Home මතය ‘සිංහල බල්ලා’ නිසා ෆේස්බුක් ‘හිරේ’ ගිය සජීව විජේවීර මතය ‘සිංහල බල්ලා’ නිසා ෆේස්බුක් ‘හිරේ’ ගිය සජීව විජේවීර By www.medialk.com - March 30, 2026 Facebook Twitter Pinterest WhatsApp (නාලක ගුණවර්ධන විසිනි – nalaka@nalaka.org) ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාවේ කොන්දේසි කඩ කරන අයට ලැබෙන දඬුවමක් වන්නේ දින තුනක්, හතක් හෝ ඊට වැඩි කාලයක් පුරා ගිණුම අත්හිටුවීමය. ජනප්‍රිය කටවහරේ මෙය හැඳින්වෙන්නේ ‘ෆේස්බුක් හිරේ වැටෙනවා’ යනුවෙනි. මෑතදී වියෝ වූ මාධ්‍යවේදී සජීව විජේවීරගේ ෆේස්බුක් ගිණුම, 2021 පෙබරවාරියේ දිනක හදිසියේ එම ඉරණමට මුහුණ පෑවේය. සමාගම ඒ සඳහා නිශ්චිත හේතුවක් එක එල්ලේ නොකීවත්, එයට ආසන්නම හේතුව සජීව අනුමාන කළේය. “සිංහල බල්ලා ගැන ඔබ දැන සිටියාද?” යන හෙඩිමෙන් පෙබරවාරි 7 වනදා ඔහු තමන්ගේ පුවත් වෙබ් අඩවිය වූ Rata.lkහි ලිපියක් පළ කොට තිබුණි. එය ප්‍රවර්ධනය කෙරෙන කෙටි සටහනක් ෆේස්බුක් ගිණුමේ පළ කොට, වෙබ් සැබැඳිය ද ලබා දුන්නේය. ඒ වන විට ෆේස්බුක් සමාගම සිය වේදිකාවේ වෛරී ප්‍රකාශවලට එරෙහිව තදින් ක්‍රියා කරමින් සිටි නිසා, “සිංහල බල්ලා” යන්න සියලු සිංහලයන්ට කරන ලද වෛරී ප්‍රකාශයක් (hate speech) යයි ඔවුන් සිතුවා විය හැකිය. සැබැවින්ම සිදු වී තිබුණේ කුමක්ද? 1959 ඉංග්‍රීසියෙන් පළ කරන ලද විද්වත් ග්‍රන්ථයක ‘Sinhalese Dogs’ නම් වූ ලිපියක් සජීව විසින් සිංහලට පෙරළා තිබීමයි. පුරාණ සිංහලයන්ගේ ත්‍රාසජනක ක්‍රීඩා ගැන ඒ පොත ලීවේ ජාතික කෞතුකාගාරයේ ප්‍රථම ලාංකික අධ්යක්ෂ, කීර්තිමත් මානව විද්‍යාඥ හා සත්ත්ව විද්‍යාඥ ආචාර්ය පී. ඊ. පී. දැරණියගලය (1900-1973). ශ්‍රී ලංකාවේ බිතුසිතුවම්වල හා ගල්කැටයම්වල දක්නට ලැබෙන කෙටි ලෝම, සෘජු කන් හා උඩුකුරු වලිග සහිත සුනඛයාට ‘සිංහල බල්ලා’ කියා නම දුන්නේ, මෙරටට ආවේණික ආදි මානවයකු සොයා ගෙන ඔහුට ‘බලංගොඩ මානවයා’ යයි කී දැරණියගලමය. සජීව කළේ Sinhalese Dog නම සිංහලට නැගීම පමණකි. එතැන අවමානයක සේයාවක්වත් නොතිබුණි. පුරාවිද්‍යා හා ස්වාභාවික උරුමයන් ගැන විශේෂ උනන්දුවක් දැක් වූ සජීව, ලිපිය ඇරඹුවේ මෙසේය: “අතීත ශ්‍රී ලංකාවේ සතුන් අතර දක්නට ලැබුණු ‘සිංහල බල්ලා’ ගැන ආචාර්ය පී.ඊ.පී. දැරණියගල වාර්තා කර ඇත. ඔහු පවසා ඇත්තේ එම බල්ලා 1920 දශකය දක්වා බදුල්ල ප්‍රදේශයේ දක්නට ලැබුණු බවට වාර්තා ඇති බවයි. එහෙත් දැන් මේ සිංහල බල්ලා සොයා ගැනීමට නැත.” මේ පසුබිම කිසිවක් නොදත් ෆේස්බුක් බලධාරීන්ට ඊමේල් හරහා එහි සන්දර්භය කියා දීමට මට සිදු විය. මුල් ඉංග්‍රීසි පොතේ පිටපතක් මා ළඟ තිබුණි. සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාව ආවරණය කරන ෆේස්බුක් කාර්යාලයට අදාල පිටුවල ඡායාරූප ද යැව්වෙමි. සියල්ල සළකා බලා ඔවුන් ‘සයිබර් හිරෙන්’ සජීව නිදහස් කිරීමට දින කීපයක් ගත විය. මාධ්‍ය මර්දක ‘කැලෑ උසාවිය’ තවත් අවස්ථාවක ඔහු සැබෑවටම හිරේ නොවැටී බේරුනේ යාන්තමිනි. ඔහු පුවත්පතකට ලියූ ලිපියකින් අගතියක් සිදු වූවා යයි යමකු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණි. එය විභාග කිරීමට මෙම රාජ්‍ය ආයතනය හමුවට සජීව කැඳවන ලදී. 1973දී තුන් හවුල් රජය විසින් පිහිටුවන ලද පුවත්පත් මණ්ඩලයට, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නියාමනය කිරීමට හා දඬුවම් කිරීමට අර්ධ අධිකරණ බලතල තිබේ. මේ ආයතනය පිළිබඳව ලාංකික මාධ්‍ය ප්‍රජාවේ බොහෝ දෙනකු අතර විරෝධයක් ඇත්තේ, නියාමනයට වඩා මාධ්‍ය මර්දනයට විවිධ රජයන් එය යොදා ගෙන ඇති බැවිනි. සජීව පුවත්පත් මණ්ඩලය හමුවේ පෙනී සිටි අවස්ථාව ගැන මෑතදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ ආවර්ජනය කළේය: “සජීවගේ ප්‍රවෘත්තියක් ගැන කරුණු විමසීමට පුවත්පත් මණ්ඩලය සජීව කැඳවීය. ඒ වන විට ඉරිදා ලංකාදීප පුවත්පතේ කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ද පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයෙක් විය. පුවත්පත් මණ්ඩලයට ගිය සජීව, පුවත්පත් මණ්ඩලයේ නීත්‍යනුකූල බවත්, දොඹගහවත්තගේ පත්වීම ගැනත් අභියෝග කළේය. ජනමාධ්‍ය සමාජය පුවත්පත් මණ්ඩලය පිළි නොගන්නා බව මූණටම කී ඔහු, එහි නීත්‍යනුකූල බව ප්‍රශ්න කිරීම ගැරඬින්ට භූමිතෙල් ගැසිල්ලක් සේ විය…” හොඳ වෙලාවට පුවත්පත් මණ්ඩලය ඒ අවස්ථාවේ සිය ආන්තික නීතිමය බලතල සජීවට එරෙහිව පාවිච්චි කළේ නැත. එහෙත් දොඹගහවත්ත තම කර්තෘ අභිමතය යොදා ගනිමින් ලංකාදීපයේ සජීවගේ ලිපි පළ කිරීම නතර කළ බවත්, සති කීපයකට පසුව නියෝජ්‍ය කර්තෘවරයකුගේ මැදිහත් වීමෙන් සජීවට ලංකාදීපයේ යළි ලියන්නට ඉඩ ලැබුණු සැටිත් තරිඳු සිහිපත් කරයි. මාණ්ඩලික නොව පිටත සිට ඒ පුවත්පතට පමණක් නිදහස් මාධ්‍යවේදියකු ලෙස (freelancer) ලියූ සජීවට සති ගණනාවක් ආදායම අහිමි වන්නට ඇත. එහෙත් පුවත්පත් මණ්ඩලය යල්පිනූ කැලෑ උසාවියක් යන ස්ථාවරය ඔහු කිසිදා වෙනස් නොකළේය. පැත්තක් ගියත් ඇත්ත කථා කිරීම සජීවගේ ප්‍රබල චරිත ගතියක් වීය. අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව සජීව කවදත් නොබියව පෙනී සිටියේය. ඔහු එසේ කළේ ආවේග මත නොව, අදාළ කරුණු හොඳින් ගවේෂණය කොට, සාක්ෂි සහ තර්ක මනාව ගොනු කර ගත් පසුවය. විධිමත්ව නීතිය හැදෑරුවේ නැතත්, රටේ නීති සහ නියාමන ගැන පුළුල් අවබෝධයක් ඔහුට තිබුණි. ඔහු සම්පාදනය කළ සෑම ප්‍රවෘත්තියකම සහ විශේෂාංග ලිපියකම නිවැරදි තොරතුරු, තුලනාත්මකව පෙළ ගස්වන බව කතුවරු දැන සිටියෝය. සජීව විජේවීර වෘත්තීය වශයෙන් සක්‍රීයව සිටි දශක තුනක කාලය තුළ තොරතුරු සොයා, සිය කැමරාවත් රැගෙන රට වටා ගිය චාරිකා අපමණය. මුණ ගැසී හෝ දුරකතනයෙන් සම්මුඛ සාකච්ඡා කළ පුද්ගලයන් දහස් ගණනකි. ප්රවෘත්ති වාර්තා සහ විශේෂාංග ලිපි කොපමණක් ලියුවා දැයි ඔහුවත් දැන සිටියේ නැත. ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් පසු 1990 දශකයේ මුල භාගයේ සජීව සිය මාධ්‍ය ගමන ආරම්භ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිට කොළඹ පිහිටි ජාතික මාධ්‍ය ආයතන වෙත පුවත් වාර්තා කරමිනි. එහෙත් ප්රවෘත්ති ගැන තිබූ සහජ ඉව සහ වෘත්තීය කැපවීම නිසා ඔහුට ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ භූමිකාවට සීමා නොවී ටික කලකින්ම ජාතික මට්ටමෙන් සක්‍රීය වීමට වරම් ලැබුණි. ‘පරිසරයට විනාඩියක්‘ ඔහු පූර්ණ කාලීනව ආයතනික මාධ්‍ය වැඩට බැස්සේ සිරස ටීවී ආයතනයේ විධායක නිෂ්පාදකවරයෙකු ලෙසිනි. 1996 සිට 2000 දක්වා එහි සේවය කළ ඔහු, ස්වභාවික උරුමයන් සහ පරිසර ගැටලු සැකෙවින් සහ රසවත් ලෙසින් ප්‍රේක්ෂකයාට සමීප කළ ‘පරිසරයට විනාඩියක්’ නම් වැඩසටහන් මාලාව හඳුන්වා දුන්නේය. “අවුරුදු තුනක් හැම දවසකම නොවරදවා ම අලුත් විනාඩියකින් රටේ ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කරන්න මට අවස්ථාව ලැබුණා. පරිසරය වගේ ගැඹුරු විෂයයක් මිනිසුන්ට සදාකාලික මතකයක් බවට පත්කරන්න මට ඒ විනාඩියක කාලයේ දී පුළුවන් වුණා,” ඔහු 2023දී ආවර්ජනය කළේය. ඉනික්බිති ඔහු පුවත් වාර්තාකරුවෙකු සහ විශේෂාංග ලේඛකයෙකු වශයෙන් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’ පුවත්පතට සම්බන්ධ විය. එහිදී සිංහල පුවත්පත් කලාවේ දැවැන්තයකු වූ ඩබ්ලිව්. ජී. ගුණරත්නයන්ගේ මඟපෙන්වීම යටතේ සජීව සිය වාර්තාකරණ ශිල්ප ක්‍රම සහ වෘත්තීය ආචාර ධර්ම තව දුරටත් ඔප්නංවා ගත්තේය. එදිනෙදා පුවත් වාර්තාකරණයේදී මෙන්ම ගවේෂණාත්මක විශේෂාංග ලිපි ලිවීමේදී ද සජීව එක හා සමාන දක්ෂයකු විය. බොහෝ මාධ්‍යවේදීන් තමන් වාර්තාකරණයේ යෙදෙන ප්‍රදේශයට හෝ විෂය පථයකට පමණක් සීමා වෙද්දී, සජීව සිය උපන් දකුණු පළාතට කොටු නොවී දිවයිනේ නන්දෙස සංචාරය කරමින් පුවත් සෙවීය. සජීවගේ මාධ්‍යකරණයේ සුවිශේෂී ලකුණක් වූයේ දේශපාලන හා සමාජ -ආර්ථික ප්‍රශ්නවලට පමණක් සීමා නොවී, ජන ජීවිතයට සෘජුවම අදාල වන සෞඛ්‍ය, පාරිසරික සහ විද්‍යාත්මක ප්‍රශ්න ගැනත් ගවේෂණාත්මකව වාර්තා කිරීමය. ඒ හැම අවස්ථාවකම උඩින් පල්ලෙන් නොව ගැඹුරින් ප්‍රශ්න තේරුම් ගැනීමට ඔහු උත්සාහ කළේ වර්තමානයේ බොහෝ සිදුවීම් සහ ගැටලුවල සංකීර්ණත්වය දැන සිටි නිසාය. ඔහුගේ ලිපිවල ආවේණික ලක්ෂණයක් වූයේ භාවාතිශය වාර්තාකරණයක් වෙනුවට වඩාත් සමබර විග්රහයන් අඩංගු වීමය. උදාහරණයක් ලෙස, නීතියෙන් සංරක්ෂිත වනාන්තර සම්බන්ධ ගැටලු ගැන ලියද්දී හුදෙක් පරිසරවේදීන්ගේ මතයට පමණක් සීමා නොවී, එම වනාන්තර ආශ්‍රිතව වෙසෙන ගැමි ජනතාවගේ ජීවනෝපායන් කෙරෙහි ද අවධානය යොමු කළේය. ගංවතුර වැනි ආපදා වාර්තා කරන විට, පීඩාවට පත් ජනතාවගේ ප්‍රශ්න හා මැසිවිලි පමණක් නොව, එම ගැටලුවට බලපාන වාරිමාර්ග සහ ආපදා කළමනාකරණ යාන්ත්‍රණයේ පවතින ගැටලු ද ඔහු අවධානයට ලක් කළේය. ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය සහ ගාල්ල කේන්ද්‍ර කර ගනිමින් කලෙක සිටි සිදු කැරෙන සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ ගැන කිසිදු මාධ්‍යයකට වඩා තොරතුරු ලබා ගැනීමේ හැකියාව සජීවට තිබුණි. ඒ පුරාවිද්‍යා පර්යේෂකයන් සහ සමුද්‍ර කෞතුකාගාර නිලධාරීන් රැසකගේ විශ්වාසය දිනා ගෙන සිටි නිසාය. ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගිලී ගිය නෞකා පිළිබඳව අලුත්ම පුරාවිද්‍යා පර්යේෂණ තොරතුරු ගොනු කරමින් ඔහු ලංකාදීපයට ලියූ ලිපි පෙළ බෙහෙවින් ජනප්‍රිය විය. අලුත් කුසලතා උගන්නට සහ අලුත් දේ කරන්නට ඔහුට මහත් ඕනෑකමක් තිබුණි. තරුණ වියේදීම වෘත්තීය ඡායාරූප ශිල්පය උගත් ඔහු, පරිගණක භාවිතය, වෙබ් අඩවි නිර්මාණය සහ කෙටි විඩියෝ නිර්මාණය ස්වෝත්සාහයෙන් ප්‍රගුණ කළේය. සජීව බහුමාධ්‍ය මාධ්‍යවේදියකු (multimedia journalist) වූයේ ඔහුගේ සහෘදයන් ඒ යෙදුම දැන ගන්නටත් වසර ගණනාවකට පෙරය! විශ්වසනීය සන්නාමයක් 2007 පටන් සජීව ‘ලංකාදීප ඔන්ලයින්’ වෙබ් අඩවියේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින්, එය රටේ ඉහළම පාඨක පිරිසක් සහිත පුවත් වෙබ් අඩවියක් බවට පත් කිරීමට මුල් විය. එවක පැවති සම්ප්රදාය වූ මුද්‍රිත පුවත්පතේ අන්තර්ගතය එලෙසින්ම වෙබ් ගත කිරීමට සීමා නොවී, එසැන පුවත් සහ කාලීන තොරතුරු දවස මුළුල්ලේ වෙබ් අඩවියෙන් පළ කිරීමට ලංකාදීප වෙබ් අඩවිය පුරෝගාමී විය. ඒ හපන්කම පිටුපස සිටියේ ගුණරත්න සහ විජේවීර දෙදෙනාය. වයස 35 වන විට සජීව විජේවීර මාධ්‍ය ක්ෂේත්රය තුළ විශ්වසනීය සන්නාමයක් (credible brand) බවට පත්ව සිටියේය. ඔහු මුද්‍රිත, විකාශන සහ වෙබ් යන සියලු මාධ්‍යයන්හි සිය දක්ෂතාව ඔප්පු කරමින් සම්මාන රාශියක් දිනා ගත්තේය. 2006 වසරේදී ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පිරිනමනු ලබන වසරේ දක්ෂතම මාධ්‍යවේදියාට හිමි කුසලතා සම්මානයෙන් (merit award) ඔහු පිදුම් ලැබීය. විද්‍යා සන්නිවේදනය වෙනුවෙන් විද්‍යාභිවර්ධන සංගමයෙන් (SLAAS) සම්මානයද, විශිෂ්ඨ පරිසර වාර්තාකරණය උදෙසා ජාතික හරිත සම්මානය ද ඒ අතර විය. සජීව සම්මානවලින් උඩඟු වූයේවත්, ලොකු පුටු වෙනුවෙන් මාධ්‍ය කාර්යාලවලට කොටු වූයේවත් නැත. දශක දෙකක් පුරා කොළඹ මාධ්‍ය ආයතන සමග සමීපව වැඩ කළ ඔහු, මෙරට පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යවලට ආවේණික සීමාවන් මනාව දැන සිටියේය. එසේම සමාජ ප්‍රශ්න වාර්තා කිරීමෙන් නතර නොවූ සජීව, ඒවාට ප්‍රායෝගික විසඳුම් සොයන්නටත්, චර්යාත්මක හා ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා උද්දේශන කිරීමටත් කාලය හා ශ්‍රමය කැප කළේය. ශබ්ද දූෂණයට එරෙහිව ඔහු ගෙන ගිය කැම්පේනය, ෆේස්බුක් හි ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව හරහා මෙන්ම පොලිස් පැමිණිලි ඔස්සේද ඉදිරියට ගියේය. අධික ශබ්ද දූෂණයට එරෙහිව 2007දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව හා ඉන්පසු එය තහවුරු කළ තවත් තීන්දු උපුටා දක්වමින් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු පොලිසියට බල කළේ එසේ නොකළොත් එය අධිකරණයට අපහාස කිරීමක් බව පෙන්වා දෙමිනි. සිය ප්‍රදේශයේ පන්සල් හා පාසල්වල ශබ්ද දූෂණය යම් තරමකට නිහඬ කිරීමට ඔහු සමත් වුවද, අදාල පන්සල් ප්‍රධානීන් හා දායකයන්ගේ ගැරහීම්වලට ලක් වන්නට සිදු විය. එහෙත් ඔහුගේ එඩිතර බව අගය කළ පුරවැසියෝ බොහෝ දෙනෙකි. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, සජීවගේ අභාවයෙන් පැය කිහිපයක් තුළ මෙසේ සටහන් කළේය: “ශබ්දයෙන් කෙරෙන පරිසර දූෂණයට එරෙහි අරගලයේ පතාක යෝධයකු වූ ගාල්ලේ සජීව විජේවීර සහෘදයා අප හැර ගොසිනි. ඔහුගේ සටන්කාමී මතකය දිනේවා!” සජීව තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ නීතිය භාවිත කරමින් රාජ්‍ය ආයතන මහජනයාගෙන් සඟවන්නට තැත් කළ තොරතුරු ලබා ගෙන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා සමාජගත කළේය. උදාහරණයක් ලෙස, 2022දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලංකාව තුළ අවහිර කර ඇති වෙබ් අඩවි මොනවාද කියා විමසූ ඔහුගේ තොරතුරු ඉල්ලුම්පතට පිළිතුරු නොදී සමාගම කට්ටි පනිමින් සිටියේය. අන්තිමේදී තොරුතුරු කොමිසම මේ සියලු තොරතුරු වහාම ලබා දීමට නියෝග කළ විට හෙළි වූයේ වෙබ් ලිපිනයන් 343ක් සමාගම හිතුමතයට (අධිකරණ නියෝග නැතිව) බ්ලොක් කර තිබෙන බවය. පවත්නා රජයට විරුද්ධ දේශපාලන විවේචන කරන වෙබ් අඩවි රැසක්ද ඒ අතර වීය. එය ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් වාරණයේ දිග පළල හෙළිදරව් වූ අවස්ථාවකි. රට හදන්න ඩිජිටල් මාධ්‍යයක් මෙරට ඉන්ටනෙට් භාවිතය වඩාත් ප්‍රචලිත වීමත් සමඟ මාධ්‍යකරණයේ නව විභවයන් ඒ හරහා මතු වන බව ඔහු කල් තබාම හඳුනා ගත්තේය. එසේම සම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල අධිපතිවාදයට යටත් නොවී, පොදු උන්නතිය උදෙසා මාධ්‍යකරණයේ නියැලීමට වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය හරහා හැකි බව ද තේරුම් ගත්තේය. වසර ගණනාවක් පුරා ෆේස්බුක් වේදිකාවේ කාලීන ප්‍රශ්න හා පුවත් මාතෘකා ගැන නිතර කථා කරමින් සංවාදශීලී වූ සජීව, 2020දී තමන්ගේම වෙබ් ලිපිනයකින් Rata.lk පුවත් වෙබ් අඩවිය ආරම්භ කරමින් එහි ප්‍රකාශකයා, කතුවරයා සහ ප්‍රධාන පුවත් වාර්තාකරු බවට පත් විය. ජනමාධ්‍ය කලාව යනු වඩාත් දැනුවත්, විඥානයක් සහිත මෙන්ම සහකම්පනය සහිත සමාජයක් ගොඩනැගීමට උපකාරී වන මෙවලමක් විය යුතු බව සජීවගේ විශ්වාසය වූ අතර, Rata.lkහි මෙහෙවරෙන් එය පිළිබිඹු විය. දත්ත මත පදනම් වූ වාර්තාකරණය (data-driven reporting), ගවේෂණාත්මක ජනමාධ්‍ය කලාව සහ විද්‍යාව පදනම් කර ගත් මාධ්‍යකරණය කිරීමට ඔහුගේ ප්‍රවේශය විය. ඉන්ටනෙට් ගත වන ලක් ජනගහනයෙන් අඩක් පමණ වන ජනයාගේ අවධානයට පොර බදන පුවත් වෙබ් අඩවි සිය ගණනක් අතරේ කාලීන තොරතුරු වෙබ් අඩ්වියක් ප්‍රමිතිගතව කර ගෙන යාම ලේසිපාසු වැඩක් නොවේ. එහෙත් සජීව ඒ අභියෝගයට නොබිය අත ගැසුවේය. එහිදී ඔහුගේ පන්නරය හා සවිය වූයේ ඔහුගේ බිරිඳ සිරංගිකා ලොකුකරවිටයි. ඇය ද වෘත්තීය නිපුණතාවයෙන් සහ අත්දැකීම්වලින් සපිරි මාධ්‍යවේදිනියකි. භාතිය සහ සිතිර පුතුන් දෙදෙනා ද නන් අයුරින් දායක වූ නිසා, රට වෙබ් අඩවිය විජේවීර පවුලේම සාමූහික ප්රයත්නයක් විය. ජව සම්පන්න ගමන් සගයා මා සජීව හඳුනා ගත්තේ 1990 දශකයේ අග භාගයේදී ය. එතැන් සිට ඔහුත් මමත් දශක තුනක කාලයක් තිස්සේ ජන මාධ්‍ය ක්ෂේත්රයේත්, විද්‍යා හා පරිසර සන්නිවේදන ක්ෂේත්රයේත් ගමන් සගයෝ වූයෙමු. මට වඩා ජවයකින් සහ එඩිතර බවකින් ඔහු පෙරට ගියේය. මා කළේ හැකි පමණින් ඔහු දිරිමත් කිරීමත්, ඇතැම් අවස්ථාවල දැනුම සහ අවස්ථා බෙදා ගැනීමත් පමණකි. දශකයක් පුරා (2011-2021) රාවය පුවත්පතේ සතිපතා සිවුමංසල කොලුගැටයා තීරු ලිපියෙන් මා නිතර මතු කළ අවිද්‍යාව හා මිථ්‍යා විශ්වාසවලට එරෙහි විග්රහයන්, ඔහු රාවය නොකියවූ එහෙත් සමාජ මාධ්‍යවල සැරිසරන ජනයා අතරට ප්රතිරාවය කළේය. විද්‍යාවට වඩා මිථ්‍යාවට බොහෙවින් වැඩි ඉල්ලුමක් තිබෙන බව ඔහු නිතර කී කතාවකි. එය ව්‍යක්ත ලෙස හසු කර ගත් අවන්ත ආටිගල කාටූනයක් සජීවගේ ප්‍රියතම රූපයක් විය. කිසිදු පුරාවිද්‍යාත්මක පදනමක් නොමැති වුවද, ඇතැම් ශ්‍රී ලාංකිකයන් සැබෑ ඓතිහාසික චරිතයක් ලෙස විශ්වාස කරන රාවණා ගැන සජීව සිය වියදමින් දිගු කලක් ගවේෂණ කළේය. ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් රැසක් ද සම්මුඛ සාකච්ඡා කළේය. ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ පසු ඔහු මෙසේ ලිවීය: “රාවණා යනු අමු මිථ්‍යාවකි... රාවණා කතා පුවත හා සම්බන්ධ නම් ගම් ඇතැයි කියන සෑම තැනකටම ගියෙමි. මග හැරුනා නම් ඒ එකක් දෙකක් වැනි සුලු සංඛ්‍යාවක් පමණක් විය යුතුය. වසර 14ක ගවේෂණයන්ගේ ප්‍රතිඵලය වූයේ රාවණා කතාව මිථ්‍යාවක් බව දැන ගැනීමයි.” “රාවණා සිටියා යැයි කියන යුගයේ අපේ මුතුන් මිත්තෝ ජීවත් වූයේ ගල් යුගයේය. මේ ඇත්ත තේරුම් ගනිමු…මානසික රෝගීන් සමග ගොස් ජනතාව ගොනාට අන්දවා මිථ්‍යාව වපුරුවමින් ප්‍රසිද්ධිය සොයා යන්න එපා යැයි වගකීමෙන් මාධ්‍ය මෙහෙය වනවා යැයි කියන ආයතනවලින් අපි ඉල්ලා සිටිමු.” විවිධාකරයේ මානසික රෝග ගැන ඔහු අලුත්ම දැනුම සොයා ගිය බව ද සිහි කළ යුතුය. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රමුඛ පෙළේ මනෝ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය රූමි රූබන් සමඟ එක්ව සජීව දීර්ඝ කාලීන සහයෝගීතාවයකින් කටයුතු කළේය. මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ පවතින ගුප්ත බව හා වැරදි සමාජ විශ්වාස දුරු කිරීමටත්, මානසික ආබාධ පිළිබඳ ජනතාවගේ නොදැනුවත්කම සටකපට ලෙස සූරා කන මන්තර ගුරුකම් ඡාවාරම්කරුවන්ගෙන් මහජනයා බේරා ගැනීමටත් දැනුවත් කිරීම් රාශියක් මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් සිදු කෙරුණි. “ඇත්තටම හොල්මන් අවතාර තියෙනවද? ඒවා වැඩියෙන්ම දකින්නේ කවුද? ඉස්සර ගමේ ගොඩේ නිතර හමු වූ මහසෝනා, මෝහිනී පැන ගිහින්ද?” මේ ඔවුන් දෙදෙනාගේ යූටියුබ් සංවාදයක හැඳින්වීමයි. සජීවගේ ජීවිතයේ අවසාන මාසවල බරපතල වකුගඩු රෝග තත්ත්වයන් සමඟ ජීවත් වුවද, ඔහු සැමදා දැරූ විද්‍යාත්මක සහ තර්කානුකූල ස්ථාවරයන් කිසිසේත් වෙනස් නොකළේය. විවිධ පුද පූජා පැවැත්වීමට මෙන්ම විශ්ව ශක්තියේ පිහිට පැතීමට නොයෙක් දෙනා යෝජනා කළත්, ඔහු දිගටම රජයේ රෝහල්වලින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේය. බද්ධ කිරීම සඳහා වකුගඩුවක් දන් දීමට ගැලපෙන පුද්ගලයෙකු සොයා ගත්තද, වෙනත් ව්‍යාකූලතා නිසා එයට අවස්ථාව නොලැබුණි. රෝහල් ඇඳේ සිට පවා ඔහු වෛද්‍යවරුන් සමඟ කතාබහෙන් සහ ඉන්ටනෙට් ගවේෂණවලින් සොයා ගත් සෞඛ්‍ය තොරතුරු ෆේස්බුක් හරහා බෙදා ගත්තේ ‘මාරයා පරාජය කිරීම’ යන තේමාවෙනි. මේ ප්රයත්නය මට සිහිපත් කළේ මීට වසර කිහිපයකට පෙර ප්‍රකට ලේඛක වෛද්‍ය ආරියසේන යූ ගමගේ, තම පිළිකා රෝගය පිළිබඳව ‘වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්’ පුවත්පත් ලිපි පෙලක් හරහා පාඨකයන් දැනුවත් කළ ආකාරයයි. එහෙත් වෛද්‍ය ගමගේට මෙන්ම සජීවටත් සිය කතාවේ අවසානය ලියන්නට නොහැකි විය. [ජනමාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය දිවිය අරඹා පසුව මාධ්‍ය විශ්ලේෂකයෙකු බවට පත් වූ නාලක ගුණවර්ධන, සජීව විජේවීර වැනි සම්ප්‍රදායෙන් බැහැරව ස්වාධීනව කටයුතු කරන මාධ්‍යවේදීන්ව දිරිමත් කිරීමට කාලයක් තිස්සේ කටයුතු කර ඇති අතර, ඩිජිටල් මාධ්‍ය ආයතනයන්හි වෘත්තීයභාවය ශක්තිමත් කිරීම සඳහා එම ආයතන සමඟ ද සමීපව කටයුතු කරයි.] 45 RELATED ARTICLESMORE FROM AUTHOR මතය ‘‘වගකීම් විරහිත මාධ්‍ය නිදහසේ” මළගම සනිටුහන් කළ ඓතිහාසික නඩු තීන්දුව මතය හදවත සසල කළ හදබිමේ කතාවේ වීරයන් දිවිදී මාසයක් ! මතය නීත්‍යනුකූල බලයක් මාධ්‍යවේදියාට දෙන්න ඕනෙ ! – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.