(තරිඳු ජයවර්ධන)
අම්බුළුවාව ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අවස්ථාව ලබා දුන්නේයැයි විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී ඇති ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගමේ ආරම්භක අධ්යක්ෂවරයකු ලෙසත්, එම සමාගමේ කොටස් හිමි ට්‍රැන්කොලිටි පුද්ගලික සමාගමේ ආරම්භක අධ්යක්ෂවරයකු ලෙසත්, අම්බුළුවාවේ ලිපිනය භාවිත කරමින් ස්ථාපිත කර ඇති ඇක්ට් වෙන්චර් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු ලෙසත් නම සඳහන් සුරේෂ් දීපාල් සුබසිංහ මහතා අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ ළඟම ඥාතියකු බව MediaLK වෙත අනාවරණය විය.
සුබසිංහ මුදියංසේලාගේ සුරේෂ් දීපාල් සුබසිංහ මහතා අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියකගේ සැමියා බව ඔවුන්ගේ විවාහ සහතික පරීක්ෂා කිරීමේ දී තහවුරු විය. ඒ මහතා දී මූ ජයරත්න මහතාගේ දියණිය වූ නුෂානි ලංකා ජයරත්න මහත්මියගේ සැමියා වන අතර ඒ මහතාගේ නම පසුගිය පළාත් පාලන ඡන්දයේ ඡන්ද හිමි නාමලේඛණයේ උඩපළාත ප්‍රාදේශීය සභාව සඳහා 5-දොළුව කොට්ඨාසයේ අනුක්‍රමික අංක 759 යටතේ සඳහන්ව තිබිණි. තිබිණි ඒ මහතාගේ ලිපිනය ද අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ ලිපිනයම වේ. සුබසිංහ මහතා තාක්ෂණය සම්බන්ධ විශේෂයකු ලෙස සඳහන් වන අතර ජාතික සහ ජාත්‍යන්තර සමාගම් කිහිපයකම විවිධ කටයුතුවලට සම්බන්ධවී තිබේ.
ඒ අනුව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ අධ්යක්ෂවරුන් හතර දෙනාගෙන් තිදෙනකුම එම කේබල් කාර් ව්‍යාපෘති එම සමාගමට පිරිනැමූ අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න මහතාගේ ළඟම ඥාතීන් වන අතර එම ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක හිමිකම් ඇත්තේ ද අනුරාධ ජයරතත්න මහතාගේ ඥාතීන් අධ්යක්ෂ ධුරය දරන සමාගම්වලට වේ.
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට සම්බන්ධ සමාගම් සහ ඒවායේ අධ්යක්ෂවරුන්/කොටස්හිමියන් ගැන තොරතුරු පහත දැක්වේ.
අම්බුළුවාවේ භාරකාර මණ්ඩලය
-
දිසානායක මුදියංසේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න (සභාපති)
-
සමරවික්‍රම මුදියංසේලාගේ ඉන්දික ප්‍රසාද්
-
ගොඩමුන්න වෙදගෙදර චන්ද්‍රරත්න
-
සිවන් ඥාණසේකරන්
-
මීවතුරේ වජිරඥාන හිමි
-
එන් අසාත් අලි
-
ජේ එම් සේනානායක බණ්ඩාර
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ මුල් අධ්යක්ෂ මණ්ඩලය (ලියාපදිංචිය 2023 ජුනි 16)
-
හුආං යුපින්,
-
සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
-
ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
-
සුබසිංහ මුදියංසේලාගේ සුරේෂ් දීපාල් සුබසිංහ (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා)








