(ආචිත ඩී නානායක්කාර)
මාතලේ පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයෙකුට පහර දී තුවාල සිදුකළ නිලධාරීන් නව දෙනෙකු පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඔවුනට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර තිබේ.
ඊට අමතරව පහරකෑමට ලක්වූ පුද්ගලයාට වන්දි මුදලක් ගෙවන ලෙස ද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
මානව හිමිකම් කොමිසම එම නිර්දේශ ලබාදී ඇත්තේ පහර දුන් පුද්ගලයාගේ පියා විසින් කොමිසමට කරන ලද පැමිණිල්ලක තීන්දු ලබා දෙමිනි. මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස මාතලේ පොලිසියේ පොලිස් පරීක්ෂක වල්පොල, උප පොලිස් පරීක්ෂක චමින්ද, පොලිස් සැරයන් 21636 ප්‍රියන්ත, පොලිස් සැරයන් 21423 නලින්ද, පොලිස් කොස්තාපල් 73181 ලයනල්, පොලිස් කොස්තාපල් 71224 බංඩාර, පොලිස් කොස්තාපල් 77615 වීරරත්න, පොලිස් කොස්තාපල් 83301 උදේශ් සහ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ රත්නායක නම් කර තිබේ.
හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත තම වැඩිමහල් පුතු අත්අඩගුවට ගෙන ඇති බවත්, පොලිස් ස්ථානය තුළදී සිදුවූ පහරදීමකින් පුතාගේ වම් අතේ සුළැඟිල්ල කැඩී තිබූ බවත් විමර්ශනයේ දී පියා සඳහන් කර තිබිණි. පුතාට පහරදීමෙන් පසු පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් අධිකරණය නොමඟ යවා පහරකෑ තම පුතා බන්ධනාගාරගත කිරීමට කටයුතු කර ඇති බවත් පියා ප්‍රකාශ කර තිබේ.
කොමිෂන් සභා විමර්ශනයේ දී පහරකෑමට ලක්වූ පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ තමා මිතුරකුගේ නිවසේ රැඳී සිටියදී සිවිල් ඇඳුමින් පැමිණි පිරිසක් නිවසේ කාමරයට ඇතුළු වී කාමරය පරීක්ෂා කර අනතුරුව තමාගේ ඇඳුම් ගලවා පරීක්ෂා කළ බවයි. අනතුරුව එසේ පරීක්ෂා කිරීමට හේතුව විමසද්දී තමා කාමරයේ මුල්ලකට රැගෙන ගිය ප්‍රියන්ත නම් නිලධාරියා තමාට පරුෂ වචනෙයෙන් බැණ වදුණු බවත්, දණ ගැසීම ප්‍රතික්ෂේප කළ විට තමාව බලෙන් ඇදගෙන ගොස් දණගස්වා පහර දුන් බවත්, එතැන සිටි තවත් නිලධාරීන් දෙතුන් දෙනෙකු ද එලෙස තමාට පහර දුන් බවත් අදාල තරුණයා කියා තිබේ.
අනතුරුව තමා සහ මිතුරන් දෙදෙනා පොලිසිය පැමිණි වාහනයෙන් මාතලේ පරණ පොලිස් ස්ථානයට ගෙන ගිය බව ද, පොලිසියේ රඳවා ගනිමින් ප්‍රශ්න කර පසුව මාතලේ පොලිස් ස්ථානයට ගෙන ගොස් බාර දුන් බව ද, පසුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව ද, තමාට පොලිසිය පහර දුන් බව මහෙස්ත්‍රාත්ට දැනුම් දුන් පසු තමා මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරීට ඉදිරිත් කරන ලෙස නියෝග කළ බව ද තරුණයා ප්‍රකාශ කර ඇත.
අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුව රෝහල් ගත වී ඇඟිල්ලේ ශ්‍යල්‍යකර්මයක් සිදු කළ බවත්, දින හතරක් පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කිරීමට සිදුවූ බවත්, පසුව පල්ලේකැලේ රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත්, එහි බන්ධනාගාර රෝහලේ ද සති දෙකක් පමණ ප්‍රතිකාර ලැබූ බවත් පහරකෑමට ලක්වූ තරුණයා මානව හිමිකම් කොමිසම වෙත ප්‍රකාශ කර තිබේ.
කොමිෂන් සභාවේ විමර්ශනයේ දී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා හෙරොයින් මිලිග්‍රාම් 2740 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට 2023.02.20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.  ඔහු අත්අඩංගුවට ගැනීමේදී පහරදීමක් සිදු නොවුණු බවද, අත්අඩංගුවට ගැනීමට ඔහු විරෝධතාවය පළ කරද්දී  ඔහුගේ දකුණු පාදයේ දණහිස සහ උරස බිම වැදුණු බවද, ඊට සතියකට පමණ පෙර වූ අනතුරකින් ඔහුගේ ඇඟිල්ල ඉදිමී හා කැඩී ඇති බව ද වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
නමුත් අත් අඩංගුවට ගැනීමේදී බිම වැටී සිදුවූවායැයි පොලිසිය කියූ තුවාල පහරකෑමට ලක්වූ බව කියන තරුණයාගේ ශරීරයේ පොලිසියේ කී ස්ථානවල නොමැති බවද, සුළඟිල්ල ඉදිමී හා කැඩී තිබෙන්නේ ඊට සතියකට පෙර වූ රිය අනතුරින් නොවන බවට අධිකරණ වෛද්‍ය හා සායනික වාර්තා මඟින් කොමිසම නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍ය්වස්ථාවෙන් ආරක්ෂා කර ඇති කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලින් මිදීමේ මූලික අයිතිවාසිකම තුන් වැනි වගඋත්තරකරු වන ප්‍රියන්ත යන නිලධාරියා උල්ලංඝණය කර ඇති බව මානව හිමිකම් කොමිම තීන්දු කර තිබේ. එමෙන්ම පොලිස් ආරක්ෂාව භාරයේ සිටින තැනැත්තන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නියෝග නිසි පරිදි අනුගමනය කිරීමට වගඋත්තරකාර පාර්ශ්වය අපොහොසත් වී ඇති බවද කොමිසම තීන්දු කර ඇත.
තරුණයාට තම පෞද්ගලික මුදලින් රුපියල් 25,000ක මුදලක් ගෙවන ලෙස ඔහුට පහර දුන් තුන් වන වග උත්තරකාර පොලිස් නිලධාරියාට කොමිසම නිර්දේශ කර තිබෙන අතර පළමු වගඋත්තරකාර පොලිස් නිලදාරිහාට නිර්දේශ කර ඇත්තේ එම වින්දිත තරුණයාට තම පෞද්ගලික මුදලින් රුපියල් 7500ක් ගෙවන ලෙසයි.  තමන් යටතේ සිටින නිලධාරීන් නීතියට අනුකූලව කටයුතු කරන්නේදැයි අධීක්ෂණය කිරීමට මාතලේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෘත්තීමය වගකීමක් ඇති බැවින් ඔහු ද මෙම සිද්ධියට වගකිව යුතු බව කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ද ඇතුළු නිලධාරීන් 09 දෙනා සම්බන්ධයෙන්ම පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.
MediaLK විසින් පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
news@medialk.com
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here