ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් 2022 වසරේ පැවැති විරෝධතාවලදී මරණයට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස සහ මහජන අරගලයකට සම්බන්ධවීම නිසා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් 3882ට යුක්තිය ඉෂ්ඨ කරන ලෙසත් ඉල්ලමින් තරුණ ක්‍රියාකාරිකයෝ පිරිසක් අද (09) අත්සන් 100ක් සහිත ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය බාර දුන්හ.
අදාල කාලවකවානුවේදී 11 දෙනකු මරණයට පත්වී ඇති බවත්, එයි තෝරාගත් කිහිප දෙනකුට පමණක් වන්දි පිරිනමා ඇති බවත්, සෙසු පවුල්වල පිරිස් මේ වන විට දැඩි අර්බුදවලට මුහුණදී සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.
එසේම 2022 වසරේදී මෙම විරෝධතා හේතුවෙන් විමර්ශන 709ක් පවත්වා 3882කු අක්අඩංගුවට ගෙන ඇති බව ද එහි දැක්වේ. මෙම පිරිසට එරෙහිව නඩු පවරා ඇත්තේ නීති (පනත්) 09ක් යටතේය. මෙම ලිපිය මගින් ඉල්ලීම් හතරක් ඉදිරිපත් කර ඇති අතර එහි තුන්වැනි ඉල්ලීම වනුයේ මානව හිමිකම් කොමිෂන් සභාව ද නිර්දේශ කර ඇති පරිදි 2022 මැයි 09 වැනිදා තම වගකීම ඉටු නොකර රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසයි.
ජනමාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් 100කුගේ අත්සන් සහිත එම පෙත්සම අද (09) ජනාධිපතිවරයා වෙනුවට ජනාධිපතිගේ මහජන කටයුතු සම්බන්ධීකරණ නිලධාරීට බාර දෙනු ලැබුවේ අනුරුද්ධ බණ්ඩාර, සුදාර නදීෂ්, රතිඳු සේනාරත්න සහ බුවනෙක එස් පෙරේරා ඇතුළු ක්‍රියාකාරිකයන් පිරිසක් විසිනි.
මෙම ලිපිය සකස් කිරීමට මූලිකත්වය ගත් අනුරුද්ධ බණ්ඩාර තරුණ ක්‍රියාකාරිකයා 2022 අප්‍රේල් මස තුන් වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර, යළිත් වරක් ගෝඨාභය රාජපක්ෂයේ උපන්දිය වෙනුවෙන් පැවැති විරෝධතාවය වීඩියෝ කරමින් සිටියදී ද ඔහු අත්අඩංගුවට ගැණිනි. ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිම පදනමක් නැතැයි කියමින් අප්‍රේල් 03 අත්අඩංගුවට ගත් නඩුවෙන් ඔහු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එම අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ද නියෝග කළේය.
එසේම මෙම ලිපිය බාර දීමට ගිය සුදාර නදීෂ් නම් තරුණ ක්‍රියාකාරිකයා 2022 මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ නිවස ඉදිරිපිට පැවැති විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන පහර දෙනු ලැබූ අතර ඔහුට සැකකරුවකු කර ඇති නඩුව තවදුරටත් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවෙයි.
එසේම මෙම පිරිස අතර සිටි මාධ්‍යවේදී බුවනෙක එස් පෙරේරා නම් තරුණයා 2022 දී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් කතානායකවරයාට ලිපියක් බාර දී එමින් සිටියදීය. එම නඩුව මීට මාස කිහිපයකට පෙර අවසන් වූ අතර සියලු චෝදනාවලින් ඔහු ඇතුළු පිරිස නිදහස් කෙරිණි. රතිඳු සේනාරත්න (රැට්ටා) මහතා නඩු කිහිපයකම සැකකරු ලෙස නම් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.
අද මෙම ලිපිය බාරදීමෙන් පසු විනාඩි 20ක පමණ සාකච්ඡාවක් පැවැති බවත්, ලබන මැයි 09 වැනිදා අදාල පාර්ශ්ව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසාදෙන බවට ජනාධිපතිගේ සම්බන්ධීකරණ නිලධාරියා දැනුම් දුන් බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුරුද්ධ බණ්ඩාර මහතා MediaLK වෙත ප්‍රකාශ කළේය.