Home මතය ‘‘වගකීම් විරහිත මාධ්‍ය නිදහසේ” මළගම සනිටුහන් කළ ඓතිහාසික නඩු තීන්දුව මතය ‘‘වගකීම් විරහිත මාධ්‍ය නිදහසේ” මළගම සනිටුහන් කළ ඓතිහාසික නඩු තීන්දුව By www.medialk.com - March 7, 2026 Facebook Twitter Pinterest WhatsApp (භානුල ගිරිබාව) ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලයේ ප්‍රධාන කුලුනු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයට අමතරව සිව්වැන්න ලෙස සලකන්නේ ජනමාධ්‍යයයි. බොහො දෙනකුට රාජ්‍ය මාධ්‍ය කෙරෙහි තිබූ විශ්වාසය දශක ගනනක් තිස්සේ බිඳ වැටෙමින් තිබෙන පසුබිමක එහි වාසිය ලබා ගත් පෞද්ගලික මාධ්‍ය ආයතන කාලයක් තිස්සේ ක්‍රියා කළේ තමන් පෞද්ගලික ආයතන බැවින් රජයට හෝ මහජනතාවට වගකීමට තමන් බැඳී නැත යන තරකයෙනි. ඔවහු “මාධ්‍ය නිදහස” යන්න තම ව්‍යාපාරික සහ දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පළිහක් ලෙස භාවිතා කළහ. කෙසේ වෙතත්, පසුගිය මාර්තු පස්වන දින අභියාචනාධිකරණය විසින් ඒසියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (හිරු TV) ආයතනය එදිරිව එම්.ජේ.කේ. දිසානායක නඩුවේදී ලබාදුන් ඓතිහාසික තීන්දුව විසින් මෙතෙක් කලක් එම ආයතන අත්තනොමතික ලෙස ජන මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝණය කරමින් ආරක්ෂාවීමට යොදාගත් බලකොටුව සහමුලින්ම බිඳ දමා මානව හිමිකම් සහ නීතිය පිළිබඳ මහජන විශ්වාසය වැඩි කරනු ලැබීය. මුල් සිදුවීම මෙම තීන්දුවට පාදක වන්නේ 2023 අගෝස්තු මාසයේදී අලවතුගොඩ ප්‍රදේශයේ සිදු වූ මිනීමැරුමක් සම්බන්ධයෙන් හිරු රූපවාහිනිය විකාශය කළ පුවතකි. අදාළ පුවත මගින් තම පුත්‍රයා වරද පිළිගත් බවට අසත්‍ය ප්‍රකාශයක් කළ බව පවසමින් එම්.ජේ.කේ. දිසානායක මහත්මිය එම ආයතනයෙන් එම පුවත නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියද, එය නිවැරදි නොකළ හෙයින් ඇය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරුණු විමසා ඇත. එමගින් ඇය ඉල්ලා තිබුනේ එකී පුවත සත්‍යාපනය කළේ කවුරුන්ද සහ එයට පාදක වූ මූලාශ්‍ර පිළිබඳවයි. එම නාලිකාව විසින් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ශේප කර ඇති අතර ඇය පසුව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. කරුණු සලකා බැලූ කොමිෂන් සභාව 2024 ජූනි 20 වන දින සිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළ සිටියේ රජයේ බලපත්‍රයක් යටතේ පොදු සේවාවක් ඉටු කරන බැවින් හිරු රූපවාහිනී නාලිකාව පනතේ 43(ජී) වගන්තිය යටතේ “පොදු අධිකාරියක්” ලෙස සැළකිය යුතු බවයි. එහිදී පුවත් සංස්කාරකවරුන් සහ අධ්යක්ෂවරුන් පුවත සත්‍යාපනය කළේද යන්න සහ ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කරන ලෙස කොමිෂන් සභාව නියෝග කර ඇත. තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ මෙම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ උක්ත අධිකරන තීන්දුවට පාදක වූ අභියාචනා පෙත්සම (CA/RTI 0003/2024) ගොනු කර ඇත. එහිදී හිරු රූපවාහිනිය වෙනුවෙන් තර්ක කළේ හුදෙක් බලපත්‍රයක් මත ක්‍රියාත්මක වූ පමණින් පුද්ගලික ව්‍යාපාරයක් පොදු සේවාවක් බවට පත් නොවන බවයි. තවදුරටත් එම නාලිකාවෙ පාර්ශවය තර්ක කළේ තම ආයතනය පෞද්ගලික සමාගමක් බැවින් තොරතුරු ලබාදීමට බැඳී නැති බවත්, තොරතුරු සපයන්නා සමඟ පවතින “විශ්වාසවන්ත සබඳතාවය” (Fiduciary Relationship) මත එම තොරතුරු හෙළි කළ නොහැකි බවත්ය . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ තොරතුරු දැනගැනීමේ අයිතිය අභියාචනාධිකරණය සිය තීන්දුව මගින් අවධාරණය කළේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ වගන්තිය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇති බවයි. එසේම, 14(1)(අ) වගන්තිය යටතේ එන භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස යන්නට, තොරතුරු ලබාගැනීමේ සහ වාර්තා කිරීමේ අයිතියද ඇතුළත් වන බව අධිකරණය පෙන්වා දුන්නේය. අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේ, තොරතුරු ලබාදීම අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති “සමානත්වයේ අයිතිය” උල්ලංඝනය කිරීමක් විය හැකි බවයි. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මෙම නඩුවේ තීරණාත්මක සාධකය වූයේ තොරතුරු පනතේ 43(ජී) වගන්තියයි . එම වගන්තියට අනුව, රජයෙන් ලබාගත් බලපත්‍රයක් යටතේ පොදු සේවාවක් හෝ ව්‍යවස්ථාපිත කාර්යයක් ඉටු කරන ඕනෑම පෞද්ගලික ආයතනයක් “පොදු අධිකාරියක්” ලෙස සැළකේ [13]. හිරු රූපවාහිනී නාලිකාව තොරතුරු පනතේ 5(උ) වගන්තිය යටතේ ඇයි භාරකාර සමබඳතාවය යන ව්‍යතිරේඛී අවස්ථාවේ රැකවරණය පැතීමට උත්සාහ කළද, පුවත් නියෝජිතයන් සහ නාලිකාව අතර පවතින්නේ සේවායෝජක-සේවක සබඳතාවක් මිස “විශ්වාසවන්ත භාරකාරීත්වයක්” (Fiduciary Relationship) නොවන බැවින් එම තර්කය ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය . තවද, පනතේ 4 වන වගන්තිය අනුව, වෙනත් ඕනෑම ලිඛිත නීතියකට වඩා තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන බලපැවැත්වෙන බවද අධිකරණය සිහිපත් කළේය. රූපවාහිනී සංස්ථා පනත සහ මාධ්‍ය වගකීම පෞද්ගලික නාලිකා ක්‍රියාත්මක වන්නේ 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 28 වන වගන්තිය යටතේ විෂයභාර අමාත්‍යවරයා නිකුත් කරන බලපත්‍රයක් මතය. එම පනතේ 7(2)(ඇ) වගන්තිය මගින් සියලුම විකාශකයන්ට පුවත් ඉදිරිපත් කිරීමේදී: * නිවැරදි භාවය (Accuracy) * අපක්ෂපාතීත්වය (Impartiality) * මහජන යහපත (Public Interest) යන කරුණු අනිවාර්ය කර ඇත . මහජන භාරකාරත්ව මූලධර්මය (Public Trust Doctrine) අධිකරණය සිය තීන්දුව මගින් ප්‍රකාශ කළේ ගුවන් විදුලි තරංග (Airwaves) යනු කිසිවෙකුට අයිති කරගත නොහැකි “මහජන දේපළක්” බවයි . එම තීන්දුවෙන් තවදුරටත් අධිකරනය විසින් ප්‍රකාශකොට සිටියේ රජය මෙම තරංගවල අයිතිකරු නොව භාරකරු පමණක් වන අතර, එම පොදු සම්පත භාවිතා කරන පෞද්ගලික නාලිකා මහජනතාව වෙනුවෙන් වගවීමට බැඳී සිටීන බවයි . ජාත්‍යන්තර ප්රමිතීන් මෙම තීන්දුවේදී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ (UDHR) 12 සහ 19 වගන්ති ද උපුටා දක්වන ලදී . වැරදි තොරතුරු (Disinformation) සහ නොමඟ යවන තොරතුරු (Misinformation) මගින් පුද්ගලික කීර්තිනාමයට සිදුවන හානිය වැළැක්වීමට අධිකරණය මැදිහත්වීම ගැනද මෙහිදී පෙන්වා දී ඇත. මෙම අධිකරණ තීන්දුවේ හරය පවතින්නේ “මහජන භාරකාරත්ව මූලධර්මය” (Doctrine of Public Trust) මතයි. අධිකරණය පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ගුවන් තරංග යනු මහජන දේපළක් මිස රජයකට හෝ පෞද්ගලික සමාගමකට හිමි දේපොළක් නොවන බවයි. පෞද්ගලික රූපවාහිනී නාලිකා මෙම පොදු සම්පත භාවිතා කරන්නේ රජයෙන් ලබාගත් බලපත්‍රයක් යටතේ බැවින්, ඔවුන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 43(ජී) වගන්තිය යටතේ “පොදු අධිකාරියක්”ලෙස සැළකිය යුතු බවට අභියාචනාධීකරණය හිරු ආයතනයේ අභියාචනය විභාගයට ගැනීම ප්‍රතික්ශේප කරමින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්වේ. මෙමගින් අදහස් වන්නේ, රාජ්‍ය රූපවාහිනී නාලිකා මෙන්ම හිරු TV වැනි රාජ්‍ය වැනි පෞද්ගලික රූපවාහිනී නාලිකා ද 1982 අංක 6 දරන රූපවාහිනී සංස්ථා පනත යටතේ ලබාගත් බලපත්‍ර කොන්දේසිවලට, එනම් පුවත් ඉදිරිපත් කිරීමේදී නිරවද්‍යතාවය, අපක්ෂපාතීත්වය සහ මහජන යහපතයත යන කරුණුවලට යටත්ව කටයුතු කළ යුතු බවයි. විකෘති කල තොරතුරු ප්‍රචාරය කිරීම සහ “මාධ්‍ය මගින් විනිශ්චය ලබාදීම” (Trial-by-Media) මෙම නඩුවට මුල් වූයේ අලවතුගොඩ ප්‍රදේශයේ මිනීමැරුමකට අදාළ සැකකරුවෙකු වරද පිළිගත් බවට හිරු TV විකාශය කළ අසත්‍ය පුවතකි. මෙය හුදෙක් එක් හුදකලා සිදුවීමක් නොවන වග සිහි බුද්ධියෙන් යුතුව ප්‍රවෘති බලන ඕනැම පුරවැසියෙක් දන්නා කාරනයකි. එනම් අපි සමබරයැයි කියා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන නිරන්තරයෙන් “අවුල් සහගතභාවයෙන් යුත් තොරතුරු හෝ පුවත්” එසේත් නැතිනම් සමබර නොවන තොරතුරු (Information Disorder) නිර්මාණය කර ප්රචාරයට පත් කරන ප්‍රධාන මූලාශ බවට පත්වී ඇති බවයි. වැඩි ඈත යන්නට උවමනා නැත, ඒ සම්බන්දයෙන් තොරතුරු මෑත ඉතිහාසයෙන්ම ලබාගත හැකිය. වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ සිද්ධිය මෙයට ප්‍රබල උදාහරණයකි. එහිදී හිරු සහ දෙරණ ඇතුලු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන, විද්‍යාත්මක පදනමකින් තොරව හුදෙක් පටු දේශපාලනික අරමුණු සපුරාගැනීම සඳහා ජාතිවාදී බිය සහ හැඟීම් අවුස්සමින් අසත්‍ය පුවත් පතුරුවා හරින ලදී. එහිදී අදාල වෛද්‍යවරයාට සහ ඔහුගේ පවුලට මුහුණ දීමට සිදු වූයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්වයකටය. එම අවස්ථාවේ එම ආයතනය විසින් සිදුකළ පුවත් උපුටාගැනීම් සලකා බැලීමෙන් එහි පරමාර්තය මහජන යහපතද නැතිනම් අනෙකක්ද යන්න එම කාලයේ රටේ පැවැති වාතාවරණය අධ්‍යනය කිරීමෙන් මනාව වැටහේ. “වඳ සැත්කම් 4000ක් කළ බවට චෝදනා ලැබූ කුරුණෑගල වෛද්‍යවරයාගේ කැරැට්ටුව හෙළි වෙයි.” , “සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයා පිළිබඳ තවත් කරුණු හෙළිදරව් වී තිබෙනවා”, “තමන් සිසේරියන් සැත්කම් 8,000 ක් සිදුකර ඇති බවද ඔහු තහවුරු කර තිබෙනවා.” ආදී වශයෙන් මාධ්‍ය නාලිකා පුවත් මැවීය. නමුත් අනතුරුව එම සිද්ධියට ඔවුන් මුලින් වෙන්කළ ගුවන් කාලය සලකාබැලීමේදී සිද්ධියෙන් පසුව නඩු නඩුව අවසන්වීම දක්වා නිසි පසු විපරමක් සිදු නොකොට සහ නිවැරදි කිරීමක් හෝ කණගාටුව පල කිරීමක් හො සිදු කිරීමට ගුවන් කාලය වෙන් නොකිරීම කණගාටුදායක තත්ත්වයකි. මෙවැනි වාර්තාකරණයන් මගින් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සහ කීර්තිනාමය විනාශ වනවා පමණක් නොව, ප්රජාතන්ත්රවාදී ව්‍යුහය පවා අස්ථාවර වී යන බව අවිවාදයෙන් තොරව පිළිගක යුතු ය. මක් නිසාද යත්, මහජන මතයට බලපෑම් කිරීමේ උපරිම ශක්‍යතාවය ජනමාධ්‍ය සතු බැවිනි. හිරු නාලිකාව මීට පෙරද අවස්ථා කිහිපයකදී වැරදි තොරතුරු විකාශය කිරීම සම්බන්ධයෙන් චෝදනාවලට ලක්ව ඇති බව කව්රුත් දනී. 2007 වසරේදී අසත්‍ය පුවත් විකාශය කිරීම හේතුවෙන් හිරු නාලිකාවේ සහෝදර ගුවන්විදුලි නාලිකාවක විකාශන බලපත්‍රය පවා තාවකාලිකව අත්හිටුවීමට එවකට රජය පියවර ගත්තේය. හිරු නාලිකාව පමණක් නොව, පොදු මහජන දේපලක් වන ගුවන් අවකාශය යොදාගනිමින්, සත්‍ය නොවන තොරතුරු බෙදා හැරීම “වදකහ සුදිය” සමයට ම දිවයයි. මෑතකාලීනව, පන්සල් වලින් මතු වූ නාගයන් පෙන්වූ, කොරෝනා වැනි මාරාන්තික වෛරස සඳහා කිසිදු විද්‍යාත්මක පදනමක් නැති ගොඩ වෙදුන් හඳුන්වා දුන් “පැණි” ප්‍රසිද්ධ කළ නාලිකා ද නැතුවාම නොවේ. තවද රටේ ජනතාව කුපිත වී සිටි මොහොතක, රටේ රාජ්‍ය නායකයන්ගේ නිවාස වලට යෑමට උසි ගැන්වූ නාලිකාද මෙරට තිබේ. වගවීම යනු මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් නොවේ ඉහත කී අභියාචනයෙන් හිරු නාලිකාව තර්ක කළේ තම පුවත් සංස්කාරකවරුන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම මාධ්‍ය නිදහසට බාධාවක් බවයි.නමුත් අධිකරණය එම තර්කය ප්‍රතික්ෂේප කරමින් තම තීන්දුව හරහා කියා සිටියේ, පුවත් සත්‍යාපනය කළ පුද්ගලයන් කවුදැයි හෙළි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ වගන්තිය යටතේ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ශක්තිමත් කිරීමක් බවයි. තොරතුරු පනතේ බලපෑම පෞද්ගලික මාධ්‍ය ආයතන දක්වා ව්‍යාප්ත කිරීම, ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සහ නිරවද්‍ය මාධ්‍ය කරනය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි. මෙතෙක් කල් පාලනයකින් තොරව ක්‍රියා කළ රූපවාහිනී මාධ්‍ය ආයතනවලට දැන් තමන් පවසන සෑම වචනයක් සම්බන්ධයෙන්ම මහජනතාවට වගකීමට සිදුවනු ඇත. පෞද්ගලික රූපවාහිනී ආයතනයක් යනු හුදෙක් ලාභ ලබන ව්‍යාපාරයක් පමණක් නොව, එය මහජන දේපළක් වන ගුවන් විදුලි තරංග භාවිතයෙන් සිදුකරන පොදු සේවාවක් බව මෙම නඩු තීන්දුව මගින් අවධාරණය කර ඇත. මාධ්‍ය වගවීම යනු නිදහස් මාධ්‍යයකට ඇති තර්ජනයක් නොව, එහි අත්තිවාරමයි. 340 RELATED ARTICLESMORE FROM AUTHOR මතය හදවත සසල කළ හදබිමේ කතාවේ වීරයන් දිවිදී මාසයක් ! මතය නීත්‍යනුකූල බලයක් මාධ්‍යවේදියාට දෙන්න ඕනෙ ! – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.