(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා දිනයක් වූ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ (ඊබ්‍රහීම් සහෝදරවරු) ළඟම ඥාතීන් ලෙස අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහීම්, මොහොමඩ් ඊබ්‍රහීම් මොහොමඩ් ඉස්මයිල් සහ මොහොමඩ් ඊබ්‍රහීම් ඉජාස් අහමඩ් යන සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ශ්‍රෙෂ්ඨාධිකරණය එලෙස නියෝග  කළේ එම පෙත්සම් තුන ඉදිරිපත් කර ඇත්තේ මූලික අයිතිවාසිකම් කඩ වූ පුද්ගලයන් හෝ ඔවුන්ගේ නීතිඥවරුන් නොවන බැවින් පෙත්සම් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගැනීමෙන් අනතුරුවය.
අත්අඩංගුවේ සිටි මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහීම් වෙනුවෙන් වෙනුවෙන් ඔහුගේ වැඩිමහලු පුත් මොහමඩ් ඊබ්‍රහීම් මොහොමඩ් ඉශ්‍රාන් අහමඩ් ද, අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඊබ්‍රහීම් මොහොමඩ් ඉස්මයිල් වෙනුවෙන් ඔහුගේ වැඩිමහලු සහෝදරයා වන  මොහමෙඩ් ඊබ්‍රහීම් මොහොමඩ් ඉශ්‍රාන් අහමඩ්  ද, අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඊබ්‍රහීම් ඉජාස් අහමඩ් වෙනුවෙන් වෙනුවෙන් ඔහුගේ බිරිඳ ෆාතිමා රුෂාඩ් ඉක්බාල් ද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
මෙම පිරිස 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් සහ ශ්‍රැන්ග්‍රිලා හෝටල් දෙකේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු වූ මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉන්ශාෆ් සහ මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉල්හාම් යන දෙදෙනාගේ ළඟම ඥාතීහු වෙති.
එක් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර එත්තේ එම බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහීම් (යූසුෆ් ඊබ්‍රහීම්) වෙනුවෙන් වන අතර පෙත්සම ගොනු කරන අවස්ථාව වන විට ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් බාරයේ සිට ඇත. ව්‍යාපාරිකයකු වන ඔහු දරුවන් නව දෙනකුගේ පියෙකි. අනිත් පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණේ ඔහුගේ තවත් දරුවන් දෙදෙනකු වෙනුවෙනි.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු පොලිස් නිලධාරීන් දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි යූසුෆ් ඊබ්‍රහීම්ගේ නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ දී පිපිරීම් දෙකෙක් සිදුවී ඇති අතර එම පිපිරීම් දෙකෙන් පොලිස් නිලධාරීහු තිදෙනෙක් ද, ඊබ්‍රහීම්ගේ පවුලේ හතර දෙනෙක් ද මියගියහ. එම සිදුවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යූසුෆ් ඊබ්‍රහීම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. අනතුරුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් රැඳවුම් නියෝග නිකුත් කර තිබිණි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 2020 ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විනිසුරුවරුන්ගෙන් බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 12(2), 13(1), 13(2) සහ 14(1)(g) යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇත්ද යන්න සොයා බැලීම සඳහා පෙත්සම් විභාග කිරීමට නියම විය.
කෙසේ වෙතත් මෙම පෙත්සම් 2024 අගෝස්තු මස 05 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පී පද්මන් සූරසේන (වත්මන් අගවිනිසුරු), යසන්ත කෝදාගොඩ සහ ඒ එල් ශිරාන් ගුණරත්න යන මහත්වරුන් ඉදිරියේ  කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් (අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව) වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව මූලික විරෝධතාවක් මතුකළේය.
නීතිපති දෙපාර්තමේන්තුව මතු කළ මූලික විරෝධතාවය වූයේ මෙම පෙත්සම් ඉදිරිපත් කළ තිදෙනාට එලෙස පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා නීතිමය හැකියාවක් නැති බවයි. මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ යුත්තේ මූලික අයිතිවාසිකම් වූ හෝ කඩවීමට අත්‍යාසන්නයැයි කියන පුද්ගලයන් විසින් බවත්, එසේ නැතිනම් ඔවුන් වෙනුවෙන් නීතිඥවරයකුට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ හැකි බවත්, එසේවුවද ඔවුන්ගේ ඥාතීන්ට එලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එසේ හෙයින් මෙම පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
එම මූලික විරෝධතාවය සම්බන්ධ තීන්දුව අගවිනිසුරුවරු පී පද්මන් සූරසේන සහ ඒ එල් ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේද එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(2) ව්‍යවස්ථාව අනුව, මූලික අයිතිවාසිකම් කඩවී වී ඇති හෝ කඩවීමට අත්‍යාසන්න පුද්ගලයාට හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ගොනු කළ හැකි බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඇති නීතිමය අයිතිය අදාල නිශ්චිත වින්දිතයාටම හෝ ඔහුගේ නීතිඥයාට සීමා වන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
අයිතිවාසිකම් කඩවන යම් පුද්ගලයකුට තනිවම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකි නම් අදාල පෙත්සම ඔහු විසින්ම හෝ ඔහුගේ උපදෙස් මත නීතිඥවරයා විසින් අත්සන් කළ යුතු බව ද, අයිතිවාසිකම් කඩවන යම් පුද්ගලයකුට තනිවම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ නොහැකි නම් නීතිඥවරයකුට පෙත්සම ඉදිරිපත් කළ හැකි වන අතර පෙත්සම්කරු විය යුත්තේ නීතිඥවරයා බව ද, එවිට එම පෙත්සම අදාල නීතිඥවරයා විසින්ම හෝ ලේඛන ගත නීතිඥයා විසින් හෝ අත්සන් කළ යුතු බව ද අධිකරණය සඳහන් කර තිබේ. ඊට කදිම උදාහරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රම්සි රසීක් මහතාගේ (අයිසීසීපීආර් පනතට අදාල ඓතිහාසික තීන්දුවක් ලබා දුන් පෙත්සම) පෙත්සම සඳහන් කරයි. රැඳවුම් බාරයේ සිටි රම්සි රසීක් මහතා වෙනුවෙන් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නීතිඥ රම්සි බාචා මහතා විසිනි.
කෙසේ වෙතත්, මෙම  රීතිවලට ව්‍යතිරේක දෙකක් ඇති බව ද, එමගින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හැකිවන්නේ කාටද යන විෂයපතය පුළුල්වී ඇති බව ද, එය සිදුවී ඇත්තේ අධිකරණ තීන්දු මගින් බව අධිකරණය ප්‍රකාශ කළේය.
එම අවස්ථා දෙක අධිකරණය සඳහන් කර ඇත්තේ මෙසේය.
  • මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ වින්දිතයාගේ මරණය සමඟ හේතුකාරක සම්බන්ධතාවයක් ඇති විට, මියගිය පුද්ගලයාගේ කලත්‍රයාට, වෙනත් ඕනෑම ආසන්න පවුලේ සාමාජිකයෙකුට හෝ නීත්‍යානුකූල උරුමක්කාරයෙකුට, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති නීතිමය අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ.
  • මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යම් පුද්ගල කාණ්ඩයකට බලපා ඇතැයි කියන අවස්ථාවන්හිදී, එම පුද්ගල කාණ්ඩයට අයත් පුද්ගලයින් කණ්ඩායමක් හෝ එම අයිතිවාසිකම්වලට බලපෑම් ඇති පුද්ගලයින්ගේ පන්තිය නියෝජනය කරන සංවිධානයක් ඇතුළත් වන පරිදි තත්ත්වය පුළුල් කරනු ලැබේ තිබේ.  එමඟින් එවැනි උල්ලංඝනයක් පිළිබඳව පැමිණිලි කිරීමට සහ එවැනි පුද්ගල කාණ්ඩයක් වෙනුවෙන් සහනයක් ලබා ගැනීමට තෙවන පාර්ශ්වයකට ඇති අයිතිය හඳුනා ගන්නා බව ද, මෙයට හේතුව තනි පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් පුරවැසියන්ගේ සාමූහික අයිතිවාසිකම් සමඟ සම්බන්ධ වීම බව ද අධිකරණය සඳහන් කරයි. අධිකරණය එය හඳුන්වා ඇත්තේ මහජන අර්ථසාධක නඩුකර ලෙසය. ඊට උදාහරණ ලෙස බුලංකුලම නඩුව සහ එක්ස්ප්‍රස්පර්ල් නඩුව දක්වා තිබේ.
එසේම අයිතිවාසිකම් කඩවන බවට කියන යම් පුද්ගලයකු නීතිඥවරයකුට හෝ ඥාතියකුට හෝ පවුලේ අයකුට හෝ වෙනත් ළඟම කෙනකුට ප්‍රවේශ විය නොහැකි ලෙස හුදකලාව තබාගෙන සිටින්නේ නම් එවිට වෙනස් තත්ත්වයක් ඇති බව ද, එවැනි අවස්ථාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(2) ව්‍යවස්ථාව තවත් පුළුල් අර්ථනිරූපනයකින් පිළිගත යුතු බව ද, එවැනි අවස්ථාවක එම පුද්ගලයා වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති බව හඳුනාගෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ යුතු බව ද, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති ව්‍යවස්ථාමය යුතුකම නිසා ශ්‍රේෂ්ඨාදිකරණ එවැනි ප්‍රවේශයක් අනුගමනය කිරීමට අවශ්‍ය වනු ඇති බව ද අධිකරණය සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම මූලික අයිතිවාසිකම් නඩු තුනෙන් යූසුෆ් ඊබ්‍රහීම්ගේ නඩුවට අදාලව එහි පෙත්සම්කරු ලෙස සිටින ඔහුගේ වැඩිමහළු දරුවා ගොනු කළ දිවුරුම් ප්‍රකාශයක තම පියාගේ උපදෙස් පරිදි මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන බව සඳහන් වන්නේයැයි ද, ඒ අනුව ඔහුට ප්‍රවේශවීමේ හැකියාවක් තිබුණු බව පැහැදිලිවන්නේයැයි ද ඒ අනුව ඔහුගේ පුතාට මෙම පෙත්සම ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැති බව ද අධිකරණය ප්‍රකාශ කළේය. එසේම අනිත් පෙත්සම් දෙකට අදාලව මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු දක්වද්දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් සඳහන් කර ඇත්තේ නීතිඥවරුන්ට හෝ පවුලේ අයට එම පෙත්සම් දෙකට පාදක වන අයිතිවාසිකම් කඩවූ පුද්ගලයන් දෙදෙනාට ප්‍රවේශය නොතිබූ බවයි. කෙසේ වෙතත් අධිකරණය සඳහන් කළේ මෙවැන්නක් පෙත්සම්කරුවන් විසින් මුල් අවස්ථාවේ ප්‍රකාශ කර නැති බවයි. ඒ අනුව එය පිළිගැනීමට නොහැකි බව අධිකරණය සඳහන් කළේය.
පොදු නීතිය අනුව අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතුනද, මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීම ගැන නිශ්චිතව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දක්වා ඇති නිසා පොදු නීතියේ විධාන අදාල නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ අවධාරණය කළේය.
ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන අයිතිවාසිකම් කඩවීයැයි කියන රැඳවුම් බාරයේ සිටි තිදෙනා  විසින්ම හෝ ඔවුන්ගේ නීතිඥවරුන් විසින් පෙත්සම්කරුවන් ලෙස සඳහන් කරමින් ඉදිරිපත් කර නැති බව සඳහන් කළ අධිකරණය, අයිතිවාසිකම් කඩවීයැයි කියන පුද්ගලයන්ගේ ඥාතීන්ට මෙම පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා නීතිමය හැකියාවක් නැතැයි තීන්දු කළේය. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ මූලික විරෝධතාවය පිළිගනිමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන නිශ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

එම සම්පූර්ණ නඩු තීන්දුව පහත දැක්වේ.

sc_fr_46_47_48_2020 (1)
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here