Home පුවත් විකට් පොල්ලක් ගුදමාර්ගයට දමන බවට තර්ජනය කරලා – පොලිසියෙන් පහරදුන් තරුණයාගේ ඇස්පෙනීමත්... පුවත්මානව හිමිකම් විකට් පොල්ලක් ගුදමාර්ගයට දමන බවට තර්ජනය කරලා – පොලිසියෙන් පහරදුන් තරුණයාගේ ඇස්පෙනීමත් අඩුවෙලාලු By www.medialk.com - March 9, 2026 Facebook Twitter Pinterest WhatsApp (භානුල ගිරිබාව) ප්‍රකාශයක් ලබාගැනීමට බව කියමින් තලවකැලේ පොලිසියට ගෙන්වාගත් තරුණයකුට වධහිංසා පැමිණවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කරනු ලැබ තිබේ. මෙලෙස වධහිංසාවට ලක්ව ඇත්තේ පොලිස් විමර්ශනයක් සඳහා තලවකැලේ පොලිසියට ගිය 23 හැවිරිදි තරුණයෙකි. මුදල් වංචාවක් කළායැයි කියමින් තරුණියක විසින් කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා 2026 පෙබරවාරි 27 වන දින ඔහු තලවාකැලේ පොලිසියට කැඳවා ඇති බවත්, එම අවස්ථාවේදී එහි සිටි කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු පිරිසක් තමාට අමානුෂික ලෙස පහර දී වධහිංසා පැමිණවූ බවටත් අදාල වින්දිතයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ. තමාට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස පෙර දින පොලිසිය කළ දැනුම්දීම අනුව උදෑසනම පවුලේ අයද සමග පොලිසියට ගිය බවත්, ඉන් පසු තමා වෙනම කාමරයකට කැඳවාගෙන ගොස් ප්‍රශ්න කළ බවත්, පැමිණිල්ල කළැයියි කියන තරුණියද එහි සිටි බවත්, පොලිසිය සිංහල භාෂාවෙන් ලියන ලද ලේඛනයකට අත්සන් ලබා ගත් බවත්, තමන් දෙමළ නිසා එහි තිබුණේ මොනවාදැයි නොදන්නා බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ. පසුව එදිනම පස්වරු 2.00 ට පමණ එම පැමිණිලිකාර තරුණියගේ පවුලේ අය එම ස්ථානය තුළට කැඳවා ඇති බව ද, පැමිණිලිකාර තරුණියගේ පියා ලෙස සඳහන් කළ පුද්ගලයකු එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපති හඳුනන බව පොලිස් නිලධාරීන්ට පවසා ඇති බව ද, කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා කතා කරනවා යැයි එහි සිටි නිලධාරියකුට දුරකතනය ලබා දී ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්වේ. එම ඇමතුමෙන් පසු එහි සිටි කාන්තා පොලිස් නිලධාරිනියක විසින් තමාගේ හිසට, කනට සහ බෙල්ලට කිහිප අවස්ථාවක් පහර දුන් බවත්, පසුව බූට් සපත්තුවලින් පයින් ගැසූ බවත්, තවත් නිලධාරියකු ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවත්, සිවිල් ඇඳුමෙන් සිටි හෙල්මට් එකක් පැළඳි පුද්ගලයකු පැමිණ තම ගුද මාර්ගයට විකට් පොල්ලක් දමන බවට තර්ජනය කර අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවත් තර්ණයා සඳහන් කර ඇත. අනතුරුව තර්ජන සහ පහරදීම් සම්බන්ධයෙන් කිසිවෙකුට ප්‍රකාශ නොකරන ලෙස නැවත තර්ජනය කර ඇති පොලිසිය තරුණයා මුදා හැර තිබේ. මුදා හැරීමෙන් පසු නිවසට ගිය තරුණයාට නොනවතින හිසරදයක්, වම් ඇසේ පෙනීම දුර්වලවීමක් ඇතුළු රෝහල ලක්ෂණ කිහිපයක් මත රෝහල් ගත කර ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබා නැවත පැමිණි පසු යළිත් වරක් හිසරදය, නාසයෙන් රුධිරය වහනය වීම, කනෙහි වේදනාව සහ පේනීම දුර්වල වීම වැනි රෝග ලක්ෂණ හමුවේ යළි රෝහල් ගත කර තිබේ. රෝහලේදී පොලිසිය පැමිණි බවත්, එලෙස පැමිණි යෝගා නම් නිලධාරියකු පොලිසිය පහර දුන් බව කිසිසේත් පිළිගත නොහැකි බවත් පවසා ඇතැයි පැමිණිල්ලේ දැක්වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ හදිසි ඇමතුම් අංකයට ද දැනුම්දී ඇති අතර එහිදී උපදෙස් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි. මෙම වින්දිත තරුණයාට හෙට (10) සහකාර පොලිස් අධිකාරීවරයකු හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (09) කැඳවීමක් ලැබී තිබේ. එලෙස කැඳවා ඇත්තේ පොලිස්පතිට කළ පැමිණිල්ල විමර්ශනය කිරීමට ද, වෙනත් හේතුවකට යන්න දැන ගැනීම සඳහා MediaLK අද උදෑසන සිට අවස්ථා ගණනාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුඩ්ලර් මහතාගේ නිල ජංගම දුරකතන අංකයට ඇමතුම් ගත්තද ඔහු රැස්වීමක සිටින බව කියමින් දිගින් දිගටම දුරකතනයට පැමිණියේ නැත. ඔහුගේ කාර්යාලයට ඇමතුමක් ලබාගත්විට ද නිසි ප්රතාචරයක් ලැබුණේ නැත. මෙම වධහිංසා සිදුවීම වාර්තා වන්නේ පසුගිය සිකුරාදා දිනයේ (06) ද ශ්‍රේෂ්ඨාධිකරණය වධහිංසා සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරතිබෙන පසුබිමකය. එම SC FR 127/2012 මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව මගින් පොලිස් වධහිංසාවට ලක්වූ වින්දිතයෙකුට රුපියල් ලක්ෂ 10කට අධික වන්දියක් ගෙවන අදාල පොලිස් නිලධාරීන්ට සහ රජයට නියම කෙරෙිණි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොළොස් වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ “කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය” යනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති වධහිංසාවට ලක් නොවීමට ඇති අයිතිය කිසිදු හේතුවක් මත සීමා කළ නොහැකි, නිරපේක්ෂ මූලික අයිතිවාසිකමකි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ (UDHR) 5 වන වගන්තියට සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 7 වන වගන්තියට අනුවද කිසිම පුද්ගලයකු වධහිංසාවට ලක් කළ නොහැකිය. එසේම 1984 එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි සම්මුතිය (UNCAT) මගින් ද වධහිංසාව ලොව පුරා තහනම් කර ඇති අතර ඊට ශ්‍රී ලංකාවට එකගතාවය පල කර තිබේ. වධහිංසා සම්මුතිය ලංකාවේ බලාත්මක කිරීම සඳහා 1994 අංක 22 දරන වධහිංසා පනත යටතේ වධදීම සහ අනිකුත් කෘර, අමානුෂික හෝ නින්නිද සැළකීම් සහ දඬුවම් අපරාධ වැරදි බවට පත් කර තිබේ. එම පනත අනුව වධදීම සහ අනිකුත් කෘර, අමානුෂික හෝ නින්නිද සැළකීම් සහ දඬුවම් කළ බවට මහාධිකරණ ඉදිරියේ වැරදිකරු වන පුද්ගලයකුට වසර 07කට නොඅඩු සහ වසර 10කට නොවැඩි සිරදඬුවම් ලබාදිය හැකි අතර රුපියල් 50,000කට නොඅඩු සහ රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩ මුදලකට ද යටත් කළ හැකිය. ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාරය, ආරක්ෂක අංශයක් හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් යම් පුද්ගලයකු වධදීමට සහ අනිකුත් කෘර, අමානුෂික හෝ නින්දිත සැළකීමකට හෝ දඬුවමකට ලක් කරන්නේ නම් ඒ මොහොතේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අංක 1996 දරණ ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකිය. එසේම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාටත්, ජාතික පොලිස් කොමිෂන් සභාවටත් පැමිණිලි කළ හැකිය. යම් පුද්ගලයකු වධහිංසාවකට ලක්වූ පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළ හැකි අතර එම පැමිණිල්ල ඊමේල් මගින් හෝ ලියාපදිංචි තැපෑලෙන් ද, අතින් ගෙනගොස් බාරදීම මගින් ද කළ හැකිය. මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලය කොලඹ 04 ආර් ඒ ද මෙල් මාවතේ අංක 14 ස්ථානයේ පිහිටා තිබේ. එහි ප්‍රාදේශීය කාර්යාල අම්පාර දුටුගැමුණු මාවතේ, අනුරාධපුර ෆ්රීමන් පාරේ, බදුල්ල කුමාරසිංහ පාරේ, මඩකලපුව කොවින්ටන් පාරේ, යාපනය පන්සල පාරේ, කල්මුණේ මානච්චේනයිහි කිට්ටන්කි පාරේ, මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා මාවතේ, මාතර රාහුල හරස්වීදියේ, ත්‍රිකුණාමලයේ පවර් හවුස් පාරේ සහ වවුනියාව පිටත වටරවුම් පාරේ ද පිහිටා තිබේ. එම ඕනෑම කාර්යාලයකට ගොස් හෝ එම ඕනෑම කාර්යාලයකට තැපෑලෙන් හෝ ඊමේල් මගින් පැමිණිලි යොමු කළ හැකි බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි. වධහිංසා සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් ගත කළහොත් එම රෝහල් ගත කරන අවස්ථාවේදී තමා මුහුණ දුන් සිද්ධිය වෛද්‍යවරුන්ට ප්‍රකාශ කරන ලෙසත්, තමා අධිකරණ වෛද්‍ය නිලධාරියකුට යොමු කරන ලෙස රෝහලෙන් ඉල්ලන ලෙසත්, වධහිංසාවට ලක්වූවකු අධිකරණයට ඉදිරිපත් කළහොත් වධහිංසා සිදුවීම මහේස්ත්‍රාත්ට දැනුම් දෙන ලෙසත් මානව හිමිකම් නීතිඥවරු උපදෙස් දෙති. කුමන අපරාධ වරදකට සැකපිට අත්අඩංගුවට ගත්තද එම පුද්ගලයා කිසිම වධහිංසාවකට ලක්කිරීමට පොලිසියට හෝ විමර්ශන ආයතනයකට හැකියාවක් නැති බව මූලික අයිතිවාසිකම් නඩු ගණනාවකදී සඳහන් කර තිබේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ දුරකතන අංක සහ ලිපිනයන් පහත දැක්වේ. සැකකරුවන් පොලිස් අත්අඩංගුවේදී ප්‍රහාරයට ලක්වීම සහ මරණයට පත්වීම වැලැක්වීම උදෙසා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිසිය වෙත නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ. 2025-අංක-01-දරන-පොලිස්-මාර්ගෝපදේශ-Final 295 RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය මාධ්‍ය නාලිකාවලට බොරු කියන්න බෑ – හිරුට තරු පෙන්වූ සම්පූර්ණ තීන්දුව අධිකරණය හා නීතිය ඊබ්‍රහීම් සහ පුතුන් දෙදෙනා වෙනුවෙන් ගොනු කළ පෙත්සම් විසිවෙයි – මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ හැක්කේ කාටදැයි අධිකරණයෙන් යළිත් පැහැදිලිකරීමක් පරිසරය අම්බුළුවාව හොරු අරන් : බුදුපිළිමය – දිය දහරා අතුරුදන් : ජලාශයේ වතුර වෙනුවට ගල් ! LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.