(තරිඳු ජයවර්ධන – MediaLK)
අම්බුළුවාව යනු පෞද්ගලික දේපොළක් නොව, 2009 ජූලි 22 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත යටතේ ස්ථාපිත රාජ්‍ය ආයතනයකි. මෙම ආයතනය වාර්ෂිකව විගණකාධිපතිවරයාගේ විගණනයට ලක්වන ආයතනයක් වන අතර, 2024 වසරට අදාළ ව විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ මතභේදයට තුඩුදෙන ගනුදෙනු යටතේ මෙසේ සඳහන් කර තිබේ.
‘2023 ජුනි 10 දින පවත්වන ලද භාරකාර මණ්ඩල රැස්වීමේදී රුපියල් බිලියන 1.2ක ඇස්තමේන්තුවක් අනුව කේබල් කාර් ව්‍යාපෘතියක් කිරීමටත්, එය ඉදිකර පවත්වාගෙන යාමට වෙනම සමාගමකට බදු දීමටත්, ඇස්තමේන්තු මුදලින් සියයට 16ක් භාරය විසින් දැරීමටත් තීරණය කර තිබූ අතර, ප්‍රසම්පාදන කැඳවීමකින් තොරව, භාරකාර මණ්ඩල රැස්වීම පවත්වා දින 06කට පසු, එනම් 2023 ජුනි 16 දින ලියාපදිංචි කළ සමාගමක් සමඟ ව්‍යාපෘතිය ඉටුකිරීමට ගිවිසුම්ගත වී තිබුණි.‘
එම විගණන නිරීක්ෂණයට අදාළ ව විගණකාධිපතිවරයා ලබා දී ඇති නිර්දේශය මෙසේ ය.
‘මෙම ව්‍යාපෘතිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වා අවිධිමත් පරිදි කටයුතු කළ පාර්ශ්ව වෙත පියවර ගැනීමටත්, ව්‍යාපෘතිය විධිමත් කිරීමටත් පියවර ගත යුතුය.‘
කේබල් කාර් ව්‍යාපෘතිය ලබාදීමේදී අවිධිමත් පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කර ඇති අනාවරණය ගැන MediaLK වැඩිදුරටත් ගවේෂණය කළේය.
2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනතේ 15 වැනි වගන්තිය අනුව මෙම ආයතනය අල්ලස් පනත යටතේ උපලේඛනගත ආයතනයක් වේ. එහි භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් ගණන එම පනතේ 03 වැනි වගන්තිය අනුව 10ක් වන අතර, එයින් දෙදෙනකු නිල බලයෙන් පත්වන බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම්වරයා සහ පරිසර අමාත්‍යංශ ලේකම්වරයා වේ. එම මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ භාරකාර අරමුදලේ නිර්මාතෘ වන අතර, එම නිර්මාතෘ දි මු ජයරත්න විය යුතු බව පනතේ 19 වැනි වගන්තියේ සඳහන් වේ.
දි මු ජයරත්න මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ පුතා එම තනතුරට පත්විය යුතු අතර, පුතාගේ අභාවයෙන් පසු පරම්පරාවෙන් පැවත එන වැඩිමහලු පිරිමි දරුවන් එම තැනට පත්විය යුතු බව පනතේ 16 වැනි වගන්තියේ සඳහන් වේ. ඒ අනුව මේ වන විට එම භාරකාර අරමුදලේ සභාපති බවට පත්ව සිටින්නේ දි මු ජයරත්න මහතාගේ පුතා වන දිසානායක මුදියංසේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න මහතා ය. නිල බලයෙන් පත්වන සාමාජිකයන් දෙදෙනා සහ සභාපතිවරයාට අමතරව, තවත් සාමාජිකයන් 07ක් භාරකාර අරමුදලේ සභාපතිවරයා වන නිර්මාතෘවරයා විසින් පත් කළ යුතු නමුත් ආයතන වෙබ් අඩවියේ our team ලෙස සඳහන් පිටුවේ සභාපතිවරයාට අමතරව ඇත්තේ සාමාජිකයන් හය දෙනකු පිළිබඳ තොරතුරු පමණි.
සභාපතිවරයා සමග එම පිටුවේ ඇති සියලු සාමාජිකයන් මෙසේ ය.
  1. දිසානායක මුදියංසේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න
  2. සමරවික්‍රම මුදියංසේලාගේ ඉන්දික ප්‍රසාද්
  3. ගොඩමුන්න වෙදගෙදර චන්ද්‍රරත්න
  4. සිවන් ඥාණසේකරන්
  5. මීවතුරේ වජිරඥාන හිමි
  6. එන් අසාත් අලි
  7. ජේ එම් සේනානායක බණ්ඩාර
කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන මුල්ම සාක්ෂිය
අම්බුළුවාව ආශ්‍රිතව සිදුකෙරෙන කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන මුලින්ම ලිඛිත සාක්ෂියක් MediaLK වෙත සොයාගැනීමට හැකිවූයේ 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පනත ඉදිරිපත් කළ එවකට වැවිලි කර්මාන්ත අමාත්‍ය දි මු ජයරත්න මහතා 2009 ජූලි 22 වැනිදා කළ කතාවෙනි.
එහි මෙසේ සඳහන් වේ.
‘ශ්‍රී ලාංකික ජනතාවට විස්මිත අත්දැකීමක් ගෙන එන්නට ගම්පොළ දුම්රිය ස්ථානයේ සිට අම්බුළුවාව කඳු මධ්‍යස්ථානයේ ගොවි සෙවණ 11 අසල දක්වා කේබල් කාර් පද්ධතියක් සවිකිරීමේ මූලික සැලසුම් දැනටමත් සකස් කර ඇත. ස්විට්සර්ලන්තයේ ආයෝජකයන් කිහිපදෙනකුද මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන අතර, නුදුරු අනාගතයේදීම අම්බුළුවාවට පැමිණෙන සංචාරකයන්ට මෙම නව අත්දැකීම තුළින් සතුටු වීමේ අනභිභවනීය අවස්ථාව සලස්වාදීමට දැඩි උත්සාහයක් ගන්නෙමි.‘
දි මු ජයරත්න මහතා සඳහන් කළ එම ව්‍යාපෘතිය ගැන ඉන්පසු තොරතුරු වාර්තා නොවූ අතර, පසුව අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන තොරතුරු සොයාගැනීමට ලැබෙන්නේ 2023 වසරේදී ය.
අම්බුළුවාව වෙබ් අඩවියේ ටෙන්ඩර් නම් පිටුවේ Tender Calling – Cable Car යනුවෙන් සඳහන් කරමින් ටෙන්ඩර් දැන්වීමක් පළ කර තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති එම ටෙන්ඩර් දැන්වීමේ සිංහල අදහස මෙසේ ය.
‘ටෙන්ඩර් කැඳවීම
අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය
අම්බුළුවාව සංකීර්ණයේ ‘කේබල් කාර් ව්‍යාපෘතිය’ ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා මෙයින් ටෙන්ඩර් කැඳවනු ලබන අතර, පහත සඳහන් කොන්දේසි මත පරිශ්‍රය වසර 13ක කාලයක් සඳහා බදු දෙනු ලැබේ.
ඉහත සඳහන් ව්‍යාපෘතියට අදාළ සියලුම වියදම් ටෙන්ඩර්කරු විසින් පමණක් දැරිය යුතුය. මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර්කරු විසින් දරනු ලබන ඕනෑම වියදමක් භාර මණ්ඩලය විසින් ආපසු ගෙවනු නොලැබේ.
භාර මණ්ඩලය සමඟ දැනටමත් ක්‍රියාත්මක වන යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ පිරිවිතරයන් මත පදනම්ව මෙම ටෙන්ඩරය සකස් කළ යුතුය.
වසර 13ක කාලය ඉකුත් වූ පසු සම්පූර්ණ ව්‍යාපෘතියම අම්බුළුවාව භාරයට භාර දිය යුතුය.
බදු දීමේ නියමයන් සහ කොන්දේසි භාර මණ්ඩලය විසින් තීරණය කරනු ලැබේ.
අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පහත පරිදි වේ.
ටෙන්ඩර්කරුට තමන්ගේම අයදුම්පත සකස් කළ හැකිය.
ටෙන්ඩර් අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් හෝ පෞද්ගලිකව, සභාපති, ප්‍රසම්පාදන මණ්ඩලය, අම්බුළුවාව සංකීර්ණය, අම්බුළුවාව, ගම්පොල යන ලිපිනයට ඉදිරිපත් කළ යුතුය.
“කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩරය” අයදුම්පත් කවරයේ වම් කෙළවරේ ලිවිය යුතුය.
අයදුම්පත්‍රය අවසන් කිරීම: 2023 පෙබරවාරි 06 වන දින පෙ.ව. 10.00 ට පෙර.
ටෙන්ඩර් විවෘත කිරීම: 2023 පෙබරවාරි 06 වන දින ප.ව. 01.00 ට.
සභාපති, ප්‍රසම්පාදන මණ්ඩලය
අම්බුළුවාව සංකීර්ණය
2023 ජනවාරි 01‘
වෙබ් අඩවියේ මෙසේ පළ කර තිබුණද, ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළ කළේද-නැද්ද යන්න ගැන තොරතුරු සොයාගැනීමට අපට නොහැකි විය.
කෙසේ වෙතත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වන්නේ 2023 ජුනි මස 10 වැනිදා මේ සම්බන්ධයෙන් භාරකාර මණ්ඩලය තීන්දුවක් ගත් බවයි. එයින් දින 06කට පසු ලියාපදිංචි කළ සමාගමකට, ටෙන්ඩර් කැඳවීමකින් තොරවම මෙය බාරදී ඇති බව විගණන වාර්තාවේ සඳහන් විය. එසේ ම මේ සඳහා සියයට 16ක මුදලක් අම්බුළුවාව අරමුදලෙන්ද දරන බව එහි සඳහන් වන අතර, ඒ අනුව ජනවාරි මස පළමුවැනිදා පළකරන ලද ටෙන්ඩර් දැන්වීමේ කොන්දේසි වෙනස් වී ඇති බව පෙනේ. ඒ අනුව එම සමාගම කුමක්ද යන්න ගැන MediaLK ගැඹුරින් සොයා බැලීය.
සමාගම කාගේද? කොටස් හිමියන් කවුද?
කේබල් කාර් ව්‍යාපෘතිය බාර දුන් සමාගමේ නම ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම වේ. එම සමාගම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ 2023 ජුනි මස 16 වන දින ය. එහි ලියාපදිංචි අංකය පී වී 00 278 438 වේ. ඒ අනුව සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් මෙම සමාගම ගැන නිල වශයෙන් තොරතුරු ලබාගෙන වැඩිදුරටත් සොයාබැලීමේදී MediaLK වෙත අනාවරණය වූයේ අධ්‍යක්ෂවරුන් 04 දෙනකුගෙන් සහ කොටස් හිමියන් 04 දෙනකුගෙන් යුක්තව මෙම සමාගම ලියාපදිංචි කිරීම සඳහා පෝරම පුරවා ඉදිරිපත් කර ඇත්තේ 2023 ජුනි මස 05 වැනිදා බවයි.
කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා භාරකාර මණ්ඩලය තීරණය කළ දිනය ලෙස විගණකාධිපතිවරයා සඳහන් කරන දිනය නිවැරදි නම්, මෙම සමාගම ලියාපදිංචියට ඉල්ලුම් කර ඇත්තේ එම තීරණය ගැනීමට දින 05කට පෙර ය.
සමාගම ලියාපදිංචියට ඉල්ලුම් කළ, ඉල්ලුම් පත්‍රයේ මුල් අධ්‍යක්ෂවරුන් ලෙස සඳහන් වන්නේ පහත පුද්ගලයන් ය.
  1. හුආං යුපින්
  2. සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න
  3. ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර
  4. සුබසිංහ මුදියංසේලාගේ සුරේෂ් දීපාල් සුබසිංහ
කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනමා ඇති ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගමේ තුන් වැනි අධ්‍යක්ෂවරයා වන ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර යන නම අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ වර්තමාන සාමාජික ලැයිස්තුවේ ද තිබේ.
එසේම ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙවැනියා ලෙස සිටින සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න යනු කවුරුන්ද යන්න ගැන MediaLK කළ සොයාබැලීමේදී තහවුරු වූයේ ඔහු අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති දිසානායක මුදියංසේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න මහතාගේ බිරිඳගේ පියා බවයි.
අනුරාධ ජයරත්න මහතාගේ විවාහ සහතිකය මෙහි දැක්වේ.
එහි පළමු තීරුවේ දෙපාර්ශ්වයේ නම් යටතේ පුරුෂ පාර්ශ්වය යන්නට දිසානායක මුදියංසේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න ලෙස සඳහන් වන අතර, ස්ත්‍රී පාර්ශ්වය ලෙස සමරසිංහ හේරත් දිලිනි වාසනා ලෙස සඳහන් වේ. එහි 06 වැනි තීරුවේ පියාගේ සම්පූර්ණ නම යන්නට අනුරාධ ජයරත්න මහතාගේ පියා ලෙස දිසානායක මුදියංසේලාගේ ජයරත්න ලෙස සඳහන් වන අතර, අනුරාධ ජයරත්නගේ බිරිඳ වන සමරසිංහ හේරත් දිලිනි වාසනා මහත්මියගේ පියාගේ නම ලෙස සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න යනුවෙන් සඳහන් වේ.
අදාළ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව, අම්බුළුවාවෙන් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගමේ දෙවැනි අධ්‍යක්ෂවරයා වන්නේ ද සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න වේ. එනම් අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා වේ.
ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගමේ කොටස් හිමියන් මෙසේ ය.
1)      හුආං යුපිං – කොටස් 36
2)      ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර – කොටස් 14
3)      ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම – කොටස් 16
4)      ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගම – කොටස් 34
අධ්‍යක්ෂවරුන් නොවන වෙනත් සමාගම් 02කට ද ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් තිබේ. ඒ අනුව එම සමාගම් 02 ගැන අපි සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් මුදල් ගෙවා නිල වශයෙන් ලේඛන ගෙන පරීක්ෂා කිරීමේ දී අනාවරණය වූ කරුණු මෙසේ ය.
කොටස් 16ක හිමිකම ඇති ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම 2024 නොවැම්බර් 30 වැනිදා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද අංක 15 දරන පෝරමයේ සඳහන් පරිදි එම සමාගමේ අධ්‍යක්ෂවරු මෙසේ ය.
1)      සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න
2)      නිලානි හචින්සන්
3)      සමරසිංහ හේරත් රුචිනි තමාලි
4)      සමරසිංහ හේරත් දිලිනි වාසනා
5)      සමරසිංහ හේරත් චමන් දිලංග කරුණාරත්න
අම්බුළුවාවේ සභාපති අනුරාධ ජයරන්ත මහතාගේ බිරිඳගේ පියාගේ නම මෙම සමාගමේ ද අධ්‍යක්ෂවරයකු ලෙස සටහන්ව තිබේ.
එසේම මෙම සමාගමේ දෙවැනි අධ්‍යක්ෂ ලෙස සඳහන් වන්නේ නිලානි හචිංසන් නම් නමයි. ඒ ගැන සොයාබැලීමේදී අනාවරණය වූයේ අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳගේ 2011 පෙබරවාරි මස 15 වැනිදා ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකයේ ඇයගේ මවගේ විස්තර තීරුවේ මවගේ නම ලෙස නිලානි හචින්සන් ලෙස සටහන්ව ඇති බවයි. ඒ අනුව ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 16ක් හිමි ආර්ට් ඩෙකරේෂන් පෞද්ගලික සමාගමේ පළමු අධ්‍යක්ෂවරයා අම්බුළුවාවේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා වන අතර, තුන්වැනි අධ්‍යක්ෂවරිය බිරිඳගේ මව වේ.
එහි 06 වැනි අධ්‍යක්ෂ ලෙස සමරසිංහ හේරත් දිලිනි වාසනා ලෙස සඳහන් වන අතර, එය අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳගේ නම වේ. ඇයගේ නම මෙම සමාගමේ කොටස් හිමියන් ලැයිස්තුවේ ද සඳහන් වන අතර, ඇයට කොටස් 23,61,607ක් තිබෙන බව ද සඳහන් වේ. මෙම දිලිනි වාසනා යනු අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳ බව තහවුරු කරගැනීම සඳහා අනුරාධ ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද 2025 වසරට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශය ලබා ගත් අතර, එහි අංක 06 යටතේ කෝපරේට් රයිට්ස් තීරුවේ අනුරාධ ජයරත්නගේ බිරිඳ ආර්ට් ඩෙකරේෂන්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරියක් බවත් ඇයට කොටස් 23,61,607ක් හිමි බවත් සඳහන් කර තිබේ. එසේම තුන් වැනි සහ පස්වැනි අධ්‍යක්ෂවරුන් අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳගේ සහෝදරයන් වේ. ඒ බව තහවුරු වූයේ ඒ දෙදෙනාගේ උප්පැන්න සහතිකවල පියාගේ සහ මවගේ නම අනුරාධ ජයරන්ත මහතාගේ බිරිඳගේ පියාගේ සහ මවගේ නමම වන හෙයිනි.
ඉන් අනතුරුව අම්බුළුවාව භාරකාර අරමුදල විසින් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් තොරව කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගමේ සියයට 34ක කොටස් හිමි ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගම ගැන තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් නිල වශයෙන් ලබාගෙන පරීක්ෂා කළෙමු.
එහිදී අනාවරණය වූයේ කේබල් කාර් ව්‍යාපෘතිය ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම වෙත පිරිනැමූ අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතා ද එම ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ දෙවැනියට වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර, 2023 ජුනි පළමුවැනිදා, එනම් කේබල් කාර් ව්‍යාපෘතිය ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගමට ලබාදීමට දින 10කට පෙර ඉවත් වී ඇති බවයි.
එදින ම එම සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳ වන සමරසිංහ හේරත් දිලිනි වාසනා/වාසනී පත් කර තිබේ. ඇය එම සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් 2024 අගෝස්තු 07 වැනිදා ඉවත් වී තිබේ.  මෙම සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරුන් දෙදෙනා වූයේ,
1)      අනුරාධ ජයරත්න
2)      සුරේෂ් දීපාල් සුබසිංහ
වේ.
MediaLK තවදුරටත් අම්බුළුවාව සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණයේදී අනාවරණය වූයේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ලිපිනයට ඇක්ට් වෙන්චර් පෞද්ගලික සමාගම නමින් තවත් පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කර ඇති බවයි. එය ලියාපදිංචි කර ඇත්තේ 2021 මාර්තු 18 වැනිදා ය. එම සමාගම 2022 දෙසැම්බර් 31 වැනිදා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අංක 15 දරන පෝරමය අනුව එම සමාගමේ කොටස් හිමියන් මෙසේ ය.
1)      ගොඩමුන්න වෙදගෙදර චන්ද්‍රරත්න
2)      සිවන් ඥාණසේකරන්
3)      එන් මොහොමඩ් අසාඩ් අලි
4)      සමරසිංහ හේරත් චර්මන් දිලංග කරුණාරත්න
5)      සුබසිංහ සුරේෂ් දීපාල්
6)      තනුර චන්ද්‍රල පනාපිටිය
7)      ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර
8)      ගඟහාගෙදර හසිත මදුරංග අමරකෝන්
මේ වන විට අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සිටින සාමාජිකයන් අතරින් සිව්දෙනෙක් ම මෙම පෞද්ගලික සමාගමේ ද කොටස් හිමියෝ වෙති. ඒ,
1)      ගොඩමුන්න වෙදගෙදර චන්ද්‍රරත්න
2)      සිවන් ඥාණසේකරන්
3)      එම් මොහොමඩ් අසඩ් අලි
4)      ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර
වේ.
ඒ අනුව, ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කිරීමකින් තොරව අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය ලබා දුන් ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම, අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ පවුලේ ඥාතීන්ගෙන් සමන්විත ආයතනයක් වන අතර, එහි කොටස් හිමි සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස අනුරාධ ජයරත්න මහතා ද කටයුතු කර අදාළ ව්‍යාපෘතිය ඇම්බර් ඇඩ්වෙන්චර් වෙත ලබාදීමට දින 10කට පෙර ඉවත් වී තිබෙන බව අනාවරණය වේ. අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජිකයකු ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ ද අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන අතර, අම්බුළුවාව භාරකාර අරමුදල සහ ඇම්බර් ඇඩ්වෙන්චර් අතර අත්සන් කරන ලද බදු ගිවිසුමේ අම්බුළුවාව භාරකාර මණ්ඩලය වෙනුවෙන් අත්සන් කර ඇත්තේ එම අධ්‍යක්ෂවරයා ය. ඔහු ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර වේ.
එසේම අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකු සහ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමට සම්බන්ධ වී සිටි කිහිපදෙනකු ද එක්ව අම්බුළුවාව සංකීර්ණයේ ලිපිනය යොදාගෙන පෞද්ගලික සමාගමක් ස්ථාපිත කර පවත්වාගෙන යන බව ද අනාවරණය වේ.
ඒ අනුව විගණකාධිපතිගේ පෙන්වාදීමෙන් එහා ගිය ළබැඳියාවන් අතර ගැටුමක් තිබෙන බව MediaLK කළ ගවේෂණයේදී තහවුරු විය. මෙම ආයතනය අල්ලස් පනතේ උපලේඛනගත ආයතනයක් ලෙස සැලකෙන හෙයින් මේ ගැන විමර්ශනයක් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හැකියාව තිබේ.
ඉහත සවිස්තරාත්මක තොරතුරුවල සම්බන්ධතා සම්පිණ්ඩනය පහත පරිදි වේ.
අම්බුළුවාවේ භාරකාර මණ්ඩලය
  1. දිසානායක මුදියංසේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න
  2. සමරවික්‍රම මුදියංසේලාගේ ඉන්දික ප්‍රසාද්
  3. ගොඩමුන්න වෙදගෙදර චන්ද්‍රරත්න
  4. සිවන් ඥාණසේකරන්
  5. මීවතුරේ වජිරඥාන හිමි
  6. එන් අසාත් අලි
  7. ජේ එම් සේනානායක බණ්ඩාර
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ මුල් අධ්‍යක්ෂ මණ්ඩලය (ලියාපදිංචිය 2023 ජුනි 16)
  1. හුආං යුපින්,
  2. සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
  3. ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
  4. සුබසිංහ මුදියංසේලාගේ සුරේෂ් දීපාල් සුබසිංහ
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ මුල්ම කොටස් හිමියන් ලැයිස්තුව
1)      හුආං යුපිං – කොටස් 36
2)      ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර – කොටස් 14 (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
3)      ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම – කොටස් 16
4)      ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගම – කොටස් 34
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 16ක හිමිකාරිත්වය ඇති ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය (2024 වසරේ වාර්ෂික ඉදිරිපත්කිරීම අනුව)
1)      සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
2)      නිලානි හචින්සන් (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ මව)
3)      සමරසිංහ හේරත් රුචිනි තමාලි
4)      සමරසිංහ හේරත් දිලිනි වාසනා (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳ)
5)      සමරසිංහ හේරත් චමන් දිලංග කරුණාරත්න
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 34ක හිමිකාරිත්වය ඇති ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරුන් දෙදෙනා.
1)      අනුරාධ ජයරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති. කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමීමට දින 10කට පෙර ඉවත්වී ඇති අතර එදිනම ඔහුගේ බිරිඳ අධ්‍යක්ෂවරියක ලෙස පත්වී තිබේ.)
2)      සුරේෂ් දීපාල් සුබසිංහ (කේබල් කාර් ව්‍යාපෘතිය ලබා දුන් ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ)
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here