Home හෙළිදරව්ව ලලිත් – කුගන් අතුරුදන් කර වසර 9 ක් : සාක්ෂිකරුවකු ලෙසත් ජනාධිපතිට... හෙළිදරව්ව ලලිත් – කුගන් අතුරුදන් කර වසර 9 ක් : සාක්ෂිකරුවකු ලෙසත් ජනාධිපතිට මුක්තියක් තිබේද ? By MediaLK.com - December 11, 2020 Facebook Twitter Pinterest WhatsApp (ශාලික විමලසේන) ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්ෂට කිසිදු නෛතික බාධාවක් නැති බවත්, ජනාධිපතිවරයා ලෙස ඔහුට මුක්තිය ඇත්තේ විත්තිකරුවකු ලෙස මිස සාක්ෂිකරුවකු ලෙස නොවන බවත් නීතිඥ නුවන් බෝපගේ අවධාරණය කරයි. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අදාළ නඩුවේ සාක්ෂිදීමට ගෝඨාභය රාජපක්ෂට නිකුත් කර තිබූ සිතාසිය, අභියාචනාධිකරණයෙන් අවලංගු කෙරිණි. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ද අදාළ නඩුවේදී අතුරුදන් කළ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අප කළ විමසීමකදී සඳහන් කළේය. සාක්ෂිදෙන්න ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ මේ සම්බන්ධයෙන් MediaLK වෙත අදහස් දක්වමින් ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පැවසුවේ නඩුවක සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපතිවරයා කැඳවීමේ හැකියාව අධිකරණයට තිබෙන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් ගොනුකිරීමේ හැකියාව නැති වුවද, එය සාක්ෂි දීමට බාධාවක් නොවන බව ද ආචාරයවරයා පැහැදිලි කළේය. උදාහරණයක් ලෙස අනතුරක් ඇසින් දුටු අවස්ථාවකදී ඊට අදාළව පවා සාක්ෂි ලබාගැනීමට ජනාධිපතිවරයා කැඳවීමේ හැකියාව ඇති බව පෙන්වා දුන් ආචාර්යවරයා, ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති මුක්තිය නිවැරදිව විග්රහ කරගත යුතුව ඇතැයි ද පැවසීය. නිවැරදි බව ඔප්පු කරන්න සූදානම් ! ප්රශ්නය : ලලිත් – කුගන් අතුරුදන් කළේ කවුද ? පිළිතුර : ඔය ලලිත් – කුගන් කියන දෙන්නා අල්ලගන්නේ මොකටද. ඊට වඩා තර්ජන තිබුණු කී දෙනෙක් හිටියද. ඔය නම් කියපු දෙන්නා ගැන මම දන්නෙවත් නෑ. ප්රශ්නය : අඩු තරමේ පත්තරේකින්වත් දැක්කේ නැද්ද, එතකොට රටේ ආරක්ෂාව සම්බන්ධ ලේකම්වරයා ඔබ…? පිළිතුර : ඔය සිද්ධි දේශපාලන හේතු මත උඩට ආපු ඒවා. මොන හේතුවක් හින්ද වුණාද කියන්න දන්නේ නෑ. හමුදාවට හෝ බුද්ධි අංශ වලට එහෙම දෙයක් කරන්න තරම් ඔය කියන දෙන්නා තර්ජනයක්ද. ප්රශ්නය : ඔවුන්ට තර්ජනයක් නොවුණට, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට ඔවුන් තර්ජනයක් වුණා … ? පිළිතුර : නෑ, ඕක දේශපාලන වාසියට කියන කතාවක්. ප්රශ්නය : පුද්ගලයන් දෙන්නෙකුගේ අතුරුදන් වීමක් ඔය තරම් සරල කාරණයක් ද, රටේ ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යංශයේ ලේකම් ඒ ගැන දන්නෙත් නැතිලු ..? පිළිතුර : මම දන්නවා. ඔය හැමතැනම බිත්ති වල ලියලා තිබුණෙ. ප්රශ්නය : ඉතින් ඔය චෝදනා වලට අපි නිවැරදිකරුවො, අපි හොඳ ළමයි කියලා ඔප්පු කළා නම් ඉවරයි නෙ …? පිළිතුර : බුද්ධි අංශ වලට එහෙම නිවැරදි බව කියන්න ක්‍රමවේද නෑනෙ. මාධ්‍ය සාකච්ඡා තියන්න බෑනෙ. මේවා ගැන කතා කරන්න ගියොත් ඒ මිනිහට විරුද්ධව විනය පියවර ගන්නවා. ප්රශ්නය : ඔබ බුද්ධි අංශෙ නෙමෙයිනෙ, ඔබට පුළුවන්නෙ ඉස්සරහට එන්න …? පිළිතුර : ඕනෑම වෙලාවක මම මගෙ නිවැරදිභාවය ඔප්පු කරන්න සූදානම්. 2015 මාර්තු මාසයේ මව්බිම පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මේ අදහස් පළකර තිබිණි. සාක්ෂියට ඉතිරි ගෝඨාභය විතරයි 2019 සැප්තැම්බර් 27 දා ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට පෙනීසිටින්නැයි ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කර තිබිණි. සිතාසි නිකුත් කෙරුණේ එම වසරේ ජුනි 21 දා ය. ඉන්පසුව අවස්ථා දෙකකදී ද ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට ගියේ නැත. ඒ වෙනුවට ඔහු අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් අතර, එම තහනම් නියෝගයේ තීන්දුව මේ වසරේ නොවැම්බර් 24 දා ලැබිණි. ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස මේ වනවිට කැඳවීමට ඉතිරිව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පමණි. ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුර දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කෙරුණේ 2011 දෙසැම්බර් 09 දා ය. එවකට පැවැති ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා වූයේ කෙහෙළිය රඹුක්වැල්ල වර්තමාන ඇමැතිවරයා ය. ලලිත් – කුගන් අතුරුදන් කළ දෙසැම්බර් මාසයේ ම, 15 වැනිදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ ලලිත් – කුගන් අතුරුදන් වී නැති බවත්, ඉක්මනින්ම ඔහු පොලිසිය හෝ හමුදාව මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත් ය. මේ සම්බන්ධයෙන් දෙවරක් කැඳවීමෙන් පසු, 2016 මැයි මාසයේදී අධිකරණයට පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ එවකට පැවැති ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රකාශය කළ බවයි. දෙසැ. 10 – මානව හිමිකම් දිනයට පෙර දිනය ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට අධිකරණයට සාක්ෂි ඉදිරිපත් වී ඇත. යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ පස්වරු 5ට පමණ ය. පසු දින, එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවක සංවිධාන කටයුතු ඔවුන් විසින් සිදු කරමින් සිට ඇත. පොලිසියේ කතා පරස්පරයි කුගන්ගේ අසල්වැසියන් පවසන ආකාරයට ඔවුන් පස්වරු පහට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය දෙසැම්බර් 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිඳ විසිනි. මෙම යතුරු පැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය හා ගම්වැසියන් පවසන කරුණු අතර පරස්පරතා රැසක් ඇති බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරු පවසති. කුගන්ගේ බිරිඳ අච්චුවේලි පොලිසියෙන් මේ පිළිබඳව විමසා ඇත. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී මෙම යතුරු පැදිය තමන් භාරයට ගෙන තිබුණු බවයි. මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් නිර්වේලි ප්‍රදේශවාසීන් විසින් ෂන්මුගන් වඩිවේල් නම් එවකට එම ප්‍රදේශයේ රාජකාරි කළ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 09 වැනිදාය. යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී ලලිත් – කුගන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය වෑන් රථයකින් සහ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. තාත්තෙකුගේ බලාපොරොත්තුව අවිස්සාවේල්ලේ පදිංචි ආරුමුගම් වීරරාජ් යනු ලලිත් කුමාර්ගේ තාත්තා ය. ඔහු පවසන්නේ මේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර, යුක්තිය ඉටුකරන ලෙසයි. ‘පුතා විශ්වවිද්‍යාලයෙ රැකියාව කරමින් ඉද්දි ජේවීපී එකට ගියා දේශපාලනය කරන්න. ඒකෙන් අයින් වෙලා පෙරටුගාමී පක්ෂයෙ අය එක්ක අලුත් පක්ෂය හදන්න ඉද්දි තමයි හදිසියෙ අතුරුදන් වුණේ. මම එදා ඉඳන් එයාට කිව්වෙ දේශපාලනය කරන්න එපා කියලයි. මොකද මම පොඩි පඩියකට වැඩ කරන වතු කම්කරුවෙක්. ලලිත් විතරයි එතකොට මේ පළාතෙ විශ්වවිද්‍යාලෙ රජයෙ රැකියාවක් කළ කෙනෙකුට හිටියෙ. මගේ පුතා යාපනයේ අතුරුදන්වූවන් හොයන්න වැඩ කළා මිසක් නරක වැඩ කළේ හෝ රජයට විරුද්ධව ක්‍රියා කළේ නෑ. රට අල්ලන්න ගියෙත් නෑ. කුගන් පුතා අතුරුදන් වුණේ මගේ පුතා එක්ක ගිය නිසයි. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා පුතා නැවත හම්බෙයි කියලා. ඒ වෙනුවෙන් පුළුවන් හැමදේම කරන්න මම ලෑස්තියි. මගෙ ජීවිතේ තව හුඟක් දිග නැහැ. රහස් පොලීසිය කීපවතාවක්ම මම නැති අතරෙ අසල්වැසි අයට පවා ඇවිත් කියලා තිබුණා, ලලිත් දේශපාලනය කළාට කමක් නෑ, යාපනයට යන්න එපා කියන්න කියලා. තවත් වතාවක මට කෝල් එකක් ආවා, ලලිත් යාපනයෙන් අයින් කර ගන්නවද, නැත්නම් අපි අයින් කරන්නද අහලා. මේ හැම වතාවකම පුතා ගෙදර ආවම මම තියෙන අවදානම ගැන කිව්වා. එයා අතුරුදන් වුණාට පස්සෙ කෙහෙළිය රඹුක්වැල්ල කිව්වා, ලලිත් – කුගන් ඉන්නවා කියලා. ඒ වගේම ඒගොල්ලො පැහැර ගැනීම ගැන සාක්ෂිත් තියෙනවා කියලා කිව්වා. ඔවුන්ට කළේ මොකක්ද කියලා දැනගත්තොත්, මගේ ඔළුවෙ බර නිදහස් කරගන්න පුළුවන්.’ RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව හෙළිදරව්ව වව්නතිව් මගහැරුණු කතාව මුලසිට පුවත් දේශබන්දු ගෙදර ගියත් බොරු කිව්ව DIG චන්ද්‍රකුමාර තවමත් වැඩ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.