(තරිඳු ජයවර්ධන)
‘අඩි 3600ක් පමණ උඩට නෙරා ගිය හුදෙකලා කඳු මුදුනක අසනිපාතවලින් පිළිම වහන්සේගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න සිතාගත නොහැකි විය. ලක්දිව ශ්‍රේෂ්ඨතම ඉංජිනේරු ආයතන කීපයක උපදෙස් ලබාගත් නමුදු අස්වැසිල්ලක් නොලැබිණි. රුපියල් හාරපන්දහසක් වැයකොට සෙවූ පිළියම් ව්‍යර්ථව ගියේය. තෙමසක් තිස්සේ පළාත්වාසීන්ගේ නොයෙක් කටකතා මැද්දේ බලවත් නිහඬතාවයක් පැතිර ගියේය. මෙසේ පවත්නා විට මූර්ති ශිල්පයේ අනූපම දක්ෂයෙක් වූ ගම්පොල, තැඹිලිගල පදිංචි ඩබ්ලිව් මැන්දිස් මහතා අපේ මනදොල සපුරාලමින් අවස්ථාවෝචිත යෝජනාවක් ඉදිරිපත් කළේය. එනම් ‘යකඩ කිසිවක් මිශ්‍ර නොකොට උළු, මැටි හොඳින් අඹරා පදම් කොට, පිදුරු කාෂ්ට රූපය මත ඒ මැට්ටෙන් ප්‍රතිමාව තනා කොටස්වලට කපා වෙන් කොට උළු මෙන් පුළුස්සා මැදට සිමෙන්ති දමා මැටි කවරය ඒ මත අලවමුයි‘ කියාය.‘
මේ, අම්බුළුවාව ඉතිහාසයේ මේ වන විට ඉරා දමා ඇති පිටු අතර ඇති කතාවකි. මෙම උපුටාගැනීම 1970 වසරේදී ප්‍රකාශයට පත්කරන ලද ‘පූජනීය අම්බුළුවාව‘ නම් ප්රකාශනයෙනි. 1966 වසරේදී පොහොය දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීම නිමිත්තෙන් ගම්පොල දවස පාඨක සමාජය අම්බුළුවාව කන්ද මත බුදු පිළිමයක් සකස් කර තැන්පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණේ එම වසරේ දුරුතු පොහොය දිනයේ ය. පිළිම සකස් කර අවසන් වී එය තැන්පත් කිරීම සිදුවී ඇත්තේ 1970 වසරේදී ය. ඊට අනුශාසකත්වය සපයා තිබුණේ ගම්පොල සිංහපිටියේ ධර්මාශ්රමාධිපති කොටකේදෙණියේ ඥාණානන්ද හිමියන් ය.
මුල් සැලසුම තිබී ඇත්තේ වනාන්තරයටත්, ප්‍රදේශවාසීන්ටත් පොදුවේ සොබාදහමටත් කිසිදු බාධාවක් නොවන පරිදි කඳු මුදුනේ බුදුපිළිමය තබා, හින්දු, කිතුනු සහ මුස්ලිම් සංකේත ද තබා කන්දේ පහළ කොටසේ තැනින්-තැන ඉතා කුඩා භාවනා කුටි කිහිපයක් ඉදිකර ඕනෑම ආගමිකයකුට ඒ තුළට පැමිණ ආධ්‍යාත්මික කටයුතුවල යෙදීමේ අවස්ථාව සැලසීම සහ පරිසරය ආරක්ෂා කිරීම ය. එම සැලසුමේ එක් පියවරකට මුල්ගල තැබීමේ අවස්ථාව යෙදී තිබුණේ 1974 ජූලි මස 26 වැනිදා පෙරවරු 10.35ට යෙදුණු සුබ මොහොතිනි. ඒ සුබ මොහොත ඉන් වසර 50කින් පමණ ප්‍රදේශවාසීන්ට අසුබ ආරංචි රැසක් ලැබෙන ආරම්භයක් බව ඒ කිසිවෙක් සිතන්නට නැත. මේ සුබ මොහොතට අම්බුළුවාව බෞද්ධ සංගමයේ සභාපති එච් ඒ රණසිංහ මහතා සහ අනුශාසක කොටකේදෙනියේ ස්වාමීන් වහන්සේ විසින් ප්‍රදේශයේ දේශපාලනඥයන් වූ දිසානායක මුදියන්සේලාගේ ජයරත්න (දී මූ ජයරත්න) සහ එම් එස් අලුත්ගමගේ යන අයට ද ආරාධනා කළේය. අවසානයේ මුළු කන්ද ම දිසානායක මුදියන්සේලාගේ ජයරත්න සහ පවුලේ නමට ලියැවෙනු ඇතැයි එදා අම්බුළුවාව බෞද්ධ සංගමය සිතන්නට නැත.
අම්බුළුවාවේ ඉතිහාසය ආරම්භ වන්නේ ඉහත සඳහන් කළ 1966 වසරෙන් නොවේ. රජ දවසේ සිට අම්බුළුවාව හා සම්බන්ධ ඓතිහාසික කතා තිබේ. ඒ ඉතිහාසයත්, 1966න් පසු ආරම්භ වූ ඉතිහාසයත් වෙනස් වූයේ 1997 වසරේදී ය. ඒ, එදා අම්බුළුවාවේ බෞද්ධ සංගමයේ ආරාධනයක් මත අම්බුළුවාවේ භාවනා කුටි ඉදිකිරීමේ මූලික අවස්ථාවට පැමිණි දිසානායක මුදියන්සේලාගේ ජයරත්නගේ (දී මූ ජයරත්න) මැදිහත්වීමෙනි. එතෙක් සොබාදහමත් සමග එකට ගිය අම්බුළුවාව සොබාදහමෙන් වෙන්ව ගිය ව්‍යාපාරයක් බවට පත්වන්නේ 1997 මාර්තු මාසයේදී ය. එතැන් සිට ප්‍රදේශයේ ඉඩම් රජයට පවරා ගැනීමට ගැසට් පත්‍ර නිකුත් විය. ඒ, දී මූ ජයරත්න මහතාගේ නියෝගයෙනි. ඉන්පසු අදාළ ඉඩම් දී මූ ජයරත්නගේ නිර්මාතෘත්වයෙන් හැදුණු භාරයකට පිරිනැමීමට දී මූ ජයරත්න විසින් කැබිනට් පත්‍රිකාවක් දැමීය. ඉන්පසු ඔහු ම 2009දී ඔහුගේ නමින් ම භාර අරමුදලක් අම්බුළුවාවේ ස්ථාපිත කිරීමට පනතක් ඉදිරිපත් කළේය. එය සම්මත වීමෙන් පසු දැන් අම්බුළුවාව සොබාදහම සමග සබඳතාවය අතහරින ලද ව්‍යාපාරික ස්ථානයකි.
එදා 1974 වසරේ ජූලි 26දා දී මූ ජයරත්න ද සහභාගි කරවාගෙන අම්බුළුවාව බෞද්ධ සංගමයේ මෙහෙයවීම මත භාවනා කුටි ඉදිකිරීමට මුල්ගල තැබුවේ සිංහපිටිය, අම්බුළුවාව පාරේ ජලාශ මාවතිනි. ඒ බව එදා ආරාධනා පත්‍රයේ ද සඳහන් වූයේ ‘ඇතුල්වීම ; සිංහාපිටිය අම්බුළුවාව පාරේ ජලාශ මාවතිනි‘ යනුවෙනි. ගම්පොලට ජලය සැපයූ ජලාශය තිබුණේ එම ජලාශ මාවතේ ය. ‘ටැංකිය කැලය‘ ලෙස එම ප්‍රදේශය හැඳින්විනි. භාවනා කුටි ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට අම්බුළුවාව බෞද්ධ සංගමයේ ආරාධනයෙන් පැමිණි දී මූ ජයරත්න එයින් වසර 23කට පසු 1997දී තමන්ගේ නමට අම්බුළුවාව නම් කිරීමේදී සැලසුමේ මූලික අදියර ක්‍රියාත්මක වීමේ අවසන් ප්‍රතිඵලය වූයේ සොබාදහම විනාශ කරමින් කැඩූ කළුගල් පතිත වී ගම්පොලට වතුර සැපයූ ටැංකි කලයේ ජලාශය, ජලය වෙනුවට ගල්වලින් පිරීයෑම ය.
වරින්වර බෝර දමා අම්බුළුවාව කන්දේ කඩා දැමූ ගල් තවමත් ගස්වලට හිරවී තිබෙනු දැකගත හැකිය. පසුගිය ආපදා තත්ත්වයත් සමග එසේ සිරවී තිබූ ඇතැම් ගල් ගම්මානයට පැමිණියේය. එදා භාවනා කුටි සකස් කිරීමට ආරම්භ වූ ජලාශ පාරේ ම පහළ කොටසේ නිවසක ජීවත් වූ ගුරුවරියක ද අම්බුළුවාවේ සංවර්ධනයට බිලි විය.
එදා සොබාදහම ආරක්ෂා කිරීමේ මූලික අදහස ඇතිව ක්‍රියාත්මක වූ අම්බුළුවාවේ අද අලුත්ම ව්‍යාපෘතිය කේබල් කාර් ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතියට අදාළ ව ඩෙන්ඩර් දැන්වීම පළ කළ බවට සඳහන් වන්නේ 2023 ජනවාරි පළමුවැනිදා ය. එහෙත් කිසිම පාරිසරික ඇගයීමක් නොමැතිව කේබල් කාර් ව්‍යාපෘතියට පාරවල් කැපීම සඳහා 2022 වසරේදීත් මුදල් වියදම් කර ඇති බව විගණකාධිපතිවරයා 2022 වසරට අදාළ විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය කළේය. 2023 ජනවාරි පළමුවැනිදා කේබල් කාර් ව්‍යාපෘතියකට ටෙන්ඩර් දැන්වීමක් පළකළද, එය ප්‍රසම්පාදන ක්‍රමවේදයට සිදුවී නැති බව විගණකාධිපතිවරයා 2024 විගණන වාර්තාවෙන් හෙළි කළේය. එසේ ම එය පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනතේ ප්‍රතිපාදන ද අනුව කටයුතු කර ඇති බවට පෙන්වීමට ද මෙතෙක් කිසිම තොරතුරක් ඉදිරිපත් වී නැත. 2023 ජනවාරි ටෙන්ඩර් දැන්වීම් පළකර 2023 පෙබරවාරි ටෙන්ඩරය වසා දමා තිබුණද, කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ව ඇම්බර් ඇඩ්වෙන්චර් නම් සමාගම ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ 2023 අප්‍රේල් 23 වැනිදා ය.
පෞද්ගලික සමාගමක් හරහා කේබල් කාර් ව්‍යාපෘතිය සිදු කර පවත්වාගෙන යෑමට රාජ්‍ය ආයතනයක් වන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදලේ භාරකාර මණ්ඩලය තීරණය කරන්නේ 2023 ජුනි මස 10 වැනිදා ය. 2023 අප්‍රේල් 23 ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ සමාගම, සමාගම් මැදුරේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ 2023 ජුනි මස 16 වැනිදා ය. දැනට ඇති ලේඛන අනුව භාරකාර මණ්ඩලය එම ආයතනයට කොන්ත්‍රාත්තුව පිරිනමා ලියුම යොමුකර ඇත්තේ 2023 ජූලි මස 30 වැනිදා ය. මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් අම්බුළුවාවේ ඉඩම් කොටස් දෙකක් බදු පදනම මත එම ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමට අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් ලබාදීමට බදු ගිවිසුම් අත්සන් කර ඇත්තේ ඊට දින 08කට පසු, එනම් 2023 අගෝස්තු මස 08 වැනිදා ය. ඉඩම බදු දීමෙන් අනතුරුව ව්‍යාපෘතිය සඳහා පාරිසරික අවසරය ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට ඇම්බර් ඇඩ්වෙන්චර් ආයතනය ඉල්ලීම ඉදිරිපත් කරන්නේ 2023 අගෝස්තු මස 10 වැනිදා ය. මධ්‍යම පරිසර අධිකාරිය නිවාඩු දිනයක් ද වූ ඉරිදා දිනයක, එනම් අගෝස්තු මස 13 වැනිදා ම අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව ලේඛනවල දැක්වේ. ව්‍යාපෘතිය අනුමත කිරීම සඳහා පත් කළ කමිටුව රැස්වී ඇත්තේ 2023 අගෝස්තු මස 25 වැනිදා ය. පාරිසරික සංවේදී කලාපයක් සහ ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ සිටින බවට පර්යේෂණවලින් තහවුරු වී ඇති ප්‍රදේශයක් වන අම්බුළුවාවේ මෙවැනි මහා පරිමාණ (ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය මෙයයි) ව්‍යාපෘතියකට අවසර දීමට පත් කළ කමිටුවට වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන තිබුණේ නැත. වනජීවී දෙපාර්තමේන්තුව සිටීමේ වැදගත්කම ගැන උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය කළ ලිඛිත දැනුම්දීම ද පරිසර අධිකාරිය ගණනකට ගෙන තිබුණේ නැත.
ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ පවා සිටින බවටත්, පාරිසරික සංවේදී කලාපයක් බවටත් පර්යේෂණ මගින් තහවුරු කර ඇති අම්බුළුවාවේ මෙම ව්‍යාපෘතියට පාරිසරික තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කරනවා වෙනුවට කළේ මූලික පරිසර ඇගයුම් වාර්තාවක් පමණක් සකස් කිරීමට උපදෙස් දීම ය. ලේඛන බැලූ විට එම මූලික වාර්තාවට ගතවී ඇති කාලය සති දෙක- තුනක් පමණි. 2023 නොවැම්බර් 03 වැනිදා වන විට එම වාර්තාව බාරදී තිබූ අතර, නොවැම්බර් 10 වැනිදා මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික අවසරය පිරිනැමීය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරිය ලෙස දී මූ ජයරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් පසු මහා භාරකරුට 2001දී ප්රදානය කර, ඉඩමේ පරම අයිතිය මහා භාරකරු සතුව තිබුණද, මෙම ඉඩමේ කොටස් දෙකක් කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික සමාගමකට බදුදීමට මහා භාරකරුගේ අනුමැතිය ගත්තේ බදු ගිවිසුම අත්සන් කර වසරකට පසු, එනම් 2024 අගෝස්තු මාසයේදී ය. එම ඉල්ලීම යොමු කර තිබුණේ අම්බුළුවාව භාරකාර මණ්ඩලය නොව ඇම්බර් ඇඩ්වෙන්චර් ආයතනයම ය.
මෙම ව්‍යාපෘතිය ඉදිකරගෙන යෑමේදී මතු වූ ගැටලු සම්බන්ධයෙන් ආයතන කිහිපයක් ඒකාබද්ධ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර, එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ, නාගරික සංවර්ධන අධිකාරියේ, ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇතුළු ඇතැම් ආයතනවල කොන්දේසි උල්ලංඝනය වූ බව නිරීක්ෂණය වී තිබූ අතර, ඇතැම් ආයතන ඒ බව ලිඛිතව ම දැනුම් දී තිබිණි. එසේම මෙම එක් ඉදිකිරීම් ස්ථානයක සිට කන්ද පහළට ගල් පෙරළා සහ පස් දමා තිබූ අතර එම ගල් ගම්මානයටත්, ප්‍රධාන මාර්ගයටත් වැටී තිබිණි.
පසුගිය ආපදා තත්ත්වය සමග අම්බුළුවාව කන්ද ආශ්‍රිතව නායයෑම් කිහිපයක් සිදු විය. MediaLK එය වාර්තා කළේ ‘නෑ නෑ කිව්වට අම්බුළුවාවේ නායයෑම් කිහිපයක්‘ යනුවෙනි. මෙම නායයෑම් සහ අවදානම් තත්ත්වය හමුවේ අම්බුළුවාව සම්බන්ධයෙන් පරිසර අධිකාරියටත්, පරිසර අමාත්‍යංශයටත් පැමිණිලි කෙරුණු අතර, ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක් ද සිදු කළහ. ඒ අනුව පරීක්ෂණයක් සිදු කර දැනුම්දීමක් කරන තුරු අම්බුළුවාව ආශ්‍රිතව සියලු ඉදිකිරීම් නතර කරන ලෙස පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි පරිසර අධිකාරිය දැනුම් දුන්නේය.
මේ අතර දෙසැම්බර් මාසයේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවදානම් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අම්බුළුවාව පිහිටි සිංහපිටිය ග්‍රාම නිලධාරි වසමට පැමිණියේය. මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නිලධාරීන් අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමෙන් මඳක් ඇතුළට ගිය පසු ඇති විශාල පැල්මක් එම නිලධාරීන්ට පෙන්වා දුන් අතර, එම පැල්ම දිගේ පහළට ගොස් කන්ද පහළ නිවාස ඇති ස්ථාන ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිරීක්ෂණය කළේය. ඒ අනුව අම්බුළුවාව කඳු පාමුල නිවාස 18ක් අධි අවදානම් කලාපවල පිහිටා ඇති බැවින් ඔවුන් වහාම ස්ථිරව ඉවත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දුන්නේය. එසේම එම අධි අවදානම් ප්‍රදේශය නායයෑමේ අධි සංවේදී කලාපයක් ලෙස සලකා ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතුවලින් තොර ආරක්ෂිත කලාපයක් කරන ලෙස ද දැනුම් දී තිබේ.
මෙම තත්ත්වය මධ්‍යයේ ඉදිකිරීම් නතර කිරීම නිසා කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන සමාගමක් වන ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම ඉවත් වන බව ජනමාධ්‍ය වාර්තා කළේය. 2023 නොවැම්බර් 16 වැනිදා, එනම් මෙම කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ තීන්දු අම්බුළුවාව භාරකාර මණ්ඩලයෙන් ගැනීමෙන් ද පසු ලියාපදිංචි කළ එම සමාගමේ විස්තර නිල ලේඛන අනුව කළ සොයාබැලීමේදී පහත පරිදි බව අනාවරණය විය.
අම්බුළුවාවේ භාරකාර මණ්ඩලය
1. දිසානායක මුදියන්සේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න (සභාපති)
2. සමරවික්‍රම මුදියන්සේලාගේ ඉන්දික ප්‍රසාද්
3. ගොඩමුන්න වෙදගෙදර චන්ද්‍රරත්න
4. සිවන් ඥාණසේකරන්
5. මීවතුරේ වජිරඥාන හිමි
6. එන් අසාත් අලි
7. ජේ එම් සේනානායක බණ්ඩාර
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ මුල් අධ්යක්ෂ මණ්ඩලය (ලියාපදිංචිය 2023 ජුනි 16)
1. හුආං යුපින්
2. සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
3. ජයසේකර මුදියන්සේලාගේ සේනානායක බණ්ඩාර (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
4. සුබසිංහ මුදියන්සේලාගේ සුරේෂ් දීපාල් සුබසිංහ (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා)
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් හිමියන් ලැයිස්තුව
1) හුආං යුපිං – කොටස් 36
2) ජයසේකර මුදියන්සේලාගේ සේනානායක බණ්ඩාර – කොටස් 14 (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
3) ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම – කොටස් 16
4) ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගම – කොටස් 34
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 16ක හිමිකාරිත්වය ඇති ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය (2024 වසරේ වාර්ෂික ඉදිරිපත් කිරීම අනුව)
1) සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
2) නිලානි හචින්සන් (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ මව)
3) සමරසිංහ හේරත් රුචිනි තමාලි (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳගේ සහෝදරිය)
4) සමරසිංහ හේරත් දිලිනි වාසනා (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳ)
5) සමරසිංහ හේරත් චමන් දිලංග කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ සහෝදරයා)
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 34ක හිමිකාරිත්වය ඇති ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගමේ ආරම්භක අධ්යක්ෂවරුන් දෙදෙනා.
1) අනුරාධ ජයරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති) කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමීමට දින 10කට පෙර ඉවත්වී ඇති අතර, එදින ම ඔහුගේ බිරිඳ අධ්යක්ෂවරියක ලෙස පත්වී තිබේ.
2) සුරේෂ් දීපාල් සුබසිංහ (කේබල් කාර් ව්‍යාපෘතිය ලබා දුන් ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ ආරම්භක අධ්යක්ෂ – අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා.)
අතීතයේ සුන්දර ස්ථානයක් වූ අම්බුළුවාවේ තවත් අසුන්දර කතා ගණනාවක් 2010 සිට මේ දක්වා අවස්ථා ගණනාවකදී විගණකාධිපතිවරයා අනාවරණය කර ඇතත්, ඒවාට මේ වන තෙක් නීතිය ක්‍රියාත්මක වී නැත. එදා කන්දේ ස්ථාන රැසකින් පහළට ගලාගෙන ආ ජල දහරා රැසක් දැන් පෙනෙන්නට නැත. එදා තැන්පත් කළැයි කී බුදු පිළිමය ගැන ද විවිධ කතා තිබේ. එවැනි බුදු පිළිමයක් දැන් නැත. එදා අම්බුළුවාව කන්දේ තිබුණු සුන්දරත්වය ද දැන් නැත. එපමණක් නොව අම්බුළුවාව සත්‍ය ඉතිහාසය ද දැන් නැත. ඒ සියල්ල කණ්ඩායමක් විසින් සොරාගෙන ඇති බව පමණක් දැන් පෙනෙන්නට ඇත.
ලෝකය දේශගුණික විපර්යාස ගැන කතා කරන මෙවැනි කාලයක, අම්බුළුවාව පවුල් පාලනයෙන් බේරාගෙන රැකගැනීමත්, අතීතයේ තිබූ වන වැස්ම සහ සොබා සෞන්දර්යය නැවත ප්‍රතිෂ්ඨාපනය වීමට අවශ්‍ය පසුබිම සැලසීමත් රජයේත්, ප්රදේශවාසීන්ගෙත් ප්රමුඛ වගකීමකි.








