Home පුවත් මීඇල්ලේ කොරෝනා හැදුණු දෙන්නෙක් සැඟවී සිටි කතාව බොරු පුවත් මීඇල්ලේ කොරෝනා හැදුණු දෙන්නෙක් සැඟවී සිටි කතාව බොරු By MediaLK.com - April 10, 2020 FacebookTwitterPinterestWhatsApp මාතර හක්මන මීඇල්ලේ නිරෝධායනය නොවූ පිරිසක් සැඟවී සිටි බවට පළ වූ වාර්තා අසත්‍ය බව MediaLK.com කළ සොයා බැලීමකදී තහවුරු විය. මාතර හක්මන මීඇල්ලේ දෙදෙනකු නිරෝධායනය නොවී සැඟවී සිටි නිසා එම ගමේ 16 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පිරිසෙන් දෙදෙනකුට කොරෝනා ආසාධනය වී ඇති බවත්, ඔවුන් ඉස්ලාම් භක්තිකයන් බවත්, ඔවුන් හිතාමතා කොරෝනා පතුරුවන බවත් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. එම හිමිනම තරයේ කියා සිටියේ දෙදෙනකුට කොරෝනා ආසාධනය වූ කතාව සත්‍ය බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක ද තහවුරු කළ බවයි. මාතර හක්මන මීඇල්ල ගමේ දෙදෙනකු පෙබරවාරි මාසයේ ඉන්දියාවේ ගොස් ඇති අතර ඔවුන් යළි පැමිණ ඇත්තේ මාර්තු මස පළමු වැනි දා ය. ශ්‍රී ලංකාවෙන් දෙවැනි කොරෝනා ආසාධිතයා තහවුරු වූයේ මාර්තු මස 11 වැනි දා ය. මෙම සිද්ධියට අදාල පළකිරීම්වලට මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ද්වේශ සහගත ප්‍රතිචාර රැසක් ලැබී තිබිණි. ඉන් අනතුරුව රජය මාර්තු 16 වැනි දා නිවේදනය කළේ මාර්තු 01ත් 15ත් අතර කාලයේ දී යුරෝපය, ඉරානය, සහ දකුණු කොරියාවේ සිට පැමිණි පිරිස් ළඟම ඇති පොලිසියේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසයි. යලිත් වරක් මාර්තු 17 වැනි දා උදේ 8.00ට පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ යුරෝපාය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණෙන පිරිස් ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමේදී පොලිසියට පැමිණීම අනිවාර්ය නැති බවයි. පොලිසියට දුරකතන ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව එම නිවේදනයේ සඳහන් විය. මාර්තු 28 වැනි දා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන්නේ මාර්තු 10 වැනිදායින් පසු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ළඟ ලියාපදිංචි විය යුතු බවයි. මාර්තු 30 වැනි දා නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දුන්නේ මාර්තු 10 වැනි දායින් පසු ලොව කුමන රටක සිට පැමිණියත් ස්වයං නිරෝධායනය සඳහා ලියාපදිංචි විය යුතු බවයි. ඒ අනුව මාර්තු පළමු වැනි දා ඉන්දියාවේ සිට පැමිණි අයට ලියාපදිංචි වීමක් ගැන සඳහන් මෙම මීඇල්ල ගමට සන්නිවේදනය නොවූ බව ප්රදේශවාසියෙක් පැවසීය. ‘අපේ ගමටත් දැනුම් දුන්නේ මාර්තු 10 වෙනිදායින් පස්සේ ආපු අය ලියාපදිංචි වෙන්න කියලයි. ඉතින් මාර්තු පළමු වෙනිදා ලංකාවට පැමිණි මේ දෙන්නා ලියාපදිංචි වීමේ අවශ්‍යතාවක් කොහොමත් තිබුණේ නෑ. ඉතින් ඔවුන් නිරෝධායනයට ලියාපදිංචි නොවී හැංගිලා හිටියා කියලා කියන කතාව වැරදි. හත් වැනි දා එකපාරට ජනමාධ්‍යයත් එක්ක සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය ඇවිත් සැකකාරයො ටිකක් ගෙනියනවා වගේ ඔවුන්ව ගෙනිච්චා. හරියට එයාලා වැරදි කරලා වගේ. ඇත්තටම කොරෝනා මර්දනයට ගන්නා හැම ක්‍රියාමාර්ගයකටම අපි සහාය දෙනවා. හරියට සන්නිවේදනය නොවුණු පසුබිමක මෙහෙම වැරදිකාරයො විදියට මාධ්‍ය මගින් මේ අය නිරාවරණය කිරීම වැරදි.’ යැයි ප්රදේශවාසියෙක් පැවසීය. එම ගමේ කිසිවකුටවත් කොරෝනා ආසාධනය වී ඇතැයි මෙතක් තහවුරු වී නැති බවත්, දෙදෙනකුට කොරෝනා ආසාධනය වී ඇතැයි හිමිනමක් විසින් ප්‍රකාශ කරන කතාව අසත්‍යක් බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී නිලධාරියෙක් තහවුරු කළේය. මෙවැනි ව්‍යසනකාරී වාතාවරණයක අසත්‍ය ප්රවෘත්ති පතුරුවමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීම මගින් රෝගය සම්බන්ධයෙන් දක්වන අවධානය ද අඩු විය හැකි බව එම නිලධාරියා ප්‍රකාශ කළේය. මේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර ගිය එක් අසත්‍ය පණිවිඩයකි. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.