුළුවාව පිවිසුම් දොරටුවේ සිට ඉහළට යද්දී මාර්ගයේ තැනින් තැන විශාල ප්‍රමාණයේ පැළුම් නිරීක්ෂණය විය. එම ඇතැම් ස්ථානවල පොළොව අඟල් දෙකක්, තුනක් පමණ ඈත් වී තිබිණි. එසේම කුළුබඩු උද්‍යානය දෙසට යන මාර්ගයේ පස් කන්දක් නාය ගොස් තිබුණු අතර අම්බුළුවාවේ පිවිසුම් දොරටුව අසල කණ්ඩි කඩා වැටීමෙන් මාර්ගයට වැටී තිබූ පස් ද ලොරියකින් ගෙනැවිත් කුළුබඩු උද්‍යානය දෙසට යන පාරේ නාය ගිය ස්ථානයට දමනු දක්නට ලැබිණි. එම මාර්ගයේ තවත් ඉදිරියට ගිය විට භූමියේ තැනින් තැන අඟල් 2-4 දක්වා පළකින් යුත් පැලුම් ගණනාවක් දක්නට ලැබුණු අතර ප්‍රදේශවාසීන් සඳහන් කළේ එතැනින් පහළ තමන්ගේ ගම්මාන පවතින බවයි.
“මේ කන්දේ ඉඳලා ලොකු ගල් පාරට ආවා. ගෙවල්වලට වැටුණා. දැන් මේ පැලුණු තැන්වලින් කඩාගෙන ගියොත් අපේ ගෙවල් ඔක්කොම යටවෙනවා. අපේ කාට හරි මොනවා හරි වුණොත් අපි මරාගෙන මැරෙනවා මහත්තයෝ” ප්‍රදේශවාසියෙක් කීවේය.
පිවිසුමේ සිට කිලෝමීටර එක හමාරක් පමණ ඉහළට යද්දී නාය යෑමෙකින් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර අපහසුවෙන් එතැනින් ඉහළට යා හැකි පරිදි පස් තුනී කර ඇති බවක් ද නිරීක්ෂණය විය. එතැනින් තවත් කිලෝමීටරයක් පමණ ඉහළට ගිය විට විශාල නායයෑමකින් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර එතැනින් ඉහළට යෑමේ හැකියාවක් නොලැබිණි. එසේම මාර්ගයේ නොව කන්දේ ඇතැම් තැන්වල ද නායයෑම් කිහිපයක් නිරීක්ෂණය විය.
එසේම අම්බුළුවාවට පහළ පාරේ තැනින් තැන විශාල කළුගල් කුට්ටි වැටී ඇති ආකාරය නිරීක්ෂණය විය. බැලූ බැල්මට අම්බුළුවාවේ දැඩි අවදානමක් පවතින අතර මෙතෙක් ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. එසේම ප්‍රදේශවාසීන් කීවේ අම්බුළුවාව ආශ්‍රිතව කළ ඇතැම් ඉදිකිරීම්වලදී ලොකු දෙදරීමක් ඇති වූ බවයි. එම දෙදරීම් ද ප්‍රදේශයේ පස බුරුල්වීමට බලපාන්නට ඇතැයි ද, එලෙස බුරුල් වූ පස් වැස්සත් සමග නාය යන්නට ඇතැයි ද ඇතැම් ප්‍රදේශවාසීහු සැක කරති. එම සැකය තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැක්කේ මෙතෙක් විශේෂඥ කණ්ඩායම් ගොස් ඒ ගැන පූර්ණ පරීක්ෂාවක් සිදුකර නොමැති බැවිනි. කෙසේ වෙතත් ග්‍රාමනිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්වරියත් මීට වසරකට පෙර කළ අනතුරු ඇඟවීම දැන් සත්‍යයක් බවට පත්වී ඇති බව බැලූ බැල්මට පෙනේ.
අම්බුළුවාව යනු පනතකින් ස්ථාපිත කළ අරමුදලකි. එහි නිලධරයන් රාජ්‍ය නිලධාරියන් ය. එය අල්ලස් පනතට ද අදාළ වේ. ඉදිරියේදී තවත් වර්ෂාවක් පැමිණ විශාල නායයෑම් ඇතිවී පරිසරයට සහ ජන ජීවිතවලට බරපතල බාධාවක් ඇතිවීමට පෙර මේ සඳහා මැදිහත්වීම බලධාරීන්ගේ වගකීමකි. අම්බුළුවාව පිහිටා ඇත්තේ රටේ පරිසර ඇමැතිවරයා නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කය මායිමේය. අම්බුළුවාවේ ඉඩම් කොටසක් අයිති වන්නේ කෑගල්ලටය. මෙම ගැටලුව ගැන තබා අඩු ගණනේ තමන්ගේ දිස්ත්‍රික්කය ගැනවත් සිතන්නේ නම් පරිසර ඇමැතිවරයා වහාම මෙම ගැටලුවට මැදිහත් විය යුතුය. මේ සම්බන්ධයෙන් පරිසර ඇමැතිවරයා දැනුම්වත් කර තිබියදීත් තවමත් අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමට කිසිවකු එම ප්‍රදේශයට යවා නැත. පරිසරය ගැන සංවේදී සහ ජනජීවිතය ගැන සංවේදී නම් කළ යුත්තේ සිද්ධිය සැලවූ වහාම කොළඹින් විශේෂ කණ්ඩායමක් අදාළ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමය. නමුත් එය සිදු වූයේ නැත. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. දැන් අශ්වයාට පැන යෑමට ඇත්තේ පොඩි දුරක් පමණි. මන්ද අශ්වයා මදක් ඉදිරියට පැමිණ ඇත. ඒ නිසා අශ්වයා පැන යෑමට පෙර ඉස්තාලය වැසීම දැන්ම නොකොළොත් පසුව කම්පා වී වැඩක් නැතිවනු ඇත.

www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here